Posted by: lrrp | January 20, 2011

ආදීනව දැන කාම රාගයෙන් අත් මිදෙන්න – කොළඹ කුප්පියාවත්තේ ජයශේඛරාරාමවාසි මාවරලේ භද්දිය හිමි

කාම රාග කියන මනෝභාව අනාගාමි වෙන තුරාම අපේ මනැසේ තිබෙනවා. කාම, රාගය නැතිවෙලා යන්නේ අනාගාමි වුණාමයි. ඒ වන තාක් කල් වරින් වර මේ කාමය නමැති මනෝ භාවය අපගේ මනැ සේ උද්දීපනය වන්නට ඉඩ ප්‍රස්ථාව ඕනෑ තරම් තිබෙනවා.

අද සමාජය දෙස අවධානය යොමුකරන විට අපට ප්‍රබලව දක්නට ලැබෙන කරුණක් වන්නේ අධික කාමාශක්ත බවකින් මිනිස් සමාජය පෙළෙමින් තිබෙන බවයි. විශේෂයෙන්ම මේ තත්ත්වය තුළ ඇතැම් අවස්ථාවල පියා විසින්ම ස්වකීය දියණිය කෙලෙසා දමනුද සොහොයුරා විසින් ස්වකීය සොහොයුරිය කෙලෙසා දමනුද සිදුවන බව අපට අසන්නට ලැබෙනවා.

එපමණක් නොවෙයි අපට මුණ ගැසෙනවා, ස්වකීය ජීවිතය පේ‍්‍රමය නිසාවෙන් කාමය නිසාවෙන් වනසා ගන්නට උත්සාහ දරන තරුණ මෙන්ම වැඩිහිටි අයත් ඔවුන් පේ‍්‍රමය අහිමිවීමට වඩා සියදිවි නසා ගැනීම හොඳයැයි විශ්වාස කරනවා.

විශේෂයෙන්ම මෙවැනි තත්ත්වයකින් අද සමාජය ගොඩගැනීමට නම්, නිවැරැදි මාවතකට ගෙනයන්නට නම් අපට තිබෙන්නා වූ එකම ඖෂධය වන්නේ ශ්‍රී සද්ධර්මයයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි, ධර්මය නමැති ඖෂධයට සමාන කළ හැකි වෙන කිසිදු ඖෂධයක් නැත. එබැවින් එය පානය කරන්න යනුවෙන්.

කාමයෙන් , රාගයෙන්, අධික ඇලීමෙන් මිදෙන ආකාරය පිළිබඳව ධර්මය තුළ සිදුකර ඇති මඟ පෙන්වීම් වෙත අපගේ නිරන්තර අවධානය යොමුවිය යුතුයි. එවැනි අවධානයක් නිරතුරුව යොමුවන විට අපගේ ජීවිතවල පවතින්නා වූ කාමයෙන් උමතුවීම නිසා ඇතිවන මානසික අසහනකාරී ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගන්නට අපට අවස්ථාවක් ලැබෙනවා.

මීට වසර දෙදහස් පන්සියයකට පෙර ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමාන අවධියේදීත් කාමයෙන් උමතුවීම නිසා ව්‍යාකූල වූ මනැසින් ඇතැම් අය ජීවිතයේ ඉතාම වටිනා දේවල් අතහැරලා දාල ඉතාම සුළුදේවල් තමන්ගේ පරමාර්ථ බවට පත්කර ගත් අවස්ථා ගැන සඳහන් වෙනවා. තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩ වසන කාලයේ එක්තරා කුල පුත්‍රයෙක් වයෝවෘද්ධ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා, තමන්ට අයිති සියලුම සැපසම්පත්, අඹුදරුවන්ට දීලා තමන් පැවිදි ජීවිතයට පත්වෙනවා. ස්වකීය ආචාර්යය උපාධ්‍යයන් වහන්සේ සමඟ හෝ භික්ෂූන් සමඟ හෝ පිඬුසිඟා වැඩි විටකදී, දානයකට වැඩි විටදී විවිධ අඩුපාඩුවලට මෙම භික්ෂූන් වහන්සේට මුහුණ දෙන්නට සිදුවෙනවා. අලුත් භික්ෂුවක් නිසා එක්වරම ප්‍රධාන පෙළේ අසුනක් දනකට වැඩියට ලැබෙන්නේ නැහැ. වියළි කෑම වර්ග, දංකුඩ, හැන්දට පොඩි වූ කැඳ ආදිය තමයි උන්වහන්සේට වළඳන්නට ලැබුණේ. එයත් උන්වහන්සේට යැපෙන්න ප්‍රමාණවත් තරමට ලැබෙන්නේ නැහැ. අද වගේ නොවෙයි, එකල ඉතා විශාල සංඛ්‍යාවක් භික්ෂූන් වහන්සේලා වැඩ සිටියා. මේ කරුණ නිසා තමන්ට ලැබෙන දේ ද රැගෙන තමාගේ පැරණි නිවෙස බලායෑමට පුරුදු වුණා. එහිදී ගිහිකල භාර්යාව පාත්‍රයේ තිබෙන දේ ඉවත්කර ගෙදර පිසූ රස මසවුළු භික්ෂුවට පිරිනමනවා. රස තෘෂ්ණාවෙන් භික්ෂුවට පැරණි බිරියගෙන් මිදීමට නොහැකි තත්ත්වයක් උදාවෙනවා. මේ භික්ෂුව ගැන කල්පනා කරන බිරිඳ මිනිසුන් කිහිප දෙනෙක් ගෙදර නවතාගෙන ගොන්බැඳි රියකුත් ගෙදර දොරකඩ නවතා තැබුවා. මේ වේලාවේ එහි ගිය භික්ෂුවට පැරණි බිරිඳ ප්‍රකාශ කර සිටිනවා, “ඔබ වහන්සේ ගෙදර ජීවත්වෙලා මෙහිම අපවත් වුව මැනව. හිමියකු නැතුව මේ ගෙදර සිටීමට මට නුපුළුවන. මා කැන්දාගෙන යාම සඳහා ජනපදයකින් පිරිසක් පැමිණ සිටිනවා. මම ඔවුන් සමග එහි යමි. අප්‍රමාදීව මහණ දම් පුරනු මැනවි’’ යනුවෙන් . එවිට එම භික්ෂුව ඉතාම අපහසුවෙන් කතා කරමින් ‘’ඔබ අතහැර දමන්ට මම අපොහොසත් වෙමි. එබැවින් කොහේවත් නොගොස් මෙහිම නැවතුව. මම සිවුරු හරින්නෙමි. මගේ ගිහි ඇඳුම් අසුවල් ස්ථානයට එවනු මැනවි’’ යනුවෙන් සඳහන් කළා.

මෙසේ කියා තම ආචාර්යවරයා වෙත ගොස් ‘’මේ පාත්‍ර සිවුරු පිළිගන්න. මම සිවුරු හරින්නෙමි’’ කියා දැනුම් දුන්නා. ‘’මගේ පැරණි බිරිඳ අතහරින්නට මම අපොහොසත් වෙමි. ඒ නිසා සිවුරු හරින්නට තීරණය කළෙමි’’ උන්වහන්සේ සඳහන් කළා. එහි සිටි භික්ෂුන් වහන්සේ කිහිප නමක් ඔහු අකැමැත්තෙන්ම බුදුරජාණන් වහන්සේ ළඟට ඇදගෙන ගියා. මේ භික්ෂුව ගැන ඉතාම කරුණාවෙන්, අනුකම්පාවෙන් බුදුරජාණන්වහන්සේ භික්ෂුවට වදාරනවා ඔබ පෙරත් මේ ස්ත්‍රිය නිසාම මරණයට පත්වෙලා ගිනි අඟුරු ගොඩක වැටී දැවුණා කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අප හැමෝටම ප්‍රයෝජනවත් වන ලෙස කාමයෙහි ආදීනව පැහැදිලි කර දෙනවා. කාමයෙන් බැඳුණට පස්සේ, කාමයෙන් මුසපත් වුණාට පස්සේ, අපට අත්වෙන්න පුළුවන් ඉරණම මොකක්ද කියලා ඉතාම අපූරුවට පැහැදිලි කරන වටිනා අතීත කතාවක් උන්වහන්සේ දේශනා කරනවා.

එක්තරා කාලයක රජගහ නුවරවාසීන් කෘෂිකර්මාන්තය පවත්වාගෙන යමින් සිටියා. ඔවුන්ට ප්‍රධාන බාධාව වුණේ අසල කඳුකර වනාන්තරවල සිටි මුවන්. කඳුකර මුවෙක් ගම්බද මුවැත්තියක් සමඟ පේ‍්‍රමයක් ගොඩනඟා ගත්තා. ඇය කඳුකරයෙන් ගමට එන්නට බසින විට ඇයත් එක්කම එන්න මේ මුවා පුරුදු වුණා. එවිට මුව දෙන ඔහුට සඳහන් කළා ස්වාමිනි, ඉඩම් සමීපය සැකබිය සහිතයි. මා සමඟ පහළට නොබසිනු මැනව. නොඑන්න ස්වාමිනි’’යනුවෙන්. දිගින් දිගටම මුවාගෙන් මෙසේ ඉල්ලා සිටියත් ඔහු එය නොතකා ගම සමීපයටම ගියා. මුවන් කඳුකරයේ සිට පහළට බසින වෙලාව දන්නා ගම්වැසියෝ කොටු බැඳගෙන රැකගෙන ඉඳලා, මුවෝ මරණ පුරුද්දක් තිබුණා. මගදීම මිනිසුන්ගේ ඉව වැටුණු මුවදෙන පසු බැහැලා තමන් පසුපසට වෙලා මුවා පෙරටු කරගෙන ආවා. එවිටම කොටුපතේ සැඟවිලා හිටිය ගම්වැසියෙක් එක හී පහරකින්ම විදලා මුවා මරල දැම්මා. මුව දෙන වාත වේගයෙන් පලා ගියා. ඒ මනුෂ්‍යයා මුවා මස් කරලා ඇතිතරම් මස් ගිනිගොඩක දාගෙන පුළුස්සාගෙන කෑවා. අනෙක් මස් ටික ලේ පෙරමින් කඳක බැඳගෙන අඹුදරුවන්ට රැගෙන ගියා. බුදුරජාණන් වහන්සේ මේ කතාව සඳහන් කරලා මේ භික්ෂුවට කියනවා එදත් ඔබ මුවකු ලෙසින් ඉපදිලා කඳුකරයේ ගමේ හිටපු මුව දෙනකුට ලොල් වුණ නිසා මහ ගිනි අඟුරු ගොඩක පිලිස්සී දැවී ගියා. අදත් ඔබ හැසිරෙන්නේ ඒ විදියටමයි. ඒ කඳුකර මුවා මිය ගියේ මව, පියා, දරුවන් නිසා නොවෙයි. ඒ මුවා මිය ගියේ කාමයෙන් මුසපත් වුණ නිසා. කාමයෙන් මුළාවීම නිසා. සත්වයා කාමය නිසා අත් පා කැපීම් වධ බන්ධන ආදීයට ගොදුරු වෙනවා. නිරයටත් ගොදුරු වෙනවා යනුවෙන්. මේ ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ කාමයෙහි ආදීනව අපට දේශනා කරනවා.

කාම රාග කියන මනෝභාව අනාගාමි වෙන තුරාම අපේ මනැසේ තිබෙනවා. කාම, රාගය නැතිවෙලා යන්නේ අනාගාමි වුණාමයි. ඒ වන තාක් කල් වරින් වර මේ කාමය නමැති මනෝ භාවය අපගේ මනැ සේ උද්දීපනය වන්නට ඉඩ ප්‍රස්ථාව ඕනෑ තරම් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ ගිහියන් වන ඔබටත්, පැවිද්දන් වන අපටත් අවධාරණය කර සිටින්නේ මේ කාමය නමැති මනෝභාවය යම් පාලනයකට නතුකර ගන්නා ලෙසටයි. ඒ සඳහා උන්වහන්සේ නිතරම දේශනා කළා ශීලයෙහි වැදගත්කම.ශීලය ආරක්ෂා කරන ඇත්තන්ට කාමයෙහි යම්කිසි පාලනයක් ගොඩනඟා ගන්නට පුළුවන්කම ලැබෙනවා. පංචශීලය සුරකින පුද්ගලයකුට කාම ආවේග සම්බන්ධයෙන් පාලනයක් ඇතිකර ගන්නට හැකියාව ලැබෙනවා.

කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමයෙහි වැරැදි ලෙස හැසිරීමෙන් වැළකෙමි. එම සිල් පදය තුළ ගිහියාට අවකාශයක් ලබා දී තිබෙනවා, තමන්ගේ සිතේ පැන නඟින කාමය ස්වකීය බිරිඳගෙන් පමණක් ස්වකීය ස්වාමි පුරුෂයාගෙන් පමණක් සන්තර්පණය කරගන්නට. කොතරම් බලවත්ව කාමය උපන්නත්, බුදුරජාණන් වහන්සේ ඔබට අවධාරණය කරනවා ස්වකීය විවාහක ස්වාමිපුරුෂයාගෙන් හෝ බිරිඳගෙන් හෝ පිටත කාමුක සුවයක් කිනම් කරුණක් නිසාවත් අත් නොවිඳිය යුතුය යන්න. ශීලය තුළ කරන්නේ ඔබගේ කාමය සීමාව ඉක්මවා යෑම වළකාලීමයි.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුගමනය කළ අපේ පැරණි වැඩිහිටියෝ අප දකිනවා ඉතාමත් උද්‍යෝගයෙන් සිල් ගන්නවා. සතර පෝයට සිල් ගන්නා උපාසිකාවකට, උපාසක මහත්මයකුට ලැබෙන අවස්ථාව තමයි ඒ පෝය හතර තුළම එනම් මාසයකට දින හතරක් නීත්‍යානුකූල විවාහය ඇතුළෙවත් කම්සැප නොවිඳින කෙනකු බවට පත්වන්නට ඉඩ ලැබීම. පෝයට සමාදන්වන අෂ්ඨාංග ශීලය තුළ ඔබට කාම අවේගයන්ට පූර්ණ තහනමක්, නීතියක් පැනවෙනවා එක් දිනකට. අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි කිසිදු ආකාරයක කාම ආස්වාදයක් විඳීමෙන් වැළකෙමි’ නම් වූ සිල් පදය සමාදන් වෙමි.

මේ වාක්‍ය තුළ ඒ තැනැත්තා ප්‍රතිපත්තියක පිහිටනවා. එක් දිනකට පමණක් හෝ ඔබගේ බිරිඳ නිසාවත් ඔබගේ සැමියා නිසාවත් ඔබ කාමුක ආස්වාදයකට ගොදුරක් නොවන ලෙස ඒ ප්‍රතිපත්තියෙන් ආරක්ෂා වෙනවා. එම සිල්පදය සමාදන් වීම තුළ ඔබේ මනැසට යම් පාලනයක් ඇතිකරනවා. ඒ නිසා මෙවැනි පාලනයක් ඇතිකර ගැනීම අත්‍යවශ්‍යයි. ඔබ සම්පූර්ණ වශයෙන් එවැනි පාලනයකට අවබෝධයෙන් යුක්තව ගමන් කළාට පස්සේ ඔබට ලැබෙන භාග්‍යයක් තමයි ජීවිතයේ අනෙක් දවස් සෑම එකකමත් වැරැදි කාම සේවනයට යන්නේ නැතිව ජීවත්වීමේ හැකියාව, ශක්තිය උදාවීම. කාම මිත්‍යාචාරයට නොගොස් සිටීමේ කුසලතාව ඔබට ලැබෙනවා.

රාගයට සමකළ හැකි වෙනත් කිසිදු ගින්නක් නැත යනුවෙන් රාගය ගැන සඳහන් වෙනවා. යමකුට තවත් ස්ත්‍රියක් සම්බන්ධව හෝ පුරුෂයකු සම්බන්ධව හෝ බරපතළ ඇලීමක් ඇතිවුවහොත්, ඇසින් දැකලා කනෙන් ඒ හඬ අහලා නොයෙක් ආකාරයෙන් ඇලීමක් ඇතිවුවහොත් එය තමන්ගේම කරගන්නා තාක්කල් එය තමන්ටම අයිති කරගන්න තාක් කල් මොනතරම් මානසිකව විඳවනවා ද? මොනතරම් අසහනයකට පත්වෙනවා ද? මේ තැනැත්තා හෝ මේ තැනැත්තිය හෝ මම, මගේ කරගන්නට පෙර වෙන කෙනෙකු විසින් අත්පත් කරගනු ලබාවිද ආදි වශයෙන් බැඳීම හැඟීම ඇතිවූ මොහොතේ පටන් මානසිකව විශාල අතෘප්තියක් අත්විඳිනවා. ගිනිමැලයක පිලිස්සෙන සත්වයකු වගේ මානසිකව පිච්චෙන්නට පටන් ගන්නවා. තමන්ගේ කරගත්තට පස්සේ පුංචි සතුටක් මනුෂ්‍යායා භුක්ති විඳිනවා. නමුත් ඒ සතුට වින්දනය විඳින්නට අවස්ථාව ලැබෙන්නේ ඉතාමත් සුළු කාල පරිච්ඡේදයක්. නැවතත් භය අසහනය දැනෙන්නට පටන් ගන්නවා. මම මේ විඳින සුවය මට හොරෙන් තවකෙකු විඳින්නට පටන් ගනීද? සෑම දිනකම මේ රූපය මගේ කරගෙන තියාගන්නට ලැබෙයි ද? මේ ශබ්දය, රසය, ජීවිතය පුරාම මට විතරක් විඳින්නට ලැබෙයි ද? වෙනත් කෙනකුත් මෙය විඳී ද? මේ ආදී විවි මනෝභාවයන් විවිධ මානසික තත්ත්වයන් ගොඩනඟා ගෙන මිනිසුන් අධික ලෙස පීඩනයට පත්වෙනවා. දුකට පත්වෙලා විඳවන, අසහනයෙන් සිටින පිරිසක් බවට පත්වෙනවා. සෑම මොහොතකම පාහේ රාගය, කාමය, අපගේ සන්තානයේ තිබෙන්නා වූ මානසික තත්ත්වයක් වුවත් අප උත්සාහ කළ යුතුයි එකී කාමයන්හි යම් විනයක් යම් පරිපාලනයක් ඇතිකර ගන්නට. ඒ සඳහා අධිෂ්ඨානයක් ජීවිතය තුළ තබාගත යුතුයි.

කාමයෙහි යම්කිසි විනයක්, පරිපාලනයක්, සංවරයක්, ගොඩනඟා ගන්නට සෑම කෙනෙක්ම ඇප කැප වී කටයුතු කළ යුතුයි. ඒ විනය ගොඩනඟා ගන්නට ඔබට උපකාර වන්නේ් ශීලය, කාමයෙහි ආදීනව දැකීම හා භාවනාවයි. කාමයෙහි ආදීනව දැකීමට සහ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පංචවිධ වූ අරමුණුවල පවතින්නා වූ අනිත්‍යතාව අවබෝධ කරගන්නට අප සමත්වන විට භාවනාවටත් ධර්ම පුහුණුවටත් වඩ වඩාත් සමීප වෙනවා. ඔබ ගමන්කළ යුතුවන්නේ තව තවත් මේ ලෝකය තුළ කාමයෙන් මුසපත් වී සිදුකරන්නා වූ ගමනක නොවෙයි. සිතෙහි කාමය පැන නඟින විට සිහියෙන් යුක්තව එය දකිමින් ඒ තුළ යම්කිසි නිස්සරණයකට යම්කිසි නිමාවකට ගමන් කිරීමේ මාවත සොයා ගන්නටයි ඔබ සෑම මොහොතකම උද්‍යෝගිමත් විය යුතු වන්නේ. මෙම කාම බන්ධනයෙන් මිඳුණු ඒ උදාර මහරහතන් වහන්සේලා ගේ ජීවන චරිත දෙස අවධානය යොමු කිරීම වැදගත්.

ථෙර ථෙරී ගාථාවල, කාමයෙන් මිදුණු මහ රහතන් වහන්සේලා විඳින මානසික සුවය ගැන ඉතාම අපූරු උදානයන් අපට දැකගන්නට පුළුවන්කම ලැබෙනවා. කාම බන්ධනයෙන් මුසපත්වෙලා ගත කළ දුක්ඛිත ජීවිතය කොයිවගේ එකක්ද කියන එක වගේම ඒ උතුම් මහරහතන් වහන්සේලා, උතුම් මහ රහත් තෙරණින් වහන්සේලා අපට පෙන්වා දෙනවා කාමයෙන් විනිර්මුක්තව ගතකරන්නා වූ ජීවිත තුළ දැනෙන්නා වූ සුවය කොතරම් ද කියන කාරණයත්.

අපේ බෞද්ධ පිරිස එම ථෙර ථෙරී ගාථාවල දක්නට ලැබෙන්නා වූ ඒ උතුම් මානසික සුවය තමනුත් සැබෑ ලෙසම අත්විඳින්නට උත්සාහ කළ යුතුයි. ධර්ම අවබෝධය ඔබට ලැබෙන සෑම මොහොතකම ඔබගේ ජීවිතය නිවැරඳි මාවතට යොමුවීම අනිවාර්යයි. කාමය යනු ඉතාම අසහනකාරී මානසිකත්වයක් කාමය නිසා, භය, සැකය, ද්වේෂය, ඊර්ෂ්‍යාව මේ සියලුම මනෝ භාවයන්ගෙන් අප පීඩා විඳිනවා. අසහනයට පත්වෙනවා. ඒ නිසා අප හැකිතරම් වීර්යය වඩමින් මේ ජීවිතය තුළ, මේ මිනිස් ආත්මභාවය තුළ කාමයෙහි සංයමයත්, කාමයෙහි පාලනයත් අවසන කාමයෙන් සදහටම අත්මිදීමත් උදාකර ගන්නට උද්‍යෝගිමත් වනවාය කියන අධිෂ්ඨානය ඇතිකරගත යුතුයි.


Responses

  1. very good dhamma,to all of us.refrain from kama

  2. සීලය යනු පොහොය දින ආරක්ෂා කරන වතද?
    යං සමාදානං තං වතං සංවරට්ඨේන සීලං කියුවෙ මොකටද?
    කාමේසු මිච්ඡාචාරා වේරමණී කියුවෙ ඔය ඉහත පෙන්නපු කාමයටද?
    ඒ රහතන් වහන්සේට අපි සම වෙන්නෙ ඔය ඉහත දක්වලා තියන කාමය තුලින් විතරද?
    කාමර‍ාගයේ ආදීනව බලන්නෙ කොහොමද?
    කාමයෙන් මිදීමට කාමයේ ආදීනව බැලුවොත් හරියයිද?

  3. වටිනාකම කියා නිම කරන්නට බැරි බොහොම ලස්සන ලිපියක්. දහම් දානයට බොහොම පිං !!


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: