Posted by: lrrp | May 30, 2011

අනේ මට රංසි දාලා යන්න බෑ

අද අපි මේ ලිපියෙන් සාකච්ඡා කරන්නේ බොහෝ තරුණ ගැහැනු ළමයින්ට හා විවාහක ස්ත්‍රීන්ට පවතින රෝගයක් පිළිබඳවයි. මේ ගැන අප මෙතෙක් අනාවරණය නොකළ ද මේ අද්භූත රෝගය ස්ත්‍රීහූ බහුතරයක් වැලඳී පීඩා විඳිති. ඒ නිසා ම මේ ගැන නොලියා සිටීම එවැන්නන්ට සිදු කරන අසාධාරණයකැයි සිතේ.

ඒ තමන්වෙත සිහිනෙන් පිරිමියෙකු පැමිණීමක් ගැනය.බොහෝ කාන්තාවෝ ස්වකීය රහස්‍ය භාවය රකින ලෙස ඉල්ලා සිටිමින් සියල්ල විස්තර කරති. මෙසේ පැමිණෙන පුද්ගලයා ගේ බෙල්ලෙන් උඩ කොටස නොපෙනෙන බව සමහරු කියති. තවත් අය කියන්නේ විදේශගතව සිටින තම ස්වාමි පුරුෂයාගේ් ස්වරූපයෙන් පැමිණෙන බවය.

සමහර කාන්තාවෝ කියන්නේ එවැනි පුද්ගලයෙකු දුටු විට “ඉතිපි සෝ” ගාථාව කියන විට ඔහු අතුරුදහන් වන බවය. තවත් අය කියන්නේ තමන්ට එවැනි පුද්ගලයෙකු නොපෙනුනත්, නොපෙනෙන කෙනෙකු විසින් ශරීරය ස්පර්ශ කරන බවත්, තද කරන බවත්, ගෙල මිරිකන බවත්ය.

මෑතදී එක්තරා කාන්තාවක් අමුතුම කතාවක් අනාවරණය කළාය. “මගේ මහත්තයා ව්‍යාපාරිකයෙක්. අපි බොහොම සන්තෝසයෙන් ජීවත් වුණා. කලකට පසු මහත්තයා අනියම් සම්බන්ධතාවල පැටළුණා. බැරිම තැන මම ආගම දහමට නැඹුරුව ජීවත් වුණා. අවසානයේ මහත්තයා රෝගුතර වුණා. ඒත් මම කරුණාවෙන් ඔහුට සාත්තු සප්පායම් කළා. ඔහුගෙන් ලාභ ප්‍රයෝජන ගත් අය අහක බැලුවා. ඔහු ඒ අවසාන කාලයේ තමන්ගෙන් මට සිදු වූ වැරදි අඩුපාඩු වලට දුක් වුණා. ඇඬුවා. මට වැඳ මගෙන් සමාව ඉල්ලුවා. අවසානයේ ඔහු මිය ගියා.

”දැන් එයා මා සොයා ගෙන එනවා. ඔහු එන බව මට දැනෙනවා. ඒ වෙලාවට ගඳක් වහනය වෙනවා. ආ… ඔයා ඇවිත් ඉන්නවා නේද? කියලා මම අහනවා. ඔහු මා සමඟ කතා කරනවා. එතකොට මම කියනවා ඔයා ඉස්සර කරපු වැරදි නිසා මම දැන් ආගමිකව ජීවත් වෙනවා. මම ඔයාට කළ අවවාද එදා පිළිගත්තේ නැහැ නේ. දැන් මට කරදර කරන්න එපා කියලා. ඒත් එයා එනවා. එයාගෙ ඉඩම, ගේ දොර නිසා වෙන්නැති එන්නේ. මගේ ළඟට එන්න එපා කීවා ම මට හිරිහැර පීඩා කරනවා. මා ලවා යම් යම් දේ කරවනවා. මට ඒවා නොකර ඉන්නට බැහැ.”

”මම ඔහුට පින් දී හොඳ තැනකට යවන්න උත්සාහ කරනවා. ඒත් දැඩි තණ්හාව ආශාව නිසා ඔහුගේ සිත පිනට යොමු වෙන්නේ නෑ. ඔහු සමඟ තවත් දෙතුන් දෙනෙක් එනවා. උනුත් මට හිරිහැර කරනවා. බැරි ම තැන ඇදුරන් ගේ පිහිට සෙව්වා. ඔවුන් රුපියල් විසි තිස් දාහ අය කරමින් ශාන්ති කර්ම කළත් සතියකට වඩා කරදරයක් නැතුව ඉන්න බැහැ.”

මේ වැනි අයට බෞද්ධ පිළිවෙත් මගින් සහනය ලබා ගන්නා හැටිත්, ඒ අමනුෂ්‍යයන් කෙරෙහි තරහවකින් තොරව ඔවුන් සතුටු කොට යහපත් තැන්වලට යවන ආකාරයත්, එවැනි උපදෙස් දෙන තැන්වලට යොමු කළත් මේ අය සුව වූ පසු කතා කරන්නේ නැත. ඒ පිළිවෙත් කරන විට ඇති වන වෙනස්කම් හා සහනයන් ගැන කියන්නේ නම් තවත් කෙනෙකුට සහනය ලබා දීමේ දී ඒ අත්දැකීම් ගවේෂණවල දී මහෝපකාරී වේ.

තවත් සමහරු සහනයක් ලැබුණු විට ඒ අමනුෂ්‍යයා වෙනුවෙන් කළ යුතු යුතුකම් මඟ හරිති. එවැනි අයට ඊළඟට කරදර ගලා එන්නේ දෙගුණ තෙගුණ වීමෙනි. මෙවැනි අය ස්වකීය පූර්ව අකුසල කර්ම විපාක ලාබෙට අහෝසි කර ගන්නට උත්සාහ කරති. අනුන්ගේ කර්ම විපාක හෙවත් කෙනෙකුට ඉවත් කළ නොහැකිය. එය තමන් ම උත්සාහයෙන්, ධෛර්යයෙන් හා කැපවීමෙන් කුසල කර්මයන්හි යෙදී යටපත් කළ යුතුය. මුදලින් ද කළ නොහැකිය.

එවැනි සමහරු ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානවලට ගොස් උපදෙස් හරියාකාර ඉටු කොට එසේ අමනුෂ්‍යයන් ලෙස එන සංසාරික ඥාතීන්ට පින් අනුමෝදන් කොට පෙර පින් මතක් කොට සිටින තත්ත්වයෙන් උසස් තත්ත්වවලට පත් කරති. එසේ සුගතිගාමීවන එවැනි සත්ත්වයෝ අපට ද පින් දෙති. නැතත් එය අපට ද කුසලයකි.

මේත් ඒ වාගේ ම කතාවකි. මේවා කතන්දර ලෙස කියවා බලා ඉවත ලිය යුතු නොවේ. ඒ ගැන නුවණින් සිතා තේරුම් ගත යුතුය. මේ කතාවෙන් අනාවරණය වන්නේ සිතේ ප්‍රබලතාවයයි. සිතට සිතුවිලි ගලා ඒම සිතේ ස්වභාවයයි. එහෙත් එවැනි සිතුවිල්ලක් ප්‍රබලව තදින් අල්ලා ගෙන සිටීම “උපාදානය” ලෙස බුදු දහමේ හඳුන්වා දී ඇත.

”උපාය දන්නෝ අපායෝ නොවැටෙති” යි කියමනක් ජනවහරේ ද පවතී. මෙය මරණාසන්න මොහොතේ පහළ වන චුති චිත්තය නිසා දුගතිගාමීවීම වළක්වා ගැනීමට ද හේතු විය හැකිය.

රංසි ඒ පවුලේ එක ම දියණියයි. මවු පිය දෙදෙනා ගේ ආදරය හා රැකවරණ මැද හැදුණු වැඩුණු ඈ කාගේත් ආදරය කරුණාව දිනා ගත් ප්‍රසන්න යුවතියක් වූවාය. පැහැපත් වූවාය. දුටුවන් සිත් ගන්නා අඟ පසඟින් යුක්ත වූවාය. මේ වන විට උසස් පෙළ අධ්‍යාපනය ලබමින් සිටියාය.

හිටි හැටියේ ඇගේ ප්‍රසන්නතාව ගිලිහෙමින් මුහුණ අඳුරු පැහැ ගැනුණි. රාත්‍රි හිනෙන් බය වී තිගැස්සී අවදි වූවාය. රාත්‍රි නින්දේදී ඇඟ තද කිරිම්, බෙල්ල මිරිකීම් ආදිය ඇයට දැනුණි. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කළ නමුත් ස්ථිර සුවයක් නොලැබුණි. “සිළුමිණ” පත්‍රයේ පළවන “පියවි ඇසින් ඔබ්බට” ලිපි පෙළ කියවා තිබුණු ඇගේ මව, පියා සමඟ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයකට රංසි කැඳවාගෙන ගියාය.

පළමු දිනයේ ඇගේ ශරීරයට අමනුෂ්‍යයෙකු ආරූඪ වුව ද කතා කිරීමේ ශක්තියක් නොවීය. ඒ නිසා මස් මාළු, කරවල, බිත්තර, උම්බලකඩවලින් වැළකී බෝධි පූජා 21 ක් පවත්වා නැවත පැමිණෙන ලෙස උපදෙස් ලැබුණි.

ඊළඟ දිනයේ ගුප්තාත්මය කතා කළේය.

”කව්ද මේ ශරීරය තුළ ඉන්නේ?”

”මම… ම… බැහැ… කියන්න බැහැ”

”ඇයි බැරි?”

”එතකොට මාව පන්නවා. මම රංසි දාලා යන්න කැමති නැහැ. මට එයා එක්ක ඉන්න ඕනෑ. අනේ! මාව පන්නන්න එපා”

”නැහැ පන්නන්නෙ නැහැ. කව්ද කියන්නෝ”

”මම සිරිසේන”

”සිරිසේන කියන්නේ කව්ද?”

”මම රංසි ගෙ ඉස්කෝලෙ ගේට්ටුවේ සිකියුරිටි කරපු සිරිසේන”

”ඉතින් සිරිසේන ඇයි රංසිගෙ ඇඟට රිංගුවේ. ඒක මහා පාපයක්. දැන් රංසි අසනීප වෙලා. සිරිසේන පව් කළ නිසා දුගතිගාමී වෙලා. සිරිසේන රංසිගෙ ඇඟට රිංගපු නිසා රංසි ලෙඩ වෙලා. ඒක සිරිසේනට මහා පාපයක්. දැන් සිරිසේන ප්‍රේතයෙක්.”

”ආ… මම ප්‍රේතයෙක්?”

”ඔව් දැන් සිරිසේන ප්‍රේතයෙක්. ඔහොම හිටියොත් රංසි මැරිලා යාවි. සිරිසේන තවත් දුගතියට ගිහින් නිරයේ ගින්නෙන් දැවි දැවී දුක් විඳින්න වේවි. සිරිසේන මෙහෙම වෙන්න හේතුව කියන්නකෝ”

”මහත්තයා මම ඉස්කෝලෙ ගේට්ටුවෙ රස්සාව කළේ, රංසි ලස්සනයි. හුරුබුහුටියි. අඟ පසඟ හරිම සම්පූර්ණයි. මගේ ගෑනිගේ මොන ලස්සනක්ද? රංසිගෙ ලස්සන. මගේ ඇස් දෙක රංසිව බලන්න ආසාවෙන් ඉන්නේ. රංසි එන්නේ කොයි වෙලාවෙද කියලා බල බලා ඉන්නේ.

”ඉතින් ඒක රංසි දන්නේ නෑ, මම තනියම ආසාවෙන් රස වින්ඳා. සමහර දාට මම “ගුඩ් මෝනිං” කියනවා. රංසිත් “ගුඩ් මෝනිං” කියලා යනවා. ඒ කටහඬත් හරිම මිහිරියි.”

”ඉතින්?”

”ඉතින් දවසක් මගේ බයික් එක එක්සිඩෙන්ට් වෙලා මම මැරුණා. මට ඒ වෙලාවෙ රංසිව මතක් වුණා. මම උපන්නේ් ගේට්ටුව ළඟ. දවසක් රංසි බැදපු රට කජු කකා යන කොට මම රංසිගෙ ඇඟට රිංගුවා. දැන් මම ඉන්නේ රංසිගෙ ඇඟේ. රංසිගෙ ශරීරයෙ තියෙන දේවලින් ම යි ජීවත් වෙන්නේ.”

”සිරිසේන”

”ඇයි?”

”සිරිසේන ඕක තමයි ස්වභාවය. සිරිසේනගෙ ඇස් දෙක ලස්සන රූපයක් දැකලා තණ්හාව ආශාව හට ගත්තා. ඒ ලස්සන රූපයට සිත වැටුණා. ඒක උපාදාන වුණා. දැඩි අල්ලා ගැනීමක් වුණා. සිරිසේනගේ් ඒ ආශාවෙන් බැඳුණු සිත මරණාසන්නයේ චුතිචිත්තය ලෙස ඉදිරිපත් වීම නිසා දුගතියේ උපන්නා. දැන් ප්‍රේතයෙක් ලෙස අවුරුදු ලක්ෂ ගණනක් දුක් විඳින්න වෙනවා.” යි නාගොඩ විතාන මහතා විස්තර කළේය.

”අවුරුදු ලක්ෂ ගණනක්?”

”ඔව්! රංසි මේ ලෙඩෙන් මැරුණොත් ඒ පාපයත් සිරිසේනට. එතකොට අවුරුදු කෝටි ගණනක් දුක් විඳින්නත් වේවි. බුද්ධාත්තර ගණනාවක්.”

”අනේ! මහත්තයෝ එහෙම නම් මේ දුකෙන් මිදෙන්නෙ කොහොමද?”

”හොඳයි. එහෙම නම් අපි රංසි ලවා දානයක් දී සිරිසේනට පිං අනුමෝදන් කරවන්නම්. ඒ පිං අරගෙන කොහේ හරි බෝධියක් ළඟට ගිහින් පිනට දහමට සම්බන්ධ වෙන්න.”

”හොඳයි මහත්තයෝ, හෝඳයි. මම මීට පස්සේ රංසිට කරදර කරන්නේ නැහැ සත්තයි.”

දානයක් දී පිං අනුමෝදන් කිරීමෙන් සිරිසේනගේ භූතාත්මය රංසිගේ ශරීරයෙන් ඉවත්ව කැලණියේ බෝධීන් වහන්සේ ළඟට ගියේය.

දැන් රංසිට දුඟද (ප්‍රේත ගඳ) දැනෙන්නේ නැත. ඇගේ යට ඇඳුම්වලින් දුඟ ද වහනය වන්නේ නැත. හීනෙන් බය වන්නේ නැත. නැවත හොඳින් අධ්‍යාපන කටයුතු කර ගෙන යන්නීය. රංසි සුවපත් වූවාය. සිරිසේන ගේ ප්‍රේතාත්මය ද ඉන් මිදී සුවපත් වූයේය. එය ද රංසිටත් පවුලේ අයටත් කුසලයක් විය.


Responses

  1. මෙවන් සත්‍ය කථාන්තර පල කිරීමෙන් සිදුවන යහපත අපමණයි. සාමාන්‍ය ජනී ජනයා නොයෙක් දුර්මත වලින් අද වැසී ඇත. පව් පින් නොහඳුනන සමාජයක, පරලොවක් නැතැයි සිතන සමාජයක අපි ජීවත් වෙන්නෙමු. මෙහෙමත් දේවල් සිදුවන බවත්, පවෙන් වැලකීමත් අත්‍යාවශ්‍ය වන්නා වූ සමයෙක ඔබ කරන සේවය ඉතා අගේ කොට සලකමු.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: