Posted by: lrrp | December 20, 2010

‘සමන්කුල’ පිළිබඳ දුර්ලභ සටහන් යෙදූ ගවේෂකයෝ

 

සිරිපා වන්දනා සමය මෙම විසිවැනි සඳු දිනට යෙදෙන උඳුවප් පුර පසළොස්වක් පෝයෙන් ආරම්භ වෙයි. ශ්‍රී පාදය හා සමනළ කන්ද පිළිබඳව සෑම වසරකම සිරිපා සමයේ පුවත්පත්වල පළවන්නේ ප්‍රතිරාජ අමාත්‍ය කෙනෙකු ගැනත්, ශ්‍රී නිශ්ශංකමල්ල රජුගේ ප්‍රදානයන් අඩංගු ශිලාලිපි ගැනත් යනාදී විස්තර පමණකි. පාඨකයා වාර්ෂිකව මේවා කියවා හෙම්බත්වී ඇත.

මෙම ලිපියෙන් කිසිම ලබ්ධියකට බර නොවී අපක්‍ෂපාතීව කරුණු ඉදිරිපත් කෙරෙන්නේ ශ්‍රී පාදය හා සමන්තකුළු පර්වතය පිළිබඳ අප්‍රකට කරුණුය.

මිනිස් වර්ගයා ඉතාම ගෞරවයෙන් යුතුව වදින පුදන ස්ථානයක් ලොවෙහි කොතැනක හෝ වෙත්ද ඒ ‘තැන’ පිළිබඳව කරුණු සොයා ගැනීමට වසර දෙදහසක් තිසේසේ විවිධ භාෂාවලින් ලියැවුණු මහා සාහිත්‍යයක් කියවා බැලිය යුතු යැයි අතිශයෝක්තියෙන් තොරව මේ ‘සමන්ත කූඨය’ පිළිබඳව ‘ජෝන් ස්ටිල්’ සිය ‘වන ප්‍රවාහයෙහි’ (ශ්‍රී ලංකාව) සඳහන් කරයි.

විජය රජු ‘තම්මැන්නාවට’ ගොඩබැසීමට පෙර පවා ක්‍රි:පූ: හයවැනි සියවසෙන් එපිට කාලවකවානුවේදී උතුරු ඉන්දීය නාවිකයන් ඉන්දීය සාගරයේ ගමන් ගනිද්දී ගොඩබිමක් ගැන පරීක්‍ෂා කිරීමට හේතු පාදක කොටගෙන ඇත්තේ මේ සිරිපා ගිරි ශිඛරයයි. ඇතැම් ඓතිහාසික මතයකට අනුව විජය කුමරුන් පවා මෙම දිවයිනට අහම්බෙන් පැමිණියා නොව යටකී ඉන්දීය නාවිකයින්ගෙන් ලබාගත් තොරතුරු අනුව අපේ මේ ‘තාම්බුපණ්ණියට’ පැමිණ ඇත.

මෙම මතය එක් අතකින් පිළිගැනීමට ඉවහල්වන කරුණු වශයෙන් ඇත්තේ විජය කුමරු පිටුවහල් කරන ලද ‘ලාට’ රට ඉන්දියන් අර්ධද්වීපයෙන් නැගෙනහිරට වන්නට පිහිටි නිසාය. ‘බෙංගාල බොක්ක’ හරහා ඊසානදිග මෝසම් සුලඟ ප්‍රයෝජනයට ගෙන තම රුවල් නෞකාව ‘තාම්බුපණ්ණියෙන්’ පහල මුහුදේ හසුරුවමින්, නිරිතදිග මෝසම් සමයේදී (මැයි – සැප්) තථාගතයන්වහන්සේගේ වෙසක් දින මහා පරිනිව¢ාණය සිදු වූ දිනයේම අපේ ‘මුතුන් මිත්තාවිජය මෙරටට පා තබන්නට ඇතැයි අනුමාන කළ හැකිය. රුවල් නාවික ගමනාගමනයට බොහෝ කල් ගතවන්නේ සුළං ප්‍රවාහයෙන් ප්‍රයෝජනය ගතයුතු බැවිනි.

මහාවංශයෙහි මුල් පරිච්ඡේදයන්හි ‘සුමන – කූඨ’ යනුවෙන් සමනල කන්ද හඳුන්වා තිබේ.

හින්දූන් එය ‘දිව්‍යලෝකයට යන මග ලෙසින් ‘ස්වර්ගාරෝහණම්’ නමින් හඳුන්වා තිබේ. චීන්නු හත්වැනි සියවසේදී පමණ එය ‘ලංකා කන්ද’ යනුවෙන් නම් කොට තිබේ. පැරණි සංස්කෘත කෘතීන්වල එය ‘රෝහණ කන්ද’ නමින් සටහන්කොට ඇත. නවවැනි සියවසේදී පමණ ‘සුලෙයිමාන්’ නමැති ගවේෂකයා සමනල කන්ද හඳුන්වා ඇත්තේ ‘අල් රෝහවුන්’ ව්‍යවහාර කර තිබෙන බව මහාචාර්ය පරණවිතාන ශූරීහු පවසති. තවදුරටත් මහාචාර්යවරයා පවසන්නේ ‘අගස්ති’ ඍෂීන්ගේ (පොලොන්නරුවේ පරාක්‍රමබාහු රුවද ඇතැම් මතයකට අනුව මෙම ඍර්ෂීන්ගේය) වාසස්ථානයද මෙම සමනල කඳු පෙදෙසෙහිවූ බවය. හින්දුහු ‘ශිව‘ දෙවියන්ට නොව මෙම සෘෂිවරයාට මෙම පෙදෙස කැපකර තිබේ.

මේ සියලුම මතවලට වඩා හාත්පසින්ම වෙනස් මතයක් ඉදිරිපත් කරන්නේ සර් එමර්සන් ටෙනන්ට්ය. ඔහු පවසන්නේ ඉතා පුරාණයේ මෙය ‘සල් මාල’ නමින් හැඳින්වුණු බවය. ලක්දිව සකු බසින් ‘සාල’ වූ බවත්, ‘සිලෝන්’ යනුවෙන් හැඳින්වූ එකල මෙරට, ක්ලෝඩියස් ටොලමි විසින් එකී නාමය අනුව ‘සැලිස්’ දූපත යනු වෙන්ද එහි වැසියන් ‘සැලෝ’ නින් ද ටොලමි හඳුන්වා ඇත. පසු කලෙක එය ‘සිලෝන්’ වන්නට ඇත.

’දෙවියන්ගේ කුමාරයා’ යැයි මහාවංශයේ පළමුවන පරිච්ඡේදයේ හඳුන්වනු ලබන ‘සුමණකූඨයෙහි’, ‘මහාසුමණ’ තථාගතයන්වහන්සේගෙන් තමන්ට වඳීන්ට, පුදන්ට යමක් ඉල්ලා තිබේ. සිය වම් සිරිපා ලකුණ නීල මාණික්‍යයක ඔබ්බවා තබන ලද්දේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. මෙම නීල මාණික්‍යය’ සුමණදේවයන් විසින් එහි ආරක්‍ෂාව පතා ගල් කුලකින් වසා දැමූ බව ජනප්‍රවාදයෙහි එයි.

එම ගල් කුලමත අදින ලද පා සලකුණටය අද බැතිමතුන් නැමදින්නේ. මෙම නීල මාණික්‍යය පිළිබඳ කතා පුවත සනාථ කරනුවස් නවසිය තිස්, හතලිස් ගණන්වලදී එවකට ශ්‍රී පාදය භාරව සිටි ගිහි භාරකරු වන සිඩ්නි එල්ලාවල (නන්ද එල්ලාවල මැතිතුමාගේ පියා) මහතා වරක් සිරිපා මළුවේ කිසියම් අලුත් කිරීමකට ‘අත ගසද්දී’ යටකී ගල්කුල තුලින් (සිදුරුවලින්) මතුවී ආ කළුදෙබරුන් විශේෂයක් එතුමාට දෂ්ඨ කරන ලදැයි කියැවේ (සපරගමු දර්ශන – රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල හිමි) එකී දෙබරුන් පැමිණ සිදුරුතුලින් ඇතුළට එබිකම්කර බලද්දී එකී නීල මාණික්‍යය දිදුලමින් පැවැති බව එතුමෝ වාර්තාකර ඇත.

ක්‍රි:පූ: දෙවැනි සියවසේදී – එනම් දුටුගැමුණු රාජ සමයේ මෙම සමන්කුඨ පෙදෙස සංඝයාගේ වාසස්ථානයක් වූ බැව් සටහන් වී තිබේ. මෙය ඇතැම්විට සිරිපා කඳු බෑවුමේ රත්නපුර පෙදෙසට වන්නට පිහිටි ‘පලාබත්ගල ආරණ්‍ය සේනාසනයේ විය හැක. එකල එහි මලියදේව මහරහතුන්වහන්සේ පවා වැඩ සිටි බවට ජනවහර කියයි. දුටුගැමුණු රාජ සමයේ සිට පළමුවැනි විජයබාහු රාජසමය තෙක් ශ්‍රී පාදය ගැන කිසිත් අසන්නට නොලැබීම පුදුමයකි. අභාග්‍යයකි. මහාචාර්ය පරණවිතාන ශූරීන් පවසන්නේ(THE GOD OF ADAM’S PEAK)එකොලොස්වැනි සියවසින් එපිට කිසිදු ශිලා ලේඛනයක් එතුමාට ශ්‍රී ලංකාව තුළ ශ්‍රී පාදය පිළිබඳව හමුනොවූ බවයි.

එහෙත්, සිරිපා මළුවෙන් පහල පිහිටි ‘භගවාලෙන’ නමින් හැඳින්වෙන ගල් ගුහාවේ බ්‍රහ්මී අක්‍ෂරවලින් කොටන ලද වාක්‍ය ඛණ්ඩ අපවත්වී වදාල රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඥාණවිමල නාහිමිපාණන්ට දකින්නට ලැබී, උන්වහන්සේ ඒවා පිටපත්කොට සිය ‘සපරගමු දර්ශන’ පොතට ඇතුලත් කොට ඇත.

දෙවැනි පරාක්‍රමබාහු රජු විසින් ශ්‍රී පාදයේ නඩත්තුව හා පැවැත්ම උදෙසා සමනල පෙදෙස අවට සැතපුම් 20 ක පමණ මුළු ප්‍රදේශයම පූජා කොට තිබේ.

පසලොස්වැනි සියවසේදී මහනුවර, සෙංකඩගල රාජධානිය කළ රජෙකු විසින් රියන් පසලොසක වටප්‍රමාණය හා රියන් පහක් උසකින් යුත්, දැවැන්ත පිත්තල පහනකට පොල්තෙල් ‘බරණී’ සියයක් පුරවා පූජා කළ බවත්, අඹගමුව මාර්ගයේ (ගිනිගත්හේන) පියගැටපෙලවල් 780 ක් තැනවූ බවත්, සඳහන්වේ.

අද සදුන් සමන්දේව ප්‍රතිමාව ශ්‍රී පාද මළුවේ දෙවොලෙහි තැන්පත් කිරීම සඳහා (හයමාසයක්) වඩමවනු ලබන්නේ පැල් මඩුල්ලේ ‘කුට්ටාපිටිය’ නමැති ‘ගල්පෝතෑවෙල’ නම් ගම් විහාරස්ථානයේ සිටය. මෙම ‘කූට්ටාපිටිය’ ගම ශ්‍රී පාදස්ථානයට පූජා කරන ලද්දේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසිනි. ගල්පොත්තාවෙල වෙල් යායෙහි වටිනා මැණික් ලැබේ. එ සිරිපා සමයටය. රත්නපුර මැණික්පතල්කරුවන් ද පතල්වලින් මැණික් ලැබීම පිණිස “බලාසිටින්නේ” දොළොස්මහේ පහන දල්වන තෙක්ය.

හින්දුන්ගේ මතය අනුව ‘ශිව‘ දෙවියන් සිය ‘විශ්ව නැටුම’(Cosmic Dance)තනි පාදයක සිට නටන්නේ සිරිපා කදු ශිඛරය මත හිටගෙනය. මහමදිකයන් සිතා සිටින්නේ ‘ආදම්’ ගේ පාද ලාඤ්ඡනය එය බවයි. පැරැණි කිතුණු ලබ්ධිකයන්ගේ විශ්වාසයවී තිබෙන්නේ ඉන්දියාවට සම්බන්ධ දෙවි කෙනෙකු වන ශාන්ත තෝමස්ගේ පාද ලාඤ්චනය එය බවයි. ‘මෝසස්’ ප්‍රකාශකොට ඇත්තේ එය යක්‍ෂයාගේ පාද ලාඤ්චනය බවයි. කිනම් ලබ්ධිකයින් හෝ කුමන දේ කීවත්, විශ්වාස කළත්, අප වැනි බෞද්ධයිනට එය ගෞතම බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී පාද ලාඤ්චනයය. ක්‍රි:ව: 1284 දී ‘මාකෝ පෝලෝ’ සිරිපා නැගීමට පැමිණ ඇත්තේ වර්තමානයේ මෙන් නිදන් හොරකම් කරගෙන යාමට බව කියැවේ. ඔහුට එය කරගන්නට හැකිවීදැයි නොදනිමු.

මැද පෙරදිග ‘ෂිරාස්’ හි පිහිටි ‘ඉමාම් අබ්දුල් අල්ලාගේ’ (මියගියෙ ක්‍රි:ව: 942) සොහොන ලඟට ගිය ‘ඉබන් බටූටා’ ට ‘කර්‍ණමුණ්ඩයෙන්’ යමෙකු (ඉමාම් විය හැක) පවසා ඇත්තේ ලංකාවේ ශ්‍රී පාදය වැඳීමට යන ලෙසයි. ඒ අනුව ඔහු ‘මාකෝ පෝලෝ’ මෙන් නිදහන් හොරකමට නොගොස් ‘ඉමාම්ගේ’ කීම පරිදි සිරිපා වන්දනය කොට ඇත.

බුද්ධගයාවෙහි ඇති එක්තරා ශිලා ලේඛනයක සඳහන් වන්නේ ‘ලංකා ශිඛරය’ පාමුල පිහිටා ඇති සංඝයාවහන්සේටම වෙන්වූ ශ්‍රවණාරාමයක ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වූ බවයි. උතුරු ඉන්දියානුවන් විසින් (මධ්‍යදේශය විය හැක) ශ්‍රී පාදය ඉතා උතුම්කොට සලකා තිබෙන බවත්, එහි සඳහන්වේ. ඉහත කී ශ්‍රමණාරාමය පලාබද්දල පිහිටි ප්‍රතිරාජ පිරිවෙනවීමට අවකාශ තිබේ.

ඉහත තැනක අප විසින්ද දක්වන ලද ශාන්ත තෝමස් මුනිඳුන්ගේ යැයි ඇතැමුන් සලකන සිරිපා අනුරුව තැබූ එම ශාන්ත තෝමස් මුනිදුන්ම කොළඹ, එක්තරා ‘ගල් කොරියානු’ (ආමර් වීදිය විය හැක) සිය දණහිසේ ලාඤ්චනය තබා ගිය සලකුණක් පවතින බව කියති.

ජෝන් ස්ටිල් සිය ‘වන ප්‍රවාහයෙ’ (JUNGLE TIDE)සුරංගනා කතාවක් බදු ලස්සණ “කෙටි කතාවක්” මෙසේ ඉදිරිපත් කරනු ලබයි. එනම්, ශ්‍රී පාද වන්දනා සමයයේදී එක්තරා සිංහල පවුලක් ‘මහගිරි දඹේ’ නගිද්දී හමා ආ කුණාටුවකට හසුව, එවුන් එල්ලී සිටි දම්වැල් සුළඟට කැඩී ගොස් පහත ප්‍රපාතයට වැටී ඇත. එකී පවුලේ ශක්තිමත්ම මිනිසා එම දම්වැලේම එල්ලී සිරිපා හිමේ ගස්වැල් මතින් පැන පැන ගොස් අතුරුදහන්වී ඇත. තම ඥාතීන්ට අත්වූ මෙම ඉරණම පහත සිටි ඔවුන්ගේ සෙසු ඥාති ජනයා විසින් දැක තිබේ’ යැයි ජෝන් ස්ටිල් පවසයි.

පෘතුගීසි සමයේ විමලධර්මසූරිය රජුගේ බිසව දෝන කැතරිනා සිය සැමියාගේ සොවින් සිරිපා වන පියසෙහි තපස් රකිමින් කාලයගත කළ බවට වාර්තා වී තිබේ. මෙ සිද්ධිය වෙනත් තැනක දැක්වෙන්නේ ඇය (දෝන කැතරිනා) සීතා එළියෙහි වනගතව සිටි බවයි. වත්මන් ශ්‍රී පාද රක්‍ෂිතයට යාබදව ‘සීතා එළිය’ පිහිටා තිබේ.

’රුබෙසිරෝ’ ඇතුළු විදේශීය ලේඛකයින් කීපදෙනකුම සඳහන් කර ඇති විස්මයජනක වූ කතාවක් නම් සමනල කන්ද මුදුනේ ඇති ‘විලකින්’ හෝ ජලාශයකින් ගංගා තුනක් පහළට ගලා යන බවයි. මෙය කිසිසේත්ම පිළිගත නොහැක්කකි. සිරිපා ගිරි ශිඛරය මත මහ සමන් දේවාලය හා සිරිපා ලාඤ්චනයද, වෙනත් ගොඩනැගිලි කීපයක්ද පිහිටා තිබෙනු එහි යන – එන වන්දනාකරුවෝ දනිති. මෙය කෙලෙස උපන් කතාවක්දැයි සිතාගත නොහේ.

දුටුගැමුණු රජතුමා සිය මරණ මඤ්චකයේදී පිංපොත කියවන අවස්ථාවේ තමා විසින් ‘සුමණකූඨය” පාමුල පිහිටි තැනක බවුන් වඩමින් සිටි භික්‍ෂූන් නවසියයකට දානයක් පිරිනැමූ අවස්ථාවක් ගැන සඳහන් විය.

රත්නපුර දිසාපති පදවිය හෙබවූ සුදු ජාතිකයින් රාශියක්ම සෑම වසරක් පාසාම සිරිපා ගමන් මාර්ග පරීක්‍ෂා කිරීම පිණිස ගොස් තිබෙනු ඔවුන්ගේ දෛනික දින පොත්වල සටහන්කර තිබෙනු දක්නට ලැබේ.

සිරිපා කඳු මුදුනට අලින්ට යා හැකි යැයි ඔබ විශ්වාස කරන්නේද? බ්‍රිතාන්‍ය පාලන සමයේ, ක්‍රි:ව: 1840 දී මේජර් ස්කිනර් සිරිපා කඳු මුදුනට නැංග අවස්ථාවේදී එම කඳු මුදුනේ ‘අලිබෙට්ටක්’ දුටු බව වාර්තාකොට ඇත. මේ සමන් දෙවිඳුන්ගේ සුදු ඇතාගේ වසුරුද? මහගිරිදඹේ යකඩ දම්වැල් සවිකිරීම ඇතුළු අභිරහස් රාශියකින් යුත් සමනල කන්ද තිරහත් කාලයක් යෙහෙන් වැජඹෙනවා ඇත.


Responses

  1. මහගිරිදඹේ යකඩ දම්වැල් සවිකිරීම අභිරහසක් වන්නේ මන්ද?


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: