Posted by: lrrp | August 6, 2011

කෝසම්බි ජාතකය

දූරදර්ශිවීම ජීවිතයකට අත්‍යවශ්‍ය දෙයකි. දූරදර්ශි නොවන්නා ඉක්මනින් වැනසීමට පත්වන්නේ ළඟ බලා ඉක්මන් තීරණ ගැනීම හේතුවෙනි. ගැටුම් නිරාකරණය පිණිස ගත යුතු වැදගත් පියවරක් ලෙස බුදුසමයෙහි දූරදර්ශී බව හෙවත් දුර බලා කටයුතු කිරීම වැදගත් වන අයුරු උගන්වයි. දුර බලන්නාට හෙවත් අනාගතය දෙස බලා තීරණ ගන්නා ඉවසීමෙන් යුතු කෙනෙකි. කෙනෙක් අභියෝග පැමිණිය ද ජීවිතයේ ඒවා සන්සුන් ව විසඳා ගැනීමටත් ඒ ඔස්සේ ජයග්‍රාහී පුද්ගලයකු බවට පත් වීමටත් හැකි වෙයි. එය සංකල්පයක් පමණක් නොවේ. භාවිතයක් ද වෙයි. මේ බව පැහැදිලි කෙරෙන හොඳම නිදසුන කෝසම්බි ජාතකයේ දීඝායු කුමාරයාගේ කථාවයි.

කොසඹෑ නුවර වැසි කලහකාරී භික්ෂූන් පිරිසක් අරබයා මේ ජාතක කථාව දේශනා වෙයි. ඒ වර්තමාන කථාවෙහි ද වැදගත් කාරණා කිහිපයක් වෙයි. එක් සෙනසුනක වසන සූත්‍රධර හා විනයධර භික්ෂු දෙපිරිසක් නහන ගෙහි බඳුනක ජලය ඉතිරි කර තබා ඒමේ සිද්ධියක් මුල් කොට ඇතිවන විනය ප්‍රශ්නයක් මත විහාරයෙහි සියලු භික්ෂූහු ද, දායක කාරකාදීහු ද දෙකට බෙදෙති. එසේ බෙදී ධර්මය හා විනය පිළිබඳ මේ පිරිස අතර ඇතිවූ සංවාදයක් වෙතට බුදුහිමියෝ වැඩම කරති. එහිදී බුදු පියාණෝ වාදයෙහි ආදීනව වදාරති. එයට සමඟි වීමට අකමැති වූ භික්ෂූන් හමුවෙහි මේ අතීත කථාව බුදුහිමියෝ දේශනා කරති.

පෙර බරණැස උපභෝග පරිභෝග වස්තුයෙන් සපිරි බඹදත් නමින් රජෙක් වාසය කළේය. ප්‍රත්‍යන්ත රජකු වූ දීඝතිස්ස රජු ආක්‍රමණය පිණිස බඹදත් රජු සේනා වාහන පිටත්කළේ ය. බොහෝ වස්තුව නොවූ දීඝතිස්ස රජු ඒ ආරංචිය දැන ආක්‍රමණයට පෙර නුවරින් පලාගියේ ය. බඹදත් රජු ඒ රාජ්‍යය යටත් කොටගෙන රාජ්‍යය කළේය. දීඝතිස්ස රජු හා බිසව කුඹල්හලක වාසය කරද්දී බිසවගේ කුස දරුවකු පිළිසිඳ ගත් අතර ඒ වෙනුවෙන් ඇයට දොළක් උපන්නේ බඹදත් රජුගේ සිව්රඟ සෙනඟ රැස් කරවා ඔවුන්ගේ ආයුධ සේදූ දිය බොන්නට ය.

දීඝතිස්ස රජුගේ මිත්‍රයකු බඹදත් රජුට පුරෝහිත කම් කරන අතර ඔහු ලවා මෙම දොළ සංසිඳුවා ගන්නට කල්පනා කොට ඔහුට දන්වා යැවීය. දීඝතිස්ස රජ බිසවගේ කුසෙහි උපන්නේ මහා පිනැති කුමරකු බව දත් පුරෝහිතයා තම රජු ඒ සඳහා පොලඹවා තම මිත්‍ර දීඝතිස්ස රජුගේ බිරියට චතුරංගනී සේනාවෙහි ආයුධ සේදූ ජලය බොන්නට සැලැස්වීය. ඉක්බිති ඒ බිසව් පුතකු වැදූ අතර ඕ හට දීඝායු නමින් නමක් ද තැබීය. ඔහුගේ ආරක්ෂාව පිණිස නුවරින් පිටත තබා ඔහු පෝෂණය කිරීමට කටයුතු යෙදීය.

කල්යාමේදී බඹදත් රජු කුඹල්හලෙහි වාසය කරන දෙපළ තමා ආක්‍රමණය කළ රාජධානියෙහි රජ හා බිසව බව දැන වහාම ඔවුන් දෙදෙනා අල්වා පිටිතල හයා බැඳ, ඉසකේ මුඩු කොට වධ බෙර ගස්වමින් වීථියෙන් වීථියට රැගෙන ගොස් දකුණු වාසල් දොරදී මරා සතර කඩක් කොට වල සතරක දමා එන්නැයි වධකයන්ට නියෝග කළේ ය.

තරුණ වියට පත්ව සිටි දීඝායු කුමාරයා දෙමාපියන් දක්නට පැමිණෙද්දී ඔවුන් මරණයට රැගෙන යන ආකාරය දැක වහාම ඔවුන් වෙත දිව යන්නට විය. දීඝතිස්ස රජ තම පුතුට ද මේ ඉරණම අත්විය හැකි බව දැන “පුත දීඝායු දුර බලව, ළඟ නොබලව වෛරයෙන් වෛරය නොසන්සිඳේ – අවෛරයෙන් වෛරය සන්සිඳෙයි” යන්න හඬ ගා ප්‍රකාශ කළේය. බුද්ධිමත් දීඝායු කුමාරයා එය අසා වහාම පසුබැස ශෝකයෙන් බලා සිටියේ ය. දීඝතිස්ස රජු, මරණ භයින් උමතු ව නන් දොඩවන්නේ යැයි වධකයෝ කල්පනා කළහ.

වධකයෝ රාජ නියම ඉටු කොට ඔවුන් දෙදෙනා මරා වල සතර ලා යන්ට ගියෝ ය. දීඝායු කුමාරයා නගරයට ගොස් රා ගෙනැවිත් ආරක්ෂකයන්ට රා පොවා මත්කරවා සිහිවිකල් ව ගිය පසු මාපිය දෙපළගේ මෘත ශරීර ගොඩගෙන දරසෑයක් බැඳ ආදාහන කටයුතු ගෞරවයෙන් ඉටු කළේ ය. අනතුරු ව මේ කුමාරයා ඇත්හලට වැද ඇත්ගොව්වන්ගේ ශිෂ්‍යයකුව සිත් ගෙන වසමින් අවසන රජුගේ ප්‍රධාන හස්ත්‍යාචාර්යා බවට ද පත්විය.

රජතුමාට දිනක් මුව දඩයමෙහි යාමට සිත් ව දීඝායු කුමාරයා සමඟ ඊට පිටත් ව වනයේ බොහෝ ඈතට ගිය කල්හි වෙහෙස වී රජතුමා දීඝායු කුමාරයාගේ උකුලෙහි හිස තබා නිදන්ට විය. තදින් නිදන රජු දුටු දීඝායු කුමරා තම දෙමාපියන් නිරපරාදේ මරා දමා රාජ්‍යය ද කොල්ල කෑ මේ දුෂ්ට රජු මරා දැමීම සඳහා දැන් සුදුසු ම වේලාව පැමිණ තිබෙන බව දැන කඩුව ගෙන ගෙල සිඳින්නට ඔසවා ගත් කළ ඔහුගේ සිතෙහි පියාගේ වදන් එනම් “පුත දීඝායු දුර බලන්න. ළඟ නොබලන්න” යනාදී ප්‍රකාශය රැව් පිළිරැව් දෙන්නට විය. එහි අරුත විමසන්නට විය. රජු මැරීමෙන් මරණ වැලක ආරම්භය සිදු වන අයුරු කල්පනා කළේ ය. වෛරයෙන් වෛරය කෙළවරක් නොමැති බව ඔහුට වැටහී ගියේ ය. රජතුමාට අභයදානය ප්‍රදානය කළේ ය. කුමාරයා රජුට සියල්ල දැන්වූයේය. එයින් දීඝායු කුමාරයා රජුගේ දියණිය ද විවාහ කොට ගෙන සියලු සම්පතින් ආඪ්‍යව ජීවත් වන්නට වාසනාව ද උදා කරගත්තේ ය. මේ මතු කථාව උපුටා දැක්වූ බුදුරජාණෝ කළහ කිරීමේ අනර්ථය පෙන්වා දී ඉවසීමෙන් ප්‍රශ්නයට මුහුණ දීමේ අගය අවබෝධ කරවූහ.

ජාතක පොතෙහි ආ දීර්ඝ ජාතක කථාවක සාරාංශයයි මේ. මෙවැනි කථාවක් ලෝකයේ උසස් නවකථාවකට කෙටිකථාවකට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ ය. පුද්ගල මනස හැසිරෙන ආකාරය පිළිබඳ මනෝවිද්‍යාත්මක විග්‍රහයක් මේ කථාව අභ්‍යන්තරයෙන් ගලා යයි. බලකාමිත්වය හමුවේ දුබලයන් යටපත් ව යන ආකාරය පමණක් නොව බලය රැක ගැනීම සඳහා නිරපරාදේ කරන මනුෂ්‍ය ඝාතන පිළිබඳ ලෝක ස්වභාවයන් මේ කථාවෙන් මනාව නිරූපණය කෙරෙයි.

දීඝායු කුමාරයා විශේෂයෙන් තක්සලාවෙන් ලැබූ ශිල්ප දැනුම ප්‍රායෝගික භාවිතයට ගැනීමට හැකියාවක් තිබූ ශාස්ත්‍රීය ශික්ෂණයෙන් හෙබි තරුණයකු සේ නිරූපිත ය. නූතන විනාශකාරී ශිෂ්‍ය පරම්පරාවට මේ තරුණ ශිෂ්‍යයා ආදර්ශයකි. ඔහු තම අරමුණ කරා පියමං තැබූ අයුරු ජයග්‍රාහී චරිතයක ස්වභාවය කියාපායි. එමෙන්ම පියා හෙවත් වැඩිහිටියන් වෙතින් ලැබෙන උපදේශ නොතකා ක්‍රියා කරන්නට ඔහු කල්පනා කළේ නැත. සන්සුන් ව අනාගතය දැකීමේ නුවණ ඔහු සකල සම්පතින් ආඪ්‍යයකු බවට පත් කළේ ය. එබැවින් නූතන මානවක මානවිකාවන් කවරකුට වුව දීඝායු කුමාරයා විශිෂ්ට ප්‍රතිරූපයක් නොවන්නේ ද?


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: