Posted by: lrrp | July 28, 2011

සිතින් බලවත් වෙමු

විශේෂයෙන් මතක තියාගන්න, ධර්මයෙන් පිළිසරණක් ලබන්ට පුළුවන්කම ලැබෙන්නෙ නෑ දුර්වල චරිතයක් සහිත කෙනෙකුට. අපි සාමාන්‍යයෙන් බලවත් කියල කියන්නේ යමක් කමක් පුලුවන්, මතක තියන, හැකියා තියන අයට යි. නමුත් ඒක නෙවෙයි අපි මෙතනදි දුර්වලයි කියල කියන්නෙ, සිතේ දුර්වලකම යි. සිත දුබලයි නම් එයාට ධර්මයෙන් පිළිසරණක් ලබන්ට බෑ. කොතරම් බාහිර හෝ වේවා, වෙනත් යම් හැකියා හෝ තිබුනත්, සිත දුබලයි නම් එයාට ධර්මයේ පිහිටක් ලබන්ට බෑ. ඒ නිසා සිතේ දුබල බව තමයි අපි මේ දුර්වල චරිත කියල පෙන්නුවෙ.

සමහර විට එයා කායික වශයෙන් ඉතා ම දුබල කෙනෙක් වෙනට පුළුවන්. ලෙඩ රෝග බහුල වෙන්ට පුළුවන්. කායික වශයෙන් ශක්තියක් නැති වෙන්ට පුළුවන්. ඊලඟට බාහිර පුද්ගලයන්ගෙ උපකාර නැතුව ප්‍රසිද්ධ නැතිව දුර්වල ආකාරයේ ස්වභාවයන් තිබෙන්ට පුළුවන්. එබඳූ දුර්වලතා ධර්මය අවබෝධයට බාධක විදිහට සලකන්ට එපා. ධර්මය අවබෝධයට බාධා විදිහට පවතින ප්‍රධානත ම බාධකය මොකක් ද? ඒ තමයි සිතේ දුබල බව. සිත දුරුවලයි නම් වෙන කුමක බලවත් බවක් තිබුණත් අපිට ඒකෙන් වැඩක් වෙන්නෙ නෑ. කාටවත් වැඩක් වෙන්නෙ නෑ.

සිත දුබල නම් එයාට තියෙන නොහැකියාව මොකක් ද? දුබල සිතින් යුක්ත කෙනාට බන්ධන කඩාගන්ට බෑ. බැඳීම් වලින් නිදහස්වෙන්ට බෑ. සිත දුබල කෙනාගෙ ස්වභාවය තමයි නැවත නැවත බැඳි බැඳී යන එක. ඉතින් සිත දුබල කරගත්තොත් අපිට මේ සසරෙන් නිදහස් වෙන්ට පුළුවන්කමක් ලැබෙන්නෙ නෑ. සසරෙන් නිදහස්වීම සඳහා තමයි අපි මේ ධර්මය පුරුදු කරගන්ට කල්පනා කළ යුත්තේ.

සිත දුර්වලයි නම් මේ ධර්මය ඉගෙන ගත්තත් එයා සසරට බැඳිල යනව. සිත දුර්වලයි නම් සිල් පද ආදී ඉගෙන ගත්තත් එයා සසරට බැඳිල යනව. ඒ ඉගෙන ගන්න දේටත් බැඳිල යනව. සිත දුර්වල නම් අපි සිල් පද සමාදන් වුනා කියල සසරෙන් නිදහස් වෙන්නෙ නෑ. ඒ සමාදන් වූ සීලයටත් බැඳිල යනව. සිත දුබල නම් අපි මොන අකාරයේ කටයුතු කළත් ඒවයෙන් නිදහස් වෙලා යන්ට අපිට උපකාර ලැබෙන්නෙ නෑ.

ඒ නිසා අපි පරිස්සම් විය යුතු යි. සිතේ දුබල බව උපදින්ට නොදී සිත බලවත් දෙයක් බවට පත්කර ගන්ට අපි කල්පනා කරන්ට ඕනැ. එහෙම නැත්නම් අපි දකින දකින අයට බැඳිල යනව. අපි කරන කියන දේටත් බැඳිල යනව. ඒක අපිට විශාල අනතුරක්. එහෙම බැෙඳනව කියල අපිට තේරෙන්නෙත් නෑ. හොඳට බලන්න අපි මේ අද ඊයෙ, කලාතුරකින්, අහම්බෙන්, දැකපු අයට බැඳිල යනව නේද? මේක හිතේ ස්වභාවයක්. ඇයි එහෙම වෙන්නෙ? සිතේ දුබලකම නිසා. අන්න ඒ දුබලකමට ඉඩදෙන්ට එපා. ඒ වගේ දුබලකමක් අපේ හිතේ තිබුනොත් අපිට බැෙඳනව තෙරෙන්නෙත් නෑ. බෑඳීම් තුළ ඉන්නව තේරෙන්නෙත් නෑ. බෑඳීමෙන් දුක්විඳිනව තේරෙන්නෙත් නෑ. එයා තව තවත් අතිශයින් දුබල කෙනෙක් බවට ම පත්වෙලා යනව.

ඒ නිසා අපි සිතින් බලවත් අය බවට පත්වෙන්ට ඕනැ. සිතින් බලවත් අය බවට පත්වුනොත් ඕනැ ම බන්ධනයක් අපිට කඩාගෙන යන්ට පුලුවන්කම ලැබෙනව. බැඳීම් කඩාගෙන යාම තමයි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා විසින් කළ යුතු දේ. බන්ධන ඇතිකර ගැනීම නෙවෙයි. බන්ධන ඇතිකර ගන්නෙ නැතිව බැඳීම් කඩාගන්ට වෑයම් කිරීම තමයි ශ්‍රාවකයාගේ කටයුත්ත. ඉතින් ඒක දුබල කෙනාට කරන්ට බෑ.

අපි යකඩ දම්වැලෙන් බඳිනව අලියෙක් ව. පුංචි පොල් කෙන්දකින් බඳිනව පුංචි කරුලු පැටියෙක් ව. පොල් කෙන්ද ද ශක්තිමත් බවෙන් වැඩි, යකඩ දම්වැල ද ශක්තිමත් බවෙන් වැඩි? යකඩ දම්වැල ශක්තිමත් බවෙන් වැඩි යි. එතකොට ඉතා ම සියුම්, පුංචි, හයිය නැති දුබල පොල් කෙන්දෙන් බඳින කුරුලු පැටිය ඒක කඩා ගන්නව ද? ඌට ඒක කඩා ගන්ට පුළුවන් ද? පුංචි යි, දුබල යි ඒ බැඳපු දේ. ඉතාම දුබල බන්ධනය කුරුලු පැටියට කඩාගන්ට බෑ. නමුත් හස්තියෙක් යකඩ දම්වැලෙන් බඳිනව. බන්ධනය බලවත්, අතිශය ශක්තිමත්. හස්තිය ඒක කඩයි ද නැද්ද? කඩනව. සැනෙකින් කඩනව. යකඩ දම්වැල කඩන්ට හස්තියට වැඩි වෙලාවක් යනව ද? නෑ, සැනෙකින් කඩන්ට පුළුවන්. නමුත් මහත් සේ බොහෝ කලක් වෙර දැරුවත් අර පුංචි බන්ධනය කඩන්ට කුරුලු පැටියට පුළුවන් ද? බෑ. ආන්න ඒ වගේ තමයි, දුබල කෙනා ඉතා ම පුංචි බන්ධනයට අහුවෙලා යනව, එයාට ඒක බන්ධනය කියල තේරෙන්නෙ නෑ. කඩාගන්ටත් බෑ. හයියක් නෑ. නමුත් ශක්තිමත් කෙනා අතිශය බලවත් බන්ධන වුනත් කඩල බිඳල නිදහස් වෙනව. ඒ නිසා කව්රුත් කල්පනා කරන්න, අපි හස්තියෙක් වගේ බලවත් අය බවට පත්වෙන්ට ඕනැ කියල. පුංචි කරුලු පැටව් වගේ දුබල චරිත උපදවා ගන්ට එපා. හස්තීන් වගේ බලවත් පුරුෂයෝ බවට පත්වෙන්ට ඕනැ.

එතකොට ඒ බලවත් භාවය අපිට උපතින් ආපු එකක් ද? උපතින් තියෙනව ද? උපතින් නෑ. එතකොට අපිට මේ කියන විදිහෙ හයියක් නෑනෙ, කියල හිතෙන්ට පුළුවන් නේද? ඇත්තෙන් ම තියෙනවද ඔබට ඒ වගේ හයියක්? නෑ. හයියක් නෑ කියන එකෙන් කල්පනා වෙන්නෙ කුරුළු පැටව්වගේ ඉන්න එක ද? නෑ. දැන් ඔබ බැෙඳන්නෙ කුමකින් ද? සිතුවිල්ලකින්. ඒක යකඩ දම්වැලකට වඩා බලවත්. සිතුවිලි වලින් තමා අපි බැඳල දාන්නෙ. සිතුවිලි වලින් බඳින බන්ධනය යකඩ දම්වැල් වලින් බඳින බන්ධනයට වඩා බලවත්. ඒ බන්ධන කඩාගන්ට අතිශය බලවත් වූ පුරුෂයින් බවට පත්වෙන්ට ඕනැ. එබඳූ බලයක් කොහොම ද උපදවා ගන්නෙ?

ඒ බලය උපදවා ගන්නෙ සසරේ ස්වභාවය තේරුම් ගැනීමෙන්. ජීවිතේ ස්වභාවය තේරුම් ගන්න. අපිට තියෙන අවදානම තේරුම් ගන්න. අපේ ජීවිතය ඉතා ම තාවකාලිකයි. අපිට ලැබුනු යමක් තිබෙනවා නම් ඒ ලැබුන සියලු දේ තාවකාලිකයි. ටික කලකින් මේ හැම දෙයක් ම නැතිවෙලා යනව. අන්න ඒ තාවකාලික බව අස්ථිර බව තේරුම් ගත්තොත් කාටත් තේරෙයි අපි අවදානමක් සහිතව වාසය කරන්නෙ කියල. ඒ අවදානම් සහිත ස්වභාවය යමෙකුට යම් මොහොතක තේරුනොත් ඒ අවදානම් සහිත කිසිදේකට බැඳී ඉන්ට එයා කැමති වෙන්නෙ නෑ. අවදානමෙන් නිදහස් වීම පිණිස ඕනෑ ම බන්ධනයක් කඩාගැනීම පිණිස එයාට වීරිය උපදිනව.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: