Posted by: lrrp | July 13, 2011

ඔබ දුක්‌ උදෙසා දුක්‌ විඳිනවා එහෙත් අප….

ආරණ්‍යවාසී භික්‌ෂුව ඇවැතුම් පැවැතුම්වලින් මෙන්ම දසුනෙන්ද ශාන්තය. එහෙත් ආරණ්‍යවාසී භික්‍ෂු සමාජය සිටින්නේ ගිහි සමාජයට දුරිනි. පහසුකම් අවම, වන සතුන් ගහන වනයේ උන්වහන්සේලා සිත් අලවා වාසය කරති. ඇතැමෙක්‌ට මේ චර්යාව ප්‍රශ්නයකි. මේ ස්‌වාමීන්වහන්සේලා ගිහියන්ගේ දහම් කටයුතුවලට දායක වීම අල්ප බැවින් සමහරක්‌ ගිහි පිරිස්‌ මේ චර්යාව විවේචනය කරන්නාවූ අවස්‌ථාද අසා ඇත්තෙමි. මෙය නොහඳුනන්නෝ ඒ නොදන්නාකමින් පාපයන් රැස්‌කරති. මෙම ආරණ්‍යවාසී දිවි පෙවෙත සහ එහි හර පද්ධතිය ගැන ලොවට විවෘත වුවහොත් එය නොදන්නාකමින් පව් රැස්‌කරන ගිහියන්ට මෙන්ම මෙම ආරණ්‍ය සම්ප්‍රදායේ සැබෑ හරය සොයනා පැවිදි උතුමන්ටද සරණක්‌ වනු ඇත. ඒ වෙනුවෙන් මම පඬු සිවුරු දරන, පිණ්‌ඩපාතයේ වඩින, වනයේ සරන, බාහිර ක්‍රියාවෙන් මෙන්ම ආධ්‍යාත්මයෙන්ද සැබෑ බුදුපුතකුගේ අදහස්‌ පැතීමි. ආරණ්‍ය වාසය ගැන කිසිවක්‌ නොදන්නා අයකුගේ මානසිකත්වයකට ආරෝපණය වී ප්‍රශ්න කිහිපයක්‌ මතුකළෙමි. ඒවාට ගාම්භීර පිළිතුරු සැපයූ උනAවහන්සේ අලි,කොටි, වලසුන් වෙසෙන වනමැදක වන අරහත් භූමියක ගල් කුටියක විවේකීව වැඩවාසය කරති. විවේකය අතිශයින් අගයකරන ඒ බුද්ධපුත්‍රයාණෝ එම විවේකයට බාධා නොවීම පිණිස සිය අනන්‍යතාව හෝ වැඩවෙසෙන වන අරණ ගැන මෙහි සඳහන්කරනු අකැමැති බව මම දනිමි. එනිසා ඒ කිසිවක්‌ සඳහන් නොකර මේ සාකච්ජාව පමණක්‌ ඉදිරිපත් කරමි.

මම – ස්‌වාමීන් වහන්ස, ඇයි ඔබ වහන්සේලා භික්‍ෂූන් වහන්සේලා ලෙසින් මෙලෙස කැලෑ තුළම ජීවත් වන්නට තීරණය කළේ?

භික්‍ෂුව – අපේ ඉලක්‌කය කරා යන්නට එය පහසුවක්‌ වන නිසා

මම – ඒත් මේ ජීවිතය හරි දුෂ්කරයි නේද?

භික්‍ෂුව – දුෂ්කර කියන වචනය ඔබ අර්ථ දක්‌වන විදිහට නම් එහෙම වෙන්න ඇති

මම – ඔබ වහන්සේ එහෙම පවසන්නේ දැන් ඔබට දුක පත්තියං වෙලා.. ඒ කියන්නේ දුක හුරුවෙලා නිසාද?

භික්‍ෂුව – දුක හුරුවෙලා නිසා නෙමෙයි. දුක අවබෝධ කරගන්න උත්සාහ කරන නිසා

මම – ඒත් යථාර්ථය දුක්‌ විඳිනවා කියන එකමයි…?

භික්‍ෂුව – හොඳයි මම ඔබගෙන් මෙහෙම ඇහුවොත්…..

ප්‍රමාදයද දුක? අප්‍රමාදයද දුක?

මම – ප්‍රමාදයයි

භික්‍ෂුව – හා… එහෙනම් ඔබ ඔය ඔබේ කාලය සහ අනිකුත් දේවල් ඉතා මහන්සිවෙලා සැලසුම් කරන්නේ මොකටද? කාලයට සාපේක්‍ෂව අප්‍රමාදී වන්න නේද? ලෞකික දේවල් පහසුවෙන් රැස්‌කරගන්න නේද? ඒත් ඒ සැලසුම්වලින් ඔබ රැස්‌කරන්නේ ලෝකයේ පැවැත්මට අදාළ දේම නේද? ලෝකයේ නැවැත්මට නැත්නම් ජාති, ජරා, ව්‍යාධි, මරණ පිරුණු මේ ලෝකයෙන් ඈත් වෙන්න ඔබ සැලසුම් සකස්‌කරනවද? මේ ඝෝර කටුක සංසාරයෙන් ඈත් වෙන්න නේද අප්‍රමාදී විය යුත්තේ. ඔරලෝසුවට අනුව ඔබගේ අප්‍රමාදය ඇත්තටම ප්‍රමාදයක්‌ උදෙසාම නේද? ඔය මහන්සිවෙලා පෙර සැලසුම් හදාගන්නේ තව තවත් දුකම රැස්‌කරන්න නේද? ඒ කියන්නේ ඔබ දුක්‌ විඳින්න සැලසුම් හදනවා. ඒත් අපි එහෙමද? අප්‍රමාදය උදෙසාම කැපවීම නිසා කාලයවත්, වෙන දෙයක්‌ ගැනවත් කිසිම සැලැස්‌මක්‌ අපට අදාළ වන්නේ නැහැ. ඒ නිසාම ඔබට සාපේක්‍ෂව අප දිවිය සැහැල්ලුයි. අපට දුක අඩුයි. ඇත්තටම එහෙම බලද්දි අපට දුකක්‌ ඇත්තෙම නෑ. හැබැයි මෙහෙම දෙයක්‌ තියෙනවා. අපට යම් යම් පහසුකම් අවම තමයි. ලැබුණු දෙයකින් සතුටු වෙන්න වෙනවා. එක වේලකින් ඉන්නත් වෙනවා. පිණ්‌ඩපාතය වඩින්නත් වෙනවා. ඒක පීඩාවක්‌. හැබැයි ඒ කිsසිවක්‌ සඳහා ඔබ තරම් නම් මහන්සිවෙන්නෙ නැහැ. ඔබ ඉගෙනගන්න ඕනි. රස්‌සාවල් කරන්න ඕනි. අඹු දරුවන් පෝෂණය කරන්න ඕනි. ඒත් ඒ ඉවරයක්‌ නැති සටනෙදි ඔබට වැඩිපුරම රැස්‌වෙන්නේ අකුසල්ම නේද? ඒ සටනේ ඉවරයක්‌ තියෙනවද? ඒකෙ කෙළවර අවිනිශ්චිතයි. ඒත් අපි එහෙම නෙමෙයි. මේක අපි දැනගෙන යන ගමනක්‌. ඒකේ අවසානයක්‌ තියෙනවා. එය සැබෑ අවසානයක්‌ කරා යන ගමනක්‌. අපි එය අතිවිඳිමිනුයි මේ ගමන යන්නේ . අත් දකිමිනුයි යන්නේ. දුකක්‌ හෝ අපහසුවක්‌ නිසා අපට වැඩෙන්නේ කුසල් නම්. දීර්ඝ කාලීනව බලද්දී ඒ කුසලයන් දුකෙන් සදහටම මිදෙන්න අපට හේතුවක්‌ වෙනවා නම් ඒක සැපයක්‌ නෙමෙයිද?

එහෙනම් යථාර්ථය ඔබ දුක්‌ උදෙසා දුක්‌ විඳිනවා. අපි ලොව වඩාත් ශ්‍රේෂ්ඨ සැපය උදෙසා සැප විඳිනවා.

මම – පඬු පොවපු සිවුරු පොරවන, පිණ්‌ඩපාතයේ වඩින ස්‌වාමීන් වහන්සේලා නගරයේත් වැඩ ඉන්නවා. උන්වහන්සේලා තමන්ද ආරණ්‍යවාසී භික්‍ෂූන් ලෙසින් හඳුන්වාගන්නවා. ඒ කියන්නේ ආරණ්‍යවාසි භික්‍ෂු සම්ප්‍රදායට නගරය බාධාවක්‌ නොවෙන බවද?

භික්‍ෂුව – වඩා වැදගත් වන්නේ කැලේ සිටිමින් ආරණ්‍යවාසී ලේබලය ගසාගැනීමවත් ගමේ හිඳිමින් ග්‍රාමවාසී ලේබලය ගසා ගැනීමවත් නෙමෙයි. ඒ දෙකම අයිති දුකටයි. භික්‍ෂුව කියන්නේ සසර බිය දකිමින් ඉන් එතෙරවන්නට උත්සහ කරන කෙනෙක්‌. කොහේ හෝ භික්‍ෂුවක්‌ සිටිනවා නම් ඒ භික්‍ෂුවගේ අරමුණ සසරින් නිදහස්‌වීමම වියයුතුයි. ඒ නිසා උන්වහන්සේ විසින් අනුගමනය කළ යුත්තේ දුකින් නිදහස්‌වීමේ මාර්ගය හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඉතින් ඒකට කැලේම විය යුතු නැහැ. ඇත්තටම ආරණ්‍ය සම්ප්‍රදාය කියන්නේ භික්‍ෂු ප්‍රතිපදාවකටයි. පඬු ගහපු සිවුරු පෙරවීමත්, පිණ්‌ඩපාතය වැඩීමත් භික්‍ෂු සම්ප්‍රදායේ අංග දෙකක්‌ මිස සැබෑ භික්‍ෂු ප්‍රතිපදාවේ හරය නෙමෙයි. භික්‍ෂුවක්‌ නගරයේ සිටියත් ඒ ප්‍රතිපදාව තුළ නම් වැඩ ඉන්නේ, ආරණ්‍යවාසී භික්‌ෂුවක්‌ ලෙසින් උන්වහන්සේව හැඳින්වීම වරදක්‌ නැහැනේ? ලේබලය ඒ තරම් වැදගත් නැහැ.

ඒත් අමතක කරන්න එපා බුද්ධ දේශනාව. නගරයේ පළිබෝධ වැඩි නිසයි zපිංවත් මහණෙනි, ඔය තියෙන්නේ වන සෙනසුන්, ගස්‌ මුල්, ශුන්‍යාගාර…

ඉතින් අප්‍රමාදී වෙන්නZ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් උන්වහන්සේ පවා අනුදැන වදාළේ නිවන් මග යැමේදි හුදෙකලා වනසෙනසුන් පරිහරණය කරන්න කියලා හේතුවක්‌ නිසාමයි. බුදු කෙනෙකු අහේතුකව දෙයක්‌ දේශනා කරන්නේ නැහැ. ඒ වගේම බුදු හාමුදුරුවො ඇතුළු සියලු මහ රහතන් වහන්සේලා සිය ඉලක්‌කයන් සපුරගත්තේත් හුදෙකලා වන සෙනසුන් ඇසුරුකරලයි.එහෙම බැලුqවහම බුදුහාමුදුරුවොත් ආරණ්‍යාවාසී. සැරියුත් හාමුදුරුවොත් එහෙමයි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේත් එහෙමයි. තමන්ගේ කාර්යය සපුරාගත්තට පසුව තවදුරටත් වනවාසීව සිටීමට එකල බහුතරයක්‌ ස්‌වාමීන් වහන්සේලාට අවශ්‍ය වුණේ නැහැ. ඒකටත් හේතුවක්‌ තියෙනවා. පුරපු පාරමී අනුව අනෙකුත් සත්වයන්ටත් සසර දුකින් එතෙරවීමට අවශ්‍ය මාර්ගය පෙන්වාදීම උන්වහන්සේලාගේ මූලිකත්වයෙන් සිදුවිය යුතුව තිබූ දෙයක්‌ වුණා. ප්‍රතිපදාව වඩන කෙනෙකුට නගරය බාධාවක්‌ වුණාට ප්‍රතිපදාව සම්පූර්ණ කරගත්තු කෙනෙකුට නගරය බාධාවක්‌ වෙන්න බෑනේ.

මම – ස්‌වාමීන් වහන්ස ඇත්තටම මොකද්ද මේ හුදෙකලා ආරණ්‍යවාසී ජීවිතයක තියෙන වෙනස, නැතිනම් වටිනාකම

භික්‍ෂුව – සරලයි. හරිම නිදහස්‌. භාහිර බලපෑම් නෑ. ඒ වගේම කාමයන් අඩුයි. හරිම සුවදායකයි. අල්පේච්ජතාව නිසා බලාපොරොත්තුත් අඩයි. එකම ඉලක්‌කය නිවන නිසා ඒක සපුරාගැනීමට ඒ සියල්ල පහසුවක්‌.

මම – ස්‌වාමීන් වහන්ස. ආරණ්‍යවාසී භික්‍ෂුව කැලයට ඇලිලා. ග්‍රාමවාසි භික්‍ෂුව නගරයට ඇලිලා. ඉතින් ඒ දෙකම එකයි නේද?

භික්‍ෂුව – ඇලීම කියන වචනාර්ථයෙන් ගත්තහම දෙකම එකයි. ඒත් ඒකෙ අදහස නිර්වචනය කිරීමෙදි එහෙම නැහැ. එතැනදි එය දෙවිදිහක්‌.

“රමණියානි අරඤ්ඤාණි…..” කියල ඉතා සුන්දර ගාථාවක්‌ බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒකෙ තේරුම තමයි ස්‌වභාවයෙන්ම රමණීය වූ වනසෙනසුන් කෙරෙහි කාමයන්ගෙන් වසඟවූ සාමාන්‍ය ජනයා කිසිසේත්ම ඇලෙන්නේ නැහැ. ඒත් කාමයන් නොසොයන වීතරාගී මුනිවරුන් ඒ වනසෙනසුන්වලට ඉතා ඇලුම් කරනවා කියන එකයි. ඒකෙන් පෙනෙනවා ආරණ්‍යවාසී භික්‍ෂුව කැලයට ඇලීම, නගරයේ කාමයන්ට ඇලීමට වඩා හැම අතින්ම ශේ්‍රෂ්ඨ බව. තේර තේරී ගාථා එහෙම හොඳින් කියවලා බලන්න… එතකොමට මේ ගැන හොඳින්ම තේරුම්යයි.

තවටිකක්‌ කියනවානම්, කාමයන් හොයාගෙන කවුරුවත් කැලේට යන්නේ නැහැ. ඒවායින් නිදහස්‌ වෙන්නයි කැලේට යන්නේ. එතකොට අරමුණත් පිරිසිදුයි. හුදෙකලා විවේකයට කැමති පිරිස්‌, සෑම අතින්ම පීඩාකාරී,අපිරිසිදු, ඝෝෂාකරී නගරයේ විශේෂයෙන් මේ වගේ කාලයක ඉන්න හිතන්නෙවත් නැහැ. ඒකයි ඇත්ත.

මම – ඔබ වහන්සේලා මරණයක මතක වස්‌ත්‍ර පූජාවට, මතක බණට, දායකයාට සෙත් පතන බෝධිපූජාවකට සහභාගීවන්නේ නැහැ. ඇත්තෙන්ම මෙතැනදි කෙනෙකුට හිතෙන්න පුළුවන් ආරණවාසී භික්‍ෂුව හුදු ආත්මාර්ථයක්‌ උදෙසා උත්සහවත් වන කෙනෙකු හැටියට. මේ ගැන ඔබවහන්සේගේ අදහස?

භික්‍ෂුව – ඔය දෙවිදිහකට පිළිතුරුදෙන්න පුළුවන්. සාමාන්‍ය ලෝකයා පරාර්ථය අර්ථ දක්‌වන්නේ අන්‍යයන්ට අර්ථයක්‌ නැතිනම් යහපතක්‌ සැලසීම සඳහා කැපවීම කියන අර්ථයෙන්. ඒත් ඇත්තටම එතැනදි සිදුවන්නේ අනුන්ව තව තවත් දුක තුළටම ගාල් කිරීමට, දුකේ සිටින තමනුත් දුක්‌විඳීමයි.නැතිනම් අනුන්ගේ දුකේ කොටස්‌කාරයෙක්‌ වීමයි. ඒක කොහොමද අර්ථවත් දෙයක්‌ වෙන්නෙ. ඒ වගේම සාමාන්‍ය ලෝකයා ආත්මාර්ථය අර්ථදක්‌වන්නේ තමා උදෙසා රැස්‌කිරීම කියන නිර්වචනයේ පිහිටලයි. ඒත් ලෝකයේ කවුද තමා දෙසම බලමින් තමා තුළින් සකස්‌වෙලා තියෙන මුළුමහත් ලෝකයම හෙවත් දුක අතහැරීමට, එනම් රැස්‌කිරීම වෙනුවට අතහැරීමට, ආත්මාර්ථය කියා කියන්නේ. ඒක්‌ සාමාන්‍ය කෙලෙස්‌බරිත ලෝකයාට හිතාගන්නවත් බැරි දෙයක්‌. සංසිද්ධියක්‌. ඒ තුළින් කරන්නේ ලොව අතිශයින්ම විස්‌මිත හෙළිදරව්ව නිසා අදටත් අප්‍රමාන දෙව් මිනිසුන් මේ සංසාරයෙන් සදහටම නිදහස්‌ වෙනවා. ඒ නිසා මේ ප්‍රතිපදාව කිසිසේත්ම ආත්මාර්ථකාමයක්‌ නෙමෙයි. ස්‌වාර්ථය තුළින් වඩා අර්ථවත් වූ පරාර්ථයක්‌ නිර්මාණය කිරීම කියලයි සැබැවින්ම එයට කිව යුත්තේ.

අනිත් විදිහට බැලුවොත් ඇත්තෙන්ම නිවන කියන්නේ ආත්මාර්ථයක්‌මයි. තමා උදෙසා රැස්‌කිරීමක්‌ මෙතැනදිත් වෙනවා. හැබැයි ඒ ඔබ සියලු දෙනා රැස්‌කරන කාමයන් නොවෙයි. ඒවා අස්‌කිරීම තුළින් රැස්‌වන කුසල්වලට, නැතිනම් පාරමී වලට නිවන්මඟේ යන භික්‍ෂුව ඇත්තටම ලෝභයි. එනිසා තමයි වෙස්‌සන්තර රජතුමා බුදුබව පතාගෙන දරුවන් දන්දුන්නේ. දරුවන් දෙදෙනා දන් දී මුළුමහත් ලෝකයේම දරුවන් ගලවාගැනීමට උන්වහන්සේට හැකිවුණේ ඒ ආත්මාර්ථය මුල්කරගත් නිසයි. බුදුවරු ලොව පහළවන්නේත් පළමුව තමාට එම ස්‌වාර්ථය ලබාගෙන මුළුමහත් ලෝකයටම එය ලබාදීමටයි. ඒ අනුව පළමුව එය ආත්මාර්ථයක්‌මයි. නමුත් පසුව ලොව ශ්‍රේෂ්ඨම පරාර්ථය වන්නේත් ඒ ආත්මාර්ථයයි. අපි හිතන්නනේ කවුරුන්හරි වැලපෙද්දී ඔවුන් සමග වැලපීම පරාර්ථය ලෙසයිs. ඒක කොයි තරම් මුළාවක්‌ද?

මම – අපි දැක්‌කා ආරණ්‍ය භික්‍ෂූන්වහන්සේලා පාත්‍ර කළුකිරීම, සිවුරු මැසීම, පඬු සකසා ගැනීම, ඒ වගේම පාවහන්වත් නොමැතිව පිණ්‌ඩපාතයේ වැඩීම වැනි ඉතා දුෂ්කර සහ වෙහෙසකර කාර්යයන්වල යෙදෙන විදිහ. ඇත්තෙන්ම අද මේ සියලු දේ දායකයන් වෙතින් ඉතා පහසුවෙන් ලබාගැනීමට අවස්‌ථාව තිබියදීත් එවැනි දුෂ්කර ප්‍රතිපදාවක යෙදීම අත්‍යවශ්‍යමද? ඒක අනවශ්‍ය පීඩාවක්‌ නෙමෙයිද?

භික්‍ෂුව – බුද්ධකාරක කෘත්‍ය සහ ශ්‍රමණකාරක කෘත්‍යය ලෙස සෑම කාලයකම සියලු බුදුවරුන්, පසේ බදුවරුන් මෙන්ම රහතන් වහන්සේලා විසින් අනුගමනය කරනු ලබන ක්‍රමවේදයක්‌ තියෙනවා. ඒ සඳහා ආර්ය ප්‍රතිපදාව කියලා පොදුවේ කියනවා. ආර්ය කියන්නේ උසස්‌, උත්තම කියන අර්ථයෙන් . දෙව් බඹුන්ටත් වඩා උසස්‌ වූ භාග්‍යවතුන් වහන්සේ යම් ක්‍රමවේදයක්‌ අනුගමනය කළේනම්, යම් ක්‍රමවේදයක්‌ තම ශ්‍රාවක පිරිස උදෙසා අනුදැන වදාළේ නම් ඒ ක්‍රමවේදය ඒකාන්තයෙන්ම ලෝකයේ නිවැරදිම පිරිසිදුම සහ ශ්‍රේෂ්ඨම ක්‍රමවේදයයි. එමගින් භාග්‍යවතුන් වහන්සේ තම ශ්‍රාවක පිරිස අන්‍ය වූ සියලු ශ්‍රමණ, බ්‍රාහ්මණ, ක්‍ෂත්‍රීය මෙන්ම දේව, බ්‍රහ්ම සහ මාර පිරිසෙන් වෙන්කොට හඳුනාගත හැකි පරිදි සියලු පිරිස්‌ අභිබවා යන ලොව උත්කෘෂ්ටම පිරිස බවට පත්කරනු ලැබුවේ එම ආර්ය ප්‍රතිපාදව මගිනුයි. බුදු, පසේබුදු සහ මහරහත් යන තුන් පිරිස විසින්ම අඛණ්‌ඩව පවත්වාගෙන ආ එම ප්‍රතිපදාව කොතරම් වෙහෙසක්‌ වුවත් ඒ ප්‍රතිපදාව රැකිය යුතු වන්නේ එය ලොව ආශ්චර්යමත්ම පෞරුෂයක්‌ ගොඩනගාගැනීම සඳහා හේතුවන උත්තම හෙවත් ආර්ය ප්‍රතිපදාව නිසයි. නැතිව ආරණ්‍ය ප්‍රතිපදාව නෙමෙයි. යම් ශ්‍රාවකයකුට තම ශ්‍රාවකත්වය සහ සාර්ථකත්වය පිළිබඳ යම් අභිමානයක්‌ ඇත්නම් ඒ ආර්ය ප්‍රතිපදාවේ උන්වහන්සේ බැසගන්නේ නිවන ඔහුගේ ඉලක්‌කය නිසයි. දුෂ්කර වුවත් මේවා වැඩීමෙන් නූපන් කුසල් ඉපදීමත්, ඉපදුණු කුසලයන්ගේ වර්ධනය මෙන්ම බෝධි පාක්‍ෂික සියලු ධර්මතා වැඩි දියුණුවීමත් හේතුවෙනවා. ඒ සියල්ලම නිවන්මගට උපකාරවන බැවින් ආර්ය ප්‍රතිපදාව කියලා කියනවා.

මම – ස්‌වාමීන්වහන්ස, ඔබ වහන්සේ කිව්වා පිණ්‌ඩපාතයේ කිරීම, පඬු සිවුරු දැරීම ආරණ්‍ය සම්ප්‍රදායේ අංග පමණයි කියලා. එහෙනම් ඔබවහන්සේට හිතෙන හැටියට ආරණ්‍යවාසී භික්‍ෂුවක්‌ මොනවිදිහේ කෙනෙක්‌ විය යුතුද?

භික්‍ෂුව – මට හිතෙන හැටි නෙමෙයි. සැබෑ ආරණ්‍යවාසී භික්‍ෂුව මොනවිදිහේ කෙනෙක්‌ විය යුතුද කියලා ඉලක්‌කයටම උත්තරදීලා තියෙනවා අප සාරිපුත්ත මහරහතන් වහන්සේ. සූත්‍ර පිටකයට අයත් මCධිම නිකායේ දෙවැනි කොටසේ තිබෙන ගුලිස්‌සානි කියන සූත්‍රයෙන් ලස්‌සනට එය පැහැදිලි කරලා දෙනවා. ගුලිස්‌සානි කියන භික්‍ෂුව උදෙසා දේශනාකරල තිබෙන මෙම සූත්‍රයෙන් සංඝයා වහන්සේලා අතර වෙසෙන ආරණ්‍යවාසී භික්‍ෂුවක්‌ තුළ තිබෙන ලක්‍ෂණ 17 ක්‌ විස්‌තර කෙරෙනවා.

එකී ලක්‍ෂණයෙන්ගෙන් තොරව වෙසෙන ආරණ්‍යවාසී භික්‍ෂුවට ආරණ්‍යවාසීව සිටීමෙන් වන ඵලය කුමක්‌දැයි, අන්‍යයන්ගෙන් ගැරහීමටත් අපහාස විදීමටත් සිදුවන නිසා උන්වහන්සේලාට එම දෝෂයන්ගෙන් දුරුවීම පිණිසයි මේ සූත්‍රය දේශනා කර තිබෙන්නේ. ඒ අනුව ආරණ්‍යවාසී භික්‍ෂුව මොන විදිහේ කෙනෙක්‌ද කියලා හරියටම අදහසක්‌ ගන්න පුළුවන්. එහි සඳහන් ආකාරය ආරණ්‍යවාසී භික්‍ෂුව මේ කියන්නාවූ කාරණාවලින් සම්පූර්ණ වීම හෝ ඒ සඳහා උත්සහවත් වන අයෙක්‌ විය යුතුවේ.

1. බ්‍රහ්මචාරීන් වහන්සේලා තමන් සමග සිටින අනෙක්‌ ස්‌වාමීන්වහන්සේලා ගැන ඉතාම ගෞරවයෙන්, යටහත්පහත් ඇවැතුම් පැවැතුම්වලින් යුතු අයකු වීම 2. වැඩිහිටි භික්‍ෂූන් වහන්සේලා කෙරෙහි නිසි ගෞරවයෙන් උන්වහන්සේලාට ආසන පහසුකම් සලසාදීමත්, නවක භික්‍ෂූන්ගේ ආසනයන් උදුරාගැනීමෙන් වැළකුණු භික්‍ෂුවක්‌ වීම 3. ඉතා උදෑසනින් ගමට පිණ්‌ඩපාතය පිණිස වැඩීමත් ඉතා දවල් වී ගමට නොයැම පිණිස ප්‍රවේශම්වන්නකු වීම 4. උදේ කාලයේදී හෝ දහවල ආරාධනාවකින් තොරව ගිහි ගෙවල්වලට ගොස්‌ අන්‍යයන් හා කාලය ගතකිරීමෙන් හෙවත් විකාල චර්යාවෙන් වැළකිය යුතු වීම 5. උඩගු හෝ චපල භික්‍ෂුවක්‌ නොවිය යුතුය 6.වාචාල, විසුළු වචන වලින් වැළකුණු අයකුවීම 7. කීකරු කල්‍යාණ මිත්‍රයන් ඇති අයකු වීම 8. ඉන්ද්‍රිය සංවරයෙන් යුක්‌ත වීම 9. භෝජනයෙහි පමණ දන්නා අයකු වීම 10.නින්දට වහල්වන්නකු නොවීම 11. කුසීතයකු නොවී ඇරඹූ වීර්ය ඇත්තෙකු වීම 12. මුළාවූ සිහියෙන් යුක්‌ත නොවීම 13. සමාහිත සිත් ඇත්තකු වීම14. වත් පිළිවෙත් පිරීමේදී දක්‍ෂ ප්‍රඥාවකින් යුතු භික්‍ෂුවක්‌ වීම 15. සත්තිස්‌ බෝධිපාර්ශ්වික ධර්ම සහ ප්‍රතිමෝක්‍ෂ සංවර ශිලය පිළිබඳ යමෙක්‌ විමසූ කල ඒ ධර්මයන් මනාලෙස විග්‍රහ කිsරීමට හැකි දැනුමකින් සන්නද්ධව සිටීම. 16. රූප අරූප සමාපත්ති ඉක්‌මවාගිය විමෝක්‍ෂය උදෙසා කටයුතු කරන්නකු වීම 17. උතුම් මාර්ගඵල අවබෝධයන්ගෙන් යුක්‌ත භික්‍ෂුවක්‌ වීම යන කරුණුයි.

මෙම සාකච්ජාවෙන් ගම්‍ය වන්නේ කුමක්‌ද? අප විසින් බාහිර නිරීක්‍ෂණය කිරීමට සහ හැඳින්වීමට යෙදෙන සියල්ල අභිභාවායන්නාවූ සැබෑ ආරණ්‍ය සම්ප්‍රදාය ක්‍රියාත්මක වන්නේ භික්‍ෂු ප්‍රතිපදාවේ ආධ්‍යාත්මිකත්වය හා ඒකාබද්ධව බවයි. වත්මන් ආරණ්‍ය සම්ප්‍රදාය සැරියුත් – මුගලන් මහ රහතන්වහන්සේලා වැඩි මගෙහි කැඩපතයි. එය වසර 2600ක්‌ පුරා නිරුපද්‍රිතය. පූජනීයය. එය මුළුමහත් ලෝකයට අත්වූ ලාභයකි. අප තිලෝගුරු බුදුපියාණන්ගේ මුඛ්‍ය පරමාර්ථ වූයේ සුන්දර, ජනප්‍රිය ආරණ්‍ය ප්‍රතිපදාවක්‌ තුළ තම ශ්‍රාවකයන් රඳවාතැබීම නොව, ඒ භාග්‍යවත් වූ ආර්ය ප්‍රතිපදාව තුළ තම ශ්‍රාවකයන්ගේ විමුක්‌තිය සාක්‍ෂාත් කරවන්නට සැලසීමයි. එබැවින් සැබෑ ආරණ්‍යවාසී භික්‍ෂු ප්‍රතිපදාවේ හර පද්ධතිය විනිශ්චය කරගැනීමට නොහැකිව වනවාසී භික්‍ෂු සම්මතයේ පවතින හුදු චර්යාරටාවන් හා බැඳී සංස්‌කෘතිය බවට පත්වූ ලක්‍ෂණ කිහිපයක්‌, ආධ්‍යාත්මය වඩවා ගැනීම පිණිස ප්‍රායෝගිකව යෙදෙන්නේ කෙසේද යන්න මැනවින් පැහැදිලි විය. එය ගිහි පැවිදි දෙපාර්ශ්වයටම එකසේ වටින්නේ යෑයි සිතමි. ඒ උදෙසා මේ උතුම් දහම් කරුණු දානයක්‌ කර දුන් ඒ පිංවත් භික්‍ෂූන්වහන්සේගේ ඉලක්‌කයට මෙම කුසලය ජවයක්‌ම වේවා. නිවන් පිණිසම පාරමී වේවා.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: