Posted by: lrrp | July 17, 2011

අස්සක ජාතකය

 

මද හෙවත් උමතුවට පත්වන හේතු රාශියක් බුදුදහමෙහි දැක්වෙයි. බොහෝ විට ඒ මද හේතුවෙන් බොහෝ දෙනා දස අකුසලයම කර ගනිති. යොබ්බන මද, ජීවිත මද, ඉසුරු මද යනාදී වශයෙන් තරුණ කමින් ඇති වන මත් වීම, නොමැරෙනවා යන සිතුවිල්ලෙන් ඇති කර ගන්නා උමතුව, තනතුර මිල මුදල් දේපළ ආදියෙන් ඇති කරගන්නා උමතුව සමාජය තුළ අපට නිතර කැපී පෙනෙන කරුණු වෙයි. මේ තත්ත්වයට පත් වන පුද්ගලයා හැම විටෙක ම තිදොරින් විපත්ති කර ගන්නා කෙනෙකි.

මේ මද අතරෙහි රූප මදය පුද්ගලයා පීඩාවට පත් කරවන ප්‍රබල මානසික ව්‍යාධියකි. ස්ත්‍රී පුරුෂ කවරකු හෝ තම රුවින් මත්වීම පාපයකි. අකුසලයට දොරටු විවර කර ගැනීමකි. බුද්ධකාලීන ව රූපයෙන් මත් වූ ඛෙමා රජ බිසවගේ කථාව ප්‍රකට කථා පුවතකි. රූප සෞන්දර්ය ලෝකයට අවශ්‍ය මුත් ඉන් උඩඟු වීම විනාශයට හේතුවකි. රූපය යනු අනිත්‍ය ධර්මයට හසුවන ප්‍රබල අංගයකි. එවන් ධර්මතාවක් උඩඟු බවට හේතුවක් කර ගැනීමෙන් සිදු වන්නේ කුසලයෙහි පමා වූවකු බවට පත් වීමයි.

රූප මදයෙන් මත් ව හදිසියේ කාලක්‍රියා කළ රජ බිසවක එහි පාපයෙන් ඊළඟ භවයෙහි ගොම කුරුමිණියක වී ඉපදුණු ආකාරය කියාපාන ජාතක කථාවක් ලෙස අස්සක ජාතකය හැඳින්විය හැකිය.

යටගිය දවස පෝතලී නුවර අස්සක නම් රජකු හට උබ්බරී නම් බිසොවක් සිටියේ ය. කතකට උරුම පංච කල්‍යාණයෙන් ම ඈ පිරිපුන් වූවා ය. මිනිස් රුව ඉක්මවා දෙවඟනක බඳු විය. ඇය තම රූප සෞන්දර්යයෙන් මත් ව වාසය කළ අතර එනිසාම කුසලයෙහි පමා විය. සිරුර සරු කරන්නට දිවා රාත්‍රිය ම යෙදු නමුත් සසර සරු කර නොගත්තා ය. රජතුමා ද ඇගේ රූ සොඳුරින් තෘප්තිමත් විය. එනිසා ම රජ ඈ කෙරෙහි බැඳුණි. එහෙත් හදිසියේ ම ව්‍යාධියකින් ඈ මියගියා ය. බිසවගේ වියෝවෙන් බොහෝ සේ ශෝක කළ රජතුමා බිසවගේ මළ සිරුර දෙනක ලා කුණු නොවන්නට තෙල් වර්ගයක් ගැල්වීය. තමන්ගේ සිරියහන අසලින් මේ දේහය තබා ගෙන නොකා නොබී හඬන්නට විය. බොහෝ මැති ඇමැතිවරුන් ද රාජ පුරුෂයන් ද සියලු සංස්කාර අනිත්‍ය බව ද ශෝක කිරීමෙන් ප්‍රතිඵලයක් නොවන බව ද කීවත් ඒ කිසිවකට රජ සවන් දුන්නේ නැත. එතරම් ම බිසවගේ රූප ශොභාව කෙරෙහි රජු මන්මත් ව තිබුණි.

එසමයෙහි බෝසතාණන් වහන්සේ හිමාලයෙහි තාපසයකු වී උපණහ. ධ්‍යානලාභී බෝසතාණෝ අස්සක රජුගේ විපත දිවැසින් බලා මේ දුක්ඛයෙන් ඔහු මුදවා ගැනීමට සිතා හිමාලයෙන් බැස පෝතලී නුවරට පැමිණ රාජකීය උද්‍යානයෙහි සුවෙන් වැඩ සිටියහ. උද්‍යානයට පැමිණි බමුණු මානවකයකු වෙතින් රජු පත් ව ඇති තත්ත්වය අසා දැන ඔහුගේ ශෝකය හරනා පිණිස රජතුමා තමන් හමුවට කැඳවිය හැකිදැයි විමසීය. එසේ කැඳවිය හැකි වුවහොත් මියගිය බිසවගේ පරලොව උත්පත්තිය පෙන්වා ශෝකය තුනී කරන්නට තමනට හැකි බව කියා සිටියේ ය. බමුණු මානවකයා එය අසා රජ්ජුරුවන් එතැනට කැඳවා ගෙන ආවේ ය.

රජතුමා තාපසයා දැක මහත් සේ සතුටට පත් ව, තාපසයන් වහන්ස මගේ බිසවුන්ගේ උප්පත්තිය දන්නෙහිදැයි විචාළේ ය. ‘එසේය මහරජ දනිමි’ යි කියු තාපසයන් වහන්සේ ගොම කුරුමිණියකු ව මේ උද්‍යානයෙහි ම ඉපිද ඇතැ යි පෙන්වා දුන්හ. මේ තරම් රූ සිරියෙන් යුතුව සිටි බිසව ගොම කුරුමිණියකු ව උපදින්නේ කෙසේදැයි රජතුමා ප්‍රශ්න කොට ඊට ඇති සාධක කවරේදැයි ද අසා සිටියේ ය. රජතුමනි, ඔබ නොපිළිගන්නේ නම් ඌ මෙතැනට ගෙන්වමි’යි කියාලා එසේ පැමිණෙන්නැයි බෝසතාණෝ අධිෂ්ඨාන කළහ. එවිට ගොම ගුලියක් පෙරළා ගෙන කුරුමිණියා එතැනට පැමිණියේ ය. රජ මේ මියගිය උබ්බරි නම් බිසව යැයි පෙන්වා දුන්නේ ය. මහ රජතුමන් මැය පෙර භවයෙහි රූප මදයෙන් මත් ව කිසිදු පිනක් දහමක් නොකොට මිය ගොස් මෙසේ බරපතළ දුක් ඇති ගොම කුරුමිණි භවයක උත්පත්තිය ලද බව පෙන්වා දුන්නේය. බෝසත් තාපසයාගේ මෙම ක්‍රියාව දුටු හා දේශනාව අසා සිටි රජතුමා මිය ගිය බිසවගේ මළකුණු කෙරෙහි තිබු ආශාව දුරු කොට එය සොහොන් බිමට දමා ඉස් සෝදා නා ශෝක හැර දසරාජ ධර්මයෙන් රාජ්‍ය විචාරන්නට විය.

මේ ජාතක කතාවෙහිදී කුසලය හා අකුලය පිළිබඳ ප්‍රබල දහමක් ලොවට උගන්වයි. තම බිසවගේ මළ සිරුර මිහිදන් කරන්නටත් පෙරාතුව ම ඇයගේ පරලොව උත්පත්තිය සාක්ෂාත් කොට පෙන්වන්නට ධ්‍යානලාභී බෝසතුනට හැකි විය. මෙය විජ්ජාවක් නොවේ. මේ කුසලාකුසල විපාකයේ ස්වභාවය ම වේ. බොහෝ දෙනා තමා කරන වරදෙහි විපාක නොදනී. ඇතැම් විට ඒ විපාක විඳිනු ලබන්නේ පරලොවදී බැවින් එයට බියක් ද නැත. කෙනකුගේ මරණයත් සමඟ ම ඊළඟ භවයේ ගති ස්වභාවයත් දැක ගන්නට ජීවත් වන අයට හැකි වේ නම් බොහෝ අපරාධකරුවෝ අපරාධවලින් ඉවත් වන්නාහ. එසේ දැකිය නොහැකි පෘථග්ජන ජනයාට ඇති එක ම සහනය ධර්මය පිළිබඳ ඇති කර ගන්නා අවබෝධයයි. පුරාණ ජනයා ජාතක පොත පරිශීලනය කළේ මේ දැනුම පිණිස වේ. මෙවන් කථාවක් බණ මඩුවේදී අසා දැනගත් ඔවුහු රූප මානයෙන් මිදුණහ.

රූපය මායාවක් වන හැටි බුදු හිමියන් ඛේමා ව හමුවේ පෙන්වා සිටියේ චිත්‍රපටයක දර්ශන පෙළක් ගෙන හැර පාන්නක් මෙනි. ඒ අවබෝධය ඈ අග්‍රශ්‍රාවිකාවක බවට පත් කළා ය. එමෙන් ම ඉත්ථිබන්ධන පුරිස බන්ධන සූත්‍රයෙහිදී ද බුදු හිමියන් වදාළේ රූපය මායාවක් වන බවයි. “රූපෙන භික්ඛවේ ඉත්ථි පුරිසං වෙන්ධති” යනුවෙන් මහණෙනි රූපය තරම් පුරුෂයා ස්ත්‍රිය කෙරෙහිත් ස්ත්‍රිය පුරුෂයා කෙරෙහිත් බන්ධනයට පත්කරවන වෙනත් බලවේගයක් ලොව නැති තරම් යැයි ද වදාළහ.

මේ වග නොදන්නා නූතන ඇතැම් තරුණ පිරිස් රූප මායාවෙහි ඇලෙති. මිනිසා රූපයෙන් පිරිපුන් විය යුතුය. එය ලබන්නේ ද පෙර පුණ්‍ය මහිමයකින් බව අග්‍රශ්‍රාවිකා උත්පලවන්නා කථා පුවත ම නිදසුන් වෙයි.

පෙර පිනෙකින් ලබන රුව අනෙකා පීඩාවට පත් කෙරෙන ආභරණයක් කර ගත යුතු ද? බොහෝ දෙනා රුව කාම වස්තුවක් බවට ද පත් කර ගනිති. රුව පසුපස හඹා ගොස් කාමාපරාධ කරන්නා වූ සල්ලාල ජනයා ගැන ද අපට නිතර අසන්නට ලැබේ. බුද්ධකාලීන සිරිමා ගණිකාවගේ කථාව දෙස බැලීමේදී පෙනෙන්නේ ඇයගේ රූප සෞන්දර්යට ලොල් වූ සල්ලාල ජනතාවගෙන් කිසිවකු ඇය මළ පසු රුව මුදලට හෝ නොමිලයේ ම හෝ බාර ගැනීමට අකමැති වූ බවයි.

මේ අනුව රූපය පිළිබඳ වැදගත් පාඩම් දෙකක් මේ ජාතකය අපට කියා දෙයි. රූපයෙන් මත්වන්නාට උරුම වන්නා වූ ප්‍රබල විපාකය හා රූප සෞන්දර්යය උරුම කර ගන්නට යන පුද්ගලයාට එය අහිමි වීමෙන් ඇතිවන ප්‍රබල ශෝකය හා කම්පනයයි. රජතුමාට ඇති වූ ඒ කම්පනය කෙතරම් ප්‍රබල ද යන්න පෙන්වා දෙන්නේ මෘත ශරීරය කුනු නොවී තබා ගැනීමට දැරූ වෑයමයි.

මළ සිරුරින් පවා සෞන්දර්ය විඳින්නට රජුට උවමනා විය. එසේ නොමැති ව බිසව කෙරෙහි පැවති ආදරය, පේ‍්‍රමය නිසා හටගත් ශෝකයක් නොවෙයි.

මේ කථාවෙහි ගොම කුරුමිණියා අකුසලයේ සංකේතයක් මෙන්ම සාහිත්‍යමය වශයෙන් ගත් කල්හි අහංකාර බවේ සංකේතයක් ලෙස ගිණිය හැකියි. ගොම ගොඩෙහි උපනත් සැණෙකින් ඌ පියාඹා යන්නට උත්සාහ කරයි. ශරීර බර ඔසවා ගත නොහැකි කුඩා පියාපත් දෙකින් බොහෝ දුර පියාඹන්නට ඌට නොහැකිය. රූප මාන්නයෙහි උඩඟු ව පියඹන්නට උත්සාහ ගන්නා ඕනෑ ම කෙනකුට අත් වන්නේ ද ගොම කුරුමිණියාට අත්වන ඉරණම වෙයි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: