Posted by: lrrp | July 28, 2011

සැබෑ සංවරකම උපදවා ගනිමු

පුද්ගලයාගේ සංවරකම වගේ ශාන්තකමක් ලෝකෙ තියෙනව. දැන් බලන්න පොලීසියකට මිනිස්සු ගියාම හා පැටවු වගේ නේද එතන ඉන්නෙ? කලාතුරකින් කෙනෙක් තමයි එතන චන්ඩි කම් කරන්නෙ. නමුත් පොලිසිය නැතිකොට, පිටදි? ඒ ස්වභාවය පවත්වනවද? එහෙනම් ඇයි පොලිසියෙදී එහෙම වෙන්නෙ? නීතියකට බයේ. ඇයි නීතියට බය? නීතිය කැඩුවොත් දඬුවම් විඳින්ට සිද්ධ වෙනව කියල, ඒ දඬුවමට බයේ නීතිය නොකඩා සිටීම තමයි එතෙන සංවර කම වගේ පෙනුනෙ.

ඒ විදිහට සංවර වෙන කෙනාගෙ අභ්‍යන්තරයෙ කුසල් ඉපදෙනවද? කුසල් ඉපදෙන්නෙ නෑ. යම් ක්‍රියවක් එයා පාළනය කරගෙන ඉන්නෙ. එයා කැමත්තෙන් නෙවෙයි ඒ ක්‍රියාව එයා පාළනය කරන්නෙ. අකමැත්තෙන්. එතකොට එයා තුළ කුසල් නෙවෙයි ඉපදෙන්නෙ. අමනාපය, අහිතවත් කම, තරහ තමයි ඇතුලෙ උපදින්නෙ. එතකොට ඒ වගේ අකමැත්තෙන් අමනාපයෙන් අදහස් හිර කරගෙන යම් විදිහක පාළනයක් වගේ දෙයක් ප්‍රකට කරගෙන ඉන්න කෙනා, ඒ නීතියෙන් බැහැර වුන ගමන්, නීතියෙන් ඈතට ගිය ගමන් තමා ලඟ තිබුන ඒ අකුසලය, එහෙම නැත්නම් අසංවර බව දෙගුන තෙගුන කරල ප්‍රකට කරනව. පාලනයක් තුළ ඉන්න කොට එයා තුළ ඇති වුනා අමනාපය, අකමැත්ත. ඒක මුල් කරගෙන පාළනය බැහැර වුන ගමන් දෙගුන තෙගුන කරල එයාගේ අසංවර භාවය ප්‍රකට කරනව.

අපිත් අන්න ඒ ස්වභාවයට ගොදුරු වුනොත් මොකද වෙන්නෙ? අපි ඒ ස්වභාවයට ගොදුරු වුනොත් තමන්ට හිත පිණිසත් අනුන්ට හිත පිණිසත් පවතින අය බවට අපි පත්වෙයිද? පත්වෙන්නෙ නෑ. එහෙනම් අපි තමාටත් අනුන්ටත් යහපත උපදවන අය වීම පිණිස කුමක්ද කළ යුත්තේ? මම මගේ කාය ක්‍රියා සංවර කරගන්ට ඕනෑ. මම මගේ වචී ක්‍රියා සංවර කරගන්ට ඕනැ. මගේ මනෝ ක්‍රියා සංවර කරගන්ට ඕනෑ. එයයි මට යහපත, එයයි අනුන්ට යහපත, එයයි සියලු දෙනාට යහපත කියල කල්පනා කරල, වැටහීමක් උපදවගෙන, ඒ වැටහීම මුල් කරගෙන සැබෑ සංවර කමක් උපදව ගන්ට ඕනෑ. යහපත අයහපත කල්පනා කරල, නුවණ පාවිච්චි කරල ස්වයං කැමැත්ත මත සංවර කමක් තමා තුළ උපදවගන්ට ඕනැ.

එහෙනම් බලන්ට යම් කෙනෙකුට නීතියක් පනවල නීති මගින් පාලනය කරල කුසල් උපදවන්ට බෑ. මොකක්ද එතකොට ඉපදෙන්නෙ? එතකොට ඉපදෙන්නෙ අකුසල්. නමුත් සාමාන්‍යය ලෝකයේ පාලනය වෙන්නේම නීති මඟින්. දැන් වාහන වලට කියනව වම් පැත්තෙන් පදවන්න කියල. ඒක නීතියක්ද ස්වයංව ඇති වූ සංවර කමක්ද? ඒ නීතිය පෙන්වා දීලත් පස්සෙ මොකද කරන්නෙ? ඉරිත් ගහනව, ඊට පස්සෙ මොකද කරන්නෙ? මුරත් දානව, අවවාදත් කරනව. බනිනනව, දඩ ගහනව ඊට පස්සෙ ලයිසන් කැන්සල් කරනව. කොච්චර දේ කරනවද? ඒත් වැඩේ හරියනවද? නෑ. දැක්කද නීතියක් මගින් සංවර කරන්ට උත්සාහ කලොත් ඒක ඉතාම තාවකාලිකයි. නමුත් මනුෂ්‍යයා ඇත්තෙන්ම සංවර වෙලා නෑ.

ඒ නිසා තමයි සැබෑ සංවර කමක් උපදවා ගැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ අපිට අපි තුළ උපන් කැමැත්ත ඇති කරගන්ට කියල කියන්නෙ. භාග්‍යවතුන් වහන්සේ නීති පනවල නෑ. භාග්‍යවතුන් වහන්සේ කුමක්ද කරල තියෙන්නෙ? සත්‍යය ඉස්මතු කරල, විවෘත කරල, පැහැදිලි කර කර පෙන්නල තියෙනව. එතකොට අපි අන්න ඒ සත්‍යය තේරුම් ගත්තොත්, භාග්‍යවතුන් වහන්සේ ඉස්මතු කළ විවර කළ ඒ විස්තර කර කර අපිට කියා දුන් සත්‍යය අපි තේරුම් ගත්තොත්. ඒ සත්‍යයට පැමිනුනොත්, එතන උපදිනව සංවර කම ඇති කර ගැනීමට ස්වයං කැමැත්ත. ඒ සත්‍යයට බැහැරින් තිබෙන දෙයක් තේරුම් ගැනීමෙන් පුද්ගලයා තුළ සංවර වීම පිණිස ස්වයං වූ කැමැත්තක් උපදින්නෙ නෑ.

ඒ නිසා තම තමාගේ ජීවිත සංවර කර ගැනීම පිණිස කැමැත්ත උපදව ගන්න. ඒ උපදව ගන්න ආකාරය තමයි, තමන්ගෙ ජීවිතයේ ස්වභාවය භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙන විදිහට කල්පනා කරන්න. භාග්‍යවතුන් වහන්සේ අපේ ජීවිතය ගැන අපිට කියා දීල තිබෙනව. අපේ ජීවිතය මෙබඳූ දෙයක්. මේ ලෝකය මෙබඳූ දෙයක් කියල අපිට භාග්‍යවතුන් වහන්සේ පෙන්වල දීල තිබෙනව. කියා දීල තිබෙනව. ඒ කියල දුන් දේ තමයි අපි ධර්මය විදිහට ඉගෙන ගන්නෙ. මේ ධර්මය කෙරෙහි යමෙක් පැහැදුනොත් එයා තුළ ස්වයං කැමැත්ත උපදිනවා සංවර බව ඇති කරගන්ට. එතකොට එයාව පාලනය කරන්ට වැට කඩොලු ගහන්ට ඕනෙ නෑ. සත්‍යය අවබෝධය පිණිස වෑයම් කරන අය ස්වයං වූ කැමැත්තක් තුළ සංවරයි. ස්වයං වු කැමැත්තක් තුළ උපදව ගත්ත සංවර බවක් එයා තුළ තියෙනව. එයාගේ යම් ආකාරයක පාලනය නොවූ ස්වභාවයක් තිබ්බොත් එහෙම ඒක සිහි කර දෙන්ට විතරයි තියෙන්නෙ. ඔය හැසිරීම දොස් සහිතයි. භාග්‍යවතුන් වහන්සේ නොපැනවූ දෙයක්. ඕක කරන්ට එපා. මේකයි හරි කියල පෙන්වා දීම, සිහිය උපදවා දීම විතරයි ඕනැ. එයා සැනෙකින් සංවර වෙනව.

එහෙනම් බලන්න යම් කෙනෙකුට තමාගේ පාලනය තමාම ඇති කරගත යුතුයි කියල අදහසක් ඇති වුනා නම් එතන ස්වයං පාලනයක් තියෙනව. නීතියක් උනත් අපි බරක් කරගන්නෙ නෑ. ස්වයං පාලනයක් තමා තුළ උපදව ගත් කෙනාට නීතිය උනත් පීඩාවක් බවට පත්වෙන්නෙ නෑ. දැන් ඔබට තේරෙනවද මේ සාසනය කොයි තරම් මිහිරි ජීවිතයකට උපකාර වෙන වැඩ පිළිවෙලක් සහිත තැනක්ද කියල. මේක මුළුමනින්ම ක්ෂේම භූමියක් මිසක කාන්තාරයක් නොවන බව තේරෙනවද? මේක කාන්තාරයක් මැද තියෙන ක්ෂේම භූමියක්. මේ සාමාන්‍යය ලෝකය ගිනි ගත්ත කාන්තාරයක් වගේ. මිනිස්සු ඉන්නෙ පීඩාවෙන්, විඩාවෙන්. පිපාසයට පැන් හොයන සත්තු වගේ. එච්චර වෙහෙස කරයි සාමාන්‍යය ලෝකයේ ජීවිතය. ඒ ජීවිතයෙන් ඈත් වෙලා ඒ කාන්තාරයක් මැද තිබෙන ක්ෂේම භූමියක් වගේ තැනක් තමයි ශාසනය.

යම් කෙනෙක් මේ ශාසනය මෙලෙස හඳූන ගත්තොත් එයා ඒ ශාසනය ශාසනය ගැන සතුටු වෙයිද නැද්ද? සතුටු වෙනව. අන්න ඒ ආකාරයෙන් ශාසනය ගැන සතුටු වෙන කෙනා ශාසනයෙන් බැහැර වෙයිද? එයා ශාසනයෙන් බැහැර වෙන්නෙ නෑ. එයා ශාසනය තුළ ස්ථිරවෙලා. ශාසනය තුළ පිහිටා සිටිනව. එයා ශාසනයේ අග්‍ර වූ ප්‍රතිලාභය අත් කර ගන්නවා මයි. නිවන කරාම යනව. එයාට පිරිනිවන් පාන්ට පුළුවන් කම තියෙනව.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: