Posted by: lrrp | May 9, 2011

මං ඔය කෙල්ල ගෙදරින් පන්නනවා

සිරියාවතී පරම්පරාවෙන් ම බෞද්ධ පවුලක උපන් තරුණියකි. බැස්ටියන් අන්‍යාගමික තරුණයෙකි. රැකියාව කරන ආයතනයේ දී සමීපව ඇසුරු කරන මේ දෙදෙනාගේ හදවත් තුළ ඇල්මක් පිළිසිඳ ගැනීමේ දී ආගම ඊට බාධාවක් වූයේ නැත. දෙපාර්ශවයේ ම අමනාප මතු වුවද ඔවුන්ගේ විවාහයට ද ආගම බාධාවක් වූයේ නැත. සිරියාවතී ගේ ප්‍රසන්න බව, ආචාරශීලීබව හා ගුණවත්කම නිසා බැස්ටියන්ගේ පවුලේ අය ද ඇය සමඟ හොඳින් ඇසුරු කළා ය. මේ පවුලේ සියලු දෙනා ම භක්තිවන්තයන් ලෙස පල්ලි ගියහ. සිරියාවතී පන්සල් ගියා ය. බැස්ටියන් පල්ලියටත්, පන්සලටත් දෙකට ම ගියේය. ඔහු පන්සල් ගියේ සිරියාවතී නිසා ය. දෙදෙනා ම එක්ව පහන් දැල්වූහ. මල් පහන් පිදූහ.

මෙසේ වැඩි කාලයක් ගත වූයේ නැත. රාත්‍රී ආහාර ගෙන මේ තරුණ යුවළ තමන් ගේ කාමරයට ගොස් නින්දට යහන් ගත වී විදුලි පහන නිවාලූ සැණින් බැස්ටියන් අමුතු වෙසක් ගත්තේ ය.

ඔහු ඇගේ පපුව, උදරය, හා දෙකලවා නියපොතුවලින් සූරන්නට පටන් ගත්තේ ය.

ඇය වේදනාවෙන් කෙඳිරි ගාන්නට වූවාය. ඇගේ වේදනාබර කෙඳිරිය බැස්ටියන් ගේ මවට පවා ඇහුණ ද ඇය එය ඒ තරම් ප්‍රශ්නයක් කොට ගත්තේ නැත.

විදුලි පහන නිවු සැණින් සිරියාවතී ගේ ශරීරය සූරන්නට පටන් ගත් පසු බැස්ටියන් ඇය සමඟ කතා කරන්නේ ද නැත. ඇය අසන ප්‍රශ්නයකට පිළිතුරු දෙන්නේ ද නැත. ඇය ඔහුගෙන් ගැල වී ඇඳෙන් ඉවතට පැන නැවත විදුලි පහන දැල් වූ විට බැස්ටියන් තද නින්දේ ය. “ඇයි ඔයා මගේ ඇඟ හූරන්නේ?” යැයි ඇසු විට ඔහු ඒ ගැන කිසිවක් නොදන්නා බව පවසයි. ඇගේ පපුවෙන්, උදරයෙන් හා කලවා ප්‍රදේශවලින් සීරීම් තුවාල හා සමහර තැන්වලින් ලේ ගලන සැටි පෙන්වූ විට ඔහු මවිතයට පත් වෙයි. ලේ ගලන සැටි දුටු සැණින් එසේ ලේ ගලන තැන් දිවෙන් ලෙව කා ඇය සුවපත් කරන්නට කටයුතු කරයි. එය ඇයට ආදරයෙන් ඇය සුවපත් කරන්නට සිදු කරන දෙයකැයි ඇය සිතයි.

සිරියාවතී බැස්ටියන් ගේ මේ අමුතු අස්වාභාවික හැසිරීම ගැන ඔහු ගේ මව සමඟ කීවාය. ඇය ද සිය පුතාගෙන් මේ ගැන ප්‍රශ්න කළාය.

ඔහු එවැන්නක් නොකරන බව දිව්ර දිව්රා කීවේ ය. බැස්ටියන් ගේ මව සිරියාවතීට රහසිගතව උපදෙසක් දුන්නා ය. “අද රාත්‍රි නින්දට ගිය විට විදුලි පහන නිවා අඳුරේදී බැස්ටියන් එසේ කරන්නේ නම් එක්වරම විදුලි පහන නැවත නොදල්වන ලෙස ඇයට උපදෙස් දුන්නා ය. සිරියාවතී එදින එසේ කළා ය.

එදින රාත්‍රි සිරියාවතීත්, බැස්ටියනුත් කාමරයට ගොස් විදුලි පහන නිවා යහන් ගත වූ විට බැස්ටියන් ගේ මව දොර ළඟ රැක සිටියා ය.

වෙනදා වගේ ම සිරියාවතී වේදනාවෙන් කෙඳිරි ගාමින් ඔහු ගෙන් මිදෙන්නට තැත් කරද්දී නැන්දම්මා විදුලි පන්දමක් දල්වා ගෙන කාමරයට කඩා පැන්නා ය. බැස්ටියන් පූස් පැටියෙකු මෙන් නින්දේ ය. එහෙත් විදුලි පහන නිවූ සැණින් කෙනෙකුට එතරම් නින්දක් නොයන බව ද ඇයට තේරුම් ගොස් තිබුණි. එසේ ම ඒ දෙදෙනා අඳුරේ පොර බදන හඬ ද ඇය හොඳින් ශ්‍රවණය කොට තිබුණි.

ඒ වන විටත් සිරියාවතී ගේ උදරයේ නියපොතු පහරවලින් ලේ ගලමින් තිබුණි. බැස්ටියන් අවදි කරවා ඒ ගැන ඇසූ විට ඔහු කිසිවක් නොදන්නා බව කීවේය. බැස්ටියන් ගේ මව ඔහුගේ නියපොතු පරීක්ෂා කර බලන විට ඔහු ගේ නියපොතුවල කුඩා සම් කැබලි රැඳී තිබෙනු දැක ගත හැකි විය.

පසු දින උදේ බැස්ටියන් ගේ මව මේ දෙදෙනා පල්ලියට කැඳවා ගෙන ගියා ය. දේවගැති තුමා හමු වී විස්තර කීවාය. දේවගැතිවරයා ඔවුන් වෙනුවෙන් යාඥා කොට ආශීර්වාද කළේ ය. ආශිර්වාද පැන් ලබා දුන්නේ ය. එදින රාත්‍රිය මේ දෙදෙනා ඉතා සතුටින් ගත කළහ. මෙසේ සතියක් පමණ ගත විය.

නැවත බැස්ටියන් ඇය සූරන්නට පටන් ගත්තේ ය. එදින සිරියාවතී හඬ නගා කෑ ගසන විට බැස්ටියන් ගේ මව ඇය ඇගේ කාමරයට කැඳවා ගෙන ගොස් ඇයට එහි නිදා ගන්නට සැලැස්වූවාය. ඔවුන් නිහඬව නින්දට ගොස් පැය බාගයකට වඩා ගත වූයේ නැත. සිරියාවතී දඟලන්නට වූවාය. නැන්දම්මා වහාම විදුලි පහන දැල්වූවාය. බැස්ටියන් එතැනට නින්දෙන් ම පැමිණ සිරියාවතීට හිරිහැර කොට පලා ගියේය. එය බැස්ටියන් ගේ මව සියැසින් ම දැක්කා ය.

පසු දින රැකියාවට ගොස් ආපසු නිවසට පැමිණි සිරියාවතී බැස්ටියන් ද කැඳවා ගෙන පන්සලට ගියා ය. බෝධි පූජාවක් පවත්වා දෙවියන්ට පින් අනුමෝදන් කළා ය. එදින රාත්‍රි වෙනදාටත් වඩා තත්ත්වය දරුණු විය.

එදා ඔහු ඇගේ ගෙල මිරිකන්නටත් තැත් කළේ ය. ඉන් පසු මොවුහු ඇදුරන් කීප දෙනෙක්ම ගෙන්වා යන්ත්‍ර මන්ත්‍ර ශාන්තිකර්ම සිදු කළහ. ඒත් දින කිහිපයක් නිහඬව තිබුණ ද නැවත වෙනදාටත් වඩා දරුණුවට බලපෑම් ඇති වූයේය.

අවසානයේ “සිළුමිණ” – “පියවි ඇසින් ඔබ්බට” ලිපි පෙළ කියවන හිතවතෙකු ගේ උපදෙස් අනුව සිරියාවතී බැස්ටියන් සමඟ ගොස් ප්‍රතිකාර කරා යොමු වූවාය. එහි දී සිරියාවතීට ආශීර්වාද කරද්දී බැස්ටියන් ප්‍රලය විය.

“කව්ද මේ?”

“මම බස්තියන්ගෙ ආච්චි”

“මොකක්ද නම?”

“මම මරියා – මරිය නෝනා”

“මරියා නෝනා මනුස්ස ලෝකේ ඉන්දැද්දි මොනවද කළේ?”

“මම මාළු වික්කනෙ. මම මගේ ලෑල්ලෙ මාළු වික්කා. ඒකෙන් තමයි ඔය ගෙවල් දොරවල් හැදුවෙ“

“කොයි ගෙය ද?”

“ඔය බස්තියන්ල දැන් ඉන්නෙත් මගේ ගෙදරනෙ. මම ඒක ලොකු දූට දුන්නා. ඒකිගෙ පුතානෙ බස්තියන්.”

“ඉතින් ඇයි මේ ළමයට හිරිහැර කරන්නෙ?”

“මම ඕකි එක්ක තරහයි”

“ඇයි මෙයා මරියා නෝනාට වරදක් කළා ද?”

“නෑ… මෙයා අපේ ගෙදරට එනකොට මම මැරිලත් අවුරුදු ගාණක් වෙනවා. මම මැරෙන කොට අපේ බස්තියන් පොඩි එකා. මම ඌට ආදරෙයි.”

“ඉතින් ඇයි? සිරියාවතීට හිරිහැර කරන්නේ”

“ඕකි මිථ්‍යාදෘෂ්ටි ගෑනියක්”

“ඒ කියන්නේ?”

“ඕකි අපේ ආගමේ නොවෙයි. පන්සල් යනවා. මම ඒකට තරහයි”

“ඉතින් බුදු දහම මිථ්‍යාදෘෂ්ටියක් ද?”

“මම දන්න දහමක් නෑ. අපේ ආගමේ නොවන හැම එකක් ද මට මිථ්‍යාදෘෂ්ටියි”

“ඉතින් දැන් මොනවද කරන්න හදන්නේ?”

“මම මේකිව මගේ ගෙදරින් පන්නනවා”

“ඒක වැරදි වැඩක්නෙ”

“ඒ කොහොමද මගේ ගෙදර මම අකමැති අය ඉන්න බැහැ. මම පන්නනවා”

“දැන් මරියා නෝනා කොහේද ඉන්නේ?”

“මම ඉන්නේ පල්ලියේ සොහොනෙ”

“වෙන කවුද එහෙ ඉන්නේ?”

“තව හුඟක් ඉන්නවා. හැබැයි මගේ මිනිහා ජුවන්. එයා ඉන්නෙ පල්ලියෙ.”

“එයා මොනවද කරන්නේ?”

“ඒ ගොල්ලන්ට පැවරුණු වැඩ තියෙනවා. අනිත් ලොවට යාඥා කරනවා. ඒ වගේ අය තවත් හුඟක් ඉන්නවා. ඊට ඉහළ අයත් ඉන්නවා. සුරංගනාවියෝ වගේ ලස්සන අයත් ඉන්නවා. ඒ ගොල්ලෝ දේව මෙහෙය වෙලාවට එනවා. අපි ඈත ඉඳගෙන බලා ඉන්නවා”

“ඉතින් මරියා නෝනත් කැමති නැද්ද ඔය සොහොනෙන් ඉවත් වෙලා සුරංගනාවියක් වෙන්න.”

“කැමතියි කැමතියි”

“එහෙමනම් අපි සිරියාවතීට ආශීර්වාද කරමු”

“ඒ කොහොම ද?”

“බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් ගුණයෙන් සිරියාවතී සුවපත් වේවා” කියා ප්‍රාර්ථනා කරමු.

“මට බෑ… මට බෑ… ඕවා මිථ්‍යාදෘෂ්ටි වැඩ”

“මරියා නෝනා මම මේ කියන දේ බොහොම හොඳට අහගන්න ඕනැ. එක එක්කෙනා තමන් කැමති එක එක ආගම් අදහනවා. අපි බුදු දහමට අනුව කටයුතු කරනවා. මරිය නෝනා ජේසු තුමන් අදහනවා.

අපි අනිත් ආගම්වලට ද්වේෂ කරන්නේ නෑ. අපි ජේසු තුමන්ටත් ගරු කරනවා. එතුමා දුකට පත් අය වෙනුවෙන් ජීවිතය පවා පරිත්‍යාග කළා. කාරුණික යි. ජේසු තුමාගේ මෑණියොත් එහෙමයි. ඒ මරියා තුමිය. ඉතින් ජේසු තුමා ගේ මෑණියන් ගේ නම “මරියා”. ඒ නම තමයි මරියා නෝනාට ඔය තියෙන්නෙත්. ඉතින් ඒ වගේ කෙනෙක් ඇයි වෛර තරහ තියා ගෙන ඉන්නේ?”

“හොඳයි හොඳයි මට දැන් තේරුණා. මම ඉතින් මොනවාද කරන්න ඕනෑ?”

“ලොකු දෙයක් නොවෙයි. බොහෝ ම පුංචි දෙයක්. දැන් මරියා නෝනා හිත පිරිසිදු කරගන්න. තරහ වෛර ඉවත් කරන්න. සිරියාවතී අදහන ආගමේ හැටියට අපි සිරියාවතීට යහපතක් වේවා කියා හිතමු. “බුදු සරණයි සිරියාවතී සුවපත් වේවා” කියා කියන්න. හිතේ කරුණාව මෛත්‍රීය ඇතුව කියන්න.

“බුදු සරණින් සිරියාවතී සුවපත් වේවා”

“සාදූ! සාදූ!! ආච්චි අම්මාට පින්සිදු වේවා!” යි සිරියාවතී ද කීවාය.

“බොහෝ ම හොඳයි. ලොකු පින්කමක්” යැයි නාගොඩ විතාන මහතා කීවේ ය.

“මහත්තයා මට සමාවෙන්න”

“ඒ මොකට ද?”

“මම මේ ළමයව මරලා අරගෙන යන්නයි හිතාගෙන හිටියේ. එහෙම වුණා නම් මහා පාපයක් නේද? දැන් මට හරි සතුටක් දැනෙනවා. ජේසුතුමා කියපු හැටියට මම සිරියාවතීටත් බස්තියන්ටත් පේ‍්‍රම කරනවා. මේ දෙන්නාට යහපතක් ම වේවා කියනවා.

“මරියා නෝනා”

“ඇයි මහත්තයා”

“මරියා නෝනා දැන් බොහෝ ම හොඳයි. දුකට පත් අයට අනුකම්පාවෙන් යහපත පතන එක තමයි කරුණාව කියන්නේ. ඔවුන් සුවපත් වේවා කියන එක තමයි මෛත්‍රිය පතුරනවා කියන්නේ.”

“ඔව්! මහත්තයා මට දැන් හරි සතුටුයි. මගේ හිතට විශාල සහනයක් දැනෙනවා.”

“සාදු සාදු මරියා නෝනා සුවපත් වේවා!”

“මහත්තයා එහෙනම් මම දැන් යන්නම්”

“කොහේටද දැන් යන්නේ?”

“පල්ලියට”

“ඇයි සොහොනට යන්නේ නැද්ද?”

“නෑ… නෑ… පල්ලියේ සිටින අය මට අඬ ගහනවා. මම යනවා.”


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: