Posted by: lrrp | July 2, 2011

නොදන්නාකම නොසලකා කටයුතු කිරීමෙන් වෙන්නේ අනාගතය අඳුරුවීමයි – කිරින්ද – පුහුල්වැල්ල – ශ්‍රී වර්ධනාරාමවාසී දර්ශන විශාරද කුඹල්ගොඩ ධම්මාලෝක හිමි

පසුබිම් කතාව

සැවැත් නුවර දෙව්රම් වෙහෙර නිතර නිතර ධර්ම දේශනා පැවැත්වේ. සැදැහැති පිරිස් ධර්ම ශ්‍රවණය පිණිස නිතර එහි යති. රාත්‍රී කල බණ ඇසීමට යන පිරිස අතර විවිධ වෙස් ගත් සොරු ද වෙති. බණ ඇසීමට යන අය ගේ විවිධ බඩු භාණ්ඩ නැති වුවත් සොරුන් කවරෙක් දැයි සොයා ගත නොහැකි විය. ඒ සියලු දෙන සැදැහැතියන් සේ සුදු ඇඳුමෙන් යුතු වීම නිසා ය. චාම් හැසිරීම් ඇත්තන් සේ පෙනීම නිසා ය. මල් පහන් පිදීම්, බණ ඇසීම් කරන නිසා ය.

දිනක් සුපුරුදු ලෙස සොරු දෙදෙනෙක් රෑ කල දහම් ඇසුමට යන පිරිසට එක්වූහ. වෙහෙරෙ හි දී මල්පහන් පිදීමේ නිතර වූහ. ධර්ම දේශනා ආරම්භ වූ මොහොතේ සොරු දෙදෙනා ද දහම් අසන බව හඟවමින් පිරිසට එක් වූහ. එක් සොරෙක් බණ ඇසීමෙහි ද කැමැත්තේ විය. එදින මනාව දහම් ඇසූ හේ දහමෙහි අවනත විය. සෝවාන් ඵලයට ද පැමිණියේ ය. සොරකම අමතක කළ ඔහු දහදිය මහන්සියෙන් උපයා සපයා ගන්නා දෙයින් ම අඹුදරුවන් පෝෂණය කරන්නට සිතන්නේ ය.

එහෙත් මිතුරු සොරා ගේ සිත දහමට වඩා සොරකමෙහි බලවත් විය. දහම් අසනා බව හැඟවුව ද සිතෙහි ධාරණය කර නො ගත්තේය. කවරකුගෙන් කුමක් සොරකම් කරන්නේ ද යන සිතිවිල්ලේ ම පසුවිය.

සෝවාන් වූ තැනැත්තා ගෙට ගොස්, තමන් මින් මතු සොරකමෙහි නොයෙදෙන බවත්, ධර්ම මාර්ගයේ ගමන් ගන්නා බවත් තම බිරියට සැළ කළේ ය. පසුදා ඒ නිවෙසෙහි ළිප ගිනි ඇවිළුණේ නැත. සැමියා ගේ කතාවෙන් කෝපයට පැමිණි බිරිය ‘ඔබ නම් සැබෑම අනුවණයෙකි. ඒ අනුවණක ම නිසාම මා ගේ දරුවන්ට කැඳත් නැති විය. ඒත් නුවණැති යහළුවා ගේ ගෙදර දරුවන්ට බත් හිඟ නොවන්නේ ය’ යි සිය සැමියාට දොස් නැඟුවාය.

සිය බිරිය ගේ බස් ඇසූ සැමියා පසුදින ජේතවනාරාමයට ගොස් බුදුරජාණන් වහන්සේට මේ සිදුවීම සැළ කරන්නේ ය. තමන් මෙතෙක් සොරකමින් තම අඹුදරුවන් පෝෂණය කළ බවත්, දහම් ඇසීමෙන් පසු ඒ අනුවණ ක්‍රියාව නොකරන බවත් ඒ දැන තම බිරිය කෝපයට පත්ව අඬ දබර කරගන්නා බවත් පවසන්නේ ය.

ඒ අවස්ථාවේ බුදු රජාණන් වහන්සේ මතු සඳහන් ගාථා රත්නය දේශනා කරමින් බාලයා හෙවත් අනුවණයා තමා ගේ අනුවණකම ගැන දැන ගනී නම් එයින් ම ඔහු පණ්ඩිතයෙක් වන බවත් තමා පණ්ඩිතයෙකැ යි සිතන මෝඩයා ඒකාන්තයෙන් ම මෝඩයෙක් වන බවත් පෙන්වා දුන් හ.

මේ ගාථා රත්නයේ ‘බාලො’ යනුවෙන් හැඳින්වෙන්නේ අනුවණයා ය. එනම් වැඩ අවැඩ නොදන්නා, කළ යුතු හා නොකළ යුතු දේ නොදන්නා පුද්ගලයා ය.

’බාල්‍යං මඤ්ඤතී’ නම් තමා අනුවණයකු බව දැන සිටීමය. අනුවණයකු වුණ ද පණ්ඩිතයකු බව පෙන්වීමට උත්සාහ කරන්නා ‘පණ්ඩිතමානි’ ලෙසින් දක්වා ඇත.

මේ කතා පුවතට අනුව ජීවිතය වැරදි මාර්ගයකට යොමු වී ඇති පුද්ගලයකුට වුවද තමන් වැරදි බව හැඟුණේ නම් නිවැරැදි මාවතට යොමු විය හැකි බව පැහැදිලි වේ.

අනුන් ගේ දේ සොරකම් කරමින් තමන් ගේත්, අඹුදරුවන්ගේ ත් උදර පෝෂණය කළ අර සොරා නිවැරැදි මඟට එළැඹුණේ තමන් වරදක් කරන බවත්, එහි ආදීනවත් අවබෝධ කොට ගත් නිසා ය. තමන් වැරැදිබව අවබෝධ වූයේ සත් පුරුෂ ධර්මය ශ්‍රවණය කළ නිසා ය.

කතාවේ සඳහන් අනෙක් සොරාට ධර්මය ඇසුණත් හරි මඟට පැමිණීමට නොහැකි වූයේ තමන් නිවැරැදි යැයි සිතූ නිසා ය. තමන් ගේ අසත් පුරුෂ ක්‍රියාවල වරදක් නොදුටු නිසා ය. සත්පුරුෂයන් ගේ බසට අවනත නොවීම නිසා ය.

කෙනෙක් යම් දෙයක් නොදැන තමන් දන්නවා යැයි උඩඟුව සිටී නම්, හරි වැරැද්ද හඳුනා ගත්තේ නැතිනම් ඔහු විසින් ම තමන් ගේ විනාශය ළඟා කර ගනී. ක්ෂණිකව මතුවෙන ගිනිදැල්ල ක්‍ෂණිකව ම විනාශ වී යන්නා සේ හේ විනාශය ළඟා කර ගනී.

බුදුරජාණන් වහන්සේ මෙහි දී ‘දැන ගන්නවා’ යන්නෙන් විශේෂයෙන් අවධාරණය කරන්නේ තමන් ගැන දැන ගැනීම ය. බුදු දහමේ ලෝක දෙකක් පිළිබඳ සඳහන් ය. එනම් අධ්‍යාත්මික ලෝකය සහ බාහිර ලෝකයයි. අධ්‍යාත්මික ලෝකය නම් බඹයක් තරම් වූ මේ ශරීරයයි. ඒ ලෝකය දැනගත් කෙනාට බාහිර ලෝකයේ අමුතුවෙන් දැන ගන්නට දෙයක් ඉතිරි වන්නේ නැත.

තමන් ගැන දැන ගැනීමේ දී හේතුඵල ධර්මය පිළිබඳ අවබෝධ කර ගන්නට උත්සාහ කළ යුතුය. එනම් යම් දෙයක් හට ගැනීමට හේතුවක් තිබෙන බව දැන ගැනීම ය.

පුද්ගලයා හට ගන්නේ ඇයි? අවිද්‍යාව නිසා ය. අවිද්‍යාව නම් මේ ලෝකය ගැන නොදන්නාකම යි. අවිද්‍යාව නම්, ලෝකය අල්ලාගෙන මම, මගේ ය යනුවෙන් වෙන් කර ගන්නට උත්සාහ කිරීමයි.

මේ කරුණ පැහැදිලිව අවබෝධ කරගත හැකි කතා පුවතක් අටුවාවේ සඳහන් වේ.

ගවයන් රැක බලා ගන්නා පුද්ගලයෙක් රෑ බෝ වූ කල ආපසු එන ගමනේ මහ වනයේ අතරමංව මං මුලා විය. මඟ සොයා ගත නො හී යා යුතු දිසාව දැන ගන්නට අසල කඳු ගැටයකට නැඟ ගත්තේ ය. අඳුරේ ඇවිදින ඔහු ගේ පය ලිස්සා යන්නේ ය. පහළට පෙරළීගෙන පෙරළීගෙන යන ගොපල්ලා ගේ අතට වැල්පටක් හසු වන්නේ ය. ඒ ද කටු වැලකි. වැල අල්ලා ගත් අත සීරී වේදනා දුන්නේ ය. දෑතින් ම අල්ලා ගත් කළ දෑත ම වේදනා දුන්නේ ය. ඉවසනු බැරි ව දෙපයින් ද කටුවැල සිර කර ගත්තේ ය. දෙපය ද සීරී වේදනා දුන්නේ ය. එහෙත්, පහළට ඇද වැටේය යන බියෙන් කටුවැල අත නොහැරියේ ය. අඳුර මැකී ආලෝකය මතු වෙද්දී වට පිට බලන ඔහුට මහ පොළවට ඇත්තේ තවත් අඟල් දෙකක පමණ ප්‍රමාණයක් බව දැක ගත හැකි වේ. රාත්‍රිය පුරා කටුවැලක එල්ලී වේදනා විඳීම ගැන ඔහු බලවත් පසුතැවීමට පත් වේ. වැල අත හැරියා නම් ඔහුට මෙසේ මහ රැයක් පුරා වේදනා විඳින්නට සිදු නොවන නිසා ය.

සම්පූර්ණ බුදු දහම පිළිබඳව මේ කතා පුවතේ කැටි කොට තිබේ. මං මුළා වූ පුද්ගලයා නම් මේ පෘථග්ජන මිනිසා ය. හේ ලෝකය නම් වූ කටු වැලේ එල්ලී සිටී. කළුවර නම් අවිද්‍යාව නමැති අන්ධකාරයයි. අඳුර දුරු වී එළිය වැටීම නම් අවිද්‍යාව නැති කිරීමයි. ලෝකෝත්තර තත්ත්වයට පත්වීමයි. නිවනට ළඟා වීමයි. වැලේ කටු නම් මගේ යනුවෙන් අල්ලා ගන්නා දේ ය. මගේ දරුවෝ, මගේ ගේ දොර, මගේ ඉඩ කඩම් යනුවෙන් අල්ලා ගන්නා දේ ය. මේ සියල්ල දුක බව නොදැන අපි එහි ම එල්ලී සිටිමු. අවිද්‍යාව නම් එයයි. නොදන්නාකම නම් එයයි.

ලෝකයේ ක්‍රියාකාරීත්වයන්ට ප්‍රතිකි‍්‍රයා දක්වමින් සිටීම පෘථග්ජනයා ගේ ස්වභාවයයි. ‘පෘථග්ජන’ යන්නෙහි තේරුම උපතට සතුටු වන, විපතට හඬන යන්නයි. එහෙත් ඉපදීම සාමාන්‍ය දෙයකි. මරණය ද එසේය. ‘සබ්බේ පෘථග්ජනා උන්මත්තකා’ යනුවෙන් සියලු පෘථග්ජන මිනිසුන් යම් උමතුවකින් පෙළෙන බව බුදු දහමේ සඳහන් ය. අප උත්සාහ කළ යුතු වන්නේ ඒ උමතු ලෝකයෙන් මිදී සැබෑ විමුක්තිය ලබා ගැනීමට ය. විමුක්තිය ළඟා කරන රාග, දෝෂ, මෝහ යන බැඳීම්වලින් නිදහස් වීමට කටයුතු කිරීම යි.

දන්නා පුද්ගලයා, පණ්ඩිතයා කියන්නේ එසේ ක්‍රියා කරන තැනැත්තාට ය. මේ ටික නොදැන කෙනෙක් තමන් දන්නවා යැයි සිතා සිටී නම් ඔහු අනුවණයෙකි. මෝඩයෙකි. සියලු දේ අනිත්‍ය සේ දකිමින් ගිහි ජීවිතය අසුබවාදීව දකිමින් සියලු දේ අත්හැරිය යුතු බව මින් කියැවෙන්නේ නැත. අප උත්සාහ කළ යුතු වන්නේ ලෞකික ජීවිතය නිවැරැදි මාවතට යොමු කොට, ලෞකික ජීවිතය සාර්ථක කර ගන්නා ගමන් ලෝකෝත්තර පැත්තට යොමු වීම ය.

මෙසේ සිතන්න. ජීවිතයේ විවිධ අවස්ථාවන් හි යම් යම් පසුබෑම් නිසා අපි පීඩාවට පත්වෙමු. ශෝක වෙමු. මුළු ලෝකය ම කඩා වැටුණා සේ දුක් වෙමු. කෙනෙකුට තමන් ගේ ජීවිතය එපා වන තරමට, දිවි තොර කර ගන්නා තරමට ඇතැම් විට මේ පීඩාවන් බරපතල වේ. ප්‍රශ්නයක දී කම්පා වී හඬා දොඩා වැළපීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොවන බව අපි තේරුම් ගත යුතු ය. නින්දා, ප්‍රශංසා, දුක, සැප, යස, අයස ආදී මේ සියල්ලට ජීවිතයේ දී අපට මුහුණ දීමට සිදුවේ. ලෝකයේ ස්වභාවය එයයි. අප උත්සාහ කළ යුතු වන්නේ මේ සියල්ල සමබර කර ගනිමින් ජීවිතය ගොඩනඟා ගැනීමට ය.

අප ගේ එදිනෙදා සාමාන්‍ය ජීවිතයේ කටයුතු සාර්ථක කර ගැනීමට ද මේ ගාථා රත්නයෙන් කියැවෙන අදහස ආදර්ශයක් කර ගත හැකිය. ගුරුවරයෙක් නම් ඒ කාර්යයට සුදුසු වන ලෙස ඒ තැනැත්තා දැනුමින් සන්නද්ධ විය යුතුය. දැනුමින් සන්නද්ධ නොවී තමන් දන්නවා යැයි සිතා දරුවන්ට අකුරු කරවන්නට යාමෙන් සිදුවන්නේ අනාගත සමාජයම විපතේ හෙළීමකි.

කෘෂි කර්මාන්තයෙහි නියැළෙන තැනැත්තා ඒ කාර්ය ගැන දැන සිටිය යුතුය. ධර්ම දේශකයා ධර්මය අවබෝධ නොකොට දේශනා කරන්නට යාමෙන් සිදුවන්නේ ශ්‍රවණය කරන තැනැත්තා මුලාවේ වැටීම ය. අධ්‍යාපනය ලබන දරුවන් වුවද තම නොදන්නාකම නොසලකා දන්නවා යැයි සිතා කටයුතු කිරීමෙන් සිදු වන්නේ අනාගතයම අඳුරු වීමය. මෙසේ ජීවිතයේ සෑම අංශයකටම මේ ආදර්ශය එක්කර ගැනීමෙන් බොහෝ කටයුතු සාර්ථක කර ගැනීමට පුළුවන.

(සිළුමිණ)


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: