Posted by: lrrp | July 17, 2011

දිගින් දිගට පවත්නා ක්‍රෝධය සංසාරික වෛරයක් බවට පත්විය හැකියි

පසුබිම් කතාව

අලව් නුවර අග්ගාලව වෙහෙරෙහි වෙසෙන එක් තෙර නමකට එනුවර අසල පන්සලක් තැනීමට සිත් විය. ඒ තෙරනම දායක දායිකාවන් අතර එතරම් හැඳිනීමක් වූයේ නැත. ඒ නිසා පන්සල තැනීමේ කාර්යය තමන් වහන්සේට ම කර ගැනීමට සිදු වූහ.

සෙනසුන තැනීමට සුදුසු යැයි සිතූ තැන මහ ගසෙකි. උන්වහන්සේ පොරවක් ගෙන ගස කපා ඉවත් කිරීමට සූදානම් වූහ. ඒ ගසට අරක් ගත් දෙව් දුවකි. ‘

‘මා ගේ විමානය විනාශ නොකරනු මැනව‘ යි ඇය තෙරුන්ගෙන් ඉල්ලා සිටියා ය.

එහෙත් තෙරුන් වහන්සේ නෑසු කන් ඇතිවම ගස කපති.

දෙව් දුව සිය දෑතේ වූ බිලිඳු පෙන්වා

‘මටත් මා ගේ දරුවාටත් යන්නට තැනක් නැත. මේ ගස නොනසන්න’ යි ඉල්ලා සිටියා ය.

තෙරුන් වහන්සේ බිලිඳු දැක දැකත් ගස කපති. දෙව්දුව බිලිදා ගසෙහි අත්තක නිදි කර වූවා ය. ගස කැපීමට එසවූ පොරව නවතාලිය නොහී තෙරුන් ගේ අතින් දරුවා ගේ අත ද තුවාල විය.

වහන්දෑට පහර දෙමි යි සිතූ දෙව් දුව අත ඔසවා මෙසේ සිතන්නී ය.

“මුන් වහන්සේ සිල්වත් ය. දඬුවම් දීමෙන් වන්නේ පවකි. පව් පුරවා ගැනීම දුකට හේතුවකි.”

ක්‍රෝධ සිතිවිලි දුරු කළ දෙව්දුව බුදුරජාණන් වහන්සේ වෙත යන්නී හඬා වැලපෙමින් මේ සිදුවීම විස්තර කළාය. ක්‍රෝධය දුරු කර ගැනීම පිළිබඳ දෙව්දුව පැසසු බුදු රජාණන් වහන්සේ එම සිදුවීම මුල් කර ගනිමින් මේ ගාථා ධර්මය දේශනා කොට වදාළහ.

බුදුරජාණන් වහන්සේ මෙම ගාථා ධර්මයේ දී ක්‍රෝධය දුරු කිරීමේ අගය පිළිබඳ පැහැදිලි කළහ. ක්‍රෝධය මිනිස් සිතේ පහළ වන බලවත් අකුසලයකි. ද්වේෂය සහ තරහ ගතිය නිසා ඇතිවන ක්‍රෝධ සිතිවිලි පාලනය කළ යුතු වන්නේ ඇයි? ක්‍රෝධයට පත්වන්නා ක්‍රෝධයෙන් ම විනාශ වන නිසා ය.

අප ක්‍රෝධයට පත්වන්නේ කවර අවස්ථාවන් හි දී ද? කෝප සහගත හැසිරීම් සඳහා කෙනකුට සුළු සිදුවීමක් වුවද ප්‍රමාණවත් වීමට පුළුවන. තමන්ට අලාබයක්, පාඩුවක් වූ විටෙක දී, කාගේ හෝ දෝෂාරෝපණයට, අපවාදයට ලක් වූ අවස්ථාවක දී, දඬුවමකට ලක්වන අවස්ථාවකදී කෝපය උපදී.

කෙනකුට පරිබව කරන විටෙක දී, අවනඩුවක දී, අපහාසයක දී, අසාධාරණයක දී ද කෝපය උපදී. ඇතැම් විට කෝපයට කිසිදු සාධාරණ හේතුවක් නොමැති විය හැකි ය. සාධාරණ හේතු තිබීමට ද පුළුවන. එහෙත් කෝපය, වෛර සහගත සිතිවිලි ජීවිතයෙන් දුරු කළ යුතු අංගයන් බව බුදුරජාණන් වහන්සේ නිරතුරුවම අවධාරණය කළහ.

කෝපය නිසා ම තම විනාශය ළඟා කරගත් අය පිළිබඳ විවිධ කතා පුවත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් ය. ජාතක පොතේ එන සේරිවාණිජ ජාතකයෙන් කියැවෙන්නේ ද ක්‍රෝධය පිළිබඳ කතාවකි. එදිනෙදා ජීවිතයේ දී අප මුහුණ දෙන්නා වූ විවිධ සිදුවීම්වලට මේ කතා පුවතින් ලද හැකි ආදර්ශය ඉමහත් ය.

මේ කතාවේ එන කච්ඡපුට හා සේරිවාණිජ මිතුරන් ය. දෙදෙනා අතර වූ මිතුරුකම දෙදරා ගොස් වෛරයක් බවට පත්වූයේ එක් අයකුට සිදු වූ අලාබයක් මුල්කොට ගනිමිනි.

එක් දිළිඳු පවුලකට අයිති වටිනා රත් තලියක් විය. දිනක් එහි පැමිණි සේරිවාණිජ නම් වෙළෙන්දා රන් තලිය ඉතා අඩු මුදලකට මිලයට ගැනීමට සැලසුම් කරයි. එහෙත් කච්ඡපුට නම් සාධාරණ වෙළෙඳ තෙමේ තමා සතු සියලු ධනය ගෙවා තලිය මිල දී ගනී. සේරිවාණිජ සැලසුම් කළ පරිදි විශාල ධනයකට හිමිකරු වීමට තිබු අවස්ථාව ගිලිහී ගියේ ය.

සිදු වූ මහා අලාභය ගැන දුක් වෙමින් සේරිවාණිජ තෙමේ කච්ඡපුට සමඟ ක්‍රෝධය උපදවා ගනී. එය කොතරම් උත්සන්න වූයේ ද යත් ඔහු ලය පැලී මිය යයි. එපමණක් නොව සේරිවාණිජ එම ක්‍රෝධය සාංසාරික වෛරයක් බවට පත්කර ගනී. සසර සරමින් හෙතෙම බෝසත් කච්ඡපුට වෙළෙන්දා ගේ සතුරෙක් බවට පත් වේ. බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වූ බවයේ දෙව්දත් ලෙසින් බුදුරජාණන් වහන්සේට අකටයුතුකම් කළේ මේ සේරිවාණිජ වෙළෙන්දාය.

මේ කතාවෙන් පැහැදිලි වන්නේ කුමක් ද? ක්‍රෝධය හටගත් කල්හි එය වහ වහා සිතින් දුරස් කළ යුතු බවයි. එසේ නොකෙළේ නම් ඉපිද මැරෙමින්, ඉපිද මැරෙමින් ගත කරන මේ සංසාරය පුරාම ඒ වෛරය ද අප පසු පසම පැමිණිමට ඉඩ ඇති බවයි.

පෘථග්ජන පුද්ගලයා කෙරෙහි ක්‍රෝධ සිතිවිලි පහළ වීම සාමාන්‍ය ස්වභාවයකි. අප කළ යුතු වන්නේ ඒ සිතිවිලි බැහැර කිරීම හෝ පාලනය කිරීම ය. තරහව, වෛරය, කෝපය දිගින් දිගට ම පවත්වාගෙන යාම මානසික දුබලතාවයකි. ක්‍රෝධය සිතෙහි තැන්පත් කරගන්නේ මානසික දුබලතාවයක් ඇති පුද්ගලයාය.

ඔබ යම් කිසිවෙක් ගැන තරහ උපදවා ගත්තේ යැයි සිතන්න. ඒ මොහොතේ ඔබ ගේ මනසින් මොනතරම් පීඩාවට, වෙහෙසට පත්වන්නට ඇති ද? ඒ පීඩාවම ඔබ මොන තරම් පසුබෑමකට ලක්කරන්නට ඇති ද? ඔබ ගේ වැඩ කටයුතු මොනතරම් අතපසු වන්නට ඇති ද? ඇතැම් විට ඒ කෝපය හමුවේ ආවේගශීලීව කටයුතු කරන්නට ගියා නම් එය ම ඔබ ගේ විනාශයට හේතු වන්නට ඉඩ තිබුණා නොවේ ද? අන්‍යයන් ගේ අපවාදයට, අප්‍රසාදයට, අපකීර්තියට පත්වන්නට ඉඩ තිබුණා නොවේ ද? ඔබ දන්නා එවැනි පුද්ගලයන් මේ සමාජයේ මොනතරම් සිටිනවා ද?

ඇතැම් විට අප කෝපයට පත් වන්නේ ඉතා සුළු සිදුවීමකට පුළුවන. කෙනෙක් ඔබ ගැන වැරැදි කතාවක් පතුරුවා ඇති අවස්ථාවක් සිහිපත් කරන්න. ඒ දැන ඔබ ඒ පුද්ගලයා පිළිබඳ බැඳගත් වෛරයෙන් පළිගන්නට ගියා නම් අවසානයේ ඉතිරි වන්නේ කුමක්දැයි සිහිපත් කරන්න. අසතුට, පසුතැවීම, කනගාටුව මිස වෙන යම් දෙයක් නොවන බව ඔබට වැටහෙනු ඇත.

මේ නිසා අප උත්සාහ කළ යුතු වන්නේ ක්‍රෝධ සිතිවිලි හටගත් වහාම සිතින් බැහැර කිරීමට ය. ඒ සිතිවිලි නැවත ඉපදීමට ඇති ඉඩ ඇහිරීම ය. ද්වේෂය, තරහව ඉපදෙන්නේ සිත තුළ ය. එය දුරලිය යුතු වන්නේ ද සිතෙනි. ඒ සඳහා පුද්ගලයකුට මනා හැකියාවක් තිබිය යුතු ය. එවැනි හැකියාවක් ඇති වන්නේ භාවනානුයෝගී මනසක් ඇති පුද්ගලයාට ය. හේ ක්‍රෝධය නිසා වන අනාගත උවදුරු දන්නේ ය.

සිතෙහි හටගත් ක්‍රෝධය වහ වහා බැහැර කිරීම වේගයෙන් ගමන් ගන්නා රථයක් නතර කරන්නා වූ දක්ෂ රියදුරකු ගේ ක්‍රියාදාමය වැනි ය. අනාගත උවදුරු දකින රියැදුරු වේගයෙන් ධාවනය වන රථය වළකා මනාව හසුරුවා ගනියි. එසේ පාලනය කරගත නොහැකි රියදුරන් ගොනුන් ගේ තෝන් ලණුව අල්ලාගෙන යන අය වැනි ය. ඔවුන්ට රථය පාලනය කර ගැනීමට අවබෝධයක් නැත. එබඳු රියදුරන් නිසා වන විනාශය අපමණය. දිනෙන් දින සිදුවන රිය අනතුරු ඒ සඳහා හොඳම නිදසුන් ය. මෙහි දී අප අවබෝධ කර ගත යුතු වන්නේ කුමක් ද? රිය පාලනය කර ගැනීමට අදක්ෂ රියැදුරන් සේ සිත පාලනය කර ගැනීමට අදක්ෂ පුද්ගලයා, ක්‍රෝධය පාලනය කර ගත නො හැකි පුද්ගලයා විශාල විනාශයක් සිදු කර ගනී. ඔහු ගේ ක්‍රියාකලාපය සමාජයට ද අනර්ථකාරී ය.

මේ නිසා සිතෙහි හට ගන්නා වූ ක්‍රෝධය වහ වහා බැහැර කළ යුතු ය.

ක්‍රෝධය බැහැර කළ යුතු වන්නේ කෙසේ ද? ක්‍රෝධය ඇතුළු අයහපත් සිතිවිලි බැහැර කිරීම සඳහා උපදෙස් ධම්ම පදයේ සඳහන් ය.

‘අක්කොධෙන ජිනෙ කොධං
අසාධුං සාධුනා ජිනෙ
ජිනෙ කදරියං දානෙන
සච්චෙන අලිකවාදිනං’

ක්‍රෝධ කරන්නා අක්‍රෝධයෙන් ද, අසත්පුරුෂයා සත්පුරුෂකමින් ද තද මසුරා දීමෙන් හෙවත් ත්‍යාගයෙන් ද, බොරු කියන්නා සත්‍යයෙන් ද දිනිය යුතු ය.

ක්‍රෝධ සිතින් අනුන් පීඩාවට පත් කිරීම තමන්ටම පීඩා ගෙන දීමට හේතුවක් වන බව අප නිරන්තරයෙන් ම සිහිපත් කළ යුතු ය. කිඹුල්වත් නුවර වැසි මහානාම ශාක්‍යයින් ගේ දියණිය රෝහිණී දරුණු දද රෝගයකින් පීඩා වින්දාය. ඒ අනුන්ට ක්‍රෝධ කිරීමේ පෙර අකුසලයක් විපාක දීමෙනි. ඇය පෙර බවයක බරණැස් රජු ගේ අගමෙහෙසියව සිටියා ය. රජු ගේ එක් අන්තඞපුර ස්ත්‍රියක සමඟ වෛර බැඳ ඇය ගේ නිදි යහනෙහි කහඹිලියා ගෙඩි දැමී ය. කහඹිලියා ස්පර්ශ වීම නිසා ඒ ස්ත්‍රිය ගේ ඇඟ කසන්නට විය. සිරුර පුරාම පළු මතුවී අවලස්සන විය. මේ අකුසලය නිසා, එනම් ක්‍රෝධ සිතින් හිරිහැර කිරීම නිසා මේ බවයේ රෝහිණි කුමරිය ගේ සිරුරෙහි දදයක් හට ගැනුණි. මේ කරුණ මුල් කරගනිමින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ක්‍රෝධය දුරු කළ, මානය පහ කළ, සියලු සංයෝජනයන් ඉක්මවූ තැනැත්තාට දුක ගෙන නොදෙන බවයි.

මෙහි දී අප ප්‍රධාන වශයෙන් අවබෝධ කර ගත යුතු වන්නේ කුමක් ද? ක්‍රෝධ සිතින් අනුන් වෙහෙසීම හා පීඩාවට පත් කිරීමෙන් පෙරළා තමන් ම පීඩාවට පත්වන බවය.

ක්‍රෝධයෙහි ඇති බියකරු බව නම් සාංසාරික වෛරයක් බවට පත්වීම ය. එය වෛරයක් බවට පත් වන්නේ නැවත නැවත තරහව, ක්‍රෝධය ඇතිවන ක්‍රියාවන්හි නිරත වීම නිසා ය. මේ කරුණ සනාථ කැරෙන වැදගත් කතා පුවතක් ධම්ම පදට්ඨ කතාවේ සඳහන් ය. කාලි යකින්නිය ගේ කතාව ක්‍රෝධය වෛරයක් බවට පත්වීමේ බිහිසුණු බව අනාවරණය කරයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ වෛරයෙන් වෛරය කිසිදා නොසන්සිඳෙන බවයි. අවෛරයෙන් ම වෛරය සන්සිඳෙන බවයි. මෙය සනාතනික ධර්මයකි. එම නිසා ක්‍රෝධ සිතිවිලි පාලනය කොට සාංසාරික වෛරයෙන් සසර පීඩා ඇති කර ගැනීමට උත්සුක නොවිය යුතු ය. ක්‍රෝධ සිතිවිලි පැමිණි වහා ම ඒවා දුරු කළ යුතු ය. එයින් ලැබෙන මානසික සුවය ඉමහත් ය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: