Posted by: lrrp | July 25, 2011

හිතමිතුරු ඇසුර දියුණුවට මෙන්ම පරිහානියට ද හේතු වේ

පසුබිම් කතාව

සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහි ගෙය හැර පියා මහබිනික්මන් කළේ ඡන්න නම් ඇමැති ගේ සහාය ඇතිවය. බෝසතාණන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වය ලැබීමෙන් පසු ඡන්න ඇමති ද බුදුරදුන් වෙත පැවිදි බව ලැබී ය. පැවිදි වුවද ඒ තෙර නම නිතර නිතර දොඩමළු වූයේ ය. බුදුරජාණන් වහන්සේ ගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ වන සැරියුත් – මුගලන් මහරහතන් වහන්සේට පවා අගෞරව වන ලෙස කතා කළේ ය.

“බුදුරදහු ගිහි ගෙය හැර යන දවසේ මහ රාත්‍රියේ මාලිගයෙන් ආයේ මා සමඟ ය. එදා මේ කිසිවෙක් උන්වහන්සේ ගේ සහායට නොසිටියේ ය. එහෙත් අද? අප අගසවු ය. මහ සවු ය. කියන්නෝ වෙති.” ආදී බස් බිණිමින් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේට නිගරු වන සේ ඇවිදිති.

තෙරුන් ගේ හැසිරීම හා වාග් විලාශයන් ගැන ඇසූ බුදුරජාණන් වහන්සේ දෙවරක් ම උන්වහන්සේට අවවාද කළහ. බුදුරදුන් ඉදිරියේ කීකරු ගති දැක්වූ තෙරුන් වහන්සේ ටික දිනක් නිශ්ශබ්දව සිට නැවතත් පෙර හැසිරීම් ම ඇත්තේ වූ හ. තෙවන වර ද බුදුරජාණන් වහන්සේ ඒ තෙරුන්ට අවවාද කළහ.

‘ඡන්නය. සැරියුත් මුගලන් අගසවු දෙනම කලණ මිතුරන් ය. උතුම් ගුණ ඇත්තෝ ය. ඔවුන් ඇසුරු කළ මැනව. ඒ යහපත පිණිසම වන්නේ ය.’

ඡන්න තෙරුන් ඒ අවවාද හමුවේ ද නොහික්මුණේ ය. පෙර මෙන් දොස් නඟමින් හැසිරුණේ ය. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේ අමතා ‘මහණෙනි! මා දිවමන් තෙක් ඡන්නයන් හික්මවිය නොහැකිය’ යි වදාළහ.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානා දවසේ ආනන්ද තෙරුන් වහන්සේ ඡන්න තෙරුන් කෙරෙහි කෙසේ පිළිපැදිය යුතුදැ යි බුදුරදුන්ගෙන් විමසනු ලැබූහ.

එකල් හි බුදුරජාණන් වහන්සේ ඡන්න තෙරුන් ගේ දොස් දැක දැකත් උන්වහන්සේට අවවාද නොකළ යුතු බවත්, කතා බහ කිරීමෙන් වැළකිය යුතු බවත් වදාළහ. එනම් ඡන්න තෙරුන්ට බ්‍රහ්ම දණ්ඩය දිය යුතු බව පෙන්වා දුන් හ.

මේ ඇසු ඡන්න තෙර මහත් බියටත්, ශෝකයටත් පත් වූයේ ය. මා නොනසනු මැනව යි ඉල්ලා සිටිමින් තෙවරක් ම සිහිසුන් වූයේ ය. බ්‍රහ්ම දණ්ඩය පැනවීම නිසා නොහික්මුණු ගති දුරු කොට කීකරු වූ ඡන්න තෙරුන් වහන්සේ රහත් බව ලැබූහ.

කොතරම් අවවාද කළත් දුරු කළ නොහැකි වූ ඡන්න තෙරුන් ගේ නොහික්මුණු හැසිරීම මුල් කර ගනිමින් පවිටු මිතුරන් හා නිහීන අධම මිනිසුන් ඇසුරින් වෙන්විය යුතු බවත්, කල්‍යාණ මිතුරන් හා උසස් ගුණවත් මිනිසුන් පමණක් ම ඇසුරු කළ යුතු බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ. මතු සඳහන් ගාථා රත්නයෙන් අර්ථවත් වූයේ ඒ දහම් පණිවුඩයයි.

මේ ගාථා ධර්මයට අනුව ‘පවිටු මිතුරන්’ නම් පින් පව් නොහඳුනනා අසත් පුරුෂයන් ය. අකුසල්හි නිරත වූවන් ය. ‘පුරිසාධමේ’ නම් සැහැසිකම් කරන පිරිස් ය. මං පැහැරීම්, ගෙවල් බිඳීම්, සොර මැරකම් ආදි අසත්පුරුෂකම් කොට දරුණු විපත් පමුණුවන පිරිස් ය.

‘කල්‍යාණ මිතුරන්’ නම් කළ ගුණ ඇති මිතුරන් ය. අකුසලින් දුරු වූ, කුසලයෙහි ඇළුණ, අනුන් ගේ දුකේ දී කුලුණු සිතින් පිහිට වන අය ය.

‘පුරිසුත්තමේ’ යනුවෙන් හැඳින්වූයේ උතුම් ගුණ ඇති පුද්ගලයන් ය. ලොවට සෙත සැලසූ බුදු, පසේ බුදු, මහ රහත් යන උතුමන් හා යහපතම සලසමින් දැහැමිව ජීවත්වන උතුමන් ය.

ධම්ම පදයේ මතු සඳහන් වූ ගාථා ධර්මයට පසුබිම් වූ කතා පුවතට අනුව බුදුරජාණන් වහන්සේ තෙවරක් ම ඡන්න තෙරුන්ට අවවාද කළහ. එහෙත් ඒ තෙරුන් ගේ පුහුදුන් ගතිය නිසා බුදුරජාණන් වහන්සේ ගේ අවවාද පිළිපදින්නට, ඒ ගැන සිතන්නට ශක්තියක් නොතිබුණේ ය. සිතෙහි වූ ඊර්ෂ්‍යාව බලවත් වීම නිසා, වැරැදි විදිහට ම සිතමින් ජීවත් වූ නිසා, විශේෂයෙන් ම කලණ මිතුරන් ඇසුරු නොකිරීම නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් මඟ යෑමට ඒ තෙරුන්ට නොහැකි විය.

තෙරුවන් සරණ යන බෞද්ධයා ගේ ප්‍රධාන අරමුණ විය යුතු වන්නේ කුමක් ද? තම ජීවිතය යහපත් ලෙස දැහැමෙන්, සෙමෙන් පවත්වාගෙන යෑමය. ජීවිතයේ යහපත දියුණු කර ගැනීමට නම් යහපත් අවවාද හා අනුශාසනා ඇවැසි ය. වරද දුටු තැන එය පෙන්වා දෙන, වරදින් වළකන මිතුරන් ඇවැසි ය.

මිතුරු ඇසුර පුද්ගලයකු ගේ ජීවිතයේ අභිවෘද්ධිය හෝ පරිහානිය හෝ තීරණය කරන ප්‍රධාන සාධකයක් වන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ. පුද්ගලයා ගේ දියුණුවට හේතු වන කරුණු අතර බාලයන් සේවනය නොකළ යුතු බව එහි දී මුලින් ම දේශනා කොට වදාළහ.

මේ බාලයන් නම් කවරහු ද?

තමන්ට වඩා වයසින් අඩු අය හෝ කුඩා දරුවන් හෝ නොවේ. පස් පව්, දස අකුසල් ආදි දුශ්චරිතයන් හි නිරත ගුණ නුවණ මද පුද්ගලයන් ය. එවැනි අය පින පව හඳුනන්නේ නැත. මෙලොව පරලොව පිළිබඳ විශ්වාසයක් නැත. එවැනි අය ඇසුරු කරන තැනැත්තා ද අධම ගති ඇති, අසත් පුරුෂයකු වනවා නො අනුමාන ය. ඔබ ජීවත්වන සමාජය දෙස බලන්න. නපුරු සිතුවිලි ඇති, නපුරු වචන ඇති, නපුරු ක්‍රියා ඇති අය නිසා නොමඟට ගිය අය කොපමණ සිටී ද? ඇතැම් විට ඒ ඔබ විය හැකි ය. ඔබ ගේ දරුවා, ඔබ ගේ සැමියා, එසේත් නැතිනම් ඔබ ගේ බිරිය විය හැකි ය.

වැරදුණේ කොතැන ද?

අතීතයට හැරී බලමු. වරද පෙන්වා දුන්, වරදෙහි ආදීනව කියා දුන් කෙනෙක් සිටිත් ද? එවැනි අය ගේ ඇසුර ලැබුණා නම් ඔබට කවර කලෙකවත් වරදක් සිදු වන්නේ නැත.

ඔබ ඉතිහාසය කියවා ඇත. අජාසත් රජු පියා මරා රජ වන්නට තරම් සැහැසි වූයේ ඇයි? දෙව්දත් වැනි පවිටු අදහස් ඇති අය සේවනය කළ නිසා ය.

මෙහි දී අප අවබෝධ කරගත යුතු වැදගත් කරුණකි. එනම් හිත මිතුරු ඇසුර පුද්ගලයා ගේ දියුණුවට මෙන් ම පරිහානියට ද මුල් වන බව ය.

කුණු මස් එතු කොළය ද කුණු ගඳ ය. දුර්ගන්ධ ය. එමෙන් බාලයන් සේවනය කරන පුද්ගලයා ද අසත්පුරුෂයෙක් බවට පත් වේ. යම් පුද්ගලයෙක් පත්‍රයකින් තුවරලා බඳී නම් ඒ පත්‍රය ද සුගන්ධ ය. දැහැමි ප්‍රඥාවන්තයින් ගේ ආශ්‍රයට පැමිණෙන පුද්ගලයා ද එමෙන් ප්‍රඥාවට ම පැමිණේ.

යම් අවස්ථාවක ඔබට ඇසුරට සුදුසු පුද්ගලයෙක් නොවූයේ යැයි සිතන්න. එවැනි විටෙක පාළුව, තනිකම මකා ගැනීමට හෝ, ජීවිතයේ දුක සතුට බෙදා ගන්නට යැයි කියා මුලා වී බාලයන් ඇසුරට නොවැටිය යුතු ය. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ කලණ ගුණැති අයකු ඇසුරට නොලැබුණේ නම් තමා හා සමාන ගුණ ඇති අය ඇසුරු කළ යුතු බවය. එවැනි කෙනෙකුත් නැතිනම් තනිවම ජීවිතයට මුහුණ දීම වඩා සුදුසු වන බව ය.

ඇසුරට සුදුසු මිතුරෙක් හඳුනා ගන්නේ කෙසේ ද? සිඟාලෝවාද සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ කලණ මිතුරකු ගේ ස්වභාවය කවරේදැයි පැහැදිලි කර දුන්හ.

හේ පි‍්‍රය ජනක ය. ගරු බුහුමන් කටයුතු ගුණ ඇත්තේ ය. වරද දුටු තැන මෛත්‍රියෙන්, කරුණා සිතින් කියා දෙන්නේ ය. තමන් ගේ වරද පෙන්වා දෙන තැන නොකිපෙන්නේ ය. සාවධානව පිළිගන්නේ ය. ඕපා දූප, හිස් වචන නොදොඩන්නේ ය. අර්ථවත් දෑ ම කියන්නේ ය. මිතුරා නිවැරැදි මාවතට ම යොමු කරන්නේ ය. නොමඟට ඉඩ නොහරින්නේ ය. මිතුරා ගේ ගුණ කිව යුතු තැන අකුටිල ව ගුණ කියන්නේ ය. මිතුරා ගේ රහස් රකින ඔහු විපතේ දී හැර නොයන්නේ ය.

මේ මිතුරු බවේ ලක්ෂණයන් ය. අප ඇසුරට තෝරා ගත යුතු වන්නේ මෙවැනි ගුණ ඇති පුද්ගලයන් ය. එවිට මෙලොව ජීවිතයේ මෙන් ම පරලොව ජීවිතයේ ද අභිවෘද්ධිය ළඟා කර ගැනීම අපහසු වන්නේ නැත.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: