Posted by: lrrp | February 8, 2011

මියගිය දියණිය යළි පැමිණේ

සඳකැන් සඳුන් මඳ – නල මේ ඇම සිසිලටත්
උතුම් සිසිලසකි – ගතෙහි තම දරුවන් වැකෙනවා

දෙගුරන්ටත් වඩා – දරුවන්ටමයි
දනෝ සෙනෙහස
මෙලොවත් රැක මළත් – සගමොක්
දෙන බැවින් කරව් පින්

ලෝකෝපකාරයේ එකොළොස් වැනි හා දොළොස් වැනි වශයෙන් රනස්ගල්ලේ හිමි ලියූ කවි දෙකයි මේ. තම දරුවන් ඇඟෙහි ස්පර්ශ වීම, දැවටීම, තමාට ළංව තුරුලුව සිටීම සඳ රැස්, සඳුන්, මඳ සුළඟ, ආදි වශයෙන් පෙනෙන මේ හැම සිසිලසකටම වඩා උතුම් සිසිලසකි. මිනිස්සු කවුරුන් වුවද තම තමන්ගේ දෙමවුපියන්ට වැඩියෙන් තම දරුවන්ට ආදරය කිරීම සිරිතක්ව පවතී. ඒ නිසා දරුවන් මව්පියන් ආරක්ෂා කළ යුතුය. මරණින් පසු ඔවුන්ට දෙව් – නිවන් සැප ලැබෙන සේ පින්කම් කළ යුතු ය.

මෙයින් පැහැදිලි වන්නේ සෑම කෙනෙක් ම තමන්ගේ දරුවන්ට ම වඩාත් ආදරය කරන බවයි. උණහපුළුවාට ද උගේ පුතු නිල් මැණිකක් යැයි ඇතැම් සතුන් අතර ද පවතින තත්ත්වය මේ බව කියා පායි.

මේ කතාව සීතාවක ප්‍රදේශයේ අවුරුද්දක් පමණ එක දිගට සිදු කළ ආධ්‍යාත්මීය පර්යේෂණයක ප්‍රතිඵලයකි. නීලාත් රාජාත් විවාහ වූයේ පේ‍්‍රම සම්බන්ධයකිනි. එහෙත් මේ දෙදෙනාට දරු සම්පත් ලැබීමේ ප්‍රවණතාවයේ අඩුවක් තිබුණි. ඒ නිසා බටහිර වෛද්‍ය ප්‍රතිකාර හා උපදෙස් ද දේශීය වෛද්‍ය ප්‍රතිකාර ද ලබා ගැනීමෙන් අනතුරුව නීලා ගැබ් ගත්තා ය.

ඔවුන්ට ලැබුණේ ඉතා ම පැහැපත් දියණියකි. එහෙත් ඇගේ හිස සාමාන්‍ය ප්‍රමාණයට වඩා මඳක් විශාල විය. ඇයට උපදින විට ම මොළයේ වතුර පිරෙන අසනීපයක් (හයිඩ්‍රෝ පැපලස්) වැලඳී තිබුණි. මේ රෝගය වැලඳුණු දරුවන්ට හිස ඔසවා කෙළින් කැර ගන්නට නොහැකිය. යහනේ දිගටම පෙරැළී සිටී. වරින් වර මොළයේ වතුර ඉවත් කළ යුතු විය. මෙවැනි දරුවකු ගැන බලාපොරොත්තු තැබිය නොහැකි බව වෛද්‍ය මතය විය.

එහෙත් මේ මව්පිය දෙදෙනා උත්සාහය අත් හළේ නැත. සිංහල වෙදකමේ ප්‍රතිකාරවලින් දැරිය මාස හයකින් හිස එසවූවාය. සාමාන්‍ය ක්‍රියාකාරකම් කරන්ට පටන් ගත්තා ය. ඊළඟට දැරියගේ පිට කොන්දේ ගෙඩියක් හට ගැනුණි. කොඳු ඇට පෙළේ ස්නායුවලට සම්බන්ධව හට ගැනුණු මේ ගෙඩිය මහ රෝහලේදී සැත්කමකින් ඉවත් කරන්නට යෙදුණි. එහෙත් ඒ සැත්කමේ අතුරු ඵලයක් වශයෙන් දැරියගේ දෙකකුල් අප්‍රාණික විය. ඇගේ ජීවිතය වැඩක් නැතැයි කියන තත්ත්වයක් වෛද්‍යවරුන්ගෙන් ද කියැවිණි.

එහෙත් මේ මව්පියෝ නැවතත් උත්සාහය අත්හරින්නට තරම් දුර්වල වූයේ නැත. බලාපොරොත්තු අත් නොහැර සිංහල වෙදකමේ පිහිට පැතූහ. බෙහෙත් තෙල් ගා ඖෂධ පොට්ටනිවලින් දැරියගේ දෙකකුල් හා පිට කොන්ද, කොඳු ඇට පෙළ තවන්නට වූහ. කෙසේ හෝ දැරිය ඇවිදින තත්ත්වයට පත් වූවාය.

දැරිය සිය මෑණියන් සමඟ ළදරු පාසල් ගියාය. ළදරු ක්‍රියාකාරකම්වලින් අනිකුත් දරුවන්ට වඩා ඉදිරියෙන් සිටියාය. ළදරු පාසලේ දක්ෂ ශිෂ්‍යාවක් ලෙස කාගේත් ආදර කරුණාවට ලක් වූවාය. මේ වන විට ඇගේ වයස අවුරුදු හතරයි මාස තුනක් විය.

මේ දියණියට ප්‍රතිකාර කළේ කොට්ටාවේ දේශීය වෛද්‍ය වරියකි. ඇය කොට්ටාවේ ඉඩම් විකුණා අනුරාධපුරයේ පදිංචියට ගිය බැවින් මාසයකට වරක් අනුරාධපුරයට ගොස් දියණිය පෙන්වා ප්‍රතිකාර ගැනීම සිරිතක් විය. මේ නිසා නිතර අනුරාධපුරයේ සිද්ධස්ථානවලට යෑම ද සිදු වූ අතර දැරිය ඒ පූජ්‍ය ස්ථාන පි‍්‍රය කළාය. ඔවුන් ප්‍රතිකාර සඳහා අනුරාධපුරයට ගිය විට නවාතැන් ගත්තේ ලංකාරාමය අසලය.

ඒ 2009 ජුලි මාසයේ 14 වැනිදාය. ළදරු පාසලේ පැවති චිත්‍ර තරගයක් සඳහා මේ දියණිය ථූපාරාමය සිතුවමට නැගුවාය. ජූලි මස 15 වැනි දා ප්‍රතිකාර සඳහා අනුරාධපුරය බලා දියණිය සමඟ මව්පියෝ පිටත් වූහ. ප්‍රතිකාර ලබා ගෙන ආපසු එන විට “අපි ලංකාරාමයට යමු” යි දියණිය යෝජනා කළාය.

ඔව්හු ලංකාරාමය කරා ගියහ. මේ දියණියගේ ප්‍රතිකාර අවශ්‍යතා නිසා ම ඔවුන් අලුත් ම වාහනයක් ද මිලදී ගෙන තිබුණි. ලංකාරාමයේ දී දියණියට වමනයක් හට ගත් හිටි හැටියේම ඇය දරදඬු වූවාය. වහාම දැරිය අනුරාධපුර රෝහලට ඇතුළත් කරන ලදුව එහි දී ඇගේ ප්‍රාණය නිරුද්ධ විය. 2004 සැප්තැම්බර් මස 6 වැනි දින උදේ 10.33 ට කොළඹ ජයවර්ධනපුර රෝහලේ දී උපත ලැබු ඇය 2009 ජුලි මස 15 වැනි දින හවස 6.15 ට අනුරාධපුරයේ දී මිය ගියාය.

වයසට වඩා ඉදිරියෙන් සිටි මතක ශක්තියක් හා පාඩමක් තිබුණු ඇගේ දක්ෂකම් ළදරු පාසලේ ගුරුවරියන්ගෙන් නිතර කියැවිණි. මව්පිය දෙදෙනා සමඟ උදේ හවස ආගමික වතාවත් යෙදුණු ඇයට අභිසම්භිධාන පිරිත පවා කට පාඩමෙන් කියන්නට පුළුවන් කමක් තිබුණි. කෙසේ නමුත් කර්ම ශක්තිය අභිබවා යන්නට පුළුවන් කමක් නොතිබුණි. ගමට ගෙන ආ දැරියගේ දේහය පොදු සුසාන භූමියක දී මිහිදන් කැරිණි.

එතැනින් ද මේ මව්පියන්ගේ උත්සාහය අත් හැරුණේ නැත. ඒ දියණියව ම නැවත ලබා ගැනීමේ දැඩි උවමනාවක් මේ මව්පිය දෙදෙනාට තිබුණි. බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියන් සමඟ අප ලියූ “අපට නොපෙනෙන ලෝකය” පොත කියවා ඔවුන් අප සමඟ දුරකතනයෙන් සාකච්ඡා කරන්නට වූහ.

කර්මය වළක්වාලන්නට නම් ප්‍රබල ශීලයක පිහිටා දැඩි කැපවීමකින් හා ධෛර්යයකින් කුසල් කරමින් පිළිවෙත් කළ යුතු බව ඔවුන්ට අවධාරණය කළෙමු. ඔවුහු ඕනෑම අභියෝගයක් බාරගන්නට සූදානම් වූහ. මේවා අනුන් ලවා මුදලට කුලියට කළ නොහැකි බවත් තමන් ම උදේ හවස නිරතුරුව සිදු කළ යුතු බව ද කීවෙමු. එය ද ඔවුන් භාර ගත්හ.

මේ අනුව අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුනට බාර හාර වී ගමේ පන්සලේ බෝධි පූජා පැවැත්වූහ. ළදරුවන්ට, ළමා නිවාසවලට දන් පිරි නැමූහ. සුවිශේෂ ඖෂධ පූජා පවත්වා තමන්ටත් ඊළඟ බලාපොරොත්තු දරුවාටත් නිරෝගී සුව පැතූහ. විශේෂ අලෝක පූජා පැවැත්වූහ. සාංඝික දාන දුන්හ. සතුන් මරණයෙන් මුදා හැරීමේ පින්කම් කළහ. මේ අතර මියගිය දියණිය සිහිනෙන් පෙනෙන්නට පටන් ගත්හ.

නිවසට පැමිණ ඇගේ සෙල්ලම් බඩු සමඟ ගැවසෙන අයුරු සිහිනයෙන් දුටහ. මාස හයක් තිස්සේ විවිධ පින්කම් කරමින් ඒ දැරියම මේ මව් කුසෙහි පිළිසිඳ ගන්නා ලෙස ප්‍රාර්ථනා කළහ.

මේ අතර ගුප්ත ආත්මයක් විසින් ලියා පෙන්වනු ලබන ශාස්ත්‍රයක් අසන්නට මේ මව්පියෝ ගියහ. “ඒ දැරියම පිරිමි ආත්ම භවයක් ලබා මේ මවගේ කුසින් උපදිනවා. 2010 දෙසැම්බර් මාසෙ 29 දා ලකුණක් වශයෙන් දකුණු අතේ පිට අත්ලේ ලපයක් ඇති. කිසි ම සැකයක් නෑ. කලින් හිටපු දුවමයි මේ පුතෙක් වෙලා උපදින්නේ” යි එතැනින් කියැවුණි.

මේ ශාස්ත්‍රය කියැවුණේ 2010 පෙබරවාරි මාසයේ මුල හරියේ දිනයකය. දානමාන පිංකම් හා බෝධි පූජා දිගටම පැවැත්වුණි. බෞද්ධ පිළිවෙතක් ඔවුන්ගේ නිවසේ උදේ හවස දින 21 ක් නොකඩවා පැවැත්වුණි. එය අඹු සැමි දෙදෙනා විසින් මහත් කැපවීමකින් සිදු කරන්නට යෙදුණි. මේ අතර දියණිය පිරිමි දරුවකුගේ ඇඳුමින් සැරසී පැමිණ සිටිනු මව කීප දිනක් ම සිහිනෙන් දුටුවාය. කාලය මාස ගණනින් ඉදිරියට ගියේය.

නීලා 2010 දෙසැම්බර් මස 28 දින කොළඹ ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වූවාය. 29 වෙනි දින උදේ පිරිමි දරුවකු ප්‍රසූත කළාය. මෙයින් මාස එකොළහකට පෙර ශාස්ත්‍රයකින් කියැවුණු පරිදි ම දරුවාගේ දකුණු අත්ල පිට පැත්තේ ලපයක් පැහැදිලිව තිබුණි.

මෙහි දී අප වඩාත් අගය කරන්නේ මේ මව් පිය දෙදෙනා තමන්ගේ ඉලක්කය ජයගන්නා තුරුම කැපවීමෙන් හා ධෛර්යයෙන් ආධ්‍යාත්මීය පිළිවෙත් ඉටු කිරීම යි.

ඊළඟට මේ අලුත උපන් දරුවාගේ හා කලින් මිය ගිය දැරියගේ ග්‍රහචාරයන් පිළිබඳව විමසා බැලුවෙමු. ඔහු ප්‍රකාශ කරන්නේ කලින් දැරිය සඳු මහ දසාවෙන් මරණයට පත්ව, එය ගෙවා අවසන් කොට ඊළඟ අඟහරු මහ දසාවෙන් මේ පිරිමි දරුවා ලෙස උපත ලබා ඇති බවය. (වැඩිදුර පර්යේෂණ සිදු වෙමින් පවතී.)

මෙහි දී තමන් කැමති කෙනකු තම කුසට ගෙන්වා ගත හැකි දැයි ඔබට සිතෙනු ඇත. මේ පුරාණ කතාවකි.

දිනක් රජගෙදර දන් දී දානානිසංස දේශනා ඇසූ විහාරමහා දේවී තොමෝ “ස්වාමීනි! දරු සම්පත් නැතිව අන් සම්පතින් කාරිය කිම්” දැයි මහ තෙරුන් විචාලාය.

“දේවිය! අසවල් කුටියේ ගිලන්ව මරණාසන්නව සිටින සාමණේරයන් වහන්සේට ආරාධනා කරව“ යි තෙරුන් වහන්සේ කීහ. දේවිය ද කුටියට ගොස්, ගිලන්ව වැතිර සිට සිටි සාමණේරයන් වහන්සේ වැඳ “ස්වාමීනි මේ අත්බවින් නිරුද්ධව මා කුස පිළිසිඳ ගන්නැ”යි ආරාධනා කළාය. “දේවිය! මේ මිනිසත් බව පිළිකුළැ”යි උන්වහන්සේ මුල්වර ප්‍රතික්ෂේප කළහ.

දේවිය උන් වහන්සේ වෙනුවෙන් මහ සඟනට මහ දන් දී නැවත නැවතත් ආරාධනා කළාය. එය ථූපවංශයේ සඳහන් වන්නේ “අරළු උක්සකුරු, හෙළ ගිතෙල්, ආදී බොහෝ බෙහෙත් බඩු ද, සිවුරු සළුපිළි ද සාමණේරයන් වහන්සේට අත ගස්වා, උන් වහන්සේ වෙනුවෙන් මහ සඟනට දන් දුන්” බවය.

එවේලේ සාමණේරයන් වහන්සේ “දුප්පත්ව ඉපදුණ හොත් පින් කළ නොහැක. මේ දේවිය බඩ පිළිසිඳ ගතහොත් ඉපිද රජව මහ පින් කළ හැකියැ”යි සිතා විහාර මහා දේවීන් දෙස මෛත්‍රීයෙන් බලා ඉවසූහ. එවිට සතුටු සිත් ඇති බිසව සාමණේරයන් වහන්සේ වැඳ සමුගෙන නික්මුණු කෙනෙහි සාමණේරයන් දෑ අපවත් වූ සේක. බිසවුන් මාලිගයට යන්නට පෙරම දේවීන් කුස පිළිසිඳ ගත් සේක. ඒ ගැමුණු කුමරුගේ ආරම්භයයි.

අතීතයේ මේ ශ්‍රී ලංකාවේ ම ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පවත්වා එවැනි විස්කම් සිදු කොට ඇත. ආධ්‍යාත්මීය චිත්ත ශක්තිය ප්‍රබල වූ විට එවැනි දේ සිදු කළ හැකි ය. නීලා – රාජා යුවළ ද හැඬු කඳුළින් මිය ගිය දැරිය ම පැතූහ.

නිතර දුකට පත්ව හැඬුවොත් ඒ බලාපොරොත්තුව ඉටු නොවන බව වටහා දී සතුටු සිතින් දැරිය වෙනුවෙන් පින් දහම් කරන විට දැරියගේ උපාදානස්කන්ධ සංයුතිය තමන්ට පුරුදු වූ, තමන්ට පි‍්‍රය වූ, තමන් වෙනුවෙන් පින් දහම් කරන්නා වූ, මව් පිය දෙදෙනා වෙත ඇදී ආවේය.

එසේ ම පූර්ව කර්ම විපාක වළක්වනු පිණිස උදේ හවස මහන්සිව විශේෂ පිරිත් සූත්‍රයක් වැඩි වාර ගණනක් සජ්ඣායනා කරමින්, අපල මඟ හැරවූහ. නිවසේ තිබූ දොස් ඒ සත්‍යක්‍රියා මාර්ගයෙන් ඉවත් කොට පරිසරය පිරිසිදු කළහ. ප්‍රසන්න කළහ. මිය ගිය දැරිය ආපසු පිරිමි බව ලබමින් පැමිණියාය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: