Posted by: lrrp | August 6, 2011

නුපුරුදු කටයුතු විමසා බලා කළ යුතු – පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ ආචාර්ය මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්ය නෙළුවාකන්දේ ඤාණානන්ද හිමි

සමහර ජලාශවල දිය රැළි මතු වෙනවා. ඉතාම භයානක විධියට දිය රැළි එනවා. මේ ගැන අවබෝධයක් නැතිව දියට බසින තැනැත්තා දිය රැළි විසින් මරු වසගයට ගෙනියනු ලබනවා. එනිසා දිය රැළි ගැන විමසා දැන ගෙන ජලාශයට බැස්සොත් අනතුරකින් වැළකිය හැකියි. ඒ පළමුවෙනි බියයි. ඒ වගේම ඇතැම් ජලාශවල දිය සුළි තිබෙනවා. හරිම භයානකයි. දිය සුළි ගැන නොදැන ජලාශවලට බැහැලා සමහරු ජීවිත විනාශ කර ගන්නවා. ආවට්ට භය කියලා ඉගැන්නුවෙ මේ දිය සුළි නිසා ඇති කරගනු ලබන භයටයි. විශේෂයෙන් නපුරු කිඹුලන් සිටිනවා දැ’ යි සොයා බැලිය යුතුයි. කිඹුලෙකුට හසුවුණු කෙනෙක් බේරෙන්නේ කලාතුරකින්. කිඹුලන්ගෙන් ඇතිවන බිය කුම්භීල භයයි. ඒ වගේ ම කිඹුලන් නොවන, අපේ ජීවිතවලට හානි කරන වෙනත් නපුරු ජලජ සත්වයන්ගෙන් ද ජලාශයකට බහින කෙනෙකුට විපත්තියකට මුහුණ දිය හැකියි. මේ බිය තමයි සු සුඛා බිය කියල කියන්නෙ.

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

“චත්තාරිමානි භික්ඛවෙ භයානි උදකාරොහන්තෙ පාටිකංඛිතබ්බානි. කතමානි චත්තාරි ? ඌමි භයං, ආවට්ට භයං, කුම්භීල භයං, සුසුකා භයං ඉමානි ඛො භික්ඛවෙ චත්තාරි භයානි උදකා රොහන්තෙ පාටිකංඛිතබ්බානි.

එවමෙව ඛො භික්ඛවෙ චත්තාරිමානි භයානි ඉධෙ කච්චෙ පුග්ගලෙ ඉමස්මිං ධම්ම විනයෙ අගාරස්මා අනගාරියං පබ්බජිතෙන පාටිකංඛි තබ්බානි, කතමානි චත්තාරි ? ඌමි භයං, ආවට්ට භයං, කුම්භීල භයං, සුසුඛා භයං’ ති.”

සූත්‍ර පිටකයේ දීඝ නිකායට ඇතුළත් චාතුම සූත්‍රයේ එක් කොටසක් තමයි මෙසේ මාතෘකා පාඨය හැටියට ඉදිරිපත් කළේ. බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍ර දේශනා ආරම්භයේදී ම “තං සුනාථ සාධුකං මනසි කරොථ” යනුවෙන් දේශනාව ආරම්භ කර තිබෙනවා. හොඳින් අහන්න, සිතේ තබා ගන්න, මම දේශනා කරන්නම් යන අදහසයි. ධර්මයේ ප්‍රතිලාභ කෙනෙකුට ලබන්ට නම් පියවර තුනක් අනුගමනය කළ යුතු වෙනවා. සුනාථ, ධාරෙථ, චරාථ යනුවෙන් ඒ පියවර දක්වනවා. සාවධානව බොහොම කැමැත්තෙන් බණ ඇසීම පළමු පියවරයි. බණක් ඇසීමට සූදානමක් ඇතිකර ගන්නට ඕනෑ. ඒ සූදානම කායික හා මානසික කියන අංශ දෙකෙන්ම ඇතිකර ගැනීමයි හොඳ. සමහරු ඉරියව් පවත්වන පිළිවෙළ, සැරසී සිටින ඇඳුම වැනි බාහිර ලක්‍ෂණවලින් ම පෙනෙනවා ධර්මය ඇසීමට සූදානමක් නැති බව. ඇතැමුන් බණ මඩුව තුළත් ජංගම දුරකථනවලින් කථා කර කර බණ අසන අවස්ථා නැතුවා නොවේ. බාහිර අරමුණුවලට තම සිතට ගමන් කිරීමට ඉඩ නොදී, දේශනා කරන ධර්මය විෂයෙහි ම සිත රඳවා තබා ගැනීම සිත සූදානමින් තබා ගැනීමයි.

ධර්මය ඇසුවට පමණක් එයින් ප්‍රතිඵලයක් නැහැ. අසන ලද ධර්මය සිතේ තබාගන්න ඕනෑ. ඒ දෙවෙනි පියවරයි. තුන්වෙනි පියවර නම් සිතේ තබා ගත් ධර්මයට අනුව හැසිරීමයි. ධර්මය කෙතරම් ශ්‍රේෂ්ඨ වුවත් එයින් වැඩක් නැහැ ක්‍රියාත්මක නොවෙන විට. ක්‍රියාත්මක කිරීමෙන්මයි ධර්මයේ ප්‍රතිඵල ළඟා කර ගත හැක්කේ. ඒ නිසා හොඳින් බණ අසා හිතේ ධාරණය කරගෙන ඒ අනුව පිළිපැදීමෙන් දෙලොව අභිවෘද්ධිය සලසා ගැනීමට හා නිවන් අවබෝධ කර ගැනීමට හැකිවේවා’ යි ප්‍රාර්ථනා කර ගෙන බණ ඇසීමට සූදානම් වීම වැදගත්.

මාතෘකා පාඨයෙන් කියැවෙන අදහස මෙහෙමයි. නුපුරුදු ජලාශයකට බසින කෙනෙකු බිය විය යුතු කරුණු සතරක් තිබෙනවා. එනම් ඌමි භය, ආවට්ට භය, කුම්භීල භය හා සුසුකා භය යි. එමෙන් ම මේ ශාසනයට ගිහිගෙය හැරපියා අනගාරික ප්‍රතිපදාවක් බලාපොරොත්තුවෙන් ඇතුළත් වෙන අයට ද බිය විය යුතු කරුණු සතරකි. එනම්, ඌමි භය, ආවට්ට භය, කුම්භීල භය හා සුසුකා භය කියන භය සතරයි.

බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක විවේක විහරණයෙන් විසීම සඳහා චාතුමා නගරයට නුදුරු ආමලකී වනයට වැඩම කළා. මේ බැව් දැනගත් කුඩා සාමණේරවරුන් පන්සියයක් දෙනා සැරියුත්, මුගලන් මහ තෙරුන් වහන්සේ පෙරටු කරගෙන එහි වැඩම කළා. ඒ බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමටයි. දැන් මේ සේනාසනයේ මහා කලබැගෑනියක්. සමහරු අසුන් පනවනවා. කොටසක් ගිලන්පස සූදානම් කරනවා. ඇතැමුන් ඉදිරියට ගොස් පාත්‍ර, සිවුරු පිළිගන්වනවා. මේ අතරතුර ආගිය තොරතුරු කථා කරනවා. මේ අවස්ථාව ගැන සූත්‍රයේ සඳහන් වෙන්නේ මෙහෙමයි.

තෙ ච ආගන්තුකා භික්ඛු නෙවාසිකෙහි භික්ඛූහි සද්ධිං පටිසම්මොදමානා
සෙනාසනානි පඤ්ඤාපයමානා පත්තචීවරානි පටිසාමයමානා උච්චාසද්දා මහා සද්දා අපහංසු”

සෙනසුනට පැමිණි පන්සියයක් සාමණේරයන් වහන්සේ එහි නේවාසිකව සිටින භික්‍ෂූන් සමග කථාවට වැටුණා. මහා සද්දයක්. උස් සද්දයක්. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කථා කරනවා. “ කෙ පනෙතෙ ආනන්ද උච්චා සද්දා මහා සද්දා කෙවට්ටා මඤ්ඤෙ පච්ඡ විලොපෙති ?” “ආනන්ද, කවුද ඒ මහා සද්දයක් කරන්නෙ ? උස් ශබ්දයක් නඟන්නෙ ? හරියට කෙවුලෝ මාළු විකුණන තැනක් වාගෙ” ආනන්ද හාමුදුරුවන් පිළිතුරු දෙනවා මෙහෙම. “ස්වාමීනී, සැරියුත් මුගලන් දෙනම සමඟ පන්සියයක් භික්‍ෂූන් බුදුරජාණන් වහන්සේ දැකීමට පැමිණ සිටිනවා. ඒ අයගෙ සද්දෙ තමයි ඇහෙන්නේ” “ ආනන්ද, ඒ භික්‍ෂූන්ට මා කතා කරන බව මගේ වචනයෙන් දැනුම් දෙන්නැ’ යි බුදුරජාණන් වහන්සේ වදාළා. ආනන්ද හාමුදුරුවො පණිවිඩය කිව්වා. සැරියුත්, මුගලන් දෙනම සමඟ අර භික්‍ෂූන් පන්සියය පැමිණ බුදුරජාණන් වහන්සේට නමස්කාර කළා. එකත් පස්ව උන්නා.

“කින්නු තුම්හෙ භික්ඛවෙ උච්චා සද්දා මහා සද්දා කෙවට්ටා මඤ්ඤෙ මච්ච විලොපෙති?” “ කුමක් ද මහණෙනි තොප මසුන් වෙළඳාම් කරන තැනක මෙන් මහ හඬක් උස් හඬක් නැඟුවේ යැයි බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කළා. උන්වහන්සේ නිශ්ශබ්දව සිට චෝදනාව පිළිගත්තා ඒ වෙලාවෙදි බුදුරජාණන් වහන්සේ “ගච්ඡථ භික්ඛවෙ පනාමෙව, වො න වො මම සන්තිකෙ වත්තබ්බන්ති” යනුවෙන් අද ඔබලාට මා සමීපයේ නවතින්න බැහැ. පිටව යන්නැ’ යි මතක් කළා. භික්‍ෂු පිරිස බුදුරජාණන් වහන්සේට නමස්කාර කොට පා සිවුරු රැගෙන පිටත් වුණා.

මේ අතර චාතුමා නගරය පාලනය කරන පාලක පිරිස ඒ අයගෙ රැස්වීම් ශාලාවක රැස්වීමක් පවත්වනවා. ඔවුන් දැක්කා හාමුදුරුවරු ආපසු වඩිනවා. ඒ වැඩිය ගමන්ම ආපසු එන්නේ මොකක් නමුත් ප්‍රශ්නයකට මැදිවෙලා විය හැකියි කියලා ඔවුන් කල්පනා කළා. නියෝජිතයන් කිහිප දෙනෙක් භික්‍ෂූන් හමුවෙලා තොරතුරු විමසුවා. භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංඝයා පිටමං කර ඇති බව දැන ගත්තා. මේ ඇත්තෝ හාමුදුරුවන්ට මේ විධියට කියනවා.

“තෙන ආයස්මන්තො මුහුත්තං නිසීදථ, අප්පෙච නාම මයං සක්කුනෙය්‍යාම භගවන්තං පසාදෙතුන්ති”,

“ඔබවහන්සේ මොහොතක් මෙහි වැඩ ඉන්න. අපට බුදුරජාණන් වහන්සේ පහදවා ගන්න හැකිවේවි.” භික්‍ෂූන් ඒ ඉල්ලීම පිළිගත්තා.

මේ ඇත්තෝ බුදුරජාණන් වහන්සේ හමුවට ගොස් වැඳ එකත් පස්ව සිටියා. ඔවුන් භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කියනවා. “ස්වාමීනී, බීජයක් රෝපණය කළහම නිසි කල දී වතුර ටික, පොහොර, හිරු එළිය ආදිය නොලැබෙන විට ඒ බීජය විනාශයට යනවා. විකෘති වෙනවා. එමෙන් ම වසු පැටියෙකුට නිසි කලදී මවගේ ආදරය, කිරි ටික, රැකවරණය නොලැබුණොත් පැටියා විනාශ වෙනවා. එමෙන් ම අර පොඩි හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ දක්නට නොලැබුණොත්, ඇසුර අහිමි වුණොත්, අවවාද අනුශාසනා නැතිව ගියොත් ඔබ වහන්සේගේ රැකවරණය, ආදරය නොලැබුණොත් උන්වහන්සේ සිවුරු හැර යයි.

සසුනට වැඩක් නැති අය වෙයි. අයාලේ යයි. අපි කැමතියි තරු පිරිවරාගත් සඳ මෙන් බුදුරජාණන් වහන්සේ ඒ පොඩි හාමුදුරුවරුන් පිරිවරාගෙන වැඩසිටිනවා දකින්ට”

මේ විධියට කිව්වම භාග්‍යවතුන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් ඇමතුවා. අර භික්‍ෂූන්ට යළි පැමිණෙන ලෙසට දන්වන්නැ’ යි මතක් කර සිටියා. ආනන්ද හාමුදුරුවන් ඒ බව දැනුම් දුන්නා. උන්වහන්සේ සැරියුත්, මුගලන් දෙනම පෙරටු කරගෙන අවුත් භාග්‍යවතුන් වහන්සේට වැඳ නමස්කාර කළා.

භාග්‍යවතුන් වහන්සේ සැරියුත් තෙරුන් ඇමතුවා. “මම මේ පිරිසට මේ ස්ථානයෙන් පිටත් වන්නැ’ යි කී විට සාරිපුත්ත ඔබට කුමක් සිතුනේ දැ යි විමසුවා. “ස්වාමීනි, මා කල්පනා කළා ඔබ වහන්සේ විවේකීව ඵල සමවතින් යුතුව වසයි. එමෙන් මා ද ඵල සමවතින් වෙසෙමි” යි කියා.

එවිට භාග්‍යවතුන් වහන්සේ එසේ නොසිතන්නැ’ යි වදාරා මුගලන් තෙරුන්ගෙන් ද ඒ ප්‍රශ්නයම විමසුවා. මුගලන් හාමුදුරුවන් ගේ උත්තරය වූයේ, භාග්‍යවතුන් වහන්සේ විවේක විහරණයෙන් වැඩ විසීමට කැමැති බැවින් අප පැමිණ බාධා කිරීම නිසා අපට පිටත්වැන්නැ” යි දැනුම් දුන්නා. මා කල්පනා කළා අප ගොස්, සැරියුත් තෙරුන් වහන්සේ ද සමඟ එක්ව මේ භික්‍ෂු සංඝයා පරිහරණය කළ යුතු යැයි කියා භාග්‍යවතුන් වහන්සේ මුගලන් හාමුදුරුවන්ගේ කථාව පිළිගෙන, ඔබ වහන්සේ පමණක් නොවෙයි මා ද මේ භික්‍ෂු සංඝයා රැක බලා ගතයුතු යැ’ යි වදාරා මා මාතෘකා කළ පාඨය දේශනා කළා.

භික්‍ෂූන් වහන්සේ සඳහා දේශනා කළ මේ සූත්‍රය ගිහි අපට ප්‍රයෝජනවත් නොවේ යැ’ යි පින්වතුන්ට සිතේවි. එහෙම සිතීම වැරැදියි. මේ සූත්‍රයෙන් අපට පැහැදිලි වෙන ඉතාම වැදගත් කරුණක් තිබෙනවා. ඒ තමයි සසුනට භික්‍ෂූන් පන්සියයක් රැක ගැනීමට ගිහි පිරිසගෙන් ලැබුණු සහයෝගය.

බුදුරජාණන් වහන්සේ ආරාමයෙන් බැහැරට යන්නැ’ යි කී භික්‍ෂූන් නැවත ආරාමයට ළඟා කරවීමට අවස්ථාව ලැබුණේ ඒ ප්‍රදේශය පාලනය කරන පින්වත් පිරිසගේ අවධානය ඒ පිළිබඳ යොමුවූ නිසයි.

කුඩා සාමණේරයන් වහන්සේට බුදු පියාණන් වහන්සේ මේ විධියට මතක් කර දෙනවා. “මහණෙනි, ස්නානය පිණිස නුපුරුදු ජලාශයකට බසින තැනැත්තා බිය විය යුතු කරුණු සතරකි. ඒ භය සතර නම් ඌමි භය, ආවට්ට භය, කුම්භීල භය හා සුසුකා භය යන සතරයි. දිය නෑමට නුපුරුදු ජලාශයකට බසින කෙනෙකු මේ කරුණු ගැන විමසා බලා දියට බැසගත යුතු වේ.”

සමහර ජලාශවල දිය රැළි මතු වෙනවා. ඉතාම භයානක විධියට දිය රැළි එනවා. මේ ගැන අවබෝධයක් නැතුව දියට බසින තැනැත්තා දිය රැළි විසින් මරු වසගයට ගෙනියනු ලබනවා. එනිසා දිය රැළි ගැන විමසා දැන ගෙන ජලාශයට බැස්සොත් අනතුරකින් වැළකිය හැකියි. ඒ පළමුවෙනි බියයි. ඒ වගේම ඇතැම් ජලාශවල දිය සුළි තිබෙනවා. හරිම භයානකයි. දිය සුළි ගැන නොදැන ජලාශවලට බැහැලා සමහරු ජීවිත විනාශ කර ගන්නවා.

ආවට්ට භය කියලා ඉගැන්නුවෙ මේ දියසුළි නිසා ඇති කරගනු ලබන භයටයි. විශේෂයෙන් නපුරු කිඹුලන් සිටිනවා දැ’ යි සොයා බැලිය යුතුයි. කිඹුලෙකුට හසුවුණු කෙනෙක් බේරෙන්නේ කලාතුරකින්. කිඹුලන්ගෙන් ඇතිවන බිය කුම්භීල භයයි. ඒ වගේ ම කිඹුලන් නොවන, අපේ ජීවිතවලට හානි කරන වෙනත් නපුරු ජලජ සත්වයන්ගෙන් ද ජලාශයකට බහින කෙනෙකුට විපත්තියකට මුහුණ දිය හැකියි. මේ බිය තමයි සුසුඛා බිය කියල කියන්නෙ.

“ඒවමෙව ඛො භික්ඛවෙ චත්තාරිමානි භයානි ඉධෙකච්චෙ පුග්ගලෙ ඉමස්මිං
ධම්ම විනයෙ ආගාරස්මා අනගාරියං පබ්බජිතෙන පාටිකංඛි තබ්බානි.”

ගිහි ගෙය අතහැර මේ ශාසනයට ඇතුළත් වෙන සාමණේර භික්‍ෂුවකටත් මේ විධියේ බිය සතරකට මුහුණ පැමට සිදුවෙන බව බුදු පියාණන් වහන්සේ වදාරණවා. ඌමි භය, ආවට්ට භය, කුම්භීල භය හා සුසුඛා භය කියන නුපුරුදු ජලාශයක බසින තැනැත්තා බිය විය යුතු යැ’යි ඉගැන්වූ නම්වලින්ම මේ බිය සතරත් දක්වනවා.

පින්වතුනි, පැවිද්දෙකුට ඇතිවන ඌමි භය නම් කෝපය යි. පැවිද්ද ලැබු මොහොතේ පටන් බාල, තරුණ, වැඩිහිටි, උගත්, නූගත් මේ සියලු දෙනා විවිධ උපදෙස් දෙනවා. කෑ ගහන්ට එපා, දුවන්ට හොඳ නැහැ. හිටගෙන වළඳන්න එපා. හයියෙන් හිනා වෙන්න හොඳ නැහැ. මේ විධියට හැමෝම හැම වෙලාවෙම කියනවා.

මේ ගැන දැන නොසිටියහොත්, මේක මොන කරදරයක් ද කියල හිතලා කෝපයෙන් යුතුව සිවුරු හර දමා යනවා. බලන්න, නෑමට දියට බැස්ස කෙනාට ජීවිතය නැති කරගන්න වුණා වගේ සසර දුක් නැති කර ගැනීමට, සැනසිල්ල ළඟා කර ගැනීමට හිතලා පැවිදි බිමට ඇතුළත් වූ තැනැත්තාට සිදුවන්නේ සිවුරු හැර යෑමටයි. එනිසා පැවිදි බිමට ඇතුළත් වෙන කුඩා හුමුදුරුවරු තමාට මේ බිය එන බව හොඳීන් දැන ගන්න ඕනෑ.

භික්‍ෂුවගෙ පැත්තෙන් දිය සුළි කියල කිව්වෙ පංච කාමයට ඇති කැමැත්තයි. ගිහි ඇත්තෝ ඇස, කන, නාසය, දිව, ශරීරය පිනවීම සඳහා මොන තරම් දේවල් කරනව ද ? පුංචි හාමුදුරු නමකගෙ වයසෙ පසුවෙන ළමයි ගැන හිතුවත් එහෙමයි. ඒ ගැන හිතලා ආසාවක් ඇතිකර ගත්තොත් ඒත් සිවුරෙ රැඳෙන්නෙ නැහැ. යන්ට යනව. ඒක හොඳින් තේරුම් ගත් තැනැත්තා රැකෙනවා. ඒ දෙවෙනි බියයි.

පැවිද්දන්ට ඇති වන කිඹුල් බිය නම් කෑදරකමයි. ළමා වයසේ පසුවෙන දරුවන් දවසකට වේල් කීයක් නම් කනව ද ? උදේ, දවල්, හවස මොන මොනව හරි කනව.

එක් එක්කෙනා යන එන ගමන්, සෙල්ලම් කරන ගමන්, පාසලට යන එන ගමනුත් කනවා. ඒත් ඒ වයසෙම පසුවෙන පොඩි හාමුදුරුවරුන්ට ඒවා තහනම්. ආසාව තිබුණට කරන්න ඉඩක් නැහැ. ඉතින් උන්වහන්සේ තුළ අර කෑදරකම නැතුවා නොවෙයි. තිබෙනවා. ඒකට ලොල් වෙලා සමහරු සිවුරු අතහැරලා යනවා. මේ බිය තේරුම් අරගෙන හිත පාලනය කරගෙන හිටියොත් මේ ශාසනයේ බබළන්ට පුළුවනි.

භික්‍ෂූන්ට ඇතිවෙන තවත් භයක් තිබෙනවා. ඒ තමයි රාගාධික ස්ත්‍රීන්ගෙන් ඇතිවන බිය. පින්වත, බුදුරජාණන් වහන්සේ ඉත්ථි බන්ධන, පුරිස බන්ධන කියල සූත්‍ර දෙකක් දේශනා කළා. මේ ලෝකයේ ස්ත්‍රියට පුරුෂයා තරම් තම සිත ඇද බැඳ ගන්න කෙනෙක් ඇත්තේ නැහැ. පුරුෂයටත් ස්ත්‍රිය තරම් තම සිත ඇද බැඳ ගන්නා වෙනත් දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ පොඩි හාමුදුරුවරුන්ට මතක් කරනවා. මේ විධියේ බියක් තිබෙන බව. ඒ බව හොඳට තේරුම් අරගෙන ජීවත් වෙන්න කියලා.

දැන් ඔබට සිතෙන්නට පුළුවනි හාමුදුරුවරු සඳහා දේශනා කළ බණකින් අපට ඇති ප්‍රයෝජනය කුමක්ද කියලා. පින්වත්නි, මේ බිය සතර ඔබේ දරුවන්ටත් තිබෙනවා. දිය රැළි වගේ හමාගෙන එන සමාජ රැළි කොයිතරම් තිබෙනව ද? ඇඳුමට, කොණ්ඩෙට එන රැළි තිබෙනවා ඒවට හසුවෙන දරුවො අපූරුවට තියෙන කොණ්ඩෙ කපල දානවා. තැනින් තැන කපනවා. මැද ඉතුරු කරලා වටේ කපනවා. වර්ණ ගන්වනවා. මේ විධියේ දේවල් කොයිතරම් කෙරෙනවද ? ඇඳුම කොටට අඳිනවා. තැනින් තැන අණ්ඩ දාල අඳිනවා. දිගට අඳිනවා. හිරට අඳිනවා. පලාගෙන අඳිනවා. මේ එක්තරා විධියක රැළි. හින්දි ගීත රැළි, එස්. එම්. එස්. රැළි, ක්‍රිකට් රැළි ආදී වශයෙන් නොයෙක් විධියේ රැළි තිබෙනවා. මේවට හසුවෙන දරුවන් ඉගෙනීම කඩාකප්පල් කර ගන්නවා. ගෙදර දොර මුදල් නාස්ති කරනවා. කාලය විනාශ කර දමනවා. අවසානයේ පසු තැවෙමින් ඒකට පිළියමක් හැටියට මත් ද්‍රව්‍ය, මත් කුඩු වගේ දේවලට ඇබ්බැහි වෙලා ජීවිතය නැති කර ගන්නවා.

ඇහැ, කන ආදී ඉන්ද්‍රියන් පිනවීමට ඕන තරම් මෙවලම් දැන් තිබෙනවා. මේවා පසුපස දුවන දරුවා තමුන්ගේ මුළු ජීවිතයම විනාශ කර ගන්නවා. මවුපියන්ට, ගුරුවරුන්ට හොර රහසේ පාසල් වියේදීම ඇති කර ගන්නා ප්‍රේම සබඳතා වගේ දේවල් නිසා අධ්‍යාපනය අතර මඟ කඩාකප්පල් කරගෙන සමාජයට මුහුණ දීමට නොහැකි තැනට පත් වුණු දරුවන් මේ සමාජයේ ඉන්නවා. තම දරුවන්ට මේ බියට මුහුණ දීමට ඇති බව මව්පියන් වටහා ගෙන, දරුවන් එයින් මුදවා ගැනීමට ක්‍රියා නොකළහොත් ඒ දරුවන්ගේ අනාගතය අඳුරු වෙනවා. මවුපියන්ගේ බලාපොරොත්තු බිඳ වැටෙනවා. චාතුම සූත්‍රයේ ඇතුළත් වෙන කරුණු අතර ගිහි, පැවිදි අප හැමෝම උගත යුතු තවත් වැදගත් කාරණා දෙකක් තිබෙනවා. චාතුම නගරය පාලනය කළ පාලක පිරිස බුදු රජාණන් වහ්නසේ හමුවී කළ කථා බහ නිසා සම්බුද්ධ ශාසනයට භික්‍ෂූන් පන්සිය නමක් ඉතිරි වුණා. පින්වත්නි, වෙහෙර විහාරස්ථාන, දාගැබ්, පිළිම වහන්සේ, මහ බෝධිය මේ සියල්ල රැක බලාගෙන වැඩ සිටින රත්නය සංඝ රත්නය යි.

උන්වහන්සේ නැති දවසට සංඝ ශාසනය අහෝසි වෙනවා. මහා සංඝයාගේ පැවැත්මට, පෝෂණයට හා ආරක්‍ෂාවට සැදැහැවත් පින්වතුන් එදත්, අදත් විශාල සේවයක් සිදුකරනවා. හාමුදුරුවන්ගේ අඩුපාඩු, ඌණතා ගැන තැන තැන කථා කරමින්, උන්වහන්සේ සසුනෙන් එළවා ගැනීමට කටයුතු කරනු වෙනුවට නියම බෞද්ධයා අතින් කෙරෙන්නේ භික්‍ෂුව රැක ගැනීමට කටයුතු කිරීමයි. චාතුමා නගරය පාලනය කළ ලිච්ඡවීන්ගේ ආදර්ශය ඉතාම වටින එකක්.

ගුරුවරයෙක් යම් තීරණයක් ක්‍රියාත්මක කළාට පසුව තමන් ගත් තීරණය හරි ද?, අඩු පාඩුකම් දැක්ක ද , ඔබට ඒ ගැන මොකක් ද සිතෙන්නෙ, මේ ආදි වශයෙන් තමන්ගේ ශිෂ්‍යයන්ගෙන් විමසා සිටීම බොහොම දුර්ලභයි. මව්පියන් තම දරුවන්ගෙන් ඒ විධියට විමසන්නෙත් ඉතා කලාතුරකින්. එහෙත් පින්වත්නි, මේ සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේගේ මහා පුදුම ගුණයක් ප්‍රකාශ වෙනවා. උන්වහන්සේ සැරියුත්, මුගලන් දෙනමගෙන් අහනව, “මම මේ පිරිසට මෙහි නවතින්නෙ නැතුව යන්න කිව්වම ඔබට මොකද හිතුනෙ” කියලා. බලන්න, මේ ලෝකෙ කවුද එහෙම කරන්නෙ? මවුපියවරුන් ලෙහෙසියෙන් අහනව ද දරුවන්ගෙන් මං හරි ද, මං ගත්ත තීරණවල වරදක් එහෙම පෙනෙනවද කියලා. නැහැ පින්වතුනි, ගුරුවරුන් තම ශිෂ්‍යයන්ගෙන් එහෙම අහන අවස්ථාත් ඉතා දුර්ලභයි. වරදක්, අඩුවක් පෙන්නුවොත් දරුව ට දඬුවම් කිරීමයි කරන්නෙ.

ඒත් බුදුහාමුදුරුවො තමන් ගත් තීරණය ගැන අදහස් විමසන්නේ උන්වහන්සේගේම ශිෂ්‍යයෝ දෙන්නාගෙන්. මේ තමයි උන්වහන්සේගේ නිහතමානී ගුණය. සැරියුත් තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පිළිතුරු දෙනවා. මෙහෙම. “ඔබ වහන්සේ විවේක විහරණයෙන් ඵල සමාපත්තියෙන් වැඩ විසීම සඳහා මෙහාට වැඩම කළා. අපි ඇවිත් ඒකට බාධා කළා. ඉතින් අපට පිටත් වෙන්න කීම සාධාරණයි. මං කල්පනා කළා මාත් විවේකීව සමාපත්තියට සම වැදී ඉන්නවා කියල”.

බුදුරජාණන් වහන්සේ සැරියුත් තෙරුන් වහන්සේට මෙහෙම වදාරණවා.

“ආගමෙහි ත්වං සාරිපුත්ත ආගමෙහි ත්වං සාරිපුත්ත, දිට්ඨම්ම සුඛ විහරන්ති න ඛො තෙ සාරිපුත්ත පුන පි එවරූපං චිත්තං උප්පාතබ්බන්ති”

“සාරිපුත්ත එහෙම කියන්න එපා. එහෙම කියන්න එපා. ඔබ විසින් එබඳු සිතක් නූපදවා ගත යුතුයි” ඊළඟට උන්වහන්සේ මුගලන් තෙරුන්ගෙන් අර ප්‍රශ්නයම විමසනවා. මුගලන් හාමුදුරුවො පිළිතුරු දෙනවා මෙහෙම.

“භගවා දිට්ඨ ධම්ම සුඛ විහාරං අනුයුත්තො විහරිස්සති. අහඤ්චදානි ආයස්මා
සාරිපුත්තො භික්ඛු සංඝං පරිහරිස්මාති”

“බුදුරජාණන් වහන්සේ අල්පෝත්සුකව වැඩ වසන බැවින් මාත් සැරියුත් තෙරුන් වහන්සේත් එක්ව මේ භික්‍ෂු සංඝයා රැක බලා ගන්නවා කියල මම හිතුවා”. මුගලන් හාමුදුරුවෝ එහෙම පිළිතුරු දුන්නා. ඒ පිළිතුරට උන්වහන්සේ සතුටු වුණා.

“සාධු සාධු මොග්ගල්ලාන අහං වා මොග්ගල්ලාන භික්ඛු සංඝං පරිහරෙය්‍යං,
සාරිපුත්ත මොග්ගල්ලාචාති”

මුගලන් හාමුදුරුවන්ගේ අදහස අනුමත කළ බුදුපියාණන් වහන්සේ ඔබ දෙපළ පමණක් නොව මාද භික්‍ෂු සංඝයා රැක බලා ගැනීමේ යෙදෙනවා යැ’යි වදාළා.

මවුපියන්, නෑදෑයන් අතහැරදාල ළමා වියේදීම සසුනට ඇතුළත් වෙන සාමණේරයන් වහන්සේට ලොකු හාමුදුරුවරුන්ගේ ආදරය, සෙනෙහස, ආරක්‍ෂාව අනිවාර්යයෙන් ම ලැබෙන්න ඕනෑ.

එහෙම නොලැබුණොත් ඒ පොඩි හාමුදුරුවරු සිවුරු හැරදාල යන්න හිතනවා. ගිහි, පැවිදි දෙපිරිසගේ ම යුතුකමක් හා වගකීමක් වෙනවා භික්‍ෂූන් වහන්සේ සුරැකීම. ඒක පින්කමක්. සසුනට කෙරෙන විශාල ආධාරයක්.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: