Posted by: lrrp | July 2, 2011

දෙවියන් අමනුස්සයන් රැවටීම එතරම් හොඳ දෙයක් නෙවෙය

මිනිසා මෙලොව දී දැඩි සේ තදින් අල්ලාගෙන සිටි මති මතාන්තර ඔහු ගේ මරණින් පසු උපත ලබන ප්‍රාණකාරයින් තුළ ද ක්‍රියාත්මක වේ. ඒ අනුව මරණයෙන් පසු උපදින අමනුස්ස ලෝකවල ද බෞද්ධ අදහස් දැරුවෝ ද ක්‍රිස්තියානි අදහස් දරුවෝ ද, කතෝලික අදහස් දැරුවෝ ද, හින්දු මත දරුවෝ ද ආගම් වශයෙන් ඒ ඒ කණ්ඩායම් ලෙස සැරිසරති. දේශපාලන මත දැරුවෝ ද ඒ ඒ මතවලට අනුව කණ්ඩායම් ලෙස සැරිසරයි. මේ සියල්ලට හේතුව වන්නේ උපාදානයයි. සමහරු මිනිස් ලොව ඉපැදුණ ද පෙර භවයන්හි ගති පුරුදු ඔවුන් තුළින් දැකිය හැකි ය. මේ අතර හොඳ අය ද නරක අය ද සිටිති.

යකුන් අතර ද එසේම ය.

ධනපාල මුදලාලි කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුගේ නමට ම සිරිලක ධනවතෙකි. කඩ සාප්පු, වී මෝල්, ලොරි, බස්, ඉඩ කඩම්වලින් ඔහුට අඩුවක් නැත. ඔහුටත් බිරිඳටත් සිටියේ ද එක ම දරුවෙකි.

හිටි හැටියේ මුදලාලි අසනීප වෙන්නට පටන් ගත්තේ ය. ව්‍යාපාර කටයුතු ද අඩපණ වූයේ ය. කඩ සාප්පු වැසී යන තත්ත්වයට පත් වූයේ ය. මුදලාලි ගේ සිහි විකල් ගතියක් ද සමහර විට මතුවිය. මානසික වෛද්‍යවරුන්ට පෙන් වූව ද ප්‍රතිකාර කළ ද සුවයක් නොවීය. තොවිල් පවිල් ශාන්තිකර්ම ද කළ නමුත් යහපතක් වූයේ නැත. යන්ත්‍ර මන්ත්‍ර කටයුතුවලට ඉතා සුප්‍රසිද්ධ හාමුදුරු නමක් මීගමුව ප්‍රදේශයේ පන්සලක විසූහ. මුදලාලි ඒ හාමුදුරුවන් ළඟට ගියේ ය. එහිදී උන් වහන්සේ ඔහුට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කොට පන්නා ගත්තේ ය. අවසානයේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයකට පැමිණියේ ය.

එහිදී මුදලාලි ප්‍රලය වූයේ ය. ඔහුගෙන් ප්‍රශ්න කරන්නට පටන් ගත්තේය.

“කවුද මේ මුදලාලිගේ ඇඟට රිංගලා ඉන්නේ?”

“මම ද?”

“ඔව්, ඔව් කවුද මේ?”

“මම බලගතු යක්ෂයෙක්”

“මුදලාලිගේ ඥාතියෙක්ද?”

“නෑ නෑ මහත්තයෝ, මේක අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්නා වගේ වැඩක්. හඞ… හඞ… හඞ….”

“මොකක්ද ඒ කතාවෙ තේරුම”

“අනුන්ට කළ දේ තමන්ට පල දේ”

“අපට තේරෙන්නේ නෑ. පැහැදිලිව කියන්න”

“මූ මහා ඉරිසියාකාරයා. කොයි තරම් ධන සම්පත් තිබුණත් අනුන්ට ඉරිසියාව යි. මුගේ ඉඩමට අල්ලපු ඉඩමේ බොහෝ ම වැදගත් කිසි කෙනෙකුට වරදක් පාඩුවක් නොකරන ධාර්මික පවුලක් ජීවත් වෙනවා. මූට වඩා ලස්ස වාරයක් ගුණ යහපත්. ඒ මිනිස්සු වැදගත් විදිහට ජීවත් වෙනවට ඉරිසියාවෙ ඒ මිනිස්සුන් ගෙදරින් පන්නලා ඒ ඉඩමත් අයිති කර ගන්න මේ තණ්හාධිකයාට හිතුණා. මූ මීගමුවෙ පන්සලක ගුරුකම් කරන හාමුදුරු කෙනෙක් මුණ ගැහිලා අරමිනිස්සුන්ට හූනියමක් කළා. මම මීගමුවෙ සොහොනක හිටපු යක්ෂයෙක්. මට තමයි බාරදුන්නේ අර මිනිස්සුන්ගෙ පවුල විනාශ කරන්න.

“ඉතින්… ඉතින්… ඒ පවුල විනාශ කළා ද?”

“නැහැ මහත්තයා. අපටත් හිතුවක්කාර වැරදි වැඩ කරන්න බැහැ. ඔය මළ පෙරේතයෝ වගේ මම වැරදි කරන්න කැමැති නැහැ. ඒ වගේ ම අපෙත් ප්‍රධානීන් ඉන්නවා. අපිත් බොහොම නම්බුකාර කොටසක්. අපේ යක්ෂ සේනාධිපතියන්ගේ අවසර වරම් නැතුව අපි වැඩ කරන්නේ නෑ. මම බැලුවා කවුද මේ හූනියමට ලක් කරපු මිනිස්සු කියලා බොහෝම සද්ධා සම්පන්නව තෙරුවන් සරණ ගිය පවුලක්. ඒ වගේ ඒ මිනිසුන්ට පෙර පිනුත් තියෙනවා. දැනුත් පින් දහම් කරනවා. මූටත් පෙර පින් තියෙනවා. ඒකනෙ ඔය යාන වාහන වස්තු සම්පත් තිබුණේ.

“ඉතින් දැන් මේ මුදලාලිගෙ ව්‍යාපාර පිරිහිලා ය කියන්නෙ?”

“නැතැයි මූ කරන්න හදපු විනාශය තමයි ඒකට හේතුව. අර නිවැරදි, අහිංසක, ධාර්මික අයට හූනියම් කළා කියන්නේ මහා බරපතළ අකුසලයක්. ඒ අකුසල ශක්තියේ බලයට අර පූරුවෙ පුණ්‍ය ශක්තිවල පලදීම යට ගියා. දැන් මූ ලෙඩා. මම මූව මරණවා.”

“ඇයි එහෙම කරන්නේ, ඇයි අර හූනියමට අනුව ඒ අයට හානි නොකළේ?”

“මම කීවනෙ අපිත් වැදගත් අය කියලා. මේ අහක හිටපු මාව අල්ල ගෙන වැරදි වැඩ කරවන්නයි හැදුවේ. ඒව කොහෙද මා එක්ක. මම බැලුවා ඒ මිනිස්සු කොයි වගේ අය ද කියලා. හොඳට දන් පින් කරන අය. මූ ලෝභය…. මේක කළෙත් දරුණු හිතකින්. ඊර්ෂ්‍යාවෙ, තණ්හාවෙ. මම මූව නම් ලෙඩ කළා. අර මිනිස්සුන්ට ලෙඩ දුක් කරන්න මට බාර දුන්නත් මම ආපහු මූ ළඟට ආවා. මූගේ ගෑනිටයි දරුවටයි දෙන්නටත් උපද්‍රව කරනවා.”

“ඇයි ඒ දෙන්නට ලෙඩ කරන්න තවම බැරි වුණේ?”

“තවම මට වරම් ලැබුණේ නෑ”

“මොකක්ද වරම් කියන්නෙ?”

“වරම් කියන්නෙ අවසරේ”

“කවුද වරම් දෙන්නේ?”

“මට අවසර වරම් දෙන්නේ කාලි දේවතාවුන් වහන්සේ”

“වරම් ලැබුණා ම මොකද කරන්නේ?”

“හඞ… හඞ… හා… එදාට මූගේ බොටුව කඩලා මරලා අරගෙන යනවා.”

“බිරියටයි ළමයටයි මොකද කරන්නේ?”

“ඒ අයගෙ වෙලාව හොඳයි. පව් පල දෙන කාලෙට තමයි වරම් ලැබෙන්නෙත්. ඒවා කෙරෙන්නෙත් සාධාරණ ක්‍රමයකට.”

“තමුන් අද මෙතනට ආවෙ කොහොමද?”

“ඇයි මහත්තයා මට අඬ ගැහුව්වේ, මහත්තයා අධිෂ්ඨාන කළා. මට දැනුණා. මම ඒත් ආවෙ අවසර අරගෙන. අපි සාධාරණවයි වැඩ කරන්නේ. මහත්තයත් අසාධාරණ වැඩ කරන්න එපා.”

“මෙතැනට එන අනිත් අය ගැන තමුන්ට මොනවද කියන්න තියෙන්නේ?”

“මෙතැනට නොවෙයි මහත්තයා කොතැනට ගියත් අපේ රටේ හුඟ දෙනෙක් එන්නේ තමුන්ගෙ වැඩේ කරගෙන පනින්නයි. ඊට පස්සෙ දෙය්යන් බුදුනුත් අමතක කරනවා.”

“ඒ කතාව මට පැහැදිලි මදි.”

“මහත්තයා මෙතැනදි බෝධි පූජා නියම කළාට ඒ අය සමහරු උනන්දුවෙන් ඒවා කරන්නේ නෑ. සමහරු පිරිත් කියන්නෙ නෑ. ගාථා කියන්නේ නෑ. එකෙක් කියන කොට දෙන්නෙක් කියන්නේ නෑ. බාර හාර වුණාට ලෙඩේ සනීප වුණාම ඒවා හරියට ඔප්පු කරන්නේ නෑ.

“ඒ වගෙ අයට මොනවද වෙන්නේ?”

“දෙවියන්, අමනුස්සයන් රැවටිල්ල ඒ තරම් හොඳ දෙයක් නොවෙයි. මහත්තයගෙ කීමට, බෝධි පූජා දහ හතර – විසි එක කියනවැයි කීවට ඒ අමනුෂ්‍යයෝ ටිකක් ඉවසලා බලා ඉන්නවා. ඊළඟට පොරොන්දු ඉෂ්ට නොකළා ම ආයෙ ලෙඩ කරනවා. පළි ගැනීම දෙගුණ කරනවා. ලෙඩ කරලා නතර කරන්නේ නෑ මරා ගෙන ම අරගෙන යනවා.”

“ඇයි ඒ තරම් දරුණු වෙන්නේ?”

“මහත්තයා, ඔය වැඩි දෙනෙකුට ලෙඩ කරන්නෙ තමන්ගෙ ම පවුලෙ දරුණු අය අමනුස්සයෝ වෙලා. ඒ අය අකමැති දේවල් කරන කොට තරහෙන් බලාගෙන ඉන්නවා. වෙලාව ආපු හැටියෙ අරගෙන යනවා. එදාට ඒක නවත්තන්න මහත්තයාටත් බැරිවේවි. මුන් කරන වැරදි වැඩ අමනුස්සයො බලා ගෙන ඉන්නේ. උන් රවටන්න බැහැ.”

“ඉතින්… ඉතින්”

“මම දැන් යන්නම් මහත්තයා”

“හා… හා… එපා… තව ටිකක් ඉන්න. දැන් මේ මුදලාලිට මොකද කරන්නේ?”

“මූව පොරොන්දු කරවන්න”

“මොනවද පොරොන්දු කරන්නේ”

“මූටත් කියන්න බොහොම හොඳට බෝධි පූජා තියල එන්න කියලා. දන් පින් කරන්න කියන්න. මේ කුම්මැහියා ළඟ පැටලිලා ඉඳලා දැන් මටත් එපා වෙලා.”

මුදලාලිට බෝධි පූජා විසි එකක් පවත්වා, ඒ අතර නැති බැරි අයට, අසල් වාසීනට, මෛත්‍රි කරුණා වෙන් දන් පින් කොට දෙවියන්ට පින් අනුමෝදන් කර නැවත එන ලෙස දැනුම් දෙනු ලැබුණි. ඒ අනුව ඔහු නැවත ආවේ ය. එදා ද යක්ෂ දිෂ්ටිය මතු වී ආවේ ය.

“ආ… මහත්තයා… හඞ… හඞ… හඞ…”

“ආ… තෙරුවන් සරණයි. ඉතින් කොහොමද?”

“මහත්තයාටත් තෙරුවන් සරණයි.”

“කොහොමද මුදලාලි බෝධි පූජා තිබ්බද?”

“තිබ්බා… තිබ්බා… මමත් ගියා මෙයා එක්ක බෝධි පූජාවට. මූ හරියට ගාථාවක්වත් කියා ගන්න බැහැ. ගෑනියි දරුවයි තමයි හරියට ගාථා කීවෙත්. පිරිත් කීමෙන් බලන්න මහත්තයා කොයි තරම් වස්තු සම්පත් තිබුණත් වැඩක් නැහැනේ. තමුන්ගේ ආගම දහමේ ගාථාවක් කියා ගන්න බැරි නම්, කරණීයමෙත්ත සූත්‍රය කියා ගන්න බැරි නම්”

“ඉතින් බෝධි පූජාවට ගිහින් තමුන්ට මොකද වුණේ?”

“මටත් හරි සතුටක් සැනසුමක් දැනුණා. මගෙත් හොඳ වෙලාව වෙන්නැති. දැක සතුටු වෙන්න, පුළුවන් වුණ එකත්. දැන් නම් මෙයා ගෙන් පළිගන්න එකත් පව් කියලා හිතෙනවා.”

“දැන් අපි වෙන මොනවද කරන්න ඕනෑ.”

“මූට කියන්න බාර හාර වෙච්ච දේවල් හරියට ඉෂ්ට කරන්න කියලා. ඒවා හරියට ඉෂ්ට නොකළොත් අපට දැනෙනවා. එහෙම වුණොත් මම ආයෙත් එනවා.”

“ආයෙත් එනවා කියන්නේ අද යන්න යනවාද?”

“ඔව් මහත්තයා මම එදත් කීවනෙ… මේ කුම්මැහියා ළඟ පැටළිලා ඉඳලා මටත් එපා වෙලයි ඉන්නේ කියලා. මම අද මුන්නේශ්වරමට යනවා. මට මහත්මයා පින් අනුමෝදන් කළානෙ. මම හිටපු තත්ත්වෙන් උසස් වුණා.”

“මොකක්ද මේ උසස් වුණා කියන්නේ?”

“මේ ඔක්කොම සිතේ ශාන්තියනෙ මහත්තයා. සිත ප්‍රසන්න වෙන කොට කිළිටි ඉවත් වෙන කොට උසස් වෙනවා. එහෙනම් මම යනවා යන්න!


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: