Posted by: lrrp | December 20, 2010

දුමින්දාගමනයෙන් ඇතිවූ පුනරුදය – ඇස්. බී. කරල්ලියද්ද

පණ්ඩුකාභය රජු ස්වර්ණපාලි බිසව කොටගෙන අවුරුදු හැත්තෑවක් පමණ අනුරාධපුරයෙහි රජ කළේ ය. ඉන් පසුව රජ වූයේ ඔහුගේ පුත් මුටසීව ය. ඔහු අවුරුදු හතළිහක් රජකම දැරීය.

උඳුවප් පසළොස්වක දිනක අපට නිතැතින් ම සිහිපත් වන්නේ මුටසීව රජුගේ දෙවන පුත් “දේවානම්පිය” යන උපසර්ගය සහිත ව දේවානම්පියතිස්ස නමින් ඔහුගේ ඇවෑමෙන් රජ වූ මහා රජතුමා ය. ඒ ඔහුගේ රාජ්‍ය සමයෙහි දී මෙරට සිදු වී ඇති අතිවිශේෂ සිද්ධින් සමුදායක් නිසා ය.

ඒ සිදුවීම් අප රටේ ඉතිහාසය, භාෂාව, සාහිත්‍ය, සංස්කෘතිය, සභ්‍යත්වය, කලා ශිල්ප, රාජ්‍ය පාලනය ආදියට කොතරම් දුරට බලපෑවේ ද යන්න අදින් බුද්ධ වර්ෂ දෙදහස් තුන්සිය දහ අටක් පමණ දීර්ඝ කාලයක් තුළ මේ සිංහල දේශයේ වංශ කථාව දෙස විමසා බලන විට දැනගත හැකි ය.

මුටසීව රජුට පුතුන් දහයක් හා දියණියන් දෙදෙනෙක් ද විය. අද අප සිහිපත් කරන්නේ ක්‍රි. පූ. 250 – 237 රජ වූ ලංකා රාජාවලියෙහි හත්වන රජතුමා ය. මොහුගේ රාජ්‍ය සමයෙහි ඉන්දියාවේ ධර්මාශෝක අධිරාජයාගේ පුත් මහා මහින්ද හිමියන් මෙරට සම්බුද්ධ ශාසනය ප්‍රතිෂ්ඨාපනය කළ අතර, රජුගේ එක ම දියණිය වූ එවකට දහසය හැවිරිදි සංඝමිත්තා මහ තෙරණිය මේ රටට ශ්‍රී මහා බෝධියේ ශාඛාවක් රැගෙන පැමිණියේ අද වැනි දිනක ය.

ඒ ගමනෙහිදී අප රටේ පන්සියයක් කුල කාන්තාවන්ට ප්‍රව්‍රජ්‍යා භූමියට ඇතුළු වීමට මං පෙත් හෙළි කළ අතර ඉන් අනුලා දේවිය මෙරටෙහි අර්හත් ඵලයට පැමිණි පළමු කාන්තාව ද විය. බු. ව. 236 පොසොන් පුර පසළොස්වක් දින මිහිඳු හිමියන්ගේ ගමන ද, උඳුවප් පුර තුදුස්වක් දින බෝධි රෝපණය ද සිදු වූ බව “ජනවංශය” 22 පිටුව සඳහන් කරයි. මහින්ද ස්ථවිරයන් වහන්සේ ත්‍රිපිටක අටුවාවන් වූ මහා අට්ඨකථා, පච්චරී, කුරුන්දි යන අටුවාවන් සිංහල භාෂාවෙන් ලියා තැබුයේ ද මේ රජ සමයෙහි ය. පසු කලෙකදී බුද්ධඝෝෂ ස්ථවිරයන් ඒවා නැවත පාලියෙන් ලීවේ ය.

එ පමණක් නොව මාගම රාජ්‍යය හා කැලණි රාජ්‍යයන් ස්ථාපනය වූයේ ද මේ රජ දවස ය. දේවානම් පියතිස්ස රජුගේ සොයුරු මුටසීවගේ තුන්වන පුතා වූ මහානාග තම සහෝදරියක පාවාගෙන මාගම රුහුණු රජ පරපුර ආරම්භ කළේ ය. ඔවුන්ට ලැබුණ දරුවන් වූයේ යටාලතිස්ස හා අභිඅනුරා කුමරියයි.

මේ කුමරිය තම සුළු පියා මෙන්ම දේවානම්පියතිස්සගේ සහෝදරයා ද වූ මුටසීවගේ හතර වන පුතා වූ උත්තිය රජු කරකාර බැඳගෙන විසුවේ ය. යටාලතිස්ස කැලණියේ රජු විය. මේ රජු උත්තිය රජුගේ දුව හා කරකාර බන්ධනයෙන් දරුවන් තිදෙනකු විය. ඔවුන් නම් මාගම් නුවර රජ කළ ගෝඨාභය, කැලණියේ රජ කළ කැලණිතිස්ස හා උත්තියයි.

කැලණිතිස්ස රජු තම සහෝදරයා කළ වරදට කෝප වී කරුණු සොයා නොබලා නිර්දෝෂී මහරහතන් වහන්සේ නමක් තෙල් කටාරමක දමා පුළුස්සා කැලණි ගඟේ පා කර හැරියේ ය. මේ රහත් දේහය ගොඩ ගැසු තැන නොහොත් තෙලින් දැවු ඇඟ පාත්වූ තැන නූතන කැලණිය බද තෙලඟපාතයි. කැලණි මුහුදට බිලිවූ විහාර දේවිය රුහුණේ කාවන්තිස්ස රජු හා එක්වී ලද ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයා දුටුගැමුණු ය. දෙවැනියා සද්ධාතිස්සයි.

 

ශ්‍රී මහා බෝධිය වැඩමවීම

බෝධි ශාඛාව සමඟ සංඝමිත්තා මහ තෙරණියගේ මාමාවරුන් වූ බෝධි ගුප්ත, චන්ද්‍රගුප්ත, ධම්ම ගුප්ත, සූරිය ගුප්ත, සුමිත්ත, ගෝතම හා ජුතීන්ද්‍ර කුමාරවරුන් හා මෙහෙණින් එකොලොස් දෙනකු, මහ ඇමැති අරිට්ඨ ප්‍රමුඛ අට කුලයක ඇමතියන් ද, අට කුලයක කෙළඹියන් ද අට කුලයක ශිල්පීන් ද පැමිණ ඇති බව ජනවංශය නමැති පුරාණ පොත මෙසේ විස්තර කරයි.

“රජ කුමරුවන්ට හා මහා බෝධීන් වහන්සේට දිය පෙරණ පෙරහන් ලණු නූල් සමඟ අග්‍රසාර වස්ත්‍රාදිය වියා දෙන පිණිස එම පේෂකාරයන් ගෙන්වා ජ්‍යෙෂ්ඨයකු නිල කොට සර්වාභරණයෙන් සරසා තෙපි තොපගේ පේෂකාර පිරිවරාගෙන මහා බෝධීන් වහන්සේ සමඟ ලක්දිවට ගොස් මේ මේ ආදි පිලී මෙහෙවර කොට මහා බෝධියට උපස්ථාන කරවයි” ආදි වශයෙනි.

චුන්ද කාරේ – භම කාරෝ – කම්මකාරෝ – ලෝහකාරකො
ජංග කාරෝ – චිත්තකාරෝ – සුවණ්ණය අකාරකො

මේ පැමිණ ඇති තවත් ශිල්පීන් ය. වඩුවන් හා වඩු දෙටුවන් ද කඹුරු හා කඹුරු දෙටුවන් ද මේ සමඟ ආ තවත් පිරිසකි. තව ද ජයසිරි මහා බෝධින් වහන්සේට තිර ජවනිකා ගොහොනි ද, රාජ කුමාරයන්ට හැට්ට තොප්පි මහණ අය නැති හෙයින් ස්ත්‍රීන්ට ඔහොරි පෙරවීම හා පුරුෂයින්ට උතුරු සළු පෙරවා, උරමාලා බැඳුම පිණිස සන්නාලි ජ්‍යෙෂ්ඨයකු සමඟ බොහෝ මහන්නන් එවූහ.

ජය මහා දුමින්ද රාජයා සමඟ කුම්භකාර ජ්‍යෙෂ්ඨයා නිල කොට ලක්දිවට අවුත් මහා බෝධියට සැලි තාලි ලිං පැන් කොට දී උපස්ථාන කළේ ය. ශ්‍රී මහා බෝධියට නාද පූජා පැවැත්වීමට ආ පිරිස මෙසේ විස්තර කර ඇත. “ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ සමඟ ආංතොජ්ජ වාද්‍යාකූල ජ්‍යෙෂ්ඨයකු නිල කොට මේ වාද්‍යයන් සමඟ ලක්දිවට ගොස් ජය මහා බෝධියට තුන් වේලේ වාද්‍යකර හෙවත් හේවිසි කරවයි, භේරි වාද්‍ය අමාත්‍යයකු සමඟ ලක්දිවට එවා බෝධි පූජා සමඟ රජ ඇමතීන් ආදීන්ට නෘත්‍ය දක්වා” ආදි වශයෙනි.

ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට උළු ගඩොල් සුණු ආදියෙන් නව මහල් කර්මාන්තයට කිලිංග කුල යැයි කියන ලද හුණු කර්මාන්තය දන්නවුන්ගෙන් නිලමක්කාරයකු හා සමඟ එම හුණු කර්මාන්තය දන්නා සියයක් ද ධර්මාශෝක නරපතින් විසින් දෙවන පෑතිස් භූපාලයන් සමයෙහි එවූහයි පෙනෙයි. බෝධියෙහි ආරක්ෂාව භාර කළේ වැඩිමහල් කුමරු වූ බෝධි ගුප්තට ය. ඔහුට බෝධිය අසලම මාලිගාවක් ද සාදා දෙන ලදී. බෝධිය සමඟ ආ සියලු ම පිරිසගේ භාරකාරත්වය සුමිත්ත කුමරු දැරීය. කාව්‍යශේඛරය මේ සිද්ධිය මෙසේ වර්ණනා කරයි.

 

දම්සෝ නිරිඳු පුත්
මිහිඳු මා හිමි දිය ගොත්
මයිල් වන රිවි ගොත්
සුමිත් කුමරුට මහත් ගුණ යුත්

 

සුමිත්ත කුමාරයාට ජය මහලේ නොහොත් දිය මහලේ නොහොත් ජගති මහලේ පදවිය ද ලබා දී දඹදිව සිට පැමිණි සියලුම පිරිස් ආරක්ෂා කොට රැක බලා ගැනීමේ වගකීම ද භාර දී ඇත. ඒ බව තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් කාව්‍යශේඛර කාව්‍යයේ මෙසේ සඳහන් කරයි.

නමින් ජය මහලේ – තනතුර දෙවන මගුලේ
විජයිඳු රජ කුලේ – දෙවන පෑතිස් නිරිඳු එකලේ
ගත සිව් බරණ සැදි – බලමින් හිස සෙවෙළු බැඳි
කිරුල ද තම පැළඳි – තබා ඔහු මුදුනතෙහි සිරි රැඳි

මෙසේ සුමිත්ත කුමරුට පදවි දෙවා ඔහුට රජතුමාගේ කිරුළ ද පලඳවා මඟුල් ඇතු පිට නංවා බෝ සමිඳුන් අසලට ප්‍රයාණය කළ බව මෙසේ සඳහන් කරයි.

මගුලැතුට නංවා – සේසත් තුනම නංවා
මහත් යස පෙන්වා – නමදවා බෝ වෙතට ගෙන්වා

එපමණක් නොව මගධ දේශයෙහි සඟමිත් තෙරණියගේ විහාරයේ උන් සුමනා දේවිය ගෙන්වා ඇය සුමිත්ත කුමාරයාට සරණ පාවා දුන් බව ද මෙසේ සඳහන් කර ඇත.

යළි මගද රටිනා
සඟමිත් තෙරණි වසනා
වෙහෙර උන් සුමනා
යෙහෙළි මොහුගේ මොහුට දෙමිනා

මහ බෝ රකින ලෙස
සැලසූ බෝ කලක් වැස
එ මහ බෝ අබියස
විසූ කුලයන් මෙලක මුල් බැස

බෝධි ගුප්ත කුමරුගේ පරපුරෙන් පැවත එන අය වන්නෝ බුලංකුලම, නුවර වැව, හුරුල්ල, ලේනව, උලගල්ල ආදින් වන අතර මෙම ලියුම්කරුගේ පතිනිය ද ජයමහලේනා පරපුරෙන් පැවතේ. සම්ප්‍රදාය හා චාරිත්‍රය අනුව මේ පවුල්වලට අයත් නොවූ කිසිවකුට ශ්‍රී මහ බෝධිය උඩට නැඟීමට අවසරයක් නොවීය. අනිකුත් ශිල්පීන් හා කුලවලට අයත් පිරිස නමට මුලින් විහාර නාමය යෙදෙන විහාර ගම් නවයක පදිංචි කර ඇත.

විහාර බුලන්කුලම, විහාර හල්මිල්ලෑව, විහාර මැදවච්චිය ආදි වශයෙනි. බෝධිය හා දන්ත ධාතුව රැගෙන ආ පිරිස් නූතන කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් කීරවැලි පත්තුවේ ද පදිංචි කළ බව ඉතිහාසයේ සඳහන් ය. දේව ගුප්ත කුමාරයාට ලක් මහ රැටිනා නාමය සමඟ චතුර්සිය දනව්ව පවරා ඇත.

එය නූතන හාරිස්පත්තුවයි. ඔහු දුල්වල ගමේ පදිංචිව සිටි බව එහි වූ ලෙන් හතරින් එකක තිබු බ්‍රහ්මී අක්ෂර සහිත පුරාණ ලෙන් ලිපියක සඳහන් ය. බෝධිය සමඟ පැමිණි සිටු කුල වල අය පදිංචි වූයේ වවුනියාවේ සිටුවැව ප්‍රදේශයේ ය. එය නූතන චෙට්ටිකුලම් ය. පැලලුප් නුවර සිට වෙල්ලි දුරයෝ හතර දෙනෙක් ද පැමිණි බව ලෝරී සිය මධ්‍යම පළාතේ ගැසටියර්හි සඳහන් කරයි.

ඔවුන් නම් මිනිවන් වෙල්ලි දුරයා, රන්කොත් වෙල්ලි දුරයා, තෝර දුරයා හා නිඹුල දුරයා ය. මිනිවන් වෙල්ලි දුරයා මාතලේ ලෝලුවල පදිංචි වූ අතර රන්කොත් වෙල්ලි දුරයා මාතලේ සැලගම පදිංචි විය. විහාරගම් නවයකට නායක මහදුරයා තනතුර අදටත් දරණ ටිකිරාගේ කරුණාදාස පවසන්නේ “අපේ පරපුර දේවානම්පියතිස්ස මහ රජ්ජුරුවන්ගේ කාලේ පටන් පැවත එනවා, අපි පැවත එන්නේ වෙල්ලිදුර පරපුරෙන්” (දිනමිණ 2010.08.24)

 

බෝධි රෝපණයෙන් වූ සාමාජීය බලපෑම

ශ්‍රී මහා බෝධිය දඹකොල පටුනෙහි සිට අනුරාධපුර මහ මෙවුනා උයනට රෝපණය සඳහා වැඩම කළේ පෙරහර සහිතව මහත් උත්සව ශ්‍රීයෙනි. ඒ උත්සවයට එදා ලංකාවේ දස දෙසින් ම ප්‍රාදේශීය පාලකයන් සහභාගි විය. බෝධියෙන් පැන නැගි අෂ්ඨ ඵලරුහ බෝධින් පළමුව පළාත් අටකට බෙදා දෙන ලදී.

ඉන් පසුව පැන නැගි දෙතිස් ඵලරුහ බෝධීන් ද විවිධ ප්‍රදේශවල රෝපණය සඳහා බෙදා දීමෙන් බෝධි වන්දනාව සඳහා එකම පිළිවෙතක් අනුගමනය කිරීම සිදු විය. බෙර දවුල් හොරණෑ තම්මැට්ටම් ආදියෙන් අලංකෘත වූ පෙරහර සංස්කෘතියක් ඉන් බිහි විය. විවිධ කලා ශිල්ප එම අවස්ථාව මුල් කොට ගෙන රට තුළ පැතිර ගියේ ය. එයින් රටේ සමගිය හා ඒකීයභාවය තහවුරු විය.

රජතුමාට ද සිය අණසක සෑම ප්‍රදේශයකම පැතිර වීමට මෙය අවස්ථාවක් විය. බෝධිය පිළිබඳව වංශ කථා සාහිත්‍යයක් බිහි විය. බෞද්ධාගම මේ රටේ ස්ථාපිත වීමට ද බෝධියෙහි පැමිණීම මහත් සේ බලපෑවේ ය. කාන්තා පක්ෂයට ඉදිරියට ඒමටත් අධ්‍යාපනය හා බුද්ධියේ වර්ධනයටත් මෙම සිද්ධිය හේතු විය. මෙහෙණි ශාසනය ඇති වීම සහ කාන්තාවන්ට මාර්ග ඵල අවබෝධ කර ගැනීමටත් මෙයින් අවස්ථාව උදා විය.

ඒ සඳහා උචිත සංස්කෘතියක් රට තුළ නිර්මාණය විය. එමෙන්ම ලංකාවේ උතුර දකුණ බටහිර ඇතුළත් සෑම ප්‍රදේශයක ම බෝධි අංකුර රෝපණය කිරීමෙන් එක ම සංස්කෘතියක් රට තුළ ම ව්‍යාප්ත වීමට ඉඩ සැලසුණි. බෝධිය වටා රචිත වංශ කථා සාහිත්‍යයක් බිහි විය. සුළු බෝධි වංශය, එළු බෝධි වංශය, සිංහල බෝධි වංශය ආදිය උදාහරණ ය. ලක්දිව පරිපාලනය විමධ්‍යගත කිරීම පළමු වරට සිදුව ඇත්තේ සිරි මහ බෝ සමිඳුන්ගේ පැමිණීමෙනි. වන්නි කඩඉම් පොත එම සිද්ධිය මෙසේ විස්තර කරයි.

“නමෝ බුද්ධාය ශ්‍රී සතම් ශ්‍රී බෝධි විෂම් ශ්‍රී භූමිය පිහිටි රට රුහුණු මාගම් නුවර මායා රට මැද මහනුවර ගජන භූමිය පඬුවස් නුවරින් කලුගල් පඩියෙන් වලදාන්ට දස්කමට දේවානම්පෑතිස් දෙව් මහ රජ්ජුරුවෝගෙන් ලැබුණා ය.”

මහවන්නියා, මහදුරයා ආදි තනතුරු ඇති කොට බෝධියේ රාජකාරී වතාවත් මෙන්ම ආරක්ෂාව ද තහවුරු කරන ලදී. අනුරාධපුර යුගය බිඳ වැටුණු පසු බෝධිය ආරක්ෂා කොට රැක බලා ගත්තේ ද මෙවැනි නිලයන්වලට පත්වූ අයගේ පිරිස් ය. ආචාර්ය උක්කු බණ්ඩා කරුණාරත්නයන්ගේ ග්‍රන්ථයට අනුව පසුව මෙම ප්‍රදේශය කොටස් දෙකකට බෙදා ඇත.

සූරිය කුමාරසිංහ නැඟෙනහිරට ද උලගල්ලේ තාමර වැව මුදියන්සේ බටහිර කොටසට ද පත් කරන ලදී. මහවන්නියා 1817/18 උඩරට කැරැල්ලේදී හිර භාරයට ගෙන ගාල්ලේ රඳවා තබන ලදී.

ශ්‍රී මහා බෝධියේ නැගෙනහිර වාහල් කඩ සිය පුද්ගලික ධනය යොදා ඉදිකරන ලද්දේ හුරුල්ලේ පරම්පරාව විසින් ය. ඉහතින් සඳහන් කළ අටළොස් කුලයන් හා ශිල්පීන් මේ රටේ ජන ජීවිතයට මෙන්ම සංස්කෘතියට ද කවර බලපෑම් සිදු කරන්නට ඇත්දැයි සිතා ගැනීම අපහසු නොවේ. ඔවුන් අප රටේ පැවැති සමාජයට අනුගත වූවාක් මෙන්ම අප ද ඔවුන්ගෙන් බොහෝ දෑ ලබා ගෙන අපේ සමාජය හා සංස්කෘතිය පොහොසත් කර ඇත.

ශ්‍රී මහා බෝධියට විවිධ ලෙඩ රෝග හා අපල උපද්‍රවවලින් ජනතාව මුදවා ගැනීමේ ආශ්චර්යාත්මක බලයක් සතුව තිබීමේ හේතුවෙන් අපේ සංස්කෘතියට මෙන්ම ජන ජීවිතයට ද බෝධිය සමඟ සදාකාලික ව බැඳුණ සම්බන්ධතාවයක් ගොඩනැඟී ඇත.

අපවත් වී වදාළ හේන්පිටගෙදර ඥානසීහ හිමියන්ට ළදරු කාලයේ සිට ම තිබු ඇස් නොපෙනීමේ රෝගයට විවිධ ප්‍රතිකාර කළත් රෝගය සුව වී පෙනීම ලදුයේ ශ්‍රී මහා බෝධියට කළ පූජාවලින් බව උන් වහන්සේගේ චරිතාපදානයේ සඳහන් ය. අද ද ශ්‍රී මහා බෝධියට භාරහාර ඔප්පු කර සහන ලබා ගන්නා පිරිස් එමට ය. පිරිමි දරුවන් ලබා ගැනීම සඳහා ද එවැනි පුද පූජා කළ බව පහත සඳහන් ජන කවිය කියයි.

 

උදේ ඉඳන් පේවි පේවි තිසා වැවට එඤ්ඤයි
තිසා වැවේ නෙලුම් කොලේ බත් දමාන කඤ්ඤයි
එතන ඉඳන් පේවි පේවි උඩ මළුවට යඤ්ඤයි
උඩ මළුවේ බෝ සමිඳුනි පිරිමි පුතෙක් දෙඤ්ඤයි


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: