Posted by: lrrp | April 21, 2011

හීනෙන් දුටු පාරක් දිගේ සැබැවින් ගමන් කරයි

වර්තමාන සමාජයේ මිනිස් ජීවිත කාලයන්හි බොහෝ පැය විනාඩි තත්පර ගෙවී යන්නේ සිහින සිතුවිලි අතර ය. මේවායින් ඉටු වන්නේ කීයෙන් කීය ද? මේ අතර නින්දේදී දකින සැබෑ සිහින ඉටුවන අවස්ථා ද ඇත.

සාලිකා විශ්ව විද්‍යාල ශිෂ්‍යාවකි. මේ ඇය කියන කතාවයි. “මම කුඩා කාලයේ සිට ම සිහිනෙන් වතුර බොනවා දකිනවා. කෙනෙක් මට වතුර බොන්නට දෙනවා නොවෙයි. එක පාරට ම මම වීදුරුවකින් වතුර බීගෙන බීගෙන යනවා. ඊට පසුව දාට මොකක් හෝ දුක්ඛ දායක ආරංචියක් එනවා.”

“නින්දට කලින් ඔබේ යටි හිතට පණිවුඩයක් දෙන්න. මම හීනෙන් දෙන වතුර බොන්නෙ නෑ කියලා.” මම ඇයට උපදෙස් දුනිමි.

ඊට පසුව ඇය කීවේ “මම උත්සාහ කළා. ඒත් ඒ වතුර බොන්න ම යි හිතෙන්නේ. ඒ තරම් ම සුවඳයි. ඒ තරම් ම රසයි. ඒ වතුර නොබී වළකින්න බෑ. එක දවසක් මේ හීනය දැක්කා. ඊට පහුදා මගේ තාත්තා අසනීපයෙන් රෝහල් ගතකර මිය ගියා.

අනිත් සිහිනය තමයි බත් කන එක. ඒක නම් දකින හැමදාම පෙනෙන්නේ කවුදෝ නොහඳුනන කාන්තාවක් බත් පිඟානක් පි‍්‍රය විදිහට බෙදලා ගෙනැත් දෙනවා. ඒකත් නොකා ඉන්න බෑ. ඊට පහුවදාට මොකක් හෝ කරදරයක් එළඹෙනවා. වතුර බීවොත් දුකක්. බත් කෑවොත් කරදරයක්.

මේ කතාව කීවේ කළුතර නීතිඥ මහත්මයෙක්. මේ නීතිඥ මහතා ගේ පුංචි අම්මා මාතර පදිංචි කාරියක්. මේ පුංචි අම්මා දවසක් රෑ හීනෙන් අනුරාධපුරේ ගියා. ඇය ගියේ ඇගේ අක්කාත් (නීතිඥ මහතා ගේ මව) සමඟයි. මේ දෙන්නා සුදු නෙළුම් වට්ටි දෙකක් අරගෙන රුවන්වැලි මහා සෑය වටේ පැදකුණු කළා. අක්කා ඉදිරියෙන් යනවා. නංගී අක්කාට පසු පසින් ගමන් කරනවා. තුන් වැනි වටය පැදකුණු කර අවසාන වන විට අක්කා එක පාරට ම අහසට ඇදී ගියා.

පසු දා උදේ පාන්දර කළුතර නීතිඥ මහතා මේ පුංචි අම්මාට වෙනත් හදිසි වුවමනාවක් දන්වා වහාම කළුතර නිවසට පැමිණෙන ලෙස දැනුම් දුන්නේය. ඇය පෙ. ව. 9.00 වන විට කළුතර නිවසට පැමිණියාය. ඇය එහි එන විට නිවස ඉදිරිපිට සුදු කොඩියක් එල්ලා තිබුණි. ඇය වහා ගෙතුළට ගොස් බලන විට පවුලේ අය දුක්මුසුව කතා බහේ යෙදෙමින් සිටියහ.

අක්කා පාන්දර 1.25 ට මිය ගිය බවත්, දේහය බෙහෙත් ගැල්වීම් සඳහා මල් ශාලාවට ගෙන ගිය බවත් දැන ගන්නට ලැබුණි. හරියට ම ඒ වේලාවට පමණ පාන්දර සිහිනයේ අක්කා රුවන්වැලි මහා සෑය ළඟදී අහසට ඇදී යනු දුටු බව මේ නංගී හැඬු කඳුළෙන් කීවාය. මේ සිහින හරියට ම වේලාවට කෙසේ පෙනෙනවා දැයි අනුමාන කරනවා මිසක නිගමනවලට බැස ගත නොහැකිය.

මේ ඊටත් වඩා දිග කතාවකි. මතුගම විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු වූ ඩග්ලස් අල්විස් මහතා අප සමඟ කී කතාවකි.

“මේ 1987 මා දුටු සිද්ධියක්. එවකට මා අලුත්ගම මහා විද්‍යාලයේ විදුහල්පති ලෙස රාජකාරි කරමින් සිටියා. අපේ විද්‍යාලයට අලුතින් ගොඩනැගිල්ලක් ඉදි කරමින් තිබුණා. එය ඉදිකළේ කොන්ත්‍රාත්කරුවෙක්.

ඒ ගොඩනැගිලි පරීක්ෂාව බාරව සිටියේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව වෙනුවෙන් නන්දන සුගතපාල මහත්මයා. ඒ මහත්මයාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරේ ම කෙනෙක්. ඒ මහත්මයා පදිංචිව සිටියේ හොරණ යාල හන්දියටත් එහා කෙසෙල්හේනාව හන්දියෙන් සැතපුම් තුනක් විතර දුරින්. ලෙනවර පන්සල කිට්ටුව.

මට අත්‍යවශ්‍ය රාජකාරි කටයුත්තකට මේ සුගතපාල මහත්මයා මුණ ගැහෙන්න අවශ්‍ය වුණා. ඒ දවස්වල සාමාන්‍ය පෙළ විභාගයේ රාජකාරි වගයකුත් සුගතපාල මහත්මයාට පැවරී තිබුණා. මගේ අවශ්‍යතාව දුරකතනයෙන් සාකච්ඡා කැර ඉෂ්ට කැර ගන්නත් බැහැ. මුණ ගැහෙන්න ම ඕනෑ. මම මීට කලින් ඒ ගමට ගිහින් තිබුණෙත් නෑ.

මම හෙට පාන්දරින් සුගතපාල මහත්මයා හොයා ගෙන බස් එකෙන් ඒ ගමට යනවා කියලා තීරණය කළා. ඉතින් හෙට ගමනට අවශ්‍ය කඩදාසිත් මගේ බෑගයට දමා රාත්‍රියේ ම සකස් කැර තිබ්බා. උදේට ඇඳගෙන යන ඇඳුම් එහෙමත් සූදානම් කැර නින්දට ගියා. රාත්‍රි මට හීනෙන් පෙනෙනවා බෑගයත් එල්ලා ගෙන නුහුරු නුපුරුදු පාරක යනවා. මගේ වම් පැත්තෙන් කන්ද උඩ පන්සලක් තිබුණා.

මම මේ යන පාරට මට පෙනෙන්නේ පන්සලේ පිටුපස පැත්ත. මම දැන් ගමන් කරන්නේ ගුරු පාරක. ටිකක් දුර යනකොට පොල්වත්තක් හමු වුණා. පාර දෙපැත්තෙම පොල් ඉඩම. හරිම පාළුයි. කිසි කෙනෙක් පෙනෙන්නත් නෑ. ඊළඟට ලඳු කැලෑව. මේ කැලෑව මැද්දෙන් යන කොට මට (හීනෙන් වුණත්) හිතට බය ගතියකුත් දැනුණා. ලන්ද ඉවර වුණාම බඩ් රබර ඉඩමක්. මට හොඳට මතකයි ඒ රබර් පැළ හොඳ සාරෙට හැදිලා කිරි කපන තරමට ම. හැබැයි කැපුම් දාල නෑ. ඒකත් හොඳට මතකයි.

ඊළඟට ගෙවල් කීපයක් දැක්කා. දැන් අර පාළු ගතිය නැහැ. හිතටත් සහනයක් ආවා. ඊළඟට හමුවුණ ගෙදර මිදුලේ පාර අයිනේ වයස අවුරුදු 4 – 5 ක විතර ගෑනු ළමයෙක් හිටියා. ඒ ළමයා මා ළඟට ආවා. මම ඒ දැරිවිව වඩා ගත්තා. ඒ ගෙදර මගුල් ගෙයක්. ගේ අයිනෙන් දිගට ටෙන්ට් එකකුත් (ටකරන් මඩුවකුත්) ගහල තිබුණා. මම ඒ ළමයවත් වඩා ගෙන ටෙන්ට් එක පිටුපසින් (ගේ පිටුපස) උඩහට ගියා. එතැනත් පුංචි කඳු ගැටයක් වගේ. ඔච්චරයි සිහිනය.

ඉතින් පහුව දා මම මගේ ගමන ගියා. සුගතපාල මහත්මයා හොයා ගෙන. යාල හන්දියට ගියා බස් එකෙන්. එතැන හිටියා කෙසෙල්හේනාව පැත්තට යන තව කෙනෙක්. “මේ පාරෙ බස් හරි ම පරක්කුයි. මම නම් පයින් යනවා. මහත්තයත් එනවා නම් එන්න” කියලා මේ මනුස්සයා මට කීවා. මෙතන හිට ගෙන ඉන්නවාට වඩා පයින් හරි යන එක හොඳයි කියල මටත් හිතුණා. අපි දෙන්නම පයින් ගියා.

කෙසෙල්හේනාව හන්දියේදී මගීන් ගෙනියන වෑන් එකක් ආවා. තව හැතැප්ම තුනක් විතර යන්න තියෙන නිසා වෑන් එකට නැග්ගා.

මම නොදන්න පාරක් නිසා ඩ්‍රැයිවර්ගෙන් ඇහුවා මෙතැන ඉඳලා හැතැප්ම තුනක් විතර යන කොට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වැඩ කරන සුගතපාල කියල මහත්තයෙක් ගැන දන්නව ද කියලා. මිනිහා දන්නේ නෑ. එතැන හිටපු වෙන කෙනෙක් මට කීවා ලෙනවර පන්සල ළඟින් බැහැලා එතැනින් තියෙන ගුරු පාර දිගේ යන්න. සුගතපාල මහත්තයා ඉන්නේ ඒ පාරෙයි කියලා.

මම ලෙනවර පන්සල ළඟින් බැස්සා. අනේ! දෙය්යනේ! මේ ඊයෙ රෑ මම හීනෙන් දැකපු පන්සලනේ. කන්ද උඩ පන්සල. අර වගේ ම මම හිටපු තැනට මට පෙනෙන්නේ පන්සලේ පිටුපස පැත්ත. මම එතැනින් තිබුණු ගුරු පාර දිගේ ගියා. මෙන්න ඊළඟට පොල් ඉඩම මුණ ගැහුණා. ඊයෙ හීනෙන් දැක්ක වගේමයි. ඊළඟට ළඳු කැලෑව. ඒ කැලෑව මැද්දෙන් යන කොට අර වගේ ම හිතට බයකුත් දැනුණා.

ඊළඟට රබර් ඉඩම. ඒකත් අර වගේ ම යි. හරි ම පුදුමයි. දැන් කාගෙන්වත් අහන්නෙ නැතිව යා හැකි තරමට මට හීනෙන් දැක්ක පාර මතකයි. ඊළඟට ගෙවල් කීපය මුණ ගැහුණා. ඒ ගෙදරක සිටි කෙනෙකුගෙන් අහන්නත් හිතිලා “නෑ ඕනෑ නැහැ” කියලා ඊයෙ හීනෙන් දුටු ගෙදරට ම ගියා.

ඒ ගෙදරට ගිහින් කතා කළා ම මෙන්න අපේ සුගතපාල මහත්මයා ඉන්නවා. දෙන්නා එක්ක සාලයේ වාඩි වී කතා කරන කොට එතැන තිබුණා අවුරුදු 4 – 5 ක ගෑනු ළමයකුගේ ටිකක් ලොකු පින්තූරයක්. මම සුගතපාල මහත්තයාගෙන් ඇහුවා “මේ ළමයා කවුද?” කියලා.

“මේ මගේ දුව“ කියලා සුගතපාල මහත්තයා මට උත්තර දුන්නා.

“පුදුමයි, මම ඊයේ රෑ හීනෙන් මේ දුවව වඩාගෙන හිටියා” කියලත් මම කීවා. එයාටත් පුදුමයි. ඒ එක්ක ම අවුරුදු 16 – 17 ක විතර ගැහැනු ළමයෙක් මට තේ බන්දේසියක් අරගෙන ආවා.

“මේ මගේ දුව. මෙයා ගෙ පුංචි කාලෙ පින්තූරයක් තමයි ඔය” කියල සුගතපාල මහත්තයා මට දුව හඳුන්වා දුන්නා.

ඊට පස්සේ මම ගිය කාරණේ ගැන සාකච්ඡා කර අවශ්‍ය කඩදාසි සම්පූර්ණ කැර ගත්තා. මම ඒ ගෙදරින් පිටත්වෙන්න කලින් මුත්‍රා කරන්න වුවමනා ;වලා ගේ පිටුපස තිබුණු වැසිකිළියට ගියා. ඒ ගෙයි පිටුපස පැත්තත් ඊයේ රෑ හීනෙන් දැකපු විදිහමයි. මම සුගතපාල මහත්තයාටත් ඒ දුවටත් “මම ගිහින් එන්නම්” කියලා මතුගම බලා ආවා.

පහුව දා මම ඉස්කෝලෙට ගියා. අලුත්ගම. එදා විශේෂයක් නෑ. පහුව දා මම විදුහල්පති කාමරයේ වැඩ කරන කොට උප ගුරු මහත්මයෙක් මා ළඟට ආවා.

“සර්… අපේ සුගතපාල මහත්තයා ගෙ දුව අන්තරා වෙලානෙ” කීවා.

“මොනවා?” මාව උඩ ගිහින් බිම වැටුණ වගේ වුණා. පෙරේදා ගෙදර හොඳට හිටපු දරුවා. මට තේත් හදාගෙන ඇවිත් පිළිගැන්නුවා. අසනීප ගතියක්වත් පේන්න තිබුණෙ නෑ.” කියලා මම නළලට අත්ල තියා ගෙන කල්පනා කළා. මගේ හිත දිගින් දිගට අර හීනය දිගේ ගමන් කළා.

මෙහෙම පන්සලක්, පාරක්, ගහකොළ හරියටම, කලින් නොදුටු ඒ දුවම මම පළමුදා හීනෙන් දුටුවෙ කොහොම ද? කව්ද ඒක මට පෙන්නුවෙ? ඒ තරම් ම පුද්ගලික සම්බන්ධයක් නැතුවත් ඒ දරුවව හීනෙන් වඩා ගත්ත හැටි. මෙහෙම පෙන්වන බලවේගය මොකක්ද මම තනිවම කල්පනා කළා. තව ම ඒකට හරි උත්තරයක් මට ලැබුණේ නෑ.

ඊළඟ දවසෙ අපි හිතවත් අය වාහනයක් කුලියට අරගෙන මළ ගෙදර ගියා. එදා හීනෙන් දැකපු ටකරන් මඩුව ඒ විදිහට ම එතන ම සවි කැර තිබුණා. “මේ තරම් දිග හීනයක් ඒ තරම්ම පැහැදිලි ව දැක්කේ කොහොම ද? කුමකට ද? කියලා මට තවමත් හරි ම ප්‍රශ්නයකැ”යි අල්විස් මහතා පැවසීය.

සාලිකා ගේ සිහිනයේ වතුර පානය කිරීම හා බත් කෑම සංකේතවත් කොට වතුරෙන් දුකත් බතෙන් කරදර කම්කටොලුත් කල් ඇතිව පෙන්වයි. නීතිඥ මහතා ගේ අම්මා මිය යන වේලාවේ ම ඇගේ සහෝදරියට අහසට නැගී යන අක්කා පෙන්වයි. අල්විස් මහතාගේ සිහිනය මහත් පුදුමය දනවන්නකි. අපේ පිහවි ඇසට නොපෙනෙන ශක්තීන් තවත් කොයි තරම් ඇති ද?


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: