Posted by: lrrp | July 2, 2011

මං නංගිට ආදරෙයි යන්නේ නංගිත් අරගෙනමයි

අපි උදේ සවස පන්සිල් සමාදන් වෙනවා ය. පිරිත් කියනවා ය. මල් පහන් පුදනවා ය. ඒ නිසා අප ළඟට අමනුෂ්‍යයෝ එන්නේ නැතැ”යි සමහරු සිතති. එහෙත් බුදුරජාණන් වහන්සේට පමණක් දෙවැනි වූ මහා සෘධිබල සම්පන්න වූ අග්‍ර ශ්‍රාවක වූ මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ ගේ කුසට ද අමනුෂ්‍යයෙකු රිංගා ගෙන පීඩා කළේ ය.

“අපේ ගෙදර පිරිත් කැසට් එකක් දින පතා වාදනය කරනවා. ඉතින් අපේ ගෙදරට අමනුෂ්‍ය බලපෑම් ඇති වෙන්නේ කෙසේ දැ”යි සමහරු අසති. පුද්ගලයා සහ පරිසරය පිරිසිදුව තෙරුවන් වන්දනා කොට සද්ධාවෙන්, ප්‍රතිපත්ති ශීලයක පිහිටා පිරිත් සජ්ඣායනා කිරීමේ සජීවී බලයත්, අජීවී යන්ත්‍ර සූත්‍රවල බලයත්, ගුණයත් දෙයාකාර බව මොව්හු නොදනිති.

ආදරයෙන් බැඳී සිට මරණයට පත් වූ අක්කා කෙනෙකු සිය නැගණිය තමන් ළඟට ගැනීමට ගත් උත්සාහයක් පිළිබඳ කතාවකි මේ, මේ අක්කාත් නංගීත් ජීවත් වූයේ එක ම ඉඩමේ සාදා ගත් නිවෙස් දෙකක ය.

නංගී කොළඹ ප්‍රධාන පෙළේ සුප්‍රසිද්ධ රෝහලක සේවය කළ හෙදියකි. අක්කාට හෘදයාබාධයක් වැළඳීම නිසා ඒ රෝහලට ම ඇතුළත් කළා ය. නංගී අක්කාට ඉතා ම ආදරයෙන් සාත්තු සාප්පායම්කළාය. “අනේ! මගේ නංගී මට කොච්චර ආදරේ ද? මගේ මහත්තයාටත්, දරුවන්ටත් වඩා මගේ නංගී මට ආදරෙයි.” ආදී වශයෙන් සිතුවිලි ගොඩ නඟමින් අක්කා නංගීටත් වඩා ආදරයකින් නංගී ගැන සිතුවා ය. කෙසේ නමුත් වැළඳී තිබුණු හෘදයාබාධයෙන් අක්කා මිය ගියා ය.

අක්කාගේ මරණයෙන් ටික කලකට පසු නංගී ගේ බෙල්ලේ ආබාධයක් ඇති විය. කොඳු ඇට පෙළේ ඉහළ කෙළවරේ අස්ථියක ඇති වූ මේ ආබාධය නිසා නංගිගේ බෙල්ල සැත්කමකට ලක් කළ යුතු බව වෛද්‍යවරුන්ගේ නිගමනය විය. මේ සැත්කමේ දී තමන් මිය යන බවට හෙදියට සැකයක් උපන්නාය. ඒ ගැන බියක් හට ගැනුණි. ඇය දුකෙන් කල් ගෙවීමට හේතුව දැන ගත් මේ හෙදියගේ මිතුරියක් ඇයට පිහිටක් සහනයක් ලබාදීමට කල්පනා කළාය.

මේ මිතුරිය ‘සිළුමිණ’ සිත්මල් යායේ “පියවි ඇසින් ඔබ්බට” කියවන්නියකි. ඇය “සිළුමිණ”ට කතා කොට දුරකතන අංකය ලබාගෙන මා ඇමතුවා ය. කල්‍යාණ මිතුරියක වූ ඇය සිය යෙහෙළිය වෙනුවෙන් පිහිටක් පැතුවා ය.

මම ඇය ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට යොමු කළෙමි. මේ වන විට මේ රෝගී හෙදිය ගේ මිය ගිය අක්කා හීනෙන් පැමිණ “නංගී මම ඔයාට ආදරෙයි. ඔයාව මං ළඟට ගන්නවා. ඔයා මා එක්ක යන්න සූදානම් වෙන්න. ඔපරේෂන් එකේ දී මම ඔයාව අරගෙන යනවා” යැයි ද කියා තිබුණි.

මිතුරිය ගේ උපදෙස් අනුව හෙදිය ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට ගියා ය. එහි දී ගවේෂණයට ලක් වුව ද ඇගේ ශරීරයට භූතාත්මයක් සම්බන්ධ බව සනාථ වුව ද ඒ භූතාත්මය ලවා කතා කර වන්නට උත්සාහ කළත් ඒ භූතාත්මයට කතා කරන්නට තරම් ශක්තියක් නොවිණි.

ඒ නිසා සැත්කම සති දෙකක් කල් දමා ගන්නට උපදෙස් දුන්නේ ය. (ඇය හෙදියක් බැවින් එය අපහසු නොවේ) ඒ අතර දින දහ හතරක් බෝධි පූජා තබන්නට නියම කළේ ය. (මෙහි දී මළ ගිය ඤාතීන්ට පින් අනුමෝදන් නොකරන ලෙස උපදෙස් දෙන්නට අමතක විය.) හෙදිය සද්ධාවෙන් බෝධි පූජා පැවැත්වූවා ය. මේ අතර දිනක් හෙදියගේ ස්වාමි පුරුෂයාත්, පුත්‍රයාත් සිය මිය ගිය ඥාතිවරිය (හෙදියගේ අක්කා) නිවසේ සැරිසරන අයුරු හැබැහින් ම දැක ගත්හ. ඔව්හු එයින් බිය වූහ.

බෝධි පූජාදින දහහතර අවසන් කළ හෙදිය නැවත ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට ගියාය. එදින ඇගේ ශරීරයට සම්බන්ධව සිටි භූතාත්මය කතා කළාය.

“මගේ නංගිට මම ආදරෙයි. මම එයාව අරගෙන යනවා. ඒක කාටවත් වළක්වන්න බෑ. මම මගේ නංගිව අරගෙන යනකම් එයාව අතහැර යන්නෙත් නෑ. ඒ විතරක් ද මගේ නංගි බෝධි පූජා තියලා මට පින් දුන්නා. ඒ පින් ලබා ගෙන මම ශක්තිමත් වුණා. මට ශරීරයක් මවා ගෙන පෙනී ඉන්නත් පුළුවන් වුණා. නංගිගෙ මහත්තයයි පුතයි ඉදිරියේ පෙනී සිටින්නත් මට පුළුවන් වුණා.”

“හරි හරි… දිග විස්තරයක් නෙ කියා ගෙන ගියේ. මේ කවුද කීවෙ නෑනෙ.”

“මම මේ නංගි ගෙ අක්කනෙ”

“අක්කා… අක්කා නම් ඇයි නංගිට හිරිහැර කරන්නේ?”

“මොකක්ද මම කරපු හිරිහැරේ?”

“ඇයි? මේ නංගිගෙ ඇඟට රිංගාගෙන ඉන්නේ?”

“මගෙ නංගිගෙ ඇඟට රිංගන්න මට පුළුවන්.මම කාටවත් බය නෑ. මම නංගිට ආදරේනෙ”

“ඇයි? ඔය තරම් ආදරේ”

“මම ඉස්පිරිතාලේ ඉන්න කොට අනිත් හැමෝටම වඩා මට උදව් කළේ මගේ නංගී. සාත්තු සප්පායම් කළෙත් නංගී. නංගි නර්ස් නිසා එයාට නිතර ම මගේ ළඟට එන්න පුළුවන්නෙ. ඉතින් මගේ නංගිට මම ආදරෙයි. මම මගේ නංගිව මගේ ළඟට ගන්නවා. මම අරගෙන යනවා.”

“ඒ කොහොමද අරගෙන යන්නේ?”

“ඔපරේෂන් එකේදි එයාව මරාගෙන මම අරගෙන යනවා… හීඞ… හිඞ… හිඞ…

එච්චර කොහෙද? ඒ හපන්කම්වලට අපි ඉඩ දෙන්නෙ නෑ.

“මොනවා. මම ඔය කාටවත් බය කෙනෙක් නෙවේ, මාත් එක්ක හැපෙන්න එපා”

“මොනවා?”

“ඔව්”

“මම ඔය කාටවත් බය කෙනෙක් නොවෙයි”

පටාස්… චටස්… වේවැල් පහර කීපයක් වැදුණි.

“අනේ! අනේ! ගහන්න නම් එපා”

“මොකද චණ්ඩියා බය”

භූතයන් ගේ සියුම් ශරීරවලට පහර වදින වේදනාව උහුලන්නට නොහැකිය. එවැනි අවස්ථාවල ක්‍රමානුකූල එසේ පහර දුන්නත් ඒ භෞතික ශරීරය අයිති පුද්ගලයාට (හෙදියට) වේදනාවක් නොදැනේ. තුවාල සිදුවන්නේ ද නැත. එහෙත් භූතාත්මය දැඩි වේදනාවකට පත්වෙයි.

“දැන් මොකද කියන්නේ?”

“ම්… ම්… මුකුත් නැහැ” තරහින් පිළිතුරු දුන්නාය.

“තමුන්ට සාත්තු සප්පායම් කළා නම් නංගි කරල තියෙන්නේ යුතුකමක්. පිංකමක්. කුසලයක්. එහෙම කෙනාව මරාගෙන යනවැ යි කියන්නේ අපරාධයක්. මහා පාපයක්. ජීවත්ව ඉන්දැද්දි හරියට පින් කුසල් නොකළ නිසා තමුන් දුගතියක ඉපැදිලා තේරුණා ද?”

“තේරුණා… තේරුණා”

“තේරුණා නම් පිළිගන්නවා ද?”

“ඔව්”

“එහෙම නම් මේ ශරීරයෙන් ඉවත් වී යනවා ද?”

“බැහැ”

“ඒ මොකද?”

“මම මගේ නංගිට ආදරෙයි”

“මම ඔහේගෙ මහත්තයා ලවා දානයක් දීලා පින් අනුමෝදන් කරවන්නම්. ඒ පින් අරගෙන හොඳ තැනකට යන්න. ඒ නිසා නංගිට ආදරේ නම් නංගිට නිදහසේ ජීවත්වෙන්න ඉඩ දෙන්න, සාත්තු සප්පායම් කරපු නංගිව මරා ගන්න එක ද යුතුකම. පව් කරන්න එපා, හොඳ තැනකට යන්න හිතන්න.”

“නොගියොත්?” ඇය සැරෙන් අසයි.

“ආ… ආයෙත් චණ්ඩියා වුණා ද?” වේවැල අතට ගනියි.

“එපා… එපා… ගහන්න එපා… මම යන්නම්”

“කොහේට ද යන්නෙ?”

“කැලණියෙ බෝධිය ළඟට යනවා”

“ඔය ඇත්තම ද?”

“ඔව්!”

කොහොමද අපි විශ්වාස කරන්නෙ?”

“මම දිව්රලා කියන්නම්”

“එහෙනම් මේ පිරිත් පොතට අත තියලා දිව්රලා කියමු බලන්න.”

“නංගියේ! මම නංගිට ආදරෙයි රත්තරන් නංගියේ. මට නංගිව දාල යන්න නම් දුකයි. ඒත් මට දැන් ඔයාව දාල යන්න සිද්ධ වෙලා. නොගිහින් බැහැ. මම යනවා. යනවා. කැලණියේ බෝධිය ළඟට යනවා. ආයෙත් එන්නෙ නෑ. එන්නෙ ම නෑ. සත්තයි. සහතිකයි.” කියා පිරිත් පොතට දෑත ම තබා සපථ කළාය.

දැන් හෙදිය සැත්කමට ඉදිරිපත් වී සුවපත්ව ඇතැයි වාර්තා වේ.

මෙවැනි අය සුවපත් වීම අපට ද කුසලයකි. එහෙත් මෙහි දී නොකියා බැරි දෙයක් ද ඇත. අපට දුරකතන ඇමතුම් දෙමින් විස්තර අසා ගෙන පිළිවෙත්වලට යොමු වූ මෙවැන්නෝ සුවපත් වීමෙන් පසු නිකමටවත් ඒ ගැන අපට දැනුම් දෙන්නේ නැත.

මේ තොරතුරු අප ලබා ගත්තේ ද, ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයෙනි. සුවපත් වූ රෝගීන් හෝ ඔවුන් ගේ කල්‍යාණ මිත්‍රයෝ ද කාරිය කෙරුණු පසු නිහඬ වෙති. මෙවැනි දේ වාර්තා වේ නම් එයින් තවත් කෙනෙකු දැනුම්වත් වී සේවයක් සිදු කිරීමට අවස්ථාව උදාවෙයි. ඒ මිස ලාභ ලෝභ ප්‍රශංසා බලාපොරොත්තුව නොවේ.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: