Posted by: lrrp | January 10, 2011

මේ අය දීලා කාලා පුරුදු අය නොවේ

අපේ පියවි ඇසට නොපෙනෙන බොහෝ දේවල් මේ විශ්වය තුළ සිදුවෙමින් පවතී. ඒ සිදුවීම් කෙසේ සිදුවේ දැයි මිනිස් සිතට සිතා ගන්නට බැරි තරම් වේ. කෙසේ නමුත් මිනිස් සිත පිළිබඳ විද්‍යාඥයන්ට තවමත් සොයා ගන්නට නොහැකිව ඇතත් “මිනිස් සිත” ප්‍රබල ශක්තියක් බව වටහා ගෙන ඇත. මිනිස් සිත ශක්ති ගැන්වීමෙන් යකඩ හැඳි නවන්නට පුළුවන් බව ඔප්පු කොට ඇත. ක්‍රියාත්මක වන යන්ත්‍ර සූත්‍ර නතර කරවන්නටත් අක්‍රීය යන්ත්‍ර සූත්‍ර පණ ගන්වන්නටත් හැකි බව සනාථ වී ඇත.

මේ ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ සිද්ධියකි. ඇය දැනට අවුරුදු 85 වැනි වියේ පසුවන කාන්තාවකි. ඇයට දියණියෝ දෙදෙනෙක් ද සිටිති. මේ පවුලේ අයට ඉඩ කඩම් යාන වාහන දේපල සහ මුදල් වලින් කිසිම අඩුවක් නැත. එහෙත් මේ අය තමන්ගේ කෑම බීම සඳහා වියදම් කරන්නේ බොහෝ ලෝබකමෙනි. සමහරු මේ ගෙදර අයගේ කෑම් බීම් ගැන කියන්නේ “උන් කන අය නොවෙයි, ලෙව කන අය ය” කියාය. ඔවුන් හරි හැටි නොකනවා පමණක් නොව වෙනත් කෙනෙකුට කෑමක් බීමක් දෙන්නටත් ඉතා ම ලෝබ කමක් දක්වති.

නෑදෑයෙක් පවා ඒ ගෙදරට යන්නේ වතුර උගුරක් පවා නොලැබෙන බව දැන ගෙන ය. කිසිම කෙනෙක් කෑම වේලාව අල්ලා ඒ ගෙදරට යන්නේ ම නැත. වැරදිලාවත් කෑම වේලාවට ගියත් කෑම වේලක් නම් ලැබෙන්නේ නැත. සමීප ඥාතින් පවා ඔවුන් හඳුන්වන්නේ “මුන් දීලා කාලා පුරුදු අය නොවේ” ය කියා ය. එහෙත් මේ අය අනුන්ගෙන් නොමිලේ කන්න බොන්න නොමිලේ බෙහෙත් ටික ලබා ගන්න බොහොම කැමති ය.

දිනක් මේ කාන්තාවව ඥාතිවරියක ගේ නිවසකට වුවමනාවකට ගියා ය. ඒ අවස්ථාවේ නිවසේ ඥාතිවරිය පතෝල ව්‍යංජනයක් සඳහා පතෝල කරලක් කපමින් සිටියාය. අර කාන්තාව පතෝල කපන හැටි බලා සිටියාය.

එදා ඒ නිවසේ අයට පතෝල ව්‍යංජනය ආහාරයට ගන්නට නොහැකි විය. ඒ තරමට තිත්ත ය. ඔවුන් සිතුවේ පතෝලවල වැරද්දක් ය කියාය. තවත් දිනක් මේ ගෙදර කොස් කපන විට මේ කාන්තාව පැමිණියාය. කොස් කපන හැටි ඇය බලා සිටියාය. එදා ඒ ගෙදර උයන ලද කොස් කන්න බැරි තරමට තිත්ත රහ වීය.

ඔවුන් කොස් මිල දී ගත් වෙළෙන්දාගෙන් ඒ ගැන ඇසූ විට ඔහු කීවේ “ඔහුගෙන් කොස් මිල දී ගත් කිසි කෙනෙක් ඒ කොස් තිත්ත යැ” යි නොකී බව ය. මේ ගෙදර අය එදා තේරුම් ගත්තේ කලින් දවසක පතෝලා තිත්ත වූයේත් අද කොස් තිත්ත වූයේත් මේ ඥාතිවර කාන්තාව බලා සිටි නිසා බව ය. ගෙදරක මාළු උයනවා දැක්කත්, මාළු උයන සුවඳ මේ කාන්තාවට දැනුණත් ඒ මාළු කන්න බැරි තරම් දිය රහක් දැනේ. කොයි තරම් ලුණු ඇඹුල් දැම්මත් මාළු රහ නොදැනේ. දැන් මේ ගමේ ඥාති පවුල්වල අය මේ කාන්තාවට පෙනෙන්නට කෑමක් සකස් කරන්නේ නැත.

ඇගේ දියණියන් දෙදෙනා ද යමක් දැක්කොත් ගහක් කොළක් දැක්කොත් ඒවා විනාශ වී යයි. සමහර විට කතා කළත් විනාශ වේ.

මෙය අමනුෂ්‍ය ගතියකි. මිනිසුන් තුළ මේ ඇස්වහ කටවහ ගතිය පැවතුණත් එය අමනුෂ්‍ය ගතියකි. අනුන් ගේ සම්පත් ගැන ඊර්ෂ්‍යාවෙන්, තරහෙන්, ක්‍රෝධයෙන් මිය ගොස් යක්ෂ පේ‍්‍රතාදී අමනුෂ්‍ය ආත්ම ලබා ඉපදුණු අය ඉන් නික්ම මනුෂ්‍ය භවයෙහි ඉපැදුණ ද කලින් පැවති අමනුෂ්‍ය ගති, ඊර්ෂ්‍යා ක්‍රෝධ ගති පවතී.

මේ ඒ ගැන අලුත් ම අත් දැකීමකි. කුරුණෑගල නාගනේ ශ්‍රී සීවලී විහාරයේ බෝධි පූජා මඟින් රෝගීන් සුවපත් කිරීම හා බැඳුණු කතාවකි. විශේෂයෙන් මෙහි පැමිණෙන්නේ භූත දෝසවලින් රෝගී වූ අයයි. මේ පන්සලේ ආරාමය හා දාන ශාලාව පිහිටා ඇත්තේ කැකුණගල පර්වතය පාමුලය. රෝගීන් නේවාසිකව සිටින්නේ පර්වතය මුදුණේ පිහිටි ධර්ම ශාලාවේ ය. නේවාසිකයන් උයාගෙන කන්නේ ද ඒ අසල ම කුස්සියක ය. මේ පන්සලට පිටතින් ගෙන එන දානය කටට රහට වළඳන්නට පුළුවන.

එහෙත් කොයි තරම් හොඳට ලුණු ඇඹුල් යොදා උයනු ලැබූවත් ධර්ම ශාලාව අසල කුස්සියේ උයන කෑම කිසිම රහක් නැත. පහළින් උයාගෙන ඉහළ ධර්ම ශාලාවට ගෙන ගියත් ඒ කෑම ද කිසි ම රහක් නැත. ඉහළින් උයාගෙන පහළ දාන ශාලාවට ගෙනාවත් ඒ ආහාර ද කිසිම රහක් නැත. බෝධිය ළඟ දී රෝගීන් ගේ සිරුරෙන් ඉවත් වන අමනුෂ්‍යයෝ මේ ආහාරවල රස ධාතූන් ආහාරයට උරා ගන්නා බව කාගේත් මතය යි. මෙන්න මේ වගේ අමනුෂ්‍යයන් කර්මානුරූපව නැවත මිනිස් භවයේ උපන් විට ඇස් වහ කටවහ කාරයන් වන බව සිතිය හැකි ය. එසේ ම මිනිස් ජීවිතයේ දී දන් පින් නොකළ අයට විශ්ව ධර්මතාව අනුව ඊළඟ ආත්ම භවයේ දී තමන් කැමති දේ නොලැබේ.

ආහාර පාන දන් නොදුන් කෑම වේලක් දීමට නොපෙළඹුණු සත්ත්වයෙකුගේ කුස ගිනි නිවීමට පරිත්‍යාගශීලී නොවූ තණ්හාධිකයන් මරණයෙන් පසු මළ පේ‍්‍රතයන් වී උපත ලබති. ඔවුන් ඉදිරියේ රස මසවුළු ආහාර පාන ඇත. එහෙත් ඒ ආහාර භුක්ති විඳීමට අවශ්‍ය මුඛය ඒ පේ‍්‍රතයන්ට නැත. සිසිල් ජලයෙන් පිරි විල් පොකුණු, වතුර පිරවූ බඳුන් ඇත. එහෙත් ජලය පානය කිරීමට අවශ්‍ය මුඛය නැත. තවත් සමහරෙකු වැසිකිළි වළවල උඩ බලා ගෙන අසූචි ආහාරයට ගනිති. වෙනත් වටිනා ආහාරපාන දකින්නට ලැබුණත් ඒ ආහාර මුඛයට ගැනීමට දෑත් නැත.

මේ කර්ම විපාකයන්ගේ ස්වභාවයයි. තවත් සමහරෙකුට ආහාර පාන සම්පත් මැවී පෙනේ. ඔහු ඒවා දුටු සැනින් විනාශ වී හෝ අතුරුදන් වී යයි. අන්න එවැනි දුක් විඳින අමනුෂ්‍යයෝ කර්මානුරූපව යළි මිනිස් භවයේ උපත ලැබුවත්, පිනට දහමට යොමු වන තුරුම, කුසල ශක්තීන් ගොඩ නගා ගන්නා තුරුම පූර්ව ගති ක්‍රියාත්මක වේ. ඒ වැන්නෝ අනුන් සතු සම්පතක් හෝ දුටු සැනින් විනාශ වන ස්වභාවයක් පවතී. ඒ ඇස්වහ කටවහ කාරයන්ගේ කාරියන්ගේ ස්වභාවයයි.

මේ ගනේමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ සිද්ධියකි. එක්තරා නිවසක ඉදිරිපිටට වෙන්නට ඉතා ම සශ්‍රීකව වැඩුණු ගෙඩිවලින් පිරුණු ගස්ලබු ගසක් වීය. ඉඩම් නඩුවක් සම්බන්ධව සිතාසි බාර දීම සඳහා දිනක් පිස්කල් නිලධාරියෙක් මේ නිවසට ආවේය. ගස ලොකු නොවූවත් කඳ පුරා ගෙඩිවලින් පිරුණු ගස්ලබු ගස මේ පිස්කල් මහතා ගේ ඇස ගැටිණි.

ඔහු ඒ නිවසට ගොඩ වැදුණේ “මටත් ගස්ලබු ගෙඩියක් අරගෙන යන්නට පුළුවන් යැ”යි කියා ගෙන ය. ඔහු නිවසට ඇතුළු වී පුටුවක වාඩි වූවා පමණි. ගස්ලබු ගස මුලින් ම ඉදිරී වැටුණි. මිදුල පුරා ගෙඩි විසිරී ගියේය. පිස්කල් මහතා මිදුලට පැන ගෙඩි අහුලන්නට විය. නිවැසියෙක් “ඕනැතරම් අහුලා ගන්න” යැයි ඉටි උරයක් ද ගෙනැත් දුන්නේ ය.

තවත් එක්තරා ඉඩමක පුවක් කඩා ගෙන යෑමට වෙළෙන්දෙක් පුරුදුව සිටියේය. ඒ නිවසට පැමිණ නිවැසියන්ගෙන් අවසර ගෙන ඔහු ම පුවක් ගස්වලට නැගී පුවක් කඩා ගනී. පුවක් ප්‍රමාණය ගණන් කොට එයින් කොටසක් ගස් කුලිය වශයෙන් ගෙන ඉතුරු පුවක් සඳහා මුදල් ගෙවා, ගෙන යෑම මේ වෙළෙන්දාගේ සිරිත ය.

දිනක් උදේ වරුවේ මේ වෙළෙන්දා පුවක් කඩා ගැනීම සඳහා මේ නිවසට ආවේ ය. නිවස අසල වූ ඒ තරම් විශාල නොවූ කොස් ගසක කඳේ මුල සිට ම ඉහළට පොකුරු පොකු ගෙඩි හැදී කඳ වසා ගෙන තිබුණි. මේ පොකුරුවල හොඳින් පැසුණු ගෙඩි ද ඉදුණු වරකා ගෙඩි ද පිරී තිබුණි.

“පුවක් ටික කඩා ගෙන යන කොට මටත් හොඳ කොස් ගෙඩියකුයි වරකා ගෙඩියකුයි අරගෙන යන්න පුළුවන් යැ”යි පුවක් වෙළෙන්දා කොස් ගස දෙස බලා කීවේය. එසේ පවසා පුවක් කැඩීමේ නිරත විය. උදේ වරුව ම පුවක් කඩා සවස් වරුවේ පුවක් පිළිබඳ කටයුතු අවසන් කොට කොස් කඩා ගැනීමට මතක් වී ඒ සඳහා සූදානම් විය. නිවසේ ගෘහණිය ද තම සහෝදරියක් සමඟ කොස් ගස යටට ගියාය. දෙයියනේ! මුළු ගස පුරා ම හැදී කොස් ගෙඩි මදුළු පෙනෙන පරිදි පැළී තිබුණි. පුවක් වෙළෙන්දා කොස් ගෙඩියක් හා වරකා ගෙඩියක් කඩාගෙන, නිවැසියන්ට ද කොස් ගෙඩියක් කඩා දී පුවක් හා කොස් රැගෙන යන්නට ගියේය.

එක්තරා ගමක නූගත් කාන්තාවක් වූවාය. ඇගේ ස්වාමි පුරුෂයා අහිංසකයෙකි. අසල්වැසි නැදෑ හිතවතුන්ගේ ඕනැ එපාකම්වලදී උදව් වෙමින් ශ්‍රමයෙන් දායක වෙමින් කාගේත් කරුණාව දිනාගෙන සිටියේය. ඔහු රැකියාවට කළේ ලී ඉරුම් රස්සාව ය. ඊට අමතරව කිතුල් මල් මැදීම ද කළේය. ගැහැනිය කට හැකරය. නිතර ඔහු සමඟ රණ්ඩු සරුවල් කළාය.

ඇය තොර තෝංචියක් නැතිව සුළු දෙයට පවා ඔහුට බැණ වැදුණත් ඔහු මුවින් නොබැණ ඉවසා සිටියේය. ඔහු දිනක් උදේ පාන්දර සිට ම බිරියගේ දෙස් දෙවොල් අසා සිටියේය. තේ උගුරක් පවා නොලැබුණේය. අසල කඩයකින් බීඩියක් ණයට ඉල්ලා ගෙන එය බොමින් කිතුල් මල කපන්නට යන්නට සූදානම් විය. බිරිය “තොගේ ඇටකටු කුල්ලෙන් පොළන්නම සිද්ධ වෙන්න ඕනෑ” යි මෝඩ කටහැකරකමට කීවාය. ඔහු මල් කපන පිහිය ද මුවහත් තියා ගෙන නිවෙසින් පිට වී ගියේය.

විනාඩි දහයක් ගත වූයේ නැත. කිතුල් ගස හිමි නිවසේ තරුණයෙක් ඔහුගේ නිවසට දුවගෙන ඇවිත් කීවේ ඔහු කිතුළෙන් වැටී ඇති බවය. ඔහු කිතුල් ගසට නැගී මල කපා අවසන් වන විට ම ගසෙන් වැටී ගස යට තිබු ගල මතට පතිත වී එතැන ම අවසන් හුස්ම පිට කැර තිබුණි.

හුරුබුහුටි ප්‍රසන්න කුඩා දරු දැරියන්ට ද ඇස්වහ කටවහ දෝෂ වැදීමේ ප්‍රවණතාවක් පවතී. කුඩා සිඟිති දරු දැරියන්ගේ නළලත තිලක තියන්නේ ඒ නිසා ය. ඒ එක් වරම එවැනි අයගේ දර්ශනය දරුවාට කෙළින් ම ලක් නොවී නළලත තිලකයට ලක් කිරීමට ය. අලුතින් ගොඩනැගිලි ඉදිකරන විට පුහුල් ගෙඩි එල්ලන්නේ ද එක්වරම එල්ල වන දර්ශනය ඊට යොමු කිරීමට ය. සමහරු “මේ නිවසට බුදුසරණයි” කියා ලියා තිබෙනු දක්නට ලැබේ. එයින් සිදු කරන්නේ ද ඇස්වහ කටවහකාරයන්ගේ ප්‍රබල හැඟීම දුර්වල කිරීමකි.

පැරැණියන් උදේ සවස නිවෙස්වල තෙරුවන් වැඳ තුන් පිරිත සජ්ඣායනා කළේ මේ නිසා ය. බුද්ධ පූජාවට තබන පැන් බඳුන ඊළඟ අවස්ථාවේ ඉවත් කරන විට ඒ පැන් පානය කිරීමට දීම ද ඇස්වහ කටවහවලින් බේරීමේ පිළිවෙතකි.

තවත් සමහරු “සබ්බ පාපස්ස…” ගාථාව 108 වරක් පිරිසිදු පැන් බඳුනකට මතුරා “ඒතෙන සච්ච වජ්ජේන සබ්බ දොසෝ විනස්සතු” යි සත්‍ය ක්‍රියා කොට ඒ පැනින් දරුවන් ගේ මුහුණු සෝදති. ඒ පැන් කුඹුරු ගොවිතැන්වලට ඉසිති. පළදාව ඇති ගස්වැල්වලට ඉසිති. තවත් සමහරු ඇස්වහ කටවහ දුරුවීම සඳහා අඟුරු කබලකට අබ, කැට ලුණු හා වියළි මිරිස් කරලක් දමා පුපුරුවා දුම් අල්ලති.

එක්තරා පිටිසර ගමක ඊර්ෂ්‍යාකාර කටවහ කාරියක් වූවා ය. ඇය කාගේ හෝ වේවා ප්‍රසන්න වූ දෙයක් දුටු හැටියේ ඊට යමක් කීම සිරිත විය. පුරුද්ද විය. පලදාවෙන් වැඩි ගහක් වැළක් ඇගේ නෙත ගැටුණොත්, ඒ ගැන යමක් කීවොත් බලා සිටියදීම ඒ ගස හෝ වැළ මැළ වී යයි. හුරතල් දරුවෙකු දැක යමක් කීවොත් ඒ දරුවා අසනීප වේ. මේ හේතුව නිසා ඇය කෙනෙකුගේ නිවසට පැමිණීම පවා මිනිස්සු අපි‍්‍රය කළහ. ඇගේ පැමිණීම බියට හේතුවක් විය. ඇගේ සමීපතම ඥාතින් පවා ඇය දකින්නටවත් අකමැති වූහ. කොටින් ම කියනවා නම් ඇගේ ලේලිලා බෑණලා පවා ඇගේ පැමිණීම නොරිස්සූහ.

මේ කාන්තාව ඉඳහිට හෝ ගමේ නිවසකට පැමිණියහොත් ඇය ගෙයින් පිටව ආපසු ගිය හැටියේ ම අඟුරු කබලකට අබ – ලුණු – වියළි මිරිස් දමා පුපුරවන්නට සමහරු පෙළඹුණේ ඇගේ ඇස්වහ කටවහ ශක්තිය ප්‍රබල බව දන්නා නිසා ය.

සමහර දඩබ්බර තරුණයෝ ඇය නිවසේ සිටියදීම පවා එසේ අබ පිපිරවූහ. මෙය තමන් නිසා ම සිදු කරන බව දන්නා ඇය එවැනි නිවෙස්වලට නොයෑමට ද වග බලා ගත්තාය. මේ කාන්තාව වයස්ගතව මියගොස් විනාඩි දහයක් ගත වෙන්නට පෙර ඇගේ සිරුරෙන් ඉතා ම දරුණු දුර්ගන්ධයක් නිකුත් වන්නටත් නිල මැස්සන් වසා ගන්නටත් විය.

ඒ නිසා මෙවැනි ඇස්වහ, කටවහ ඇති අය මෛත්‍රී භාවනාව පුරුදු වුවහොත් ඒ තත්ත්වය අඩු වී යනු ඇතැයි විශ්වාස කළ හැකි ය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: