Posted by: lrrp | August 6, 2011

බලි බිලි නැති ලොව

අලුත පත් වූ රජතුමාට උවමනා කළේ තම රාජධානියේ හැම අස්සක් මුල්ලක් නෑර ගමන් කොට සිදු වන්නේ කුමක්දැයි දැක බලාගැනීමට ය. ඒ සඳහා ඔහු තම හිතවත් පුරෝහිතයා සමඟ ඇතැම් විට වෙස් වලාගෙන ගමන් කළේ ය.

එක් තැනක නතර වෙන රජතුමා පුරෝහිතයාගෙන් ප්‍රශ්නයක් අසයි.

‘අර පේන දේවාලේ ළඟ රැස් වෙලා ඒ මිනිස්සු මොකක්ද කරන්නේ?’

‘ඒක යාගයක්.’ පුරෝහිතයා පවසයි.

‘යාගයක් කියන්නේ මොකක්ද?’

‘බිලි පූජාවක්.’

‘ඇයි බිලි පූජා පවත්වන්නේ?’

‘යම් යම් අපේක්ෂාවන් ඉටු කර ගැනීමට.’

‘බිලි පූජාවකදී මොනතරම් දේවල් බිල්ලට ගන්නවා ද?’

‘හුඟාක් ම බිල්ලට ගැනෙන්නේ සතුන්. එළුවෝ බැටළුවෝ ගවයෝ කුකුල්ලු.’

‘සතුන් බිල්ලට ගැනීම හැරුණාම වෙනත් බිලි වර්ග තිබෙනවා ද?’

‘තිබෙනවා.’

‘ඒ මොනවද?’

‘නර බිලිත් තිබෙනවා.’

රජ තව තවත් ප්‍රශ්න අසා තව තවත් උත්තර ලබාගත්තේ ය. එහෙත් රජතුමාගේ හිත කෙමෙන් ඔත්පල වන්නට පටන් ගත් බවක් වැටහුණේ පුරෝහිතයාට ය.

‘මම කැමැති නැහැ මගේ රජදහනේ කිසිම සත්ත්වයකු අනිකකු අතින් ඝාතනය වෙනවා දකින්න. ඒත් මම කොහොමද තහනම් නියෝගයක් දාන්නේ? කල්පනා කරන්නට වෙනවා. කල්පනා කර කර ඉඳල විතරක් මදි. සැලැස්මක් හදන්නට වෙනවා.’

අලුත් රජතුමා බලි බිලි සිදු වන අයුරු සියැසින් ම දැක බලා ගන්න හැටි පුරෝහිතට පෙනින. ඉන් පසුව ඉමහත් කම්පාවකට පත් වී පෙරළා රජ මැදුරට ගමන් කරන අයුරු ද දැක බලා ගත හැකි විය.

‘කිසිවෙක් කිසිවකුගේ පණ නොනැසිය යුතු යි පුරෝහිත.’

‘එසේය මහරජතුමනි.’

‘මම මේක වෙනස් අයුරකින් මහජනයාට නිවේදනය කළ යුතුයි.’

‘එය කෙසේද කරන්නේ මහරජතුමනි?’

‘මම හෙට උදෑසන ඔබට ඒ හැම දෙයක් ම කියන්නම්.’

‘යහපති මහ රජතුමනි.’

අලුත් රජතුමා රාජාංගණයේ සක්මන් කරමින් කිසිවක් මුමුණන අයුරු රජ මැදුරේ අයට දැක ගැනීමට හැකි විය. රජතුමන් තමන් සමඟ කුමක් මුමුණන්නේ ද යන්න අගබිසවට ද ගැටලුවක් විය. එහෙත් ඇය ඒ කිසිවක් රජතුමන්ගෙන් නොවිමසීමට වග බලා ගත්තා ය.

සුවදා පුරෝහිතතුමා රජතුමා මුණ ගැසීමට පැමිණියේ තරමක් කුහුල් සිතකිනි.

‘පුරෝහිත මට මහ පුදුම වරමක් ලැබී තිබෙන බව දැන්වීමට කැමතියි.’

කිමෙක්ද ඒ වරම මහ රජතුමනි,’

‘විශාල ජනකායකට රැස්විය හැකි මහා නුග රුකක් මුලට ඔබ මා කැටුව යා යුතුයි. මේ මොහොතේ ම. ඒ නුග රුක මුලදී ඒ රුකට අධිගෘහිත දෙවියා මා අමතනු ඇත.’

රාජධානියේ පාරම්පරික මහා දායාදයක් වශයෙන් සලකනු ලැබූ ඒ මහා නුගරුක මුලට පුරෝහිත හා සමඟ රජතුමා ගමන් ගත්තේ ය. පිරුවටකින් සැරසුණු රජතුමා නුගරුක් ඉහළ සිට පහළටත් පහළ සිට ඉහළටත් කීප වතාවක් නෙත් හෙළුවේ දෑත් එකතු කොට නමස්කාර කරමිනි. මෙය මැති ඇමැතිවරු ද බලා සිටියහ. ඉන් පසුව රජතුමා කිසියම් හඬක් ඇසී ඊට ප්‍රතිචාර දෙන ලෙසින් යමක් පවසන්නට පටන් ගත්තේ ය.

‘මහානුභාවසම්පන්න දේවතාවනි, මට ඔබ වහන්සේ පවසන දේ ඇසෙනවා. මැනවින් ඇසෙනවා. මා අවට සිටින අයට නම් එය නොඇසෙනු පුදුමයක් නොවේ. එසේ ය. ඒ බලි බිලි වහාම නතර කිරීමට වග බලා ගන්නම්. එසේ ය. ඒ හඬත් මට ඇසේ. බලි බිලි කරන උදවිය ද වහා ක්‍රියාත්මක වන ලෙස මේ රාජධානියෙන් පලවා හැරීමට මා වහා ක්‍රියාත්මක වෙන්නම්. එසේය දේවයනි, මට ඒ හඬත් ඇසුණා. මා වහා රජ මැදුරට ගොස් ඒ සියල්ල නිවේදනය කරන්නම්. මේ රාජ්‍යයේ වාසය කරන කිසිම සතකුට මින් පසු බලි බිලි වලට කැප වීමට මා ඉඩ නොතබන බවට මම ප්‍රතිඥා දෙමි. මගේ පාලන කාලය සතුටින් සාමයෙන් ගෙවීමට නම් මම මේ වරම වහා ක්‍රියාත්මක කරමි. ඉන් පසුව රජතුමා සැහැල්ලු සිතින් නුගය අසබඩ රැස් වූ මහා ජනකාය ඇමැතීමට පෙරාතුව තම පුරෝහිතයා ඇමතී ය.

‘මා දැන් මොහොතකට කලින් සවන් දුන්නේ මේ රාජ්‍යයට අධිගෘහිත පරපුරු ඉටු දෙවියාගේ හඬටයි. ඒ අනුව කිසියම් සතකු මරා දමන කෙනකු ඇත්නම් ඒ මරුවා මරා දැමීමට මට අණක් ලැබී තිබෙනවා. ඒ අණ අනුව ඔබ වහා ක්‍රියාත්මක වන පරිදි නිවේදනයක් රාජධානිය පුරා නිකුත් කළ යුතුයි.’

‘එසේය දේවයන් වහන්ස.’

‘මේ රාජ්‍යයේ මින් පසුව කිසිදු සත්ත්වයකු කිසිදු බිලි පූජාවකට මැරීමට අයිතියක් නොමැති බවත් එසේ ඝාතන සිදු කළ හොත් ඒ ඝාතකයා ඝාතනය කරන ලෙස රාජධානියට අධිගෘහිත දෙවියාගෙන් මහ රජතුමාට අණක් ලැබී ඇත. ඒ අණ මේ මොහොතේ පටන් ක්‍රියාත්මක වේ. මේ අනුව මේ රාජධානිය ඇතුළත කිසිදු ආකාරයක බලි බිලි සඳහා ඝාතන තහනම් බව මින් නිවේදනය කෙරේ.

‘අසව් අසව්…’

තමන් ඝාතනය වනු දැක්මට බියපත් වූ සත්ත්ව ඝාතකයෝ බලි බලි නතර කළහ.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: