Posted by: lrrp | July 2, 2011

මට බුදු කුටියක් හදා දෙන්න ලෙඩ සනීප වෙයි

ඕනෑම කෙනෙකුට ස්වකීය ඉඩම හා නිවස පිළිබඳ පුදුම මමත්වයක් වෙයි. පිටරටක පදිංචියට ගියත් කාලයක් යන තුරු රාත්‍රි නින්දේ දී සිහිනයෙන් දකින්නේ කලින් ජීවත් වූ පරිසරයයි. සිතේ ඇලීම කෙතරම් දැයි එයින් ම පෙනේ, ඕනෑම ගෙයක් අවුරුදු තිහක් පමණ ගතවන විට ඊළඟ පරපුර විසින් නවීන මෝස්තරවලට නවීකරණය කිරීම ද ස්වභාවයකි. එසේ නොකරන තැන් ඉතාම ස්වල්පයකි. මේ ගෙවල් හදන, ගොඩනගන පළමුවැන්නා එය හදන්නේ තමන්ගේ දරුවනට පමණක් නොව මුණුපුරන්ට පවා බලාපොරොත්තු තබමිනි. තමන් මිය ගිය පසුව ද දරු මුණුපුරන් එහි විරාජමානව වැජඹෙනු ඇතැයි සිතති. ඒ නිසා ම, එසේ දැඩි ඇලීමෙන් මැරෙන උදවිය ඒ ඒ දේපළ ඇසුරු කොට ගෙන ම දුගතිගාමීව උපදිති.

මෙරිල්ටත් සිරිමාටත් දූ දරුවෝ සිවු දෙනෙක් වූහ. වැඩිමලාත් බාලයාත් පිරිමි දරුවෝ ය. ගැහැනු දරුවන් දෙදෙනා සහ බාලයා හොඳ හොඳ රස්සාවල නිරත වූහ. වැඩිමහල් පුතා සාමාන්‍ය තැපැල් බෙදන්නකු සේ රැකියාව කළේ ය. ඔහු නිතර මව්පිය දෙදෙනා ගේ දුක සැප බැලූ අතර ජීවත් වූයේ ද බිරිය ගේ මහ ගෙදරය. මෙරිල්ගේ අනිත් දූ දරු තිදෙනා විවාපත්ව නවීන පන්නයේ නිවෙස් ගොඩ නඟා ගෙන ජීවත් වූහ. ඔවුන් ගේ කාලත්‍රයෝ ද රැකියාවල නිරත වූහ. වැඩිමහල් පුතු විවාහ වූයේ ගමට සමීප පවුලක රැකියා විරහිත තරුණියක සමඟ ය.

වැඩිමලා ගේ විවාහයට මව්පියෝ එතරම් කැමැත්තක් නොදැක්වුව ද තරහ මරක් පෙන්වූයේ ද නැත. කෙසේ නමුත් නිතර මහ ගෙදරට පැමිණ සිරිමා ගේ ගෙදර දොර වැඩ පලවලට උදව් කළේ ලොකු පුතා ගේ බිරියය. ඇගෙන් ශ්‍රමයෙන් ලැබුණු සහයෝගය සුළු පටු නොවේ. ඉඳහිට නිවාඩුවට දියණියන් දෙදෙනාත්, බාල ලේලියත් මේ ගෙදරට එන්නේ සැප ගැනීමට ය. ඒ දවස්වලටත් සිනහමුසු මුහුණින් ඇවිත් අම්මාට උදව් කරන්නේ ලොකු ලේලිය යි.

මෙරිල් රැකියාවෙන් විශ්‍රාම ගියාට පසු ගෙදරට ම වී නිහඬ ගොලුබෙලි ජීවිතයක් ගත කරන්නට පටන් ගත්තේ ය. ඒ විශ්‍රාම වැටුප මේ දෙදෙනාගේ චාම් ජීවිතයට සෑහුණු බැවිනි. කාමරයට වී පොතක් බලන මෙරිල් ගේ සියලු ඕනෑ එපා කම් අඩුවක් නැතුව, කංකෙඳිරියකින් තොරව සිරිමා අතින් පිරිමැසුණි.

පසුගිය අතීතය ආවර්ජනය කළ මෙරිල් තමන් අතින් තම ජීවිතයට, ආගමිකව ආධ්‍යාත්මිකව කිසිවක් සිදු නොවූ බව වැටහී ඒ ගැන යටි හිතින් පසුතැවිලි වූයේය.

ඒ අඩුව පිරිමසා ගැනීමට මෙන් තම නිවස ඉදිරිපිට කුඩා බුදු කුටියක් හදා ගෙන උදේ හවස වැඳුම් පිදුම් කරන්නට පටන් ගත්තේ ය. මේ කටයුතුවලට ද ලොකු පුතාත්, ඔහු ගේ බිරියත් නොමඳ ව සහය ලබා දුන්නේ ය.

“සිරිමා! අපේ දරුවො හතර දෙනාට ම දැන් කාටවත් අත නොපා ජීවත්වෙන්න පුළුවන්. ලොකු පුතාට තමයි ටිකක් අඩුපාඩු ගතියක් පේන්න තියෙන්නේ. ඒත් අහිංසකයා හැමදාම ඇවිත් අපි දෙන්න ගෙ දුක සැප බලලා යනවා. කවදාහරි මං මළාට පස්සෙ මේ ගෙයයි ඉඩමයි ලොකු පුතාට දෙන්න. අනිත් තුන් දෙනාටම හොඳට ගෙවල් දොරවල් අඩුවක් නැතුව තියෙනවානෙ. ඒ හින්දා මේ යුතුකම ඔයා ඉෂ්ට කරන්න ඕනෑ” යි මෙරිල් තම බිරින්දැට අවධාරණය කළේ ය.

මෙරිල් ටිකෙන් ටික ලෙඩ ගානට වැටුණේය. පුළුවන් කාලයේ නොකළ කුසල් පිළිබඳව පසු තැවුණු මෙරිල් ගේ ඉදිරිපිට හදා ගත් බුදු කුටියෙන් විශාල මානසික සහනයක් සුවයක් ලැබුවේය. ඒ අතර ම වැළඳී තිබුණු රෝගයෙන් එක්තැන් වූ මෙරිල් බිරියගේත්, ලොකු පුතාගේත්, ලොකු ලේලියගේත් සාත්තු සප්පායම් ලබමින් සිට දිනක් රාත්‍රියේ නින්දෙන් ම වාගේ මෙලොවින් සමු ගෙන තිබුණි.

මෙරිල් ගේ තුන් මාසයේ දානයෙන් පසු රාත්‍රි පවුලේ සාමාජිකයන් ගේ සාකච්ඡාවක් විය. එහි දී මහ ගෙදර ලොකු පුතාට ලියා දෙන්නැයි තාත්තා කළ ඉල්ලීම සිරිමා දරුවන් හතර දෙනාට දැනුම් දුන්නාය.

“එහෙම බැහැනෙ අම්මේ! අපටත් තාත්තගේ දේපළවල අයිතියක් තියෙනවානෙ” යි බාල දුව අදහස් ප්‍රකාශ කළාය. ඇගේ ස්වාමි පුරුෂයා ද නිහඬව එය අනුමත කරන්නාක් මෙන් බිම බලා ගෙන උන්නාය.

“ඒක තමයි, මමත් කියන්න හිටියේ” යි ලොකු දුව ද ඇගේ අදහස අනුමත කළාය.

පොඩි පුතා නිහඬව සිටිය දී ඔහුගේ බිරිය තර්කයක් ඉදිරිපත් කළාය. “ඒ වුණාට ඕනෑම පවුලක මහ ගෙදර අයිති වෙන්නේ ඒ පවුලේ බාල පුතාට නේද? සම්ප්‍රදාය ඒක නේද?” ඇගේ තර්කය කිසිවෙකු ගණන් ගත් බවක් පෙනෙන්නට දකින්නට ලැබුණේ නැත. ලොකු පුතාත් ඔහුගේ බිරියත් නිහඬව මුනිවත රැක්කාහ.

සිරිමාගේ සිතට දැඩි වේදනාවක් හට ගැනුණි. මිය ගිය පියාට සාත්තු සප්පායම් කළේත්, තමන් ගේ තනි නොතනියට හිඳ උදව් කරන්නේත් ලොකු පුතාත් ඔහුගේ බිරියත් ය. තණ්හාව ඉදිරියේ සියලු නැදෑකම් යුතුකම් යටපත් වී යන්නේ ය.

“මම ඔයගොල්ලන් නොදන්න දේවල් කියා දෙන්නම්. මේ ගෙයත් ඉඩමත් ඔයාලගෙ තාත්තගෙ බව සැබෑව. නීතිය සම්ප්‍රදාය කතා කරනවා නම් ඒ පැත්තෙන්ම බලමු. තාත්තාගේ ඉල්ලීම ඉටු කරන්න අකමැති නම් නීතියට අනුව මේ ගේත් ඉඩමත් ලොකු අය්යට ලියන්න මට බලය තියෙනවා.” සිරිමා විස්තර කරන්නට පටන් ගත්තාය.

“ඒ කොහොම ද?” බාල දුව කට දැම්මාය.

“මෙරිල්ගෙ අම්මට සාත්තු සප්පායම් කළේ මම, ඒ යුතුකමට, ඒ ආදරේට ආච්චි අම්මා මේ ගේයි ඉඩමයි මගේ නමට ලිව්වා.

ඒ නිසා මටයි අයිති. ඒත් ඔයගොල්ලන් ඉල්ලන නිසා මේ ඉඩමෙන් දෙකෙන් පංගුවක් දරුවෝ හතර දෙනාට දෙනවා. කැමැත්තක් කරගන්න. ගෙයයි ඉතුරු බාගයයි මම ඉතුරු කැර ගන්නවා. මේ ඉඩම වටිනවා. නගරයට සමීපයි. ඒ කොටස ඔය ගොල්ලන් ඕනෑ දෙයක් කරගන්න.”

නගරයේ පර්චස් හතළිහක් වූ ඉඩම ඉතා වටිනා එකක් විය. එයින් පර්චස් විස්සක් වූ කොටස රුපියල් ලක්ෂ තිහක් පමණ වටිනාකමකින් යුක්ත විය. එය හතර දෙනාට ම අයිතිය. මාසයක් ගතවූයේ නැත. දූවරු දෙදෙනාත්, බාල පුතාත් තමන්ට අයිති වන පර්චස් පහළොව අම්මාගේ අත්සනින් යුක්තව අන්‍ය ජාතික අන්‍යාගමිකයකුට විකුණා මුදල් බෙදා ගත්හ. ලොකු පුතාගේ කොටස නිවසට ආසන්නයෙන් ඉතුරු කැර ගත්තේ ය.

ඉඩම මිල දී ගත් පුද්ගලයා තම ඉඩම් කොටසට ඇතුළත්ව තිබූ බුදු කුටිය කඩා දමා එහි නිවසක් ඉදි කිරීමට පියවර ගත්තේ ය. මේ අතර දියණියන් දෙදෙනා සහ බාල පුතා අසනීප වූහ. උණ විකාරයෙන් මෙන් දොඩවන්නට වූහ.

මහ ගෙදර සිටි මෑණියෝ ද අසනීප වූහ. මේ සිවු දෙනාම වෛද්‍ය ප්‍රතිකාර ලැබූව ද සුවපත් නොවූහ. උදේ හතට පමණ වැළඳෙන උණ රාත්‍රි හත පමණ වනතුරු පවතින අතර මේ කාලය තුළ මිනිසුන් නොහඳුනන තත්ත්වයක් ඇති විය. මේ අයගේ අසනීප තත්ත්වය නිසාම බෑණාවරුන් දෙදෙනාට සහ බාල ලේලියට රැකියාවලට යන්නට පවා නොහැකි විය.

ඒ නිසා ඔවුන් කළේ රෝගීන් තිදෙනා අම්මා සිටින මහ ගෙදරට ගෙන ඒමය. දැන් රෝගීන් හතර දෙනෙකි. මේ හැම දෙනාට ම සාත්තු සප්පායම් කළේ ලොකු අය්යාත් නෑනණ්ඩියත් ය. ඔවුහු කිසිම තරහ මරහ අමනාපයකින් තොරව සද්භාවයෙන් ම එය ඉටු කළහ.

මේ විකාර කියවන උණ රෝගය කුමක් දැයි සිතා ගත නොහැකි වූ අම්මාගේ ඉල්ලීම පරිදි වේල් පිරිතක් කියවන්නට ලොකු පුතා සූදානම් කළේය. ඊළඟ සෙනසුරාදා නිවාඩු දවසේ එය ආරම්භ කරන්නට කටයුතු කළේය.

එදා පවුලේ හැම දෙනා ම නිවසේ සිටියහ. ගමේ පන්සලෙන් හාමුදුරු දෙනමක් වැඩම කැර වූහ. පිරිස පන්සිල්හි පිහිටුවා පිරිත් සජ්ඣායනය ආරම්භ විය. බාල දුව නළියන්නට වූවාය. විකාර කියවන්නට පටන් ගත්තාය. එහි වැඩ සිටි ප්‍රධාන ස්වාමීන් වහන්සේ ප්‍රශ්න කළහ.

“මොකද මේ කලබල කරන්නේ?”

“හාමුදුරුවනේ! එහෙම නැතුව බැහැනේ”

“ඇයි බැරි? මේ කව්ද?”

“හාමුදුරුවනේ! මම මෙරිල්. මම ජීවත්ව ඉන්දැද්දි හරියට පිනක් දහමක් කරගන්න බැරි වුණා. පැන්ෂන් ගියාට පස්සෙ හිතට බයක් දැනුණා. පින් දහම් නොකළ නිසා අපාගත වේ ද කියලා. ඒ නිසා බුදු කුටියක් හදා ගත්තා උදේ හවස මට බුදුන් වඳින්න. මෙහෙම යන අතරේ මම අසනීප වුණා. ලොකු පුතයි, ලොකු ලේලියි, සිරිමයි තමයි මට සාත්තු සප්පායම් කළේ. ඒ අසනීපයෙන් මම මැරුණා. මම සිරිමාට කියලා තිබුණා මහ ගේ ලොකු පුතාට දෙන්න. ඒත් දූල දෙන්නයි බාල පුතයි සහෝදරකමට වඩා මුදල ගැන හිතලා නීති තර්ක දැම්මා. සිරිමා අසරණ වුණා. ඒ තුන් දෙනාට ඉඩමෙන් කොටසක් දුන්නා. මුන් ඒක විකුණ ගත්තා. ඒකට කමක් නෑ. ඒකට කමක් නෑ. දැන් ඒ වැඩේ නිසා මට උන්හිටි තැන් නැතිවුණා.”

“මොකක්ද ඒ කතාව? ඇයි තමුන්ට උන්හිටි තැන් නැතිවුණේ?” හාමුදුරුවෝ ඇසූහ.

“හාමුදුරුවනේ! මම මළාට පස්සේ හිටියේ මගේ බුදු කුටියේ. මේ ගොල්ලො ඉඩම විකුණුවාම ඉඩම ගත් මිනිහා මගේ බුදු ගේ කඩා දැම්මා. මට දැන් ඉන්න හිටින්න තැනක් නෑ. ඉතින් මම මුන්ට දඬුවම් කළා. ලෙඩ කළා.”

“ඉතින් මොනවද අපෙන් කෙරෙන්න ඕනැ?”

“මේ තුන් දෙනා එකතු වෙලා මට හොඳ ලස්සන බුදු කුටියක් හදා දෙන්න ඕනැ. එතකොට ලෙඩ සනීප වේවි.”

දැන් මේ අයට බුදු කුටියක් හදන්නට ඉඩම් කොටසක් අවශ්‍යය. අය්යාගේ කොටසේ හදන්න දැයි ඇසූහ. “බැහැ. මගේ ඉඩමෙන් ඕනැනම් පර්චස් එකක් දෙන්නම්. හැබැයි රුපියල් ලක්ෂ එකහමාරක් මට ඕනෑ. මම දුප්පතානෙ.”

“සල්ලිත් ඕනැ ද?” බාල නංගී අහන විට ම තුන් දෙනාගේ ම අසනීප තත්ත්වය යළිත් වැඩි විය. විකාර කරන්නටත් වූහ. කාරණය තේරුම් ගත් බෑණලා දෙන්නා සහ ලේලිය ලොකු අයියාගේ කොන්දේසියට කැමති වූහ.

තණ්හාධික ගති අතහැර වියදම් කොට ඉක්මනින් බුදු කුටියක් හදා දෙන්නට සිදුවිය. රෝගීහු සුවපත් වූහ. දැන් අම්මාත් ලොකු පුතාත් ලේලියත් ඒ බුදු කුටියේ බුදුන් වඳිති. මිය ගිය පියාට පින් අනුමෝදන් කරති.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: