Posted by: lrrp | July 6, 2011

රට්ඨපාල මහරහත් තෙරුන් වදාළ ගාථා කිහිපයක්…

පස්ස චිත්තකතං බිම්බං අරුකායං සමුස්සිතං,
ආතුරං බහුසංකප්පං යස්ස නත්ථි ධුවං ඨිති.

හොඳ හැටියට ඇට නහර ගලපලා ලස්සනට තිබෙන මේ ශරීරයේ ඇත්ත දිහා බලන්න. මේ ශරීරය ලෙඩ වෙලා යන දෙයක්. ස්ථිර පැවැත්මක් නැති දෙයක්. නමුත් අඥාන ජනයා බහුලව සිතන්නෙ ම මේ ශරීරය ගැන ම යි.

පස්ස චිත්තකතං රූපං මණිනා කුණ්ඩලේන ච,
අට්ඨිත්තචේන ඕනද්ධං සහ වත්ථේහි සෝභති.

මුතු මැණික් ආභරණවලින් සරසලා තිබුණ ත් මේ ශරීරයේ සත්‍ය තත්ත්වය ම යි බලන්ට ඕන. හමකින් ඔතා තිබෙන මේ ඇට ගොඩ ලස්සනට පේන්නෙ ඇඳුම නිසා.

අලත්තකකතා පාදා මුඛං චුණ්ණකමක්ඛිතං,
අලං බාලස්ස මෝහාය නෝ ච පාරගවේසිනෝ.

දෙපාවල පාට ගාලා තිබුණත්, සුවඳ විට හපලා මුඛය සුවඳ කළත්, මෝඩ ජනතාව ගේ මෝහයට විතරයි ඒක ගැලපෙන්නෙ. නිවන සොයා යන කෙනෙකුට ඒකෙන් පලක් නෑ.

අට්ඨපාදකතා කේසා නෙත්තා අඤ්ජනමක්ඛිතා,
අලං බාලස්ස මෝහාය නෝ ච පාරගවේසිනෝ.

කොණ්ඩා මෝස්තර දමලා, ඇස් පාට කරල තිබුණත්, මෝඩ ජනතාවගේ මෝහයට විතරයි ඒක ගැලපෙන්නෙ. නිවන සොයා යන කෙනෙකුට ඒකෙන් පලක් නෑ.

අඤ්ජනීව නවා චිත්තා පූතිකායෝ අලංකතෝ
අලං බාලස්ස මෝහාය නෝ ච පාරගවේසිනෝ.

මේ කුණු ශරීරය කොයි තරම් ලස්සනට සරසලා අලංකාර කරලා අළුත් භාජනයක් වගේ තැබුවත් මෝඩ ජනතාව ගේ මෝහයට විතරයි ඒක ගැලපෙන්නෙ. නිවන සොයා යන කෙනෙකුට ඒකෙන් පලක් නෑ.

ඕදහි මිගවෝ පාසං නාසදා වාකරං මිගෝ,
භුත්වා නිවාපං ගච්ඡාම කන්දන්තේ මිගබන්ධකේ’ති

මුව වැද්දා මුවන් අල්ලන්ට උගුල් අටවලා තියෙන්නෙ. ඒ වුණාට මේ පාර නම් මුවා උගුලට අහුවුණේ නෑ. මුව වැද්දා හඬ හඬා සිටිද්දී අපි ගොදුරු කාලා පැනලා යනවා.

(රට්ඨපාල තෙරුන්ගේ ගාථා – මජ්ඣිම නිකාය 2 – රට්ඨපාල සූත්‍රය)

කයෙහි තිබෙන ඇත්ත ගැනම – පවතීවා නිතර සිහිය…

සැබැවින්ම ගෞතම බුදුරජුන්ගේ ධර්මය අසිරිමත් එකකි. කා-බී වැතිර කාම සැපයම ජීවිතයේ එකම අරුත වශයෙන් ගෙන, සසරේ අතරමංව සැරිසරන දෙව් මිනිස් ලෝකයාට ඒ නිස්සාර සසරෙන් එතෙර වී සදාතනික සැපය සාක්ෂාත් කරන්නට මග විවර කර දෙන්නේ ඒ ශ‍්‍රී සද්ධර්මය පමණි. මායා මෝහ පටල දුරලා ජීවිතයේ සැබෑ ස්වභාවය පෙන්වා දෙන ඒ ශ‍්‍රී සද්ධර්මය කෙනෙකුට අසන්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. ඇතැම් විට ඒ සඳහා කල්ප ගණනාවක් වුවත් ගතවන්නට පුළුවනි.

එහෙත්…. පිපාසයට පැන් බිඳක් හෝ නොමැතිව නිරුදක කතරක අතරමංව, ක්ලාන්ත වී සිටින මිනිසෙකුට පැන් දෝතක් ලැබුණොත් ඔහුට ඇතිවන්නේ වචනයෙන් කිව නොහැකි අන්දමේ පිහිටකි. එලෙසින්ම සසරේ අතරමංව නිරයෙන් – නිරයට, අපායෙන් – අපායට යමින් කෙළවරක් නොපැණෙන සසරක සැරිසරන මනුෂ්‍යයෙකුට මේ ශ‍්‍රී සද්ධර්මය අමෘතය බඳුය. කෙලෙස් පිපාසය සංසිඳුවයි. නිරුදක කතරට වඩා සැම අතින්ම බියකරු සසර කතරින් එතෙර කරවයි. එහෙත් ඒ සොඳුරු මොහොත දැන් ඔබට උදා වී තිබේ. ඔබට බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව නුවණ මෙහෙයවිය හැකි නම්….. ඔබ සැබැවින් ම වාසනාවන්ත ය. මෙම සටහන ඒ සඳහා ඔබට අවස්ථාව විවර කරදීමට ගන්නා සුළු උත්සාහයකි.

උපන් දා පටන් ‘මගේ, මගේ’ යැයි පවසමින් උජාරුවෙන් ලොවට හඬ ගා කියන්නට වෙර දරන ඔබේ ඔය සිරුර දෙස මොහොතක් හැරී බලමු. සෑම දිනකම නොවරදවාම නහවන, ඉලීම් – පිරිමැදීම් ආදියෙන් පිරියම් කරන, සුවඳ පැන් – විලවුන් ගල්වන, ආහාර ආදියෙන් පෝෂණය කරවන, නානාප‍්‍රකාරයේ ඇඳුම් ආයිත්තම් ආදියෙන් හැඩ වැඩ කරන්නට වෙහෙස දරන මේ සිරුරේ සැබෑ ස්වභාවය කෙබඳු දැයි ඔබ කෙදිනක හෝ සිතා තිබේද?

ජීවිතයේ සැබෑ තතු නොදන්නා මිනිසුන් මේ ‘කය’ සාරවත් දෙයක් ලෙස සිතුවද, ජීවිතය අවබෝධ කොට ලොවට නොඇලී, ලොවින් නිදහස් වූ මුනිවරු නම් ඇට, මස්, නහරින් ගැවසී ගත් කය දෙස බැලූවේ මේ අයුරිනි.

“මේ ශරීරය ඇටවලින් ගලපලා හිටවලා තියෙන්නේ. රෝග පීඩා වැළඳෙන මේ ශරීරය ගැන මෝඩ ජනයා හිතන්නේ වෙන විදිහකට. ඒ අය මේ ශරීරය විසිතුරු ලෙස සරසනවා. නමුත් බැලිය යුත්තේ මේ ශරීරයේ සැබෑ තත්වය ගැනයි. ස්ථිර කිසි දෙයක් මේ ශරීරයේ නැහැ.මුතු මැණික් ආභරණවලින් සැරසුවත්, සමකින් ඔතා තිබෙන ඇටසැකිල්ලක් ඇති මේ ශරීරයේ සැබෑ තත්වය මයි දැකිය යුත්තේ. ලස්සනට පේන්නේ ඇඳුම නිසා.යටි පතුල් පාට කොට තිබුණ ද, සුවඳ බුලත්විට කා මුඛය සුවඳ කරගෙන හිටිය ද, මෝඩ ජනතාවගේ මුලාවට විතරයි ඒක ගැලපෙන්නේ. නිවන සොයාගෙන යන කෙනෙකුට ඒකෙන් වැඩක් නැහැ.කෙස් වලින් නොයෙක් කොණ්ඩා මෝස්තර හදනවා. ඇස්වල අඳුන් ගානවා. මෝඩ ජනතාවගේ මුලාවට නම් ඒක ගැලපෙනවා. නිවන හොයාගෙන යන කෙනෙකුට එයින් වැඩක් නැහැ.

මේ කුණු ශරීරය තියාගන්නට හදන්නේ ලස්සනට සරසලා කැටයම් කරපු භාජනයක් වගේ. මෝඩ ජනතාවගේ මුලාවට විතරයි ඒක ගැලපෙන්නේ. නිවන සොයන කෙනෙකුට එයින් වැඩක් නැහැ.”

(රට්ඨපාල තෙරුන් ගේ ගාථා – ථේර ගාථා)

මෙබඳු වූ ස්වභාවයකින් යුතු කය පිළිබඳව සැබෑ තත්වය නොදන්නා පුහුදුන් ජනයා මේ කය සම්බන්ධයෙන් දක්වන පුරාජේරුව කොතරම් මහත්ද? එයට හේතුව කයෙහි සැබෑ ස්වභාවය නොදන්නාකම ම විනා අන් කවරක්ද?

වෙළඳපලෙහි ඇති නානා මාදිලියේ සුවඳ විලවුන් වලින් වසන්නට තැත් කරන්නේ ඒ කයෙන් හමනා දුගඳ ය. විවිධාකාරයේ ආලේපන වලින් මකා දමන්නට තැත් කරන්නේ රැළි වැටී යන සම ය. නොයෙක් නම් වලින් යුතු සබන් ආදියෙන් පිරිසිදු කරන්නට උත්සාහ ගන්නේ සිරුරෙහි වන අපිරිසිදු දෑ ය. එහෙත්…. නිරන්තරයෙන් අපිරිසිදු දේ වහනය වන මේ කය පිරිසිදු කොට අවසන් කිරීමක් නැත!

නමුත් අපට එක් දෙයක් කළ හැකිය. එනම් කය අවබෝධ කිරීමයි. කය අවබෝධ කොට, කයෙන් නිදහස් විය හැකිය. එවිට නම් නැවත නැවතත් කය පිරිසිදු කිරීමක් නැත. සුවඳ විලවුන්, සුවඳ පැන්, ආලේපන ආදියෙන් ද සදහටම නිදහස් විය හැකිය.

මොහොතක් ඔබ ඔබේ කය දෙස සිත යොමන්න…. මෙබඳු වූ කයක් පරිහරණය කරමින් ඔබ කොතරම් රෝග පීඩා, ජරා ජීර්ණවීම් වලට මුහුණ දෙනවාද? අතීතයේ සිදුවූයේ ද එය ම ය. අනාගතයේ දී වන්නේ ද එය ම ය.

මීට වසර දෙදහස් හයසියයකට ඉහතදී ලොව පහළ වූ අසහාය මුනිවරයාණන් වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවිතයේ සැබෑ ස්වභාවය අවබෝධ කොට ගෙන එයින් නිදහස් වන මාවත අපට පැහැදිලි කරදුන් සේක. උන්වහන්සේව සරණ ගොස්, උන්වහන්සේ පෙන්වා දුන් මාවත ඔස්සේ පියවර මැනීමෙන් පමණක් අපට ද සදාතනික වූ ශාන්තිය උදාකර ගැනීමේ වාසනාව උදාවනු ඇත.

රට්ඨපාල ථෙරාපදානය

ලෝක ජ්‍යෙෂ්ඨවූ,  තාදී ගුණ ඇති පදුමුත්තර බුදුරජාණන් වහන්සේට (නගුළිස් පමණවූ) විශාල දළ ඇති,  රාජාරහ (රජුට සුදුසුවූ) ඇත් කඳෙහි ඔසවන ලද ශ්වෙතච්ඡත්‍ර යෙන් ශෝභමානවූ,  හස්ත්‍යාලංකාර සහිතවූ,   ඇත්ගොව්වෙකු සහිතවූ,  උතුම් හස්තියෙක් තෙම මා විසින් දෙන ලදී.

මම සූපණස් දහසක් ප්‍රාසාදයන්ද,  කරවීමි.   මහ දනක් (පිළියෙලකොට) මහර්ෂීවූ බුදුරජාණන් වහන්සේට පිළිගැන්වීමි.

මහාවීරවූ,  සියල්ල තෙමේම දැන වදාළාවූ,  අග්‍ර පුද්ගලවූ,  බුදුරජාණන් වහන්සේ සියලු ජනයන් සතුටු කරවමින් අමෘතපදය (නිර්‍වාණ ධර්‍මය) දෙසු සේක.

පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ මාගේ ඒ පින්කම (ගැන මෙසේ) පැවසූ සේක.   භික්‍ෂු සංඝයා මැද හිඳ මෙම ගාථාවන් දේශනා කළ සේක.

මෙතෙම සිව් පණස් දහසක් ප්‍රාසාදයන් කරවීය.   (එහි) විපාකය කියන්නෙමි.   (එසේ) කියන්නාවූ මාගේ වචනය අසව්.

අටළොස් දහසක් කූටාගාරයෝ වන්නාහුය.   උතුම් විමණෙහි පහළවූ ඒ (කූටාගාරයෝ) ස්වර්‍ණමයහ.

ශක්‍ර දේවේන්‍ද්‍රව පණස්වරක් දිව්‍ය රාජ්‍යය කරන්නේය.   අට පණස් වරක් සක්විති රජ වන්නේය.

මින් කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන්නේය.

කුශල මුලයෙන් මෙහෙයන ලදුයේ,  දෙව්ලොවින් චුතව,  එකෙණෙහි ආඪ්‍යවූ,  මහත් භෝග ඇති කුලයක උපදින්නේය.

කුශල මුලයෙන් මෙහෙයන ලදුයේ,  හෙතෙම පසුව පැවිදිව නමින් රට්ඨපාලයයි ප්‍රසිද්ධ බුද්ධ ශ්‍රාවකයෙක් වන්නේය.

වීය්‍ර්‍යයෙහි යොදන ලද සිත් ඇත්තේ,  උපශාන්තවූ,  උපධි රහිතවූ හෙතෙම සියලු ආශ්‍රවයන් ප්‍රහාණ පරිඥා වශයෙන් දැන දුරුකොට ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නේයයි වදාළ සේක.

උත්‍ථාන වීය්‍ර්‍යයෙන් නැගිට අභිනිෂ්ක්‍රමණයකොට,  කෙළ පිඩු මෙන් භෝග සම්පත් තොමෝ හරනා ලද්දී මාගේ (ඒ) භෝග සම්පත්තියෙහි ඇලීමක් නැත.

යෝගක්‍ෂෙම නම් නිවණට පමුණුවන ධුර වාහකයා (ගැල්බර උසුලන ගවයා) මාගේ වීය්‍ර්‍යයයි.   (මම මේ) සර්‍වඥ සාසනයෙහි අන්තිම ශරීරය දරමි.

මේ සිව් පිළිසිඹියාවෝද,  අෂ්ට විමොක්‍ෂයෝද,  ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී.   බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.   මෙහි මේ අයුරින් ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

ආයුෂ්මත් රට්ඨපාල නම් රහත් මුනිඳුන් වදාළ ගාථා

“හොඳ හැටියට ඇට නහර ගලපලා ලස්සනට තිබෙන මේ ශරීරයේ ඇත්ත දිහා බලන්න. අඥාන ජනයා ආශාවෙන් හිතන්නෙම මේ ශරීරය ගැනමයි. මේ ශරීරය ලෙඩ වෙලා යන දෙයක්. ස්ථිර පැවැත්මක් නැති දෙයක්.”
“මුතු මැණික් ආභරණවලින් සරසලා තිබුණත් මේ ශරීරයේ සත්‍ය තත්ත්වයමයි. බලන්ට ඕනෑ. හමකින් ඔතා තිබෙන මේ ඇට ගොඩ ලස්සනට පේන්නෙ ඇඳුම නිසා.”

“දෙපාවල පාට ගාලා තිබුණත්, සුවඳ විට හපලා මුඛය සුවඳ කළත්, මෝඩ ජනතාවගේ මෝහයට විතරයි ඒක ගැලපෙන්නෙ. නිවන සොයා යන කෙනෙකුට ඒකෙන් පලක් නෑ.”

“කෙණ්ඩා මෝස්තර දමලා, ඇස් පාට කරල තිබුණත්, මෝඩ ජනතාවගේ මෝහයට විතරයි ඒක ගැලපෙන්නෙ. නිවන සොයා යන කෙනෙකුට ඒකෙන් පලක් නෑ.”

“මේ කුණු ශරීරය කොයි තරම් ලස්සනට සරසලා අලංකාර කරලා අළුත් භාජනයක් වගේ තැබුවත් මෝඩ ජනතාවගේ මෝහයට විතරයි ඒක ගැලපෙන්නෙ. නිවන සොයා යන කෙනෙකුට ඒකෙන් පලක් නෑ.”

“මුව වැද්දා මුවන් අල්ලන්ට උගුල් අටවලා තියෙන්නෙ. ඒ වුණාට මේ පාර නම් මුවා උගුලට අහුවුණේ නෑ. මුව වැද්දා හඬ හඬා සිටිද්දී අපි ගොදුරු කාලා පැනලා යනවා.”

“මුව වැද්දාගේ උගුල කඩලා දැම්මා. මුවා උගුලට අහුවුණේ නෑ. මුව වැද්දා දුක් වෙවී ඉන්න කොට අපි ගොදුරු කාලා පැනලා යනවා.”

“මං දැකලා තියෙනවා ලෝකෙ ඉන්න ධනවත්ම මිනිසුන්. ඔවුන්ට ධනය ලැබුණාම එයට රැවටෙනවා. කාටවත් දෙන්නෙ නෑ. ලෝභකමින් ධනය එකතු කරල තව තවත් ධනයම ප්‍රාර්ථනා කරනවා.”

“රජ කෙනෙක් සාගරය පවුර කරගෙන මුළු ලෝකෙම ජය ගත්තත් එයාට තෘප්තියක් නෑ. එයා කැමතියි සාරගයෙන් එතෙර තිබෙන රටකත් රජ කරන්න.”

“ඒ රජුත් අනෙක් බොහෝ මිනිස්සුත් තණ්හාව සමඟමයි මරණයට පත්වෙන්නෙ. ජීවිත අතහරින්නෙ සෑහීමකට පත්වෙලා නොවෙයි. මේ කාම ලෝකයේ තෘප්තියට පත්වීමක් නම් නෑ මයි.”

“කවුරු හරි මැරුණට පස්සේ නෑදෑයෝ එකතු වෙලා කෙහෙවලු කඩාගෙන අඬා වැලපෙනවා. අනේ! අපේ මේ ඤාතියා අමරණීය වේවා! කියලා කියනවා. ඊට පස්සේ රෙද්දකින් ඔතල දර සෑයට දාලා ගිනි තියනවා.”

“හැම සම්පතක්ම අතහැරල ඒ මැරුණ කෙනා අන්තිමේදී එකම එක වස්ත්‍රයකින් ඔතාගෙන හුල් වලින් පහර කාල පිච්චිලා යනවා. අවසන් වෙනවා. ඒ මැරුණ කෙනාගෙ ආරක්ෂාවට නෑදෑයෝ, යාළු මිත්‍රයෝ කවුරුත් නෑ.”

“එයාගෙ වස්තුව උරුමක්කාරයෝ ඇවිල්ලා අරගෙන යනවා. කර්මානුරූපව එයා එයාගෙ ගමන ගියා. නමුත් එයාගෙ පස්සෙන් යන්න අඹු දරුවන් මිල මුදල් රට රාජ්‍ය මොකවත් නෑ.”
“සල්ලි තිබුණා කියලා දීර්ඝායුෂ ලැබෙන්නෙ නෑ. වස්තුව තිබුණා කියලා නාකි නොවී ඉන්ට බෑ. අන්න ඒ නිසයි ප්‍රඥාවන්ත මුනිවරු කියන්නෙ මේ ජීවිතය ඉතා සුළු කලයි තියෙන්නෙ කියලා. සදාකාලික නෑ කියලා. වෙනස් වෙන ස්වභාවයට අයිතියි කියලා.”

“දුප්පත්, පොහොසත් කාටත් අරමුණු වලින් ස්පර්ශය ඇති වෙනවා. නුවණැති, මෝඩ කාටත් අරමුණු වලින් ස්පර්ශය ඇති වෙනවා. මෝඩ තැනැත්තා නුවණ නැති නිසාම ඒ ස්පර්ශයෙන් දුක් විඳිනවා. දුක සේ නිදා ගන්නවා. නුවණැති මුනිවරයා කොයි ස්පර්ශයක් ලැබුණත් අකම්පිතව ඉන්නවා.”

“මෙයින් පැහැදිලිව පේනවා සල්ලිවලට වඩා ප්‍රඥාව අග්‍ර බව. ඒ ප්‍රඥාවෙන්මයි මේ දුක අවසන් කළ හැක්කේ. නමුත් මෝහය නිසා භවයේ ඇලුණ සත්වයන් පව්ම රැස් කරනවා.”

“ඔවුන් මැරුණත් සසර දුකටමයි වැටෙන්නේ. ආයෙ ආයෙමත් මවු කුසකටමයි එන්නෙ. ඔවුන්ගේ මතය පිළිගන්න උදවියටද ඔච්චරයි සිද්ධ වෙන්නේ.”

“සොරකම් කරන්ට ගිහින් අහුවෙච්ච හොරෙක් තමන්ගේ පාපී ක්‍රියාව නිසාමයි දුක් විඳින්නෙ. අන්න ඒ වගේ තමන්ගේම පාපී ක්‍රියා නිසාමයි මේ සත්වයන් පරලොවදී දුක් විඳින්නෙ.”

“පින්වත් රජතුමනි, මේ කාමයන් විචිත්‍ර තමයි. මිහිරි තමයි. සිත ඇදී යනවා තමයි. ඒ වුණත් ඒ තුළින් මේ සිත නොයෙක් විදිහට කලබල වෙලා යනවා. කාමයේ තිබෙන මේ ආදීනව දැකලයි මං මහණ වුණේ.”

“පුංචි අයත් වැඩිහිටියොත් කවුරුත් මැරිලා යන්නෙ ගස්වල ගෙඩි වැටෙනවා වගේ. පින්වත් රජතුමනි, ඒවා දැකලයි මං මහණ වුණේ. මේ ශ්‍රමණ ජීවිතය කිසි කරදරයක් නෑ. ඒ වගේම උතුම් ජීවිතයක්.”

“මං මහණ වුණේ ශ්‍රද්ධාවෙන්මයි. බුදු සසුනට පැමිණුනේ ශ්‍රද්ධාවෙන්මයි. ඒ මගේ මහණකම වඳ පීදුන එකක් නොවේ. මං දානෙ වළඳන්නෙ කිසි ණයක් නැතිව.”

“මං කාමයන් දුටුවෙ ගිනි ජාලාවක් වගේ. රන් රිදී දැක්කෙ අවි ආයුධ වගේ. මවු කුසේ ඉපදීමේ ඉඳල නිරය දක්වාම තියෙන්නෙ දුක නම් වූ මහා බියයි.”

“මං මේ ආදීනවය දැක්කා. මට මා තුළම සංවේගය ඇති වුණා. ඉස්සර මට කෙලෙස් හුල්වලින් පහර ලැබුණා. ඒ වුණාට දැන් ඒ සියළු කෙලෙස් නැති කරල අරහත්වයට පත්වෙලයි මං ඉන්නෙ.”

“මං ශාස්තෘන් වහන්සේව ගෞරවයෙන් ඇසුරු කළා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා. කෙලෙස් බර පැත්තකින් තිබ්බා. භව රැහැන් මුලින්ම කඩල දැම්මා.”

“මං ගිහි ජීවිතය අතහැරල මහණ වුණේ ලොකු පැතුමක් ඇතිව. මගේ ඒ අදහස ඉෂ්ට වුණා. හැම බන්ධනයකින්ම නිදහස් වුණා. අරහත්වය ලබාගත්තා.”

මෙය වනාහී ආයුෂ්මත් රට්ඨපාල නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන් ය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: