Posted by: lrrp | April 25, 2011

එදා විඳපු වේදනාව තාමත් මට දැනෙනවා

මිනිසාගේ මරණය කොයි මොහොතේ සිදු වේ දැයි ඔහු නොදනී. එහෙත් තමන් බොහෝ කාලයක් ජීවත් වෙන්නට දරුවන්ගෙත් දරුවන් දියුණු වී සිටිනවා දකින්නට සිහින මවමින් සිටී. මගේ මරණය අත ළඟ යැයි සිතන්නට මිනිස් සිත ඉඩ නොදේ. තණ්හාව විසින් ගැට ගසන ලද අවුලේ පැටළී ගොඩ නඟන බලාපොරොත්තු අපේක්ෂාවන්ගේ සිතිවිලි අතර ජීවත් වෙයි. ඒ සිතුම් පැතුම්වලින් මල්පල ගන්වන්නේ කීයෙන් කීයක් ද?

කළු චන්දරේ තිස් හැවිරිදි විවාහක තරුණයෙකි. ඔහු නිසා වයලාට උපන් දියණියට යම් තම් වයස අවුරුද්දක් වූවා පමණි. චන්දරේ ගෙයින් පිට ගොස් ආපසු නිවසට පය ගසන විට ඔහුගේ හඬ ඇසුණු සැණින් වැටි වැටී දණ ගාගෙන එන මේ සිඟිත්තිය “තාත්තා තාත්… තා” යි දෑත් පොඩි නගන්නේ පියා ලවා වඩා ගන්නට ය. දැරිය වඩා ගන්නා චන්දරේ ඇය ඔඩොක්කුවේ හිඳුවා ගෙන තමන් ගෙනා පලතුරක් හෝ රස කැවිල්ලක් ඇගේ මුවෙහි තබන්නේ උතුරා යන සෙනෙහසිනි.

මේ තාත්තලා දූලා ගේ ආදරය මැද්දෙ මතු වෙන වයලා “චූටි මැණික එහෙනම් තාත්තා එක්ක ඉන්න. මම තාත්තාට තේ ටිකක් වත් කරගෙන එන්නම්. තාත්තාට දැන් මහන්සිත් ඇතිනේ” යි කියමින් කුස්සියට වදී. මේ සෙනෙහස් කැදැල්ලේ කීචි බීචිය හා සිනහ රැළි අතරේ චන්දරේට වෙහෙසක් දැනෙන්නේ නැත.

චන්දරේ ඒ ප්‍රදේශයේ සිටි ශක්තිමත් ම තරුණයා ය. ඔහුට ඕනෑ ම තැනක රැකියාව කිරීමේ හැකියාව තිබුණි. දවල් දවසේ වෙහෙස මහන්සිව කටයුතු කරන්නේ සාධාරණ කුළියක් උපයා ගනී. ඕනෑ ම මහ ගසක් අසල ගොඩනැඟිලිවලට හානියක් නොවන්නට කපා බිම හෙළීමේ දක්ෂතාවයක් ඔහු තුළ විය. නගරයේ ගෙවල් අතර පිහිටි අනතුරුදායක ගසක් කපා ඉවත් කිරීමට අවශ්‍ය වූ විට හැම කෙනෙක් ම කළු චන්දරේ සොයා ගෙන එති. මහා උගතුන්ට හෝ යන්ත්‍ර සූත්‍රවලට නැති හැකියාවක් ඔහුගේ දෑතට තිබුණු බව ඔහු ගැන දන්නා ඕනෑම කෙනෙක් පිළිගනිති. කොයිතරම් වෙහෙස මහන්සිව වැඩ කළත් වැඩ අවසන් වූ සැණින් ඔහු ගෙදර බලා දුවගෙන එන්නේ චූටි දූ සිඟිත්තිය සුරතල් කරන්නට ය.

එදාත් ඔහු පය ඉක්මන් කළේ මිදි ගෙඩි කීපයක් මිලට ගෙන ඉන් එකක් ඇගේ මුවෙහි ඔබා සතුටුවීමට ය. ඔහු මහින්දාරාම පාර දිගේ නිවස දෙසට ගමන් කරමින් සිටියේ ය. පිටු පසින් ආ වෑන් රථයක් ඉදිරියෙන් ආ ලොරියකට ඉඩ දෙන්නට සීමාව ඉක්මවා අයින් කළේ ය. වෑන් රථය පැමිණි අධික වේගය නිසා රියැදුරාට පාලනය කර ගත නොහැකිව තාප්පය දිගේ ඇතිල්ලීගෙන ඉදිරියට ඇදී ගියේ ය.

“ආ… ය්…යෝ…”

දැන්වීම් ඇලවීම වැළැක්වීම සඳහා රළුවට කපරාරු කැර තිබුණු තාප්පයත්, වේගයෙන් ආ වෑන් රථයත් අතර සිර වී ඉදිරියට ඇදී ගිය කළු චන්දරේ මහත් වේදනාවෙන් ම අවසන් හුස්ම හෙළුවේ ය. මැරී වැටුණේ ය. මේ සිද්ධිය වූයේ 1992 වර්ෂයේ ය.

දැන් කාලයක සිට වයලා අසනීප ගතියෙන් පසුවෙයි. තද හිසරදයකින් පෙළෙයි. ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට ඇගේ නිවසේ සිට වැඩි දුරක් නැත. ඇය නිතර එතැනින් එහා මෙහා ගමන් යයි. එහෙත් එහි යෑමට හිත් දුන්නේ ම නැත. පසුගිය දා ඇයට එහි යන ලෙස ඇගේ සිත නිතර නිතර කීවේ ය. වයලා සිය දියණිය සමඟ එහි ගියා ය. දියණිය ද දැන් තරුණියකි.

එහි දී වයලා ප්‍රලය වූවා ය.

“කව්ද මේ?

“මම කළු චන්දරේනෙ මහත්තයා. මහත්තයා මාව අඳුනනවා.”

“ඔව්…ඔව්… අර වෑන් එකක හැප්පුණේ”

“ඔව් මහත්තයා! එදා තාප්පයට හිර වෙලා විඳපු වේදනාව මේ දැනුත් දැනෙනවා. මගේ ඇඟේ ඇට කටු පොඩි වුණා. හම ගැලවිලා ගියා. අය්යෝ… දනවා දනවා. දැවිල්ලයි මහත්තයා මතක් වෙන කොටත් ඉන්න බැහැ…”

“ඇයි ඔය වගේ වේදනාවකිනුත් ඉඳගෙන තමුන්ගෙ බිරිය ලෙඩ කරන්නෙ?”

“මම මැරුණෙ මහා වේදනාවකින්. ඒ වේදනාව එදා ඉඳල තවමත් විඳිනවා. ඒත් දුවට තිබුණු ආදරය නිසා එයාගෙ ආරක්ෂාවට මම වයලාගේ ශරීරයට වෙලා හිටියා. ළමයව ආරක්ෂා කර ගන්න ඕනෑ නිසයි වේදනා දුක් විඳගෙන හරි නතර වුණේ. දැන් නම් මට මෙහෙන් පිට වෙලා යන කාලය ඇවිත්. මම ගියාම වයලාට සනීප වේවි. මම ජීවත් වුණේ වයලාගේ ශරීරයෙම දේවල් ආහාරයට අරගෙන. ඒකයි මෙයා අසනීප වුණේ. මම දන්නවා මම ඉපදිලා ඉන්නෙ අගතියෙ බව. අගතියේ ඉන්න අයට ආහාර පාන නෑ. දුක ම තමයි කන්න බොන්න වුවමනාව. ආශාව තිබුණට ලැබෙන්නේ නෑ. දැන් මම වයලවත් දුවත් අත හැර යන්න ඕනෑ. මගේ දුව දැන් ලොකුයි. එයාට දැන් මගේ ආරක්ෂාව වුවමනා නෑ. මට යන්න වුවමනා නිසා ම තමයි වයලාව සනීප කරලා යන්න මහත්තයා ළඟට එව්වේ. මමයි වයලාගේ හිතට අදහස් දුන්නේ මෙහෙට එන්න.

“දැන් චන්දරේට මොනවද වුවමනා?”

“එපා මහත්තයා මට මොකවත් එපා. මට අවශ්‍ය දේවල් දෙන්න මේ දෙන්නට අමාරුයි. මේ දෙන්නාට කරදර කරන්න හොඳ නෑ. මම යන්නම්.”

“එහෙම යන්න එපා. එහෙම නම් මේ අය ලවා මල් පූජාවක් කර පින් දෙන්නම්.”

“කොහොමද මහත්තයා මල් පූජාවෙන් පින් ලැබෙන්නෙ?”

“මේ අම්මයි දුවයි මල් නෙළාගෙන ගමේ පන්සලේ බෝධීන් වහ්නසේ ළඟට යාවි. චන්දරෙත් ඒ අයත් එක්ක බෝධීන් වහන්සේ ළඟට යන්න. මේ අය ඒ මල් පිරිසිදු වතුරෙන් දෝවනය කරලා මල් ආසනය මත පිළිවෙළට තැන්පත් කරාවි. ඒ හැම දේකට ම චන්දරෙත් අත ගහලා සම්බන්ධ වෙන්න. ඊට පස්සෙ මෙහෙම හිතන්න. බුදු පිළිම වහන්සේ දෙස බලාගෙන මෙහෙම හිතන්න.”

“තුන් ලෝකාග්‍ර වූ බුදු පියාණන් වහන්ස; ඔබ වහන්සේ රහසින්වත් පව් නොකළ සේක. සියලු කෙලෙසුන්ගෙන් මිදුණු සේක. තුන් ලෝ වාසීන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජාවනට සුදුසු වූ සේක. ඒ උතුම් වූ බුදු ගුණයට ගෞරව වශයෙන් මේ මල් පූජා කරමි. පූජා ම වේවා” කියා හිතන්න. ඊළඟට මේ මල් දිහා බලාගෙන මෙහෙම හිතන්න. “මේ පූජාවේ පින මට ද නිවන් සුවය සඳහා ම හේතු වේවා” කියා හිතන්න. ඊළඟට “මේ මල් පැහැයෙන් ද යුක්ත ය. සුවඳින් ද යුක්තය. එහෙත් තව ටික වේලාවකින් මේ මල් මැළවී යන්නෝ ය.

මේ මල් මැළවී යන්නේ යම් සේ ද මාගේ ශරීරය ද ජරාවට පත් වන්නේ ය. මේ මල් මැළවීමෙන් පසු කුණු වී යන්නේ ය. මාගේ ශරීරය ද එසේ ම මරණයට පත්ව කුණු වී යන්නේ ය. සියල්ල ඇති වී නැති වී යයි. මාගේ ශරීරය ද එසේ ය. අනිත්‍යයි. අනිත්‍යයි. නිත්‍ය නැත. ඒ වෙනස් වීම ජරාවට පත්වීම හා මරණයට පත්වීම නිසා දුක්ඛයි. දුකයි. මෙසේ ක්ෂණයක් පාසා වෙනස් වන බැවින් මා තුළ ද ‘මමය’ කියා දෙයක් නැත. ‘ආත්මය’ කියා දෙයක් නැත, කියා හිතන්න. ඒක තමයි ලොකු ම කුසලය. අනිත්‍ය – දුක්ඛ – අනාත්ම කියන ත්‍රිලක්ෂණය මොහොතක් මෙනෙහි කළොත් ඒක වේළාම බ්‍රාහ්මණයා ගේ අසදෘශ දානයටත් වඩා ආනිසංසය කියා දහමේ සඳහන් වෙනවා” යැයි භූතාත්මය අමතා විස්තර කළේ ය.

“සාදු! සාදු!! සාදු!!! මහත්මයා මගේ හිතට විශාල සහනයක් දැනුණා. වේදනාවන් අමතක වුණා. මම දැන් ගමේ පන්සලේ බෝධීන් වහන්සේ ළඟට යනවා. පින්වතුන් මල් පහන් පූජා කරන කොට, ඒවාට අත ගසා දායක වෙනවා. මහත්තයා මම යනවා. වයලා මම යනවා. දුවේ මම යනවා” ය භූතාත්මය නික්ම ගියේ ය.

තමන් පෝෂණය කළ දුක් මහන්සි වී හැදූ වැඩූ ආදරණීය ස්වාමි පුරුෂයා, ආදරණීය පියාණන් වෙනුවෙන් බෝධි පූජා විසි එකක් පවත්වා පින් අනුමෝදන් කරන ලෙස වයලාටත්, දියණියටත් උපදෙස් දුන්නේ ය. ඉන් පසු වයලා ගේ අසනීප තත්ත්වයත් පහව ගියේ ය.

අමනුෂ්‍යයෝ මිනිසුන්ගේ ශරීරවලට සම්බන්ධ වන්නේ ඇලීම හෝ ගැටීම නිසා ය. ආදරය හෝ ද්වේෂය නිසා ය. ඒ නිවස හා පුද්ගලයන් ගේ බාහිර අභ්‍යන්තර අපිරිසිදුකම් ද ඊට බලපායි. කෙනෙකුට එවැනි භූතයෙකු හිරිහැර කරන්නට එන්නේ පැරණි ගනුදෙනු වක් වෙනුවෙන් පළිගන්නට ය. ජීවත්ව සිටිය දී ඔහුට කළ රිදවීමක් හෝ පාඩුවක් විය හැකි ය. එසේ එන්නේ තමන් ගේ ම ඥාතියෙකු හෝ ආශ්‍රය කළ කෙනෙකි. තමන් සමහරු ජීවත්වන ඉඩමට හෝ නිවසට හෝ පුද්ගලයන්ට හෝ ආශාවෙන් මිය ගිය පැරැන්නෝ ද එසේ පැමිණෙති. ඒ නිසා ඉඩම් හා පරණ ගෙවල් මිලදී ගැනීමේදී ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුය.

මේ තවත් එවැනි කතාවකි. ජයරත්න හදිසියේ මිය ගියේ ය. ඔහු මිය ගියේ දරුවන් පිළිබඳ ආශාවෙනි. ඔහු දරුවන් කෙරෙහි බැඳුණු සිතින් මිය ගොස් ඔවුන්ගේ ආරක්ෂාවට යැයි ඒ ළමයින් ඇසුරෙහි උපන්නේ ය. එය ප්‍රේතාත්මයකි. ජයරත්න ගේ බිරිඳ ඔහු මිය ගිය පසු ගතිගුණ වෙනස් කළා ය. ඒ ගෙදර උදේ හවස දැල්වූ බුදු පහන තැබීමට පවා උනන්දු වූයේ නැත. දරුවෝ එය තමන්ට හැකි අයුරින් තැබූහ. බිරියගේ චර්යාවන් වෙනස් වෙද්දී භූතාත්මය කල්පනා කළේ දරුවන් තමන් වෙතට ගැනීමට ය. දරුවෝ වරින් වර අසනීපවලට ගොදුරු වූහ. වෛද්‍ය ප්‍රතිකාරවලින් සුවයක් ලැබූයේ ද නැත.

ජයරත්නගේ භූතාත්මය බිරිය සමඟ අමනාප වූ බැවින් ඇගේ ශරීරයට රිංගුවේ නැත. එහෙත් ජයරත්න ගේ භූතාත්මය සමඟ සැරිසරන ඔහුගේ පිරිවරක් ද සිටී. එයින් එකෙක් ජයරත්නගේ බිරියගේ සිරුරට රිංගා ගත්තේ ය. ඒ අමනුෂ්‍යයා යැපෙන්නේ ඇගේ ශරීරයෙනි. ඇය ද අසනීප වූවා ය. මේ අයට නියම කරන ලද පිළිවෙත් හරි හැටි ඉටු කිරීමට උනන්දු වූයේ නැත. අනුන්ට මුදල් ගෙවා අනුන් ලවා පිළිවෙත් කැරවීමට කටයුතු කළහ.

මස් මාළු කරවල බිත්තරවලින් වැළකීමට අකමැති වූහ. සමහර ඇදුරෝ මෙවැනි අයගෙන් විශාල වශයෙන් මුදල් ලබාගෙන වැඩේ හරියට ඉටු නොකර පලා යති. දන් පින් කොට ඥාති භූතාත්ම යහපත් ස්ථානවලට යවා තමන් දැහැමි ව උදේ හවස තෙරුවන් වැඳ ස්වකීය ආධ්‍යාත්මය දියුණු කැර ගැනීමට පෙළඹෙන අය ආරක්ෂා වෙති. ජයරත්නගේ බිරිය පසුගිය දා වාහනයක හැපී රෝහල් ගත කරන ලදුව මිය ගියා ය. දරුවෝ තවත් අසරණ වූහ.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: