Posted by: lrrp | December 20, 2010

කට්ඨහාරි ජාතකය

රට වටකර වැට බැන්දත් කට වටකර වැට බඳින්නට නොහැකි බව පැරැන්නෝ කීහ. කට ප්‍රවේශම් කර ගැනීමේ වැදගත්කම මේ රූඨියෙන් ප්‍රකට කෙරෙයි. බුදුහිමියෝ මිනිසාගේ කට කෙටේරියකට උපමා කළහ. එතරම් ම එය සැර බැවිනි.

මාළුවා නැහෙන්නේ කට නිසා යයි කීවද එතැන ඇත්තේ රස තෘෂ්ණාව පිළිබඳ අදහසකි. එහෙත් එයින් ද කට විනාශයට හේතුවක් වන බවට මතු කෙරෙන අර්ථය වැදගත් ය.

කෙනකුගේ කට හෙවත් මුඛය ජීවත් වීමට විවිධාකාරයෙන් උපකාර කෙරෙයි. ආහාර ගැනීම, ශ්වසනය මෙන්ම සන්නිවේදනය සඳහා ද ප්‍රබල මෙහෙයක් මුඛය ඉටු කරයි. භාෂාවේදී කට හැඳින්වෙන්නේ උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතිය ලෙසය. තොල්, දිව, දත්, තලු, උගුර යනාදිය ක්‍රියාත්මකව ළයේ සිට එන වායු ධාරාව මෙහෙයවා ශබ්ද උපදවා බස පණගන්වන්නේ මුඛය හෙවත් උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතියයි.

එසේ උපදින බස සුරභිධෙනුවකට සියබස්ලකරෙහි උපමා කළහ. එනම් බස හොඳින් හදාරා නිවැරැදිව භාවිත කරන්නට වියත් බවක් ඇති කරගත් කල්හි සියලු සැප පහළ කර ගත හැකි බවයි. එසේ වී නමුත් උපදවා ගත් සියල්ල විනාශ වීම සඳහා ද ඒ බස ම හේතු විය හැකි ය. බස වරද්දා ගත් ඇතැම්හු එහි විපාකය දිවිය පුරා සසර පුරා විඳිති.

මේ නිසාම බෝසත්වරු බස ඉතා ප්‍රවේශමෙන් පරිහරණය කිරීමේ අවශ්‍යතාව දුටහ. එය මිනිසා තුළ වැඩිය යුතු උසස් මානව ධර්මයක් බව ද බෝසත්වරුන්ගේ විශ්වාසය විය. එනිසා ම බුදු බව වෙනුවෙන් ලබන පුහුණුව තුළ බස භාවිතය පිළිබඳ පුහුණුව ද ප්‍රගුණ කළහ.

එනිසාම එය පාරමිතාවක් බවට පත් කොට අත්හදා බැලූහ. සත්‍ය පාරමිතාව වන්නේ එයයි. සත්‍යවාදී ජීවිතය මෙන්ම සත්‍යවාදී වදන් භාවිතය ද පුහුණු කළ බෝසත්වරු බුදුවූ පසු එහි ශ්‍රේෂ්ඨත්වය දේශනා කොට වදාළහ.

ආර්ය අෂ්ඨාංගික මාර්ගයේදී මෙය “සම්මා වාචා” වන්නේ ඒ නිසා ය. නිවන් මඟට පිළිපන් උතුමන්ගේ දර්ශනයෙහි සත්‍ය භාෂිතය ද ප්‍රධාන අංගයක් බවට පත් විය.

බොරුවෙන්, කේලමෙන්, රළු වදනින් හා ප්‍රවාදයෙන් ඈත් වීම සම්‍යග්වචනය ලෙස මෙහි විග්‍රහ විය. බොරුවක් කීමත්, එම බොරුව නොකීවයි කීමත් අපායගාමී වීමට හේතු වෙයි. එමෙන් ම කළ දේ නොකළැයි කීමත් නොකළ දේ කළැයි කීමත් මිච්ඡා වාචා අතරට වැටේ.

ඇතමුන් කටට ආ දේ විමසීමෙන් තොරව ප්‍රකාශ කරන්නේ විනෝදයක් බවට පත් කර ගනිමිනි. සමහරු බොරු කියනවා පමණක් නොව බොරුව ගොතා ප්‍රවාද ලෙස ලියා දක්වන්නට ද සමත් වෙති.

විශේෂයෙන් ලෝභය, ද්වේශය, මෝහය පදනම් කොට කෙරෙන මුසාවාදයන් සමාජය තුළ පවතින සහජීවනය විනාශ කරලන්නට හේතුවෙයි. මේ පිළිබඳ විමසා බලන්නට ජාතක පොතෙහි එන කට්ඨහාරි ජාතකය ඉතා වැදගත් වෙයි.

මෙහි වර්තමාන කථාවෙන් කියවෙන්නේ වාසභකත්තියා හා ඇයගේ පුත් විඩූඩභ කුමාරයා පිළිබඳ පුවතකි. එහෙත් අතීත කථාව සත්‍ය වචන භාවිත නොකළ රජකුට ජනයා ඉදිරියේ අවමානයට ලක් වන්නට සිදු වූ ආකාරය පිළිබඳ කදිම විවරණයක් සපයයි.

රජෙක් උද්‍යාන ක්‍රීඩාවෙහි යෙදී සිටියදී වනයෙහි ගී කියමින් දර කැඩූ ස්ත්‍රියකගේ කට හඬට වශී වී එයින් කාමය උපදවා ඇය හා සමඟ සංවාසයට එක්වෙයි. කාන්තාව එයින් ගර්භනී ව ඒ බව රජුට සැල කරයි. රජු තමාගේ ඇඟිල්ලෙහි තිබූ වටිනා මුදුව ගලවා දී දියණියක ලද හොත් මේ මුදුව විකුණා ඇය පෝෂණය කරන ලෙසත්, පුතකු ලැබුණහොත් ඔහු තමා වෙත ගෙනෙන ලෙසත් පොරොන්දු කරවා ගති. දසමස් ඇවෑමෙන් මේ කත පුතකු වදයි. ඒ පුතු බෝසත් කුමාරයා වෙයි.

ළමා වියේ කෙළි සෙල්ලමට යන මේ පුතුට “පියෙක් නැති එකෙක්” යයි නිතර නිතර අනෙක් දරුවෝ අපහාස, උපහාස කරති. මෙය දැරිය නොහැකි විහිළුවක් වූයෙන් මවගෙන් ඒ පිළිබඳ විමසන්නට වෙයි. බරණැස් රජු ඔබගේ පියා බව මවගේ පිළිතුර විය. මුදුව එයට සාක්ෂියක් බව ද ඇය පෙන්වා දුන්නා ය.

පුතා පියා දැකීමේ ආශාවෙන් රජු වෙත යන අතර, මේ ඔබගේ පුත්‍රයා යයි මැැණියන් විසින් රජුට පුතා හඳුන්වා දෙන ලදී. රජු ලැජ්ජාවට පත් ව එය ප්‍රතික්ෂේප කළේ ය. එවිට මුද්ද පෙන්වූ අතර එය ද තමාගේ නොවන බව කියා සිටියේ ය.

මෙවන් අසත්‍යවාදී ප්‍රබලයන් හමුවේ අසරණයන්ට ඉතිරි වන්නේ සත්‍යවාදී බවේ බලය පමණි. ඇය සත්‍යක්‍රියාවකට සැරසෙන්නේ ඒ නිසා ය.

ඇය කළේ පුතුගේ දෙපයෙන් අල්වා මේ දරුවා ඔබගේ නම් අහසෙහි රැඳේවා. ඔබගේ නොවේ නම් බිම වැටී වැනසේවා” යන සත්‍යක්‍රියාව කොට අහසට විසි කළා ය.

බෝසත් කුමාරයා අහසෙහි රැඳෙමින් තමා රජුගේ ම පුතු බව ප්‍රකාශ කරමින්, තිරිසන් සතුන් පවා හුරතලයෙන් පෝෂණය කරන මනුෂ්‍යයන්ට දරුවකු තමාගේ නොවේ යයි ප්‍රතික්ෂේප කළ හැක්කේ කවර ධර්මයක පිහිටාදැයි ප්‍රශ්න කළේ ය. නූතන උසාවි ඉදිරියේ දරුවකුගේ ජාතකත්වය ප්‍රශ්න කිරීම්වලට ලක්වන යුගයෙක, මෙවන් බෝසත් කුමරුන් මෙන් අහසට නැඟ පීතෲත්වය විසඳාලන්නට දරුවනට හැකියාවක් ඇත්තේ නම් බොහෝ මවුවරුන්ට සැනසුම් සුසුම් හෙළන්නට හැකි වනු ඇත.

මේ ජාතකයෙහි රජතුමාට අවසානයේ සත්‍යවාදය ඉදිරියේ පෙනී සිටින්නට සිදුවිය. පීතෲත්වය පිළිගන්නට සිදුවිය. ඔහු දෑත් අහසට දිගුකර පුතුට තම දෑතට වඩින්නැයි ආරාධනා කළේ ය. එතැනට රැස්වූ සෙසු ජනයා ද දෑත් අහසට දිගු කරවා තම දෑතට එන්නැයි ආරාධනා කළහ. එහෙත් බෝසත් කුමරු රජුගේ දෑතටම බැස්සේ ලොව තමා වැනි අසාධාරණයට ලක්වන සියලු දරුවන්ගේ විසඳුම ද මෙසේ විය යුතුª යැයි විශද කරවමිනි. මේ බෝසත් කුමරා අවසානයේ පිය රජුගේ ඇවෑමෙන් කාෂ්ටවාහන නමින් රජ වෙයි.

කෙතරම් බලවන්තයකුට වුවත් සත්‍යය ඉදිරියේ දණ නමන්නට සිදුවූ අයුරු මේ ජාතකය ලෝකයට කියාදෙන වටිනාම පාඩම වෙයි.

ලැජ්ජා බිය නැතිව ජනයා ඉදිරියේ අසත්‍යයක් පළ කරමින් අසරණයන් හෙළා දැක ජයගන්නට උත්සාහ කළ ද අවසන රජුට සිදු වූයේ සත්‍යයට හිස නමන්නට ය. එබැවින් බොරුව රජ කරවන සමාජයකට මේ කථාවෙන් කියා දෙන යථාර්ථය වන්නේ කවදා හෝ සත්‍යය ජයගන්නා බව ය.

බොරුවෙන් අන්‍යයන් රවටා සත්‍යවාදීන් ලෙස පෙනී සිටින්නට වෑයම් කරන අසත්පුරුෂයනගේ අවධානයට මෙම ජාතකය යොමු වේවා.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: