Posted by: lrrp | January 7, 2011

අපට ඉන්න එකම දුව බේරාගන්න ඕනෑ

මේ කොළඹ දිස්ත්‍රික්කයේ එක්තරා ගමක මෑත දී අනාවරණය වූ සිද්ධියකි. රජයට සම්බන්ධ රැකියාවල නියුතු අඹු සැමි යුවළක් හා සත් හැවිරිදි දියිණියක් එහි විසූහ. මේ පවුලේ තරුණ බිරිය නෙළුම් ය.

ස්වාමියා ජයලත් නම් වීය. මීට කලින් මෙයින් සැතපුම් දහයක් පමණ ඈතින් වූ මහ ගෙදර පදිංචිව සිටි මේ උදවිය අලුත් නිවසක් සාදා ගෙන නගරය සමීපයට ආවේ ගමනාගමන හා නාගරික පහසුකම් පමණක් නොව දියණිය ගේ අධ්‍යාපන පහසුකම් ද සලකා ගෙන ය.

හිටි හැටියේ ම දැරිය පාසල් යෑමට අකමැති වූවාය. පවුලේ එක ම දරුවා ලෙස හුරතලයට ලක්ව සිටි දියණිය කෙරෙන් නපුරු ගති ඉස්මතු වෙන්නට පටන් ගැනුණි. සවස ඇඳිරි වැටෙනවාත් සමඟ ඇය තව තවත් රෞද්‍ර වූවාය. පිහියක් හෝ මන්නයක් රැගෙන “කපලා මරණවා” යැයි පියාට තර්ජනය කරමින් පහර දෙන්නට උත්සාහ කළාය. එවැනි අවස්ථාවල පියා දියණිය මඟහැර ආරක්ෂා වූයේය. දියණියගේ මේ හදිසි වෙනස පිළිබඳ සැලකිලිමත් වූ මව් පියෝ විවිධ ප්‍රතිකර්ම සිදු කළත් සහනයක් නම් නොවුණි.

බෞද්ධ පිළිවෙත් නියම කොට රෝගියා සහ පවුලේ අය ප්‍රතිපත්ති මත පිහිටුවා ඔවුන් ලවා ම පිරිත්, බෝධි පූජා වැනි පිළිවෙත් කරවා සුවය ලබා දෙන ස්ථානයකට ඔවුහු දියණිය සමඟ ගියහ. මේ ස්ථානයේ ප්‍රධානියා ඉතා ප්‍රතිපත්ති ගරුක වූ අතර නොමිලයේ පිළිවෙත් නියම කළහ. ඒ අතර මාධ්‍ය මඟින් ද ප්‍රසිද්ධියක් ලබා සිටියේය. මේ වන විට ප්‍රසිද්ධිය නිසා එහි කාර්ය බහුල ව පැවති අතර දෙවැන්නෙක් ද ඊට සම්බන්ධව සිටියේය.

මේ දෙවැන්නා සම්බන්ධ වූ තැන් පටන් නොමිලේ පිළිවෙත් කිරීම වෙනුවට අනිවාර්යයෙන් ම රුපියල් දහසක් (1000) මුදලක් බුලත් හුරුළු සමඟ තැබිය යුතු බවට නියම කැර තිබුණි. කාලයේ හැටියට පවතින වියදම් තත්ත්වයන් ද අනුව එය එතරම් බරක් ලෙස බොහෝ දෙනෙකුට නොදැනුණි. මේ දෙවැන්නාට ද යම් කිසි ගුප්ත බලයක් තිබුණි.

නෙළුම් ගේ දියණියට පිළිවෙත් නියම කිරීම ප්‍රධානියා දෙවැන්නාට පැවරුවේ ය. නෙළුම් දියණිය රැගෙන දෙවැන්නා වෙත ගියා ය. දෙවැන්නා දැරිය පරීක්ෂා කොට ඇයට මිය ගිය ඥාතියකුගේ භූතාත්ම බලපෑමක් ඇතැයි ද එය ඉවත් කොට දැරිය සුවපත් කිරීමට නම් රුපියල් ලක්ෂ පහක ගාස්තුවක් ගෙවන ලෙස දැන්වීය. නෙළුම්ටත් සැමියාටත් හීන් දාඩිය දැම්මේ ය.

දෙය්යනේ! අපි දෙන්නාම රස්සාවෙන් ලැබෙන වැටුපෙන් ජීවත් වෙන්නේ. ගේ හදන්න ගත්ත ණය පඩියෙන් කැපෙනවා. ණයක් ගන්නත් බැහැ. ණයක් ගන්නත් ගෙවන්න වෙනත් ආදායමකුත් නැහැ. ඒත් දුව බේරා ගන්නත් ඕනැ. අපට ඉන්න එක ම දරුවා. මේ අඹු සැමි යුවළ දෙලොවක් අතර ගැටලන්නට වූහ.

මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ තම තමන් කළ පූර්ව කර්මයන් ගේ විපාක අනුවයි. ඒ කර්ම වෙනත් කාටවත් ගෙවන්න බැහැ. තමන් ම ගෙවන්න ඕනෑ. ඒක තමයි මේ වගේ ලෙඩ දුක් කරදර භූත දෝෂ වැළඳෙන්නේ. ඒවා තමන් ම විඳවන්න ඕනෑ. එහෙම විඳවන්න අමාරු නම් දුක් මහන්සි වී උපයන මුදලින් හරි ගෙවන්න ඕනෑ. නැතුව දරුවා සුවපත් කරන්න බැහැ” යි දෙවැන්නා කීය.

“හොඳයි, අපි ගිහින් මොනවා හරි යොදා ගෙන එන්නම්” යැයි ඔවුන් දෙදෙනා දැරිය සමඟ ආපසු පිටත් වූහ. මග දිගට ද සාකච්ඡා කළහ. අනෙ! අපි කොහොමද ඒ තරම් මුදලක් හොයන්නේ. එහෙම කරන්න නම් අපි ගේ විකුණගන්න ඕනෑ. ඒත් නිවාස ණය ගෙවනකම් ඒක කරන්නත් බෑ. කොහොම වුණත් දුව බේරා ගන්නත් ඕනෑ.”

පසු දා නෙළුම් ගේ සැමියා රැකියාවට ගියේ මේ බර ද හිස පිට තබා ගෙන ය. ඒ බව ඔහු දෙස බැලු ඕනෑම කෙනෙකුට ඔහු ගේ මුහුණෙන් ම ප්‍රදර්ශනය විය. ඔහුගේ මේ බරපතළ ප්‍රශ්නය කාර්යාලයේ හිතවතුන් සමඟ ද කීවේය. මේ කතාව ජනාධිපති ලේකම් වරයෙකුගේ කණට ද ගියේය. ඔහු දන්නා හඳුනන දකුණු පළාතේ ගුප්ත විද්‍යාධරයකු අමතා මේ දැරිය ගේ ප්‍රශ්නයට උදව් කරන්නැ යි කීවේය.

නෙළුම් හා සැමියා දකුණේ ගුප්ත විද්‍යා ධරයා සමඟ සාකච්ඡා කළහ. එයින් බැස ගත් තීරණයට අනුව අවශ්‍ය පිළිවෙත් ඉටු කරන්නට නෙළුම් සැමියා සහ දියණිය කොළඹ සිට කුලී වෑන් රථයකින් දකුණේ ඇදුරු තුමා වෙත ගොස් ඔහු සමඟ කතරගමට ගියහ. කතරගම දී සියලු වත් පිළිවෙත් ඉටු කැරිණි. දැරිය සුවපත් වූවා ය. ඇදුරු තුමා ගේ ගාස්තුවත්, අවශ්‍ය වූ කළමනා ද්‍රව්‍යවලටත් කොළඹ සිට කතරගම ගොස් ආපසු පැමිණිමට වාහන කුලියත්, නවාතැන් හා වෙනත් වියදම් සියල්ලටත් වැය වූයේ රුපියල් එකොළොස් දහසක් පමණි.

දැන් මේ පවුලේ අය සැනසුම් සුසුම් හෙළා සතුටින් කල් ගෙවති. පියවි ඇසින් ඔබ්බට මෙවැනි දේවල් සිදුවන්නේ කෙසේ දැයි විමසා බැලිය යුතුය.

පසු ගිය කාලයේ මුළු රටේ ම උදවිය බෝධියක් වන්දනා කරන්නට සතර දිග් භාගයේ සිට වැළ නොකැඩී ගියහ. අද කිසිවෙකු එහි යන්නේ නැත. ඒ බෝධීන් වහන්සේ පිහිටි විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ ඉතා ම සිල්වත් ය. ආධ්‍යාත්මීය ශක්තියක් ගොඩ නැඟී තිබුණි.

උන් වහන්සේ බෝධි පූජා පවත්වා ආශීර්වාද කළ විට බොහෝ දෙනෙක් සුවපත් වූහ. එසේ සුවපත් වූවන් ගේ කටින් කට ගොස් මේ බෝධි පූජාව අවට ගම්වල ද ප්‍රසිද්ධ විය. දුකට පත් වූවෝ බෝධි පූජාවට පැමිණියහ. කිසිදු මුදලක් අය කළේ නැත. පිරිස වැඩි වන විට ඒ ස්වාමින් වහන්සේ එහි පැමිණෙන අයට “සීනි කාලක් හා තේ අවුන්සයක්” ගෙන එන ලෙස දැන් වූහ.

ඒ ඔවුන්ට ම තේ දීම සඳහා ය. අපේ වැඩි වැඩකාරයෝ තේ පෙට්ටි ගණන්, සීනි මිටි ගණන් ගෙන ගියහ. පිරිස වැඩි වන විට සංවිධායකයෝ පත් වූහ. වෙළෙඳ සල්, පටන් ගත්හ. මෙසේ එන පිරිස් අතර කෙනෙක් බෝධි වෘක්ෂයේ අත්තක් ගැළවුණු තැනක ගැටයක සොබාවික සටහනක් දැක “අන්න බෝධීන් වහන්සේ ගේ කඳේ මිනිස් රූපයක්” යැයි කීහ.

එය ඇසූ ඇතැම් අය ද “ඔව්! ඔව් අර අර සාදු සාදු” යි සාදු කාර දුන්හ. මේ පුවත රට පුරා පැතිරිණ. මේ ආශ්චර්යය බලන්නට මුළු රට පුරාම ජනතාව වාහනවලින් දිනපතා වැළ නොකැඩී ඇදී ආහ. මේ මහජන බලවේගය හා සංවිධායකයන්ගේ වැඩ අස්සේ අර අහිංසක හාමුදුරුවෝ නිහඬ වූහ.

යම් කිසි ආධ්‍යාත්මීය ශක්තියක් ගොඩ නගා ගත් කෙනෙකුට වුව ද රෝගීන් සුවපත් කිරීමේ සීමාවක් ඇත. එය ඉක්ම ගිය විට සියල්ල අසාර්ථක වේ. කෙනෙකු සුවපත් කරනවා වාගේ ම, සුවපත් කරන පුද්ගලයා ද නැවත සිය ආධ්‍යාත්මීය ශක්තිය වර්ධනය කැර ගත යුතුය. නිදහසේ භාවනා කැර ගත යුතුය. එසේ නොවන විට ආශීර්වාද ශක්තිය පිරිහේ. එසේ නොවේ නම් සම්මා සම්බුදු පියාණන්ට සියල් සතුන්ට නිවන් දක්වන්නට තිබුණි.

ශාක්‍ය විඩුඩහ යුද්ධය නතර කරන්නට තිබුණි. භික්ෂු අසමගියේ දී පාරිලෙය්‍ය වනයට නොගොස් පාලනය කරන්නට තිබුණි. කොයි දේකත් සීමාවක් තිබිය යුතු ය. ජනපි‍්‍රය වන විට පිරිස වැඩි වේ. පිරිස වැඩි වන විට කාර්ය බහුල වේ. කාර්ය බහුල වන විට ආධ්‍යාත්මීය ශක්තිය පිරිහේ.

එසේ ම පිරිස් බහුල වන විට, ධනවතුන් බලවතුන් එන විට ලොකු ලොකු පරිත්‍යාග ලැබේ.

තණ්හාව අවදි වෙයි. ජනපි‍්‍රය වන විට මානය ද හිස ඔසවයි. ඕනෑම වැඩක් බාර ගනී. කරන්නට බැරි දෙයක් නැතැ යි අඟවති. සංවිධායක පිරිස සැලසුම් හදති. අහිංසක හාමුදුරුවෝ උපේක්ෂාවෙන් නිහඬ ව ඉවසති. ආධ්‍යාත්මීය ශක්ති වර්ධනයට ඉඩකඩ විවේකය අහිමි වීමෙන් ප්‍රතිඵල හීන වේ. පිරිහේ. අන්තිමට දැන් කිසිවකු එහි යන්නේ නැත.

පිරිත් පැන් මඟින් සුවපත් කිරීම ද ආධ්‍යාත්මීය ශක්තිය අනුව ආශීර්වාදයක් විය. පිරිස වැඩි වෙන විට සංවිධායකයෝ බව්සර් ගණනින් පිරිත් පැන් බෙදූහ. එහි දී ස්වාමීන් වහන්සේ ශීල – භාවනා ශක්තියෙන් ගොඩ නගා ගත් ආධ්‍යාත්මීය ශක්තිය අභිබවා කාර්ය බහුලත්වය නැගී සිටියේ ය. ප්‍රමාණය ඉක්මවා ගියේ ය.

මෙසේ රට පුරා අපේ ගවේෂණවලට ලක් වූ බොහෝ තැන් පවා මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ වන විට, සතර දිග් භාගයෙන් පිරිස් පැමිණෙන විට, කාර්ය බහුල වන විට සියල්ල අවුල් වී යයි. ඒ වරදක් නොවේ. සොබාවයයි. මේ අතර කිසිවෙකු නොසිතන දෙයක් ද සිදු වේ. එනම් මේ සෑම රෝගියෙකුට ම පාහේ කිට්ටු වී සිටින භූ®ත බලවේග මේ පිළිවෙත් මඟින් ඉවත් කරන විට භූතයෝ විරුද්ධ වෙති.

භූතයෙකු කෙනෙකුගේ ඇඟට වැහෙන්නේ ඔහු කෙරෙහි ඇති ඇලීමක් හෝ ගැටීමක් නිසාය. ඒ භූතයා එතැන් පටන් යැපෙන්නේ රෝගියා ගේ ශරීරයෙනි. ඒ පේ‍්‍රතයා ශරීරයෙන් ඉවත් කරනවා කියන්නේ අනාථ කිරීමකි. පේ‍්‍රතයාට ආහාර අහිමි කිරීමකි. ඔවුහු කෝප වෙති. මෙසේ විරුද්ධ වන භූ®ත බලවේග ද මේ ජනපි‍්‍රය පිළිවෙත් කරන ස්ථානවලට එරෙහි කටයුතු කරති. මිනිසුන්ට එපා කරවන්නට මොකක් හෝ අවුලක් ඇති කරවති. අප්‍රසාදයට පත් කරවන දෙයක් ඇති කරවති.

නෙළුම් ගේ දියණියට සිදුව තිබුණේ මෙයයි. දැරිය ගේ පියා ගේ මව සිටියේ මහ ගෙදරය. දැරිය මව් පියන් සමඟ සිටියේ ද මහ ගෙදර මය. දැරිය උපදින්නට පෙර එනම් නෙළුම් ගැබ් ගත් අවස්ථාවේ සැමියා ගේ මව මහත් සතුටින් ආශීර්වාද කළාය. මේ අතර ඒ මවට පිළිකාවක් වැළඳිණි. නෙළුම් සැමියා සමඟ මවට ආදරයෙන් සාත්තු සාප්පායම් කළහ.

මේ අතර නෙළුම් දියණිය ප්‍රසූත කළාය. රෝගීව සිටි මෑණියෝ මේ සිඟිති දියණියට ආදරය කළාය. මෑණියෝ රෝගයෙන් මිය ගියාය. ටික කලකින් අඹු සැමි යුවල නාගරිකව නිවසක් සාදාගෙන එහි පදිංචියට ආ අතර මහ ගෙදර පාළුවට පැවතුණි. මිය ගිය මවගේ භූතාත්මය කෝප වූවාය. පදිංචිය වෙනස් කර මහ ගෙදර පාළුවට හැරීම ගැන පුතාට විරුද්ධ වූවාය.

තමන් ආදරය කළ දියණියගේ ශරීරයට වරින් වර ආවිශ්ටව ප්‍රති ක්‍රියා කරන්නට වූවාය. දැරියට පාසල් ගමන එපා විය. සවසට පියා සමඟ තරහක් හට ගන්නට විය. අවසානයේ මවගේ භූතාත්මයට කරුණු වටහා දී පින් පෙත් දී කතරගම පුණ්‍ය භූමියට පමුණුවා සිත පිනට දහමට යොමු කළහ. එයින් දැරිය සුවපත් වූවාය.

දැන් අපි රට පුරා පවතින ආධ්‍යාත්මීය ප්‍රතිකාර මධ්‍යස්ථාන ටික කලකින් පිරිහෙන්නට හේතු විමසා බලමු. මෙහි දී යෝගියා හෝ ස්වාමීන් වහන්සේ හෝ ගුප්ත විද්‍යාධරයා හෝ ඇදුරා හෝ වේවා අපි “යෝගියා” නමින් හඳුන්වමු.

යෝගියා බාහිර ලෞකික දෙයින් බොහෝ දුරට ඈත් වී සද්ධා – සීල – සති – සමාධි ක්‍රමයෙන් හෝ මන්ත්‍ර දැවීමෙන් හෝ ආධ්‍යාත්මීය (ගුප්ත) ශක්තියක් ගොඩ නගා ගනී.

මෙයින් බොහෝ දෙනෙකුට තමන් ගේ මළගිය ඥාතියකුගේ සහය ද ලැබේ. ඒ ඉෂ්ට දේවතාවා ද විය හැකිය. මේ මළගිය ඥාති භූතයාට අවශ්‍ය මොහු ශක්තිමත් කැර දන් පින් කරවා තමන් සිටින තත්ත්වයෙන් තවත් ඉහළට යෑමට ය. ඒ සඳහා යෝගියාට ආර්ථික ලාභ ලැබෙන ලෙස ද කටයුතු කරයි. මෙය සීමා සහිත කාලයකි. භූතාත්මය ඉහළට ගිය විට තත්ත්වය වෙනස් වේ.

එවිට එතැන සිටි වෙනත් භූතයකු සම්බන්ධ වේ. ඒ භූතයාගේ අදහස් බලාපොරොත්තු වෙනස් විය හැකිය. මීට අමතරව යෝගියා ලාබ ලෝබවලට ගැති වන විට උදව් කරන භූතාත්මය කෝප වී වැඩ අවුල් කරන්නට ද පුළුවන.

ඒ සඳහා මුදල හෝ ස්ත්‍රීන් සාධක වීම බොහෝ විට දැකිය හැකි ය. යෝගියාට සද්ධා – සීල – සති – සමාධි වඩන්නට කාලය, ඉඩකඩ – විවේකය නොලැබී ඔහු ලෞකිකත්වය තුළ අතරමං වේ.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: