Posted by: lrrp | June 27, 2011

භාවනාවෙන් සිත සමාධිගත කරගන්න පුළුවන් – ශාස්ත්‍රපති බළන්ගොඩ ආනන්ද චන්ද්‍රකීර්ති හිමි

පසුබිම් කතාව

 

සැවැත් නුවර වැසි, පිරිහුණු, ගුණනැති මිනිසුන් සමූහයක ගේ නැකැත් කෙළියකි. ඒ සැණකෙළිය වසරකට දෙවරක් එළඹ සත් දිනක් පවතින්නේ ය. හොඳ නොහොඳ තේරා බේරා ගන්නට නොදත් පිරිස් බොහෝ කොට එහි රැස්වෙති. ඔවුන් අතර කෙනෙක් ගොම, අළු, දැලි ඈ ඇඟ සැම තැන තවරාගෙන සතියක් මුළුල්ලේම නැකැත් කෙළියේ යෙදෙති. රළු පරළු, පිළිකුල් බස් දොඩති. ගමක් ගමක් පාසා, ගෙයක් ගෙයක් පාසා ඇවිදිති.

කෙනෙක් මවු පිය, සහෝදර සහෝදරියන් ඉදිරියේ ද විළි බිය නැත්තේ ය. මේ ක්‍රියාවන්හි අකැමැති අය එහි යාමෙන් වළකිනු සඳහා, අශිෂ්ට මිනිසුන්ගෙන් සිය ගේ දොර, පිරිස් ආරක්ෂා කර ගැනීම සඳහා මුදල් යවා ඒ නිවටුන්ගෙන් දුරස් වී සිටිති. සැණකෙළියට සහභාගි වීමෙන් වැළකී සිටිති.

එකල සැවත් නුවර විසු පස් කෙළක් පමණ වූ අරිය සවුවෝ ඒ නිවට කෙළිය නිම වන තුරු බුදු පාමොක් මහ සඟනට වෙහෙරෙහිම වැඩ සිටීමට සැලසූහ. සත් දවසට පිරිමසින සේ දනට සුදුසු දෑ පිළියෙල කළහ.

සැණකෙළිය අවසන් වූ පසු බුදු පාමොක් මහ සඟන මහ පෙරහරකින් නුවරට වඩමවා දන් පිදූහ. ඇතැම් පිරිස් ඒ සැණකෙළිය නිසා සතියක් මුළුල්ලේ තමන් විඳි ගැහැට බුදුරජාණන් වහන්සේට දන්වා සිටියහ. ඒ සැණකෙළිය පිළිකුල් කොට දැක්වූහ. ඒ වේලේ බුදුරජාණන් වහන්සේ, දෙලොව වැඩ නොදත් අනුවණ දනන් පමාවෙහි යෙදී වෙසෙන අතර නුවණැති දනන්, නොපමා ගුණය මහඟු ධනයක් සේ සලකා කම් සැප හැර, දැහැමිව, භාවනා වඩා නිවන් මාර්ගය අවබෝධ කරගන්නා බව දේශනා කොට වදාළහ.

පංච කාමය කෙරෙහිම, ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංචේන්ද්‍රියයන් පිනවීමම ජීවිතයේ එකම අරමුණ කොට ගෙන කටයුතු නොකළ යුතු බව මෙහි දී අවධාරණය කැරේ.

‘අප්පමත්තොහි ජායන්තො’

අප්‍රමාදීව කටයුතු කරන, සමථ විදර්ශනා භාවනා වඩමින්, නිතර සිතේ ඇතිවන ලෝබ, දෝෂ, මෝහ ආදි අකුසල සිතිවිලි යටපත් කරමින් ක්‍රියා කරන්නා ‘අප්පමත්තොහි ජායන්තො’ ලෙස දැක්වේ. ඒ පුද්ගලයා විපුල වූ, මහත් වූ සැපයට පැමිණෙන්නේ ය. විපුල වූ සැපය නම් කුමක් ද? කෙලෙස් දුරු කර උතුම් වූ නිර්වාණ සම්පත්තියට ළඟා වීම ය.

බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්ව විද්‍යාලයේ ආධුනික කථිකාචාර්ය
ශාස්ත්‍රපති බළන්ගොඩ ආනන්ද චන්ද්‍රකීර්ති හිමි

මිනිසත් බව ලැබී ඉතාම දුර්ලභ වන බව බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් ම අවධාරණය කළහ. අප ක්‍රියා කළ යුතු වන්නේ ඒ ලැබුවා මිනිසත් බවින් උපරීම ප්‍රයෝජන ලැබීමට ය. භයානක විනාශයක් ලෙසින් මිනිසා නිරන්තරයෙන් දැවීමට ලක් කරන, සිතෙහි ඇතිවන කෙලෙස් නිවා දැමීමට හුරු කිරීමට කටයුතු කිරීම ය. භාග්‍යවතුන් වහන්සේ ගිහියාට අවධාරණය කරන්නේ පංචේන්ද්‍රියයන් පිනවීමෙන් වැළකී සිටීමට අපහසු නම් පංච ශීලයවත් ආරක්ෂා කරගෙන ජීවත්වන ලෙසට ය. එසේ නොමැතිව පංචේන්ද්‍රියයන් පිනව පිනවා සිටිය යුතු ය යන අදහසක් බුදු දහමේ සඳහන් වන්නේ නැත. එසේ කටයුතු කිරීමෙන් නිර්වාණයට ළඟා වීමට නොහැකි නිසා ය.

උසස් ශීලයක් ආරක්ෂා කිරීම ගිහියාට අපහසු නිසා අවම වශයෙන් පංච ශීලයවත් රකිමින්, පෝ දිනකවත් අටසිල්, දසසිල් ආරක්ෂා කරමින් ආර්යයන් වහන්සේ අනුගමනය කළ ජීවිතය පුහුණු කරන්නට උත්සාහ කළ යුතු ය.

මෙසේ සිතන්න. විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා ගමන් කරන කෙනෙක් ප්‍රාථමික අධ්‍යාපනයේ සිට වසරින් වසර, පියවරෙන් පියවර තමා ගේ පරමාර්ථය කරා ළඟා විය යුතුය. ඒ ඒ විභාග සමත් කළ යුතු ය. කුඩා පන්තිවල සැමදාම සිටිය යුතු යැයි ගුරුවරු අවවාද දෙන්නේ නැත. එහෙත් ඉහළට යාමට නම් ඒ ඒ පන්තියට අදාළ විභාග සමත් විය යුතු ය. නිර්වාණගාමී මාර්ගයට ළඟා විය යුතු වන්නේ ද එසේ පියවරෙන්, පියවර ය.

ගිහියන්ට පසිඳුරන් පිනවීමට නිදහස ඇතැයි කියා වහසි බස් දොඩමින් වැරැදි කරන්නට කිසිවෙකුට අවස්ථාවක් නැත. කෙනෙක් එසේ සිතා කටයුතු කරන්නේ නම්, තමන් විසින් කරන සියලු පාපයන් ගේ විපාක තමන්ටම විඳින්නට සිදුවන බව ද ඔහු හොඳින් මතකයේ තබා ගත යුතුය.

‘සුඛං සේතං අධිවචනං පුඤ්ඤං’ ‘පින’ යනු සැපයට කියන තවත් වචනයකි. සැපයයි, පිනයි යනු දෙකක් නොව එකක්ම ය. සියලු සත්ත්වයෝ සැප විඳීමට කැමති ය. ඔවුන් සියලු දේ කරන්නේ සැප ලැබීමේ බලාපොරොත්තුවෙනි. එහෙත් ‘සැපය’ යන්නෙහි නිවැරැදි තේරුම පිළිබඳ බොහෝ දෙනකුට අවබෝධයක් නැත.

කෙනෙක් අසීමිතව පසිඳුරන් පිනවීමම සැපය සේ හඟිති. එහෙත් නියම සැපය ළඟා කරගත හැකි වන්නේ සිත එකඟ කර ගැනීමෙනි. සංවර කර ගැනීමෙනි. එය අමතක කර ඉඳුරන් පිනවීමෙන් ම සතුටු වීමට උත්සාහ කරනවා නම් කිසි කලෙකත් තෘප්තියට පත්විය නොහැකිය.

‘දුක්ඛං සේතං අධිවචනං පාපං’

‘පාපය’ නම් දුකට කියන තවත් වචනයකි. පාප ක්‍රියා කිරීමේ විපාක වශයෙන් දුක් විඳීමට සිදු වේ. සැප කැමති සත්ත්වයා දුක් විපාක ලැබෙන නරක ක්‍රියා, පාප ක්‍රියා නොකළ යුතු ය.

‘කරන කලට පව් මීරිය මීසේ
විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ’

යනුවෙන් ලෝවැඩ සඟරාවෙහි දැක්වෙන ලෙස පව් කරන්නට, කරන්නට සිතට සතුටක් දැනෙනවා සේ තේරුණත් එහි විපාකය ගිනි ජාලාවක් සේ විඳ ගැනීමට අපහසු ය.

තමන් ගේ යහපතට හෝ අනුන් ගේ යහපත වෙනුවෙන් යමක් කරනවා නම් එය ඉතා අපහසු දෙයක් වන බව ධම්ම පදයේ සඳහන් ය.

‘යං වේ හිතංච සාධුංච
තංවේ පරම දුක්ඛරං’

මිනිසා විශාල වශයෙන් නරකටම, පාපයටම යොමු වන්නේ ඒ නිසා ය. නරක දෙයම යහපත් ලෙස හඟින්නේ ඒ නිසා ය.

එදිනෙදා ජීවිතයේ වචනය සංවර කර නොගැනීම නිසා වටිනා කාලය අපතේ යන ප්‍රමාණය මොන තරම් දැයි මොහොතකට ගණනය කරන්න. කොපමණ උත්සාහ කළ ද නිකරුණේ වැය කළ කාලයෙන් අපට නැවත කිසිදු ප්‍රයෝජනයක් ගත නොහැකිය.

කියන කෙනාටත්, අසන කෙනාටත් පලක් නැති දේ කතා කරමින්, තවත් කෙනකුට විපත ළඟා කරමින් කාලය කා දැමීම මෝඩකමකි.

‘අප්පමිදං භික්ඛවේ මනුස්සානං ආයු’

සත්ත්වයා, ඉපිද මැරෙමින් සැරි සරන අති දීර්ඝ සංසාරයේ මිනිසුන් ලෙස උපත ලබා ජීවත්වන මේ කාලය ඉතා සුළු මොහොතක් වැනිය. ඒ සුළු කාලයෙන් උපරීම ප්‍රයෝජන ගන්නට සිතන නුවණැත්තා තමන්ගේත්, අනුන්ගේත් යහපතම ප්‍රාර්ථනා කරන්නේ ය. ඒ සඳහා ක්‍රියා කරන්නේ ය. එසේ නොමැතිව දිගින් දිගටම ඉඳුරන් පිනවීම පමණක් ම ජීවිතයේ ප්‍රධානත්වයේ ලා සලකන පුද්ගලයා තමන් විසින් ම තම ජීවිතය විනාශ කර ගැනීමට කටයුතු කරන්නෙකි.

අපට ඇස, කන, නාසය, දිව, ශරීරය යන පසිඳුරන් ලැබී තිබෙන්නේ ඒවා නිවැරැදි ලෙස භාවිත කිරීමට ය. ඒ නිවැරැදි මඟ යමින් බියකරු වූ සංසාරයෙන් එතෙර වීමට ය.

මිනිසා අධික ලෙස ඉඳුරන් පිනවන්නේ ඇයි? යෝනිසෝමනසිකාරයෙන් ජීවත් නොවීම නිසා ය. එනම් එළඹ සිටි සිහිය නොමැති නිසා ය. එළඹ සිටි සිහිය නම් සෑම මොහොතකම තමන් කරන කියන දේ පිළිබඳ හොඳ කල්පනාවකින් කටයුතු කිරීම ය. එසේ කටයුතු කරමින් තමන්ට අවශ්‍ය පරිදි සංයමයකින්, සංවරකමකින් යුතුව ඉඳුරන් පිනවීම සිදු කළ හැකිය.

‘න කහාපණ වස්සෙන
තිත්ථි කාමේසු විජ්ජතී’

කහවනු වැස්සක් වැටුණ ද සිතේ ඇති ආශාව අවසන් වන්නේ නැත. මහ මුහුදට කොතරම් ජල කඳක් වැටුණ ද මහ මුහුද උතුරා යන්නේ නැත. එසේ ම පුද්ගලයා ගේ සිත ඉඳුරන් පිනවා ගැනීමෙන් කිසිදාක තෘප්තියට පත්වන්නේ නැත.

උසස් මනසක් ඇති පුද්ගලයකු වශයෙන් තමා විසින් ම මේ බව මැනවින් වටහා ගෙන සිත පාලනය කර ගැනීමට උත්සාහ කළ යුතු ය. ‘මම මෙපමණ කලක් ඉඳුරන් පිනවා අවසන් කරන්නෙමි’ යි කෙනෙක් සිතනවා නම් එය කිසි දිනෙක ඉටු නොවන නිරර්ථක උත්සාහයකි.

පුද්ගලයාට සැනසීම ළඟා කර ගත හැකි වන්නේ සිත සංවර කොටගෙන කටයුතු කිරීමෙන් පමණි.

සිත සංවර කර ගැනීමේ ක්‍රමවේද රාශියක් බුදු දහමේ ඉගැන්වේ. සමථ, විදර්ශනා භාවනාවට යොමු වීම එහි දී ප්‍රධානය. තමන් ගේ චරිත ලක්ෂණවලට අනුව සුදුසු භාවනාවක් දිගින් දිගටම පුහුණු කිරීමෙන් සිත සමාධි ගත කරගැනීමට පුළුවන. එළඹ සිටි සිහියෙන් ක්‍රියා කිරීමෙන් නිරන්තරයෙන් හැඟී එන ලෝබ, දෝෂ, මෝහ ආදී අකුසල් සිතිවිලි යටපත් කරගත හැකි ය.

තමන් ගේ පමණට ජීවත් වීම, අල්පේච්ඡ භාවය ජීවිතයට සැනසීම උදා කරයි. අද සමාජයේ මිනිසා ජීවත් වීම ප්‍රශ්නයක් කොට ගෙන සිටින්නේ අන්‍යයන් හා සසඳමින් ජීවිතය ගත කිරීමට යාම නිසා ය. මේ නිසා ඉවසීමෙන් සිතා බලා, ඉතා දුෂ්කරව ලබා ගත් මනුෂ්‍ය ජීවිතය නිවැරැදි මාවතට යොමු කර මෙලොව පරලොව සැනසීම වෙනුවෙන් ක්‍රියා කිරීම ඉතා වැදගත් ය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: