Posted by: lrrp | May 9, 2011

ජීවිතය ඉහළ හෝ පහළ යෑමට මනසේ ඇතිවන සිතුවිලි හේතුවේ – මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි

පසුබිම් කතාව

සැවැත් නුවර මහා ධන සම්පතින් ආඪ්‍ය වූ බමුණෙක් විසී ය. තම ධනයෙන් මදකුදු දනට පිනට දෙනු තබා හේ සිය අඹු දරුවන් ගේ ප්‍රයෝජනය පිණිසවත් නොදුන්නේ ය. කෑම් බීම් සඳහා වැය කළේ ද ඉතා සුළු ප්‍රමාණයකි. එහෙයින් ඔහුට ‘අදින්නපුබ්බක’ යැයි නම් පටබැඳුණේ ය.

ඉතා මසුරුව කටුක ජීවිතයක් ගෙවූ අදින්නපුබ්බකට කුඩා පුතෙක් විය. තම දරුවාට ආභරණ සෑදීම සඳහා රන්කරුවන්ට ගෙවිය යුතු වැටුපෙහි ලෝභීව තමන් ම කොඬොල් දෙකක් තලා සාදා පුතුට පැලඳවීය. කැටයම් කිසිත් නොමැතිව බමුණා විසින්ම තලා සකසන ලද අභරණ පැලඳි නිසා මේ දරුවා ‘මට්ටකුණ්ඩලී’ නම් විය.

සිය පුතුට සිප් සතර දී වියතකු කිරීම ගැන ද අදින්නපුබ්බක ගේ කිසිදු අදහසක් නො වී ය. කෑම් බීම් ඇඳුම් පැලඳුම් පවා ලැබුණේ ඉතා මද වශයෙනි. ගුරුවරයකුගෙන් ශිල්ප නොලදත් මට්ටකුණ්ඩලී ගුණවත් දරුවකු ලෙස හැදී වැඩුණේ ය. පවින් වැළකුණේ ය.

කයට නිසි අහර නොලැබීම නිසා මේ දරුවා රෝගී වූයේ ය. ගිලන්ව වැතිර සිටින තම දරුවා දෙස බල බලා සිටිනු හැර, වෛද්‍යවරයකු කැඳවා බේත්හේත් කරන්නට බමුණා පැකිළුණේ ය. සිය ධනයෙන් සුළු කොටසක් හෝ වැය කරන්නට වූ දැඩි අකැමැත්ත නිසා ය. ගිලන්ව වැදහොත් මට්ටකුණ්ඩලී ඖෂධ නොමැතිකමින් දිනෙන් දිනම අසාධ්‍ය වූයේ ය. මරණාසන්න වූයේ ය.

දරුවා ගේ ලෙඩ බැලීමට හෝ, මළ අවස්ථාවේ අවමඟුලට යන එන පිරිස් තම ධන සම්පත් දකිති යි බිය වූ බමුණා පුතු ඔසවා ගෙයි එළිපත්තේ නිදි කර වූයේ ය. ගිලන්ව මරණාසන්නව සිටින මට්ටකුණ්ඩලී කෙරෙහි කුලුණු සිතින් අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ නිවෙස අසලින් වැඩම කළහ. බුදුරජාණන් වහන්සේ දැක මට්ටකුණ්ඩලී ගේ සිත පැහැදුණේ ය. ලෙඩට පිළියම් නො ලැබ මිය ගිය ඔහු ඒ පහන් සිතිවිලි නිසා හටගත් කුසල් බලයෙන් දෙව්ලොව උපත ලබන්නේ ය.

මේ සිදුවීම මුල් කර ගනිමින්, ‘යම් පුද්ගලයකු පහන් වූ සිතින් යමක් කියයි නම්, කරයි නම්, සිරුර නො හැර යන සෙවණැල්ල සේ සැපය ඔහු පසු පස ලුහුබඳින බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ.

බුදු දහම මනසට මුල්තැන දුන් ධර්මයකි. බුදුරජාණන් වහන්සේ මනස පිළිබඳ කරන දේශනාවල දී, ලෝබ, දෝෂ, මෝහ යන අකුසල් මූලයන්ගෙන් මිදුණු මනසින් කරන කටයුතු ජීවිතයට යහපත උදා කරන බව දේශනා කොට වදාළහ. ‘පසන්නේන මනසා’ ලෙසින් දැක්වූයේ එය යි.

මිනිස් සිතේ හටගන්නා විවිධාකාරයේ සිතිවිලිවලින් මනස දූෂිත වේ. ලෝබ, දෝස, මෝහ ඊට බලපාන හේතු ලෙස පෙන්වා දේ. එවැනි තත්ත්වයන්ගෙන් අපිරිසුදු වූ මනස පිවිතුරු බවට පත්කර ගන්නේ කෙසේ ද? අලෝබ, අදෝෂ, අමෝහ යන කුසල මූලයන් මුල්කරගෙන කටයුතු කිරීමෙනි.

කෙනෙක් මිය පරලොව යන අවස්ථාවේ මෙලොවින් කිසිවක් ගෙන නොයන බව බුදු දහමට අනුව අපි දනිමු. එහෙත් පරලොව ජීවිතය සාර්ථක හෝ අසාර්ථක බවට පත් කිරීමට මනසේ ඇතිවන සිතිවිලි සමුදාය හේතු වේ. ඒ අනුව පුද්ගලයකු ගේ ජීවිතය ඉහළට ගෙන යාමට හෝ ආගාධයට ගෙන යෑමට දෙවියන්, බඹුන් හෝ වෙනත් කිසිදු බලවේගයකට නොහැකි ය. ඒ සඳහා වගකීම ඒ ඒ පුද්ගලයා සතු බව බුදු දහමේ පෙන්වා දී තිබේ.

“යාදිසං වපතේ බීජං
තාදිසං ලබතේ ඵලං”

‘තමන් සිටුවන්නේ කුමක් ද? ඊට අනුව ප්‍රතිඵල ලැබේ’ යන්නෙන් එය වඩාත් පැහැදිලි වේ. එය තවත් විග්‍රහ කරන බුදුරජාණන් වහන්සේ, සිය මව හෝ පියා හෝ, වෙනත් හිතවත් ඥාතිවරයෙක් හෝ තමන්ට කරන උදව් උපකාරවලට වඩා යහපත් මනසින් යුතුව කරන ක්‍රියාවලිය අපට උපකාර කරන බව පැහැදිලි කර ඇත. දෙලොව අභිවෘද්ධිය තීරණය කරන්නේ ද එම නොකිලිටි සිතින් කරන ක්‍රියා ය. මිනිසා ගේ ස්වාධීනත්වය මිනිසාට ම පවරා දුන් බුදුරජාණන් වහන්සේ ඒ ඒ පුද්ගලයාට බලපාන බලවේගවල වගකීම ඒ ඒ පුද්ගලයා සතු බව පෙන්වා දී ඇත.

කායික වශයෙන් නිරෝගී පුද්ගලයෙක් සොයා ගත හැකි වුවත්, මේ පුුහුදුන් ලෝකයේ මානසික වශයෙන් නිරෝගී පුද්ගලයෙක් සොයා ගත නො හැකි බව පෙන්වා දෙමින් කළ දේශනාවෙන් ම මෙහි ඇති උතුම් බව පැහැදිලි ය.

වත්මන් සමාජය දෙස බලන්න. වෙන කවරදාටත් වඩා අද මිනිසුන් අතර මානසික අසහනය වැඩි වී ඇති බව ඔබට පැහැදිලි වනු ඇත. ලොව කොතැනත් මෙහි වෙනසක් නැත. මානසික ආතතියට ගොදුරු වූවෝ ලොව පුරාම වෙසෙති.

පුද්ගලයාට වැලඳෙන රෝගවලින් 72% ක් ම මනස තුළ ඇතිවන මෙම තත්ත්වය නිසා හටගන්නා බව මෑතක දී ඇමෙරිකාවේ කරන ලද පර්යේෂණයකින් සොයා ගෙන තිබේ. බුදු දහමේ උගන්වන මානසික පිවිතුරු බවේ අගය ඒ තුළින් වඩාත් වැටහේ. මේ ආතතිය දුරු කිරීම සඳහා මනස සංවර කර ගැනීමට ඉවහල් වන ක්‍රියා මාර්ග අනුගමනය කළ යුතු ය යන අදහස අද විද්‍යාඥයින් ඉදිරිපත් කර ඇත.

ස්කොට්ලන්තයේ ජීවත්වන මිලියන 06 ක් වූ ජනගහනයෙන් මිලියන 02 ක් ම මානසික රෝගීන්ව ප්‍රතිකාර ගන්නා බව හෙළි වී ඇත. එවැනි රෝගීන්ට ‘මනස, සංවර කරගැනීමේ ක්‍රියාමාර්ගයක් හඳුන්වා දී තිබේ. ආගමික මුහුණුවරක් නොපෙන්වා මනස සංවර කරගත යුතු ආකාරය මෙහි දී පෙන්වා දේ. සති හයක පමණ කාලයක් කේශාන්තයේ සිට පාදාන්තය දක්වා මනස යොමු කිරීම එමඟින් සිදු කැරේ. බුද්ධ දේශනාවේ කායානුපස්සනා භාවනාව ද මෙයම ය. එහි දී සිතේ සංවර බවක් ඇති කර සිත සන්සුන් කිරීමේ මාර්ගය පෑදේ. පහන් මනසින් යුතුව සිතන සිතිවිල්ල, කරන ක්‍රියාව නිසා කෙනකුට සැප ලබා දෙන බව ධම්ම පදයේ එන මෙම ගාථාවෙන් පැහැදිලිය. අන් සියලු දේට වඩා මනස පිළිබඳ අවදියෙන් සිටීමේ වගකීම මේ මඟින් තවදුරටත් පෙන්වා දේ.

පිරිසිදු මනසක් ඇති කර ගන්නේ කෙසේ ද? පුද්ගලයා ගේ මනස විකෘති වීමට බලපාන හේතු සාධක රැසක් බුදු දහම පෙන්වා දෙයි. අතෘප්තිකර ආශාව තුළින් අසහනයට පත්වන මිනිසා ඒ ඔස්සේ හඹා යාම නිසා විවිධාකාර ගැටලුවලට මුහුණ දේ. ධන කාමයෙන්, බල කාමයෙන්, යසස් කාමයෙන් අසහනයට පත් මිනිසා ඒවා ලබා ගැනීම පිණිස කරන අරගලය මේ ගැටලුවලට බොහෝ දුරට බලපායි.

කවර මුහුණුවරකින් ක්‍රියාත්මක වුවද මූල සාධක ලෙස දැක්විය හැක්කේ ඉහත සඳහන් ක්‍රියාවලීන්ය. සියල්ල මනස මූලිකව හටගන්නා බව පැහැදිලිය. එසේ නම් එම ගැටලුවලට විසඳුම් සොයා ගත හැක්කේ මනස පාලනය කර ගැනීමෙනි.

මනස පාලනය කිරීම ද ඉතා අසීරුය. අනාදිමත් කාලයක් පුරා ක්‍රියාත්මක වන මේ මනසට විවිධාකාරයේ අත්දැකීම් ලැබී ඇති නිසාය. අපි මෙසේ සිතමු. මහා කැලෑවක ජීවත් වූ වල් අලියකු අල්ලා එකවර බැඳ දමා හීලෑ කිරීමට ක්‍රියා කළ විට ඇතිවන තත්ත්වය වටහා ගැනීමට හැකි ය.

එහෙත් අනුක්‍රමයෙන් ඒ අලියා හීලෑ කළ විට තමන්ට අවශ්‍ය ආකාරයට මෙහෙයවීමේ හැකියාව දක්නට ලැබේ.

කැලෑවේ වෙසෙන අලියාත්, හීලෑ වූ අලියාත් අතර වෙනස මෙන් ම අනාදිමත් කාලයක් සංසාරයේ ගමන් කළ මෙම මනස එකවර හීලෑ කිරීමට යාම, වල් අලියකු අල්ලා බැඳ තැබීමට සමාන වේ. එහෙත් පියවරෙන් පියවර අලියා හීලෑ කිරීමට කටයුතු කරනවා මෙන් ම මනස සංවර කර ගැනීමට ක්‍රියා කළ යුතු වේ. පාරමිතා නමින් දැක්වෙන්නේ මේ ක්‍රියාවලියයි. පාරමිතාවෙන් පුරුදු පුහුණු කරන්නේ අදාන්ත වූ මනස දාන්ත තත්ත්වයට පත් කිරීමට ය.

ලෝබ සහගත සිත, රාගී බවින් දූෂිත සිත විරාගී බවට පත් කිරීමට මෙම පාරමිතාව උපයෝගී කරගත හැකිය.

ද්වේශයෙන් දූෂිත සිත අද්වේශයෙන් පාරිශුද්ධත්වයට පත් කිරීමේ හැකියාව ද මෙහි දී විස්තර වේ. මෝහයෙන් මුලා වී කරුණු වටහා ගැනීමට නොහැකි සිත, ප්‍රඥාවෙන් ආලෝකවත් කර සහනයට පත්කර ගත හැකි වේ. දාන පාරමිතා, මෛත්‍රී පාරමිතා, ප්‍රඥා පාරමිතා ආදියෙන් පෙන්වා දෙනු ලබන්නේ මේ ක්‍රියාවලියයි. මෙය එක් බවයක දී නොව දෙකක දී නොව පාරමිතා වශයෙන් කාලාන්තරයක් පුරා පුරුදු පුහුණු කළ යුතු දෙයකි. දහසකුත් වැඩ කටයුතු හමුවේ ගෙවෙන පැය 24 ක කාල පරිච්ඡේදයෙන් අඩුම තරමේ විනාඩි 30 ක කාලයක්වත් භාවනාවකට යොමු විය යුතුය. කය ලෙඩ වී අසාධ්‍ය වූ විට මරණයෙන් ඒ තත්ත්වය අවසන් වේ.

එහෙත් අකුසල සිතිවිලි නිසා මනසේ හටගන්නා රෝගී තත්ත්වයන් සංසාරය පුරාම ඔහු පසුපස ලුහු බඳී. මේ නිසා මනසට වැඩි අවධානයක් යොමු කළ යුතු ය.

යම් පුද්ගලයෙක් මනස සංවර කර ගැනීමට කටයුතු කරන්නේ නම් එය එම පුද්ගලයා ලබන විජයග්‍රහණයක් වේ. තව කෙනකු ගේ මනස පවිත්‍රතාවයට පත් කිරීමට වෙනත් කෙනකුට හැකියාවක් නැත. බුදුවරුන්ට පවා කළ හැකි වන්නේ ඒ සඳහා මාර්ගය පෙන්වා දීම පමණි.

‘තුම්මේ හි කිච්චං ආතප්පං
අක්කා තා රෝ තථාගතා’

යන්නෙන් කියැවෙන්නේ ද තථාගතයන් වහන්සේ මාර්ගය කියා දෙන බවත් එය ක්‍රියාත්මක කිරීමේ වගකීම ඒ ඒ පුද්ගලයා සතු වන බවත් ය.

(ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ප්‍රංශයේ ජේතවන බෞද්ධ විහාරාධිපතිමුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි)


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: