Posted by: lrrp | July 21, 2011

සිහි නුවණ උපදවාගෙන වාසය කරමු

දැන් බලන්න අපිට තිබෙන ලොකුම ගැටළුව තමයි බණ භාවනා කරන්්න වෙලාවක් නෑ කියන එක. එක්කො ගෙදර දොරේ වැඩ කටයුතු බහුලයි, ළමයි ළපටින්ගේ වැඩකටයුතු බහුලයි. ඊළඟට රාජකාරි ස්ථානවල කටයුතු බහුලයි. ඥාතීන්ගෙ කටයුතු බහුලයි. මේ ආදී කටයුතු වලින් මේ අයගේ ජීවිත පිරිල. එනිසා මේ අයට තිබෙන ලොකුම ගැටළුව තමයි භවනා කිරීමට වෙලාව නැතිකම. අන්න ඒ ගැටළුව හිස් දෙයක් කියල පෙන්වා දෙන්ටයි අපි කල්පනා කරන්නෙ. ගැටළුවක් නැතිව ගැටළුවක් තියෙනවා කියල හිතුවොත් කවදාවත් ඒකට විසඳූමක් නෑ. එතකොට අපි අසරණයි නේද? ගැටළුවක් තියෙනව නම්, එයට විසඳූමක් තියෙනව.

නමුත් ගැටළුවක් නැතිව තියෙද්දී, ගැටළුවක් තියෙනව කියල අපි සංකල්පයක් ඇතිකර ගත්තොත්, අදහසකට පැමිණුනොත් ඒකට විසඳූමක් නෑ. එනිසා අපි ආරම්භයේදී ම මුල පිරිසිදු කරගන්න ඕනැ. අපි ආරම්භයේදී ම මේ මුල පිරිසිදු කරගත්තෙ නැත්නම්, හැමදා ම හිතනව මට ප්‍රශ්නයක් තියෙනව. මට ගැටළුවක් තියෙනව කියල. දැන් බලන්න, වාඩිවෙලා ඉන්න කෙනෙක් හිතනව මගේ කකුල් දෙක ගැටගහල තියෙන්නෙ කියල. යයිද? ගැටගහල තිබ්බනම් ලිහාගන්න පුළුවන්. දැන් ගැටගහල නැතුව තිබෙද්දී එයා හිතනව ගැටගහල.

කවදාවත් ලෙහාගන්න බෑ. අන්න ඒ වගේ අපට වෙලාව නෑ කියන අදහසේ ගිලිල ඉන්න තාක්, ඒකෙන් ගැලවෙන්ට බෑ. එයා කවදාවත් නැගිටල දැන් අපිට වෙලාව නැත්තෙ කොහොම එකකටද? වාඩිවෙලා භාවනා කරන්න. දැන් එතකොට මේ වාඩිවෙලා පමණක් භාවනා කළ යුතුයි කියන අදහසේ සිටිනතාක් තමයි මේ අර්බුදය අපිට එන්නෙ නේද? භාවනාව කියන්නෙ වාඩිවෙලා පමණක් කරන එකක් කියල කල්පනා කිරීමෙන් තමයි මේ අදහස එන්නෙ. භාග්‍යවතුන් වහන්සේ අපට කොහොමද කියා දෙන්නෙ. ඇවිදින කෙනෙක් හො වේවා, හිටගෙන ඉන්න කෙනෙක් වේවා, නිදාගෙන ඉන්න කෙනෙක් වේවා, වාඩිවෙලා ඉන්න කෙනෙක් වේවා පවට බයක් ඇති, පටන් ගත් වීරියෙන් යුක්ත, කෙළෙස් තවන වීරියෙන් යුක්ත නම්, නිවනට යොමු වූ සිතින් යුක්ත වූ කෙනෙක් බවට පත්වෙන්න පුළුවන්කම තිබෙනවා.

එයාට ඒ ඉන්න ඉරියව්ව වැදගත්කමක් නෑ. එයා තුළ හටගන්න අකුසලය ගැන එයා කුමන ආකාරයෙන්ද කටයුතු කරන්නේ කියන දේ මතයි එයාගේ නිවන් මග පෑදෙනවද නැද්ද කියන කාරණාව තීරණය වෙන්නෙ. “අනේ මට වෙලාවක් නෑ” කියන අදහස තුළ තමයි අපි ගොඩාක් වෙලාවට වාසය කරන්නෙ. බලන්න අපිට වෙලාව නෑ කියල හිතුවට, අපි ඇවිඳිමින් ඉන්න එක, ඉඳගෙන ඉන්න එක, නිදාගෙන ඉන්න එක, හිටගෙන ඉන්න එක, මේ ඉරියව් හතර අපි පවත්වනවද? නැද්ද? පවත්වනව. මේ ඉරියව් හතරෙදී ම අපට කොතරම් වැඩ තිබුනත්, කොතරම් රාජකාරි තිබුනත්, කොතරම් ගේ දොරේ වැඩකටයුතු තිබුනා වුනත් අපිට වැඩ වැඩියි කියල, අපට රාජකාරි බහුලයි කියල මේ අකුසල විතර්ක අපි පැත්තකින් තියල තියෙනවද? කවදාවත් ඒක කරල නෑ නේද? මට වැඩ වැඩියි වැඩ ඉවර වෙනකල් මේ විතර්ක ටික මම පැත්තකින් තියෙනව.

අපිට එහෙම වෙලා නෑ නේද? රාජකාරි බහුලව කෙරෙද්දී වුනත්, ගෙදර දොරේ කටයුතු කරද්දී වුනත්, ළමා ළපටින්ගෙ කටයුතු කරද්දී වුනත්, සමාජ කටයුතු කරද්දී වුනත්, මේ විතර්ක ටික අභ්‍යන්තරයේ වැඩකරනව නේද? එහෙනම් බලන්න අපි තෝර බේර ගත යුතු විදිහ. එහෙනම් අපි කටයුතු කරද්දී ම මේ විතර්ක පවතිනවා නම්, කටයුතු කරද්දී ම මේ විතර්ක බැහැර කරගැනීමේ රටාවත් අපට පුරුදුකරගන්නත් පුළුවන්. අන්න ඒකයි මම කිව්වෙ, අපි තියුණු නුවණක් ඇතිකර ගත්තොත්, එයා ඉවසීමෙන් යුක්තව මේ ක්‍රම වේදය අධ්‍යයනය කරනව. මොකක්ද කළයුත්තේ? කොහොමද අපට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නේ? ආන්න ඒ විදිහට මේ මාර්ගය තෝරගත්ත කෙනා, ඉතා ම සතුටට පත්වෙනව.

එයා සොයමින් සිටිය දේ මුණගැහුන. ඉතින් හිටගෙන ඉන්න කොට වේවා, ඇවිදගෙන යනකොට වේවා, වාඩිවෙලා ඉන්නකොට වේවා, සැතපිලා ඉන්නකොට වේවා, මේ කෙළෙස් යුද්ධයෙන් දිනන්න කැමතිකෙනා, ඒ කෙළෙස් අඳූනගැනීම පිණිස කල්පනා කළයුතුයි. සිහි නුවණ උපදවාගෙන වාසය කළයුතුයි. අන්න එතකොට එයාට තේරෙනව හිටගෙන ඉන්නකොට වේවා, ඇවිදින කොට වේවා, වාඩිවෙලා ඉන්න කොට වේවා, සැතපිලා ඉන්නකොට වේවා, ඒ කෙළෙස් එයාට අඳූනගන්න පුළුවන්කම එනව.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: