Posted by: lrrp | June 26, 2011

අනුරපුර පිරිසුදු කරන මලු හේදෙන වැස්ස

2011 පොසොන් මහෝත්සවය නිමාවිය. අනුරාධපුර හා මිහින්තලා පුදබිම්හි එක්රැස් වූ ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් විසින් ඉවත ලූ දෑ ඉවත් කිරීමේ කාර්යය අනුරාධපුර මහ නගර සභාවට හා මිහින්තලා ප්‍රාදේශීය සභාවට පැවරී ඇත. ඒ අද පවතින තත්ත්වයයි. අතීතයේ මෙබඳු විධිමත් රාජ්‍ය ආයතන පැවතුණේ නැත. පරිසර සංවිධාන නොපැවැතිණි. එහෙත් සැදැහැවතුන් දස දහස් ගණනින් මේ පින්බිම කරා ඇදී ආවෝ ය.

දුම්රිය හෝ බස් සේවා නොපැවති එක්දහස් අටසිය ගණන්වල බොහෝ සැදැහැවත්තු කරත්ත බැඳගෙන ‘නඩ’ වශයෙන් පැමිණියහ. මේ පැමිණි සැදැහැවතුන් අතර වෙළෙඳුන් ද ගැල් මඟින් වෙළෙඳ භාණ්ඩ රැගෙන පැමිණි අතර නර්තන කණ්ඩායම් සර්කස් කණ්ඩායම් මෙන්ම කවිකොළ, කවි පොත් හා වෙනත් පොත්පත් අලෙවි කරන්නන් ද විශාල වශයෙන් අනුරාධපුරයට හා මිහින්තලාවට ඇදී ආහ.

අනුරාධපුරයට ඇදී ආ ගැල් තවලම් කුරුණෑගල් හන්දිය ආශ්‍රිත අඹගස් යට කරත්ත ගාල් කල අතර පැරණි අඹගස් වීදියේ ද ගැල් ගාල් පැවතිණි. මිහින්තලේට ගිය වන්දනා කරත්ත කඳු පාමුල තුරු සෙවණ යට ගාල්කොට තම තම නඩයන් සඳහා ඉවුම් පිහුම් කළහ. කවි කොළ කාරයන් කඩල කාරයන් මෙන්ම නොයෙකුත් සංචාරක වෙළෙඳුන් පොසොන් උළෙලට එක් කළේ අමුතුම කලඑළියකි.

1903 ජූනි 09 වැනි දින අනුරාධපුර කච්චේරියේ මහමුදලි අමරසේකර මයා ගේ අසුගේ කුරයක් වැදී තුවාල වූ උවැසියක් මුල්කොටගෙන ඇතිවූ බෞද්ධ අරගලයත් 1905 බෞද්ධ සිද්ධස්ථානවල හේවිසි වාදනය කිරීම පිළිබඳව ඇතිවූ නොසන්සුන්තාවයත් හේතුවෙන් අනුරාධපුර හා මිහින්තලා පුදබිම් වල බෞද්ධ උරුමය පිළිබඳ ව නව ප්‍රබෝධයක් ඇති විය.

අනුරාධපුරයට දුම්රිය ධාවනය කිරීම හේතුවෙන් අනුරාධපුරය හා දකුණු ලක අතර ගොඩනැඟුණු සබඳතා නිසා පොසොන් පෝයට අනුරාධපුරය හා මිහින්තලා පුදබිම් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යන්නට විය.

1908 පොසොන් උළෙලට බැතිමතුන් 34000ක් පැමිණි බව වාර්තා වන අතර 1913 වන විට මේ සංඛ්‍යාව 85000 දක්වා වර්ධනය වී තිබුණි. 1901 දී අනුරාධපුර නාගරික ජනතාව 3672ක් විය. (දෙමළ – 1912, සිංහල –1210, මුස්ලිම් – 358, ඉතිරිය බර්ගර් මැලේ ආදීන්) එවැනි සුළු ජනගහනයක් හා කඩ සාප්පු අතළොස්සක් ඇති නගරයකට බැතිමතුන් 85000ක් ඒකරාශීවීමේ දී උද්ගතවන තත්ත්වය ඉතා ම දුක්බර ය.

එවකට අනුරාධපුර පාලනයට පැවති ලෝකල් බෝඩ් (පසුව සැනිටරි බෝඩ්) ආයතනයේ නිලධාරීන් කීපදෙනා මේසා විශාල පිරිසකගේ පහසුකම් සැලසීම සඳහා අතිමහත් කැපවීමක් කර ඇත. තිසාවැවෙන් අභය වැවට (බසවක් කුලමට) ජලය ගෙන යන ඇළ මාර්ගයේ සුනහාත පොකුණු තුන ජල පහසුකම් සඳහා වෙන්කර තිබුණි. නාන පොකුණ – බොන පොකුණ හා හරකුන් නාවන පොකුණ වශයෙන් වෙන් කරන ලද පොකුණු තුන බැතිමතුන්ගේ අවශ්‍යතා සඳහා බොහෝ ප්‍රයෝජනවත් විය. ජලය විදුලිය හා වැසිකිලි ආදී පහසුකම් අවම ලෙස පැවැති අතීතයේ බොහෝවිට ලන්තෑරුම් හා ගෑස් ලාම්පු ප්‍රයෝජනයට ගනිමින් පුදබිම් ආලෝක කරනු ලැබීය.

එවකට පැවැති වන්දනා නඩවලට මහමඟ දී මෙන්ම පුද බිම්වල දී ද හොර හතුරන්ගේ ආක්‍රමණවලට ලක්වීමට සිදුවිය. වෙළෙඳ සැල් හා පුදබිම් අසල ගැවසුණු “චණ්ඩි” නිරතුරුව ම මේ ක්‍රියාවල මූලික වී පසුවූහ. අනුරාධපුර හා මිහින්තලා පුද බිම්වල වෙළෙඳාමේ යෙදුණ සංචාරක වෙළෙඳුන් මඟින් දකුණ හා උතුරින් ආ වෙළෙඳ භාණ්ඩ රජරට නිෂ්පාදන හරහා හුවමාරු විය. සුවඳ විලවුන්, සුවඳ සබන්, කවි පොත්, බණ පොත් ආදිය පොසොන් කඩ හරහා ගමට ප්‍රවේශ වූ අතර නානාවිධ ඇඳුම් පැලඳුම් ද ඒ අතර විය.

අවම වශයෙන් වන්දනා නඩයක් අනුරාධපුර හා මිහින්තලා පුද බිම්වල දින තුනක් වත් වන්දනාමාන කළ අතර මිහින්තලා පුද බිමට පැමිණි ජනතාව ජල පහසුකම් අවම වීම නිසා බලවත් දුෂ්කරතා විඳි බව පැවසේ.

දන්සල් රාශියක් පැවැති මේ පූජා භූමිවල ඊට අමතරව සර්කස් ශාලා නාට්‍ය දර්ශන මෙන්ම වන්දනා කවි වලින් ද අඩුවක් නොවීය. ඒ හැර උතුරෙන් එන කොට්ට කිලංගු – තල් හකුරු – තල් පිනාටු වැනි කෑම වර්ග අනුරාධපුරය හරහා දකුණට ගිය අතර දකුණේ සහ නුවර කලාවියේ ආවේණික රස කැවිලි වර්ග ද උතුරට ගියේ පොසොන් කඩ හරහාය. පොසොන් මාසය යනු මුල් ම වැසිවලට පැළ වැඩුණු තල හේන්වල තල කපා අස්වනු ගෙට ගන්නා කාලයයි.

එනිසාම තල පටවාගත් කරත්ත අනුරාධපුරයට හා මිහින්තලයට ගෙනගොස් විකුණා පොසොන් සංචාරයට එක්වීමට නුවරකලාවියේ ඇත්තෝ උත්සුක වූහ. ඔසරි සේල, පටකම්බා මෙන්ම මාල, වළලු, පබලු වැනි අරුමෝසම් බඩු ද ගම ගෙදරට පිවිසියේ පොසොන් කඩ ඔස්සේ ය. උණුවතුර බෝතලය පොසොන් කඩ හරහා ගමට ගිය පුදුමාකාර භාණ්ඩයකි. පොසොන් සංචාරයේ එන ගමේ ඇත්තන් ලොකු අන්නාසි ගෙඩියක් දොදොල් පට්ටයක් වැනි ගමට නුහුරු ආහාරයක් ගෙනයාම අනිවාර්ය වේ. ඒ අතර වාරේ වන්දනා නඩවලට එකතුවුණි ගමේ කොලු කෙල්ලන් ගේ ආලවන්තකම් මෝරන්නේ ද පොසොන් වන්දනාව හරහා ය.

දහනව වැනි සියවසේ මුල් භාගයේදී අනුරාධපුරයේ බෞද්ධ ජනගහනය 1063ක් වූ අතර හින්දුන් (දෙමළ) අය 1605ක් වූහ. ක්‍රිස්තියානින් 547 හා මුස්ලිම් 457 සිටි අතර මේ සියලු ලබ්ධිකයන් වන්දනා කරුවන් වෙත දක්වනු ලැබුවේ දැඩි සුහදත්වයකි. මෙය අතීත පොසොන් උළෙලේ සුවිශේෂත්වයක් ලෙස දැකිය හැකි ය.

පොසොන් පෝයෙන් පසුව ඉඳුල් අහරවලින් කැළිකසළවලින් දන්සල්වලින් බැහැර ලූ අපද්‍රව්‍යවලින් පුදබිම් අවට පරිසරය දූෂිත වන අතර අසල කැලෑ රොදවල් ද දැඩිසේ අපවිත්‍ර වෙයි. මේ තත්ත්වයන් සමනය කිරීමට පොසොන් පෝයට දින කීපයකට පසුව වැටෙන මහ වැස්ස හඳුන්වන්නේ මලු හේදෙන වැස්ස යනුවනි.

අද වන විට තිසාවැවේ ජලය අපිරිසිදු වීම ගැන පරිසර සංවිධාන හඬනඟන නමුත් දහඅටවන සියවසේ මැද භාගයේ සිටම තිසා වැවෙන් දිය නෑමට පවා ඉඩක් නොලද බව අතීත ගැමියන් පවසති. විශේෂයෙන් ම කාන්තාවන්ට තිසාවැව් දියවර තහංචි විය. මේ තත්ත්වය ගැන කතා කරන විට වැඩිහිටියන් පවසන්නේ එදා මෙදා තුර තිසාවැවේ පවිත්‍රත්වය කෙළෙසන විට අවුරුදු පතාම පොසොන් කාලයේ තිසාවැවට නරබිල්ලක් ගන්නා බවයි.

මේ ප්‍රකාශයේ විද්‍යාත්මක පදනම කුමක් වුවත් මේ ලේඛකයාගේ මතක ඔස්සේ බලන විට බොහෝ අවස්ථාවලදී තිසාවැවට වන්දනා කරුවන් බිලිවී ඇති බව නම් සත්‍යයකි. වන්දනා නඩවල සිටින අය පූජාභූමිවල ඇති අණ තහංචි කඩන විට දෙවියන් නරබිලි ගන්නා කථාව මිහින්තලා පුදබිම සම්බන්ධයෙන් ද පවතී. මහකනදරා වැව හරහා ඉදිකර ඇති ත්‍රිකුණාමල අනුරාධපුර ප්‍රධාන මාර්ගයේදී වැව්තාවල්ල මතින් යන මාර්ග කොටසේ දී වාර්ෂික නරබිලි ගත් කතා අදටත් පවතී.

මේ කුමන තත්ත්වයක් මත හෝ වන්දනාවේ ආ නඩවලින් සිදුවන අත්වැරදි කට වැරදි හෝ වෙනත් වැරදි නිසා වන්දනාව නිමවී ආපසු යන විට විපත් සිදුවූ අවස්ථා බොහෝ ය. එම කුමන තත්ත්වයක් යටතේ වුවද පොසොන් එකට අනුරාධපුර හා මිහින්තලේට වන්දනා යාම සමස්ත ලක්වැසි බෞද්ධයාගේම සාම්ප්‍රදායික පුරුද්දකි. කෙසේ වතුදු පොසොන් පෝයෙන් පසුව ජනශූන්‍ය වන පූජා භූමි තුළ හොල්මන් පැවැති බව ද බොහෝ පැරැන්නන් පවසති. විශේෂයෙන් ම මිහින්තලා කන්දේ සමහර අවස්ථාවල එබඳු අතවරවලට ලක්වූ පිරිස් අද ද ඒ තොරතුරු අනාවරණය කරති.

අනුබුද්ධ පා පහසින් අති පාරිශුද්ධ වූ මෙබඳු පින්බිමක පාරිශුද්ධත්වය වෙනුවෙන්ම වසිනවා යැයි කියන “මලුහේදෙන වැස්ස” වැහිගම්පොළ දෙවියන්ගේ ආශිර්වාදයක් ලෙස අපේ පැරැන්නෝ දැඩිසේ විශ්වාස කළහ.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: