Posted by: lrrp | August 15, 2011

කෝපය සත්‍යය යටපත් කරයි

සම්මා සම්බුදු රජාණන් වහන්සේ තරම් විවෘත හදවතකින් කටයුතු කළ අයකු මෙදියත පහල වී නොමැත. එසේම උන්වහන්සේ දේශනා කළ සද්ධර්මය තරම් විවෘත දහමක්‌ මෙදියතට පහල වීද නොමැත.

පන්සීයක්‌ තරම් මහා සංඝයා පිරිවරා ගනිමින් මහා කරුණිකයාණන් වහන්සේ ඒ ගමන් කරමින් සිටියේ රජගහ නුවර සිට නාලන්දා නුවරටය. පිරිස්‌ අවසන පිරිස සමඟ ගමන් කරමින් සිටියේ සුප්පිය නම් පිරිවැජියා සහ ඔහුගේ අතවැසි බඔදත් මානවකයාය. ගමන් ගනිමින්ම මේ දෙදෙනා අතර කතා බහක්‌ ඇති වූ අතර නොබෝ වේලාවකින්ම එය ශබ්ද නගා කෙරෙන මහා වාදයක ස්‌වරූපය ගත්තේය.

සුප්පිය පිරිවැජියා කතා කළේ බුදුරදුන්ගේත් ධර්මයේත් මහා සංඝයාගේත් අගුණමය. වැරදිමය. අතවැසි මානවක බඹදත් කතාකළේ මහාකාරුණිකයාණන් වහන්සේගේ සම්බුදු මහිමයය. ධර්මයේ බලයමය. මහා සංඝයාගේ ගුණවත් බවමය. බඹදත් අතවැසියා නිසාමදො හඬ ප්‍රබලව නැගුනේ සුප්පිය පිරිවැජියාගේමය. හෙතෙම ඉතා තදින් තෙරුවනේ දොස්‌ දැකීය. මහ හඬින් ප්‍රකාශ කළේය. සැබවින්ම එය අසන්නෙකුට වූව සිත කම්පාවට වඩා කෝපයට පත් කරන්නක්‌ විය.

සම්බුදු රදුන් පිටුපසින් ගමන්ගත් පන්සීයක්‌ මහා සංඝයා අතර අතර සිටි අවසනට ගමන් ගත් උතුම් වූ අර්හත් ඵලයට නොපැමිණි සිල්වත් භික්‍ෂුන්ගේ දෙසවනටද මේ පරොස්‌ බස්‌ ඇසිණි. එයින් උන්වහන්සේලාගේ සිත කම්පා වූවා පමණක්‌ නොව යම් තරමක රිදීමටද භාජනය විය. උන්වහන්සේලා කළේ බුදුපියාණන් වෙත පැමිණිල්ලක්‌ ලෙස සුප්පියගේ නොමනා වදන් ගෙන හැර පෑමය.

සියල්ලන්ටම බලපෑ ගමන් විඩාවට විවේක ගනිමින් සිටි මහා කාරුණියාණන් වහන්සේ මහ පිරිස්‌ මැද පැමිණිල්ලේ සියලු කරුණුවලට මනාව සවන් දුන්නේය. අවසන කරුණා සීතල හදයෙන් යුතු මහා කරුණා ගුණයම ගෙනහැර පාමින් මෙසේ පවසා සිටියේය.

සම්මා සම්බුදු රදුන් ගැන හෝ උන්වහන්සේගේ ධර්මය ගැන හෝ ශ්‍රාවක සංඝයා ගැන හෝ අන් අය නිවරැද්දේ හෝ දොස්‌ කියන විට ඔබ කෝප වන්නේ ඇයි, බියවන්නේ ඇයි. දුක්‌ වන්නේ ඇයි. අසතුටු වන්නේ ඇයි. එසේ නොකළ යුතුය. යම් ලෙසකට ඔබ කෝප වුවොත් බිය වුවොත් දුක්‌ වුවොත් නොසතුටු වුවොත් එහි අනර්ථය ළඟාවන්නේද ඔබටමය. අනෙක්‌ අතට බුදුරදුන්ට හෝ ධර්මයට හෝ සංඝයාට හෝ දොස්‌ පවරන විට ඔබ කෝප වුවොත් අමනාප වුවොත් නොසතුටු වුවොත් ඔවුන් කියනා දෙය සත්‍යයද අසත්‍යයද කියා තේරුම් ගැනීමට ඔබට හැකිවේද.

සන්සුන් සිත විමුක්‌තියට මඟ පාදයි

සම්බුදු පියාණන් වහන්සේට බැණ වැදුන කිසිවෙකුට උන්වහන්සේ පෙරළා කෝපයෙන් පිළිතුරු නුදුන් සේක. බුදුවදන් හැමවිටම ශාන්ත විය, ප්‍රසන්න විය. මෛත්‍රියෙන් යුක්‌ත විය.

මානයෙන් මුළාවී, උද්දාම වී සිටි අග්ගික භාරද්වාජ බමුණා. බුදුරදුන් අභිමුඛයට පැමිණ උන්වහන්සේට වසල වාදයෙන් බැණ වැදුනේය. එහෙත් බුදු හිමියන්ගේ පිළිතුරු වචන ඉතා ශාන්ත විය. කරුණාව හා මෛත්‍රි සහගත වීය. වසලයා යනු කවුරුදැයි හරිහැටි හඳුනා නොසිටි භාරද්වාජ බමුණාට වසල ධර්මය මැනවින් පහදා දුන් විට හෙතෙම සත්‍යය තේරුම් ගත්තේ තෙරුවන් සරණ ගිය අයක =සේ බුදු සමය වැළඳ ගත්තේය.

භාරද්වාජගොත්ත බමුණා මිථ්‍යා දෘෂ්ඨිකයකු වූවද ඔහුගේ බිරිඳ බුදුසමය වැළඳගෙන සිටි උපාසිකාවක්‌ වූවාය. ඕ තොමෝ නිතරම බුදුගුණ හා සම්බුදු මහිමය ගැන කතා කළාය. මිථ්‍යා දෘෂ්ඨික භාරද්වාජගොත්තට මෙය මහත් හිසරදයක්‌ විය. කන්දොස්‌කිරියාවකැයි තමන් වරදවා වටහා ගත් මේ බුදුගුණ කථෝපකතනයට හොඳම විසඳුම බුදුරජුන් හමුවේ තදින් හා සැහැසි වදනින් බුදුහිමි හා වාද කොට පරදවාලීමයි හෙතෙම කල්පනා කළේය.

කෝප සහගත හා ප්‍රවේගකාරී හැඟීමෙන් තමන් වෙත එන බමුණා දුටු බුදු පියාණන් වහන්සේ සුපුරුදු ශාන්ත ඉරියව්වෙන්ම වැඩ සිටියේය. බුදුහිමි අබිමුවට ආ බමුණා කෝපයෙන් යුතුවම වාදයකට එක්‌වීම පිණිස කුමක්‌ නිසා සැප ලැබිය හැකිදැයි බුදු හිමියන්ගෙන් විමසීය. ඔහුගේ චිත්තාවේග ගැන ඔහුටද වඩා දැනීමක්‌ තිබූ මහා කාරුණිකයාණන් වහන්සේ බමුණ, සැප ලැබීමට නම් කෝපය නෑසිය යුතුය පවසමින් ඔහුට දහම් දෙසූ සේක. ඉන් පැහැදුණ භාරද්වාජ ගොත්ත බමුණා බුදුරදුන් වෙත පැවිදිව නොබෝ කලකින්ම උතුම් වූ රහත් බව ලැබීය.

භාරද්වාජ ගොත්ත බමුණා බුදුහිමියන් වෙත පැහැදී පැවිදි වූ බව ඇසූ මානයෙන් ඉදිමුණු තවත් එවැනිම බමුණෙකු වූ අක්‌කෝසක භාරද්වාජ බමුණා බුදු හිමියන් වෙතට පැමිණ නොසරුප් වදනින් බණින්න පටන්ගත්තේය. ඔහුගේ අවිනීත වදන් ඉවසා වදාරා අසා සිටි බුදුපියාණන් වහන්සේ ඉක්‌බිති ඔහුට පිළිවදන් දීමට සැරසුන සේක.

විචාර බුද්ධියෙන් තොරව හැසිරුණ බමුණා ඇමතූ මහා කාරුණිකයාණන් වහන්සේ බමුණා යම් සේ ආගන්තුකව පැමිණි හිතවත් ඥාතියකුට පිළියෙල කළ බතක්‌ ඔහු නොපිළිගන්නේ නම් එය පසුව තෙමේම අනුභව කරන්නේ යම්සේද එසේ ඔබ මට අසභ්‍ය ලෙස බැණ වැදුණු කරුණු මම නොපිළිගන්නේ නම් ඒ සියල්ල ඔබටම වේය. කී සේක.

තවදුරටත් සත්‍ය මාර්ගයට නිවරදි මාර්ගයට නොපිළිපන් භාරද්වාජ බමුණා මේ ශ්‍රමණ ගෞතමයෝ මහ රහත් කෙනෙකැයිs රට සෑම තැනම ප්‍රසිද්ධය. එහෙත් දැන් කෝපයෙන් කථා කරතියි කීහ. ඒ ඇසූ අනාථ නාථයාන් වහන්සේ කෝපය ඇති නැති අයත් කුපිත වීමෙන් ලැබෙන ආදීනව ගැනත් විස්‌තර කරමින් දහම් දෙසූහ. ඒ දහම් ඇසූ බමුණාගේ නුවණැස පෑදුනෙන් බුදුහිමි දෙපා නැමද සමාව ඉල්ලා තමනට අනුකම්පාකොට පැවිදි බව ලබාදෙන මෙන් අයෑද සිටියේය. බුදුහිමි වෙත පැවිදි වූ අක්‌කෝසක භාරද්වාජ භික්‍ෂූන් වහන්සේ පිළිවෙත් පුරා නොබෝ කලෙකින්ම රහත් භාවය ලැබීය.

කරුණු දත්තෝ නොගරහත්

මේ වන විට බුදු හිමියන් වැඩ සිටියේ උජුඤ්ඤා නුවර අසල පිහිටි කණ්‌ණකත්ථල නම් මිගදායේය. බුදු සමිඳුන් වැඩ විසූ සමය ඉන්දියාව නොයෙක්‌ මතවාද ආගමික දෘෂ්ඨින් හා ශාස්‌තෘවරුන්ගෙන් පිරීගිය කාලයක්‌ම විය.

මිගදායේ මහා වෘක්‍ෂයක්‌ මුල වැඩසිටි බුදු හිමියන් වෙත පැමිණියේ අෙච්ලක කාශ්‍යප නම් පිරිවැජියාය. නිඝණ්‌ඨ දහම අනුගමනය කළ හෙතෙම සිටියේ නිරුවතිනි. ඔහු පැමිණියේ කිසියම් කාරණයක්‌ ගැන බුදු හිමිගෙන් අසා තමා තුළ වූ කුකුස දුරු කරගනු පිණිසය. හෙතෙම බුදුහිමි ඇමතීය.

“අපට මේ වගෙ කාරණයක්‌ දැන ගන්න ලැබුණා ගෞතමයාණන් වහන්ස, ඔබ වහන්සේ සියලුම තවුසන්ට ගරහනවාය නින්දා කරනවා කියා. විශේෂයෙන්ම සිරුරට දුක්‌දෙමින් තවුස්‌ දම් රකින අයට තදින්ම දෝෂාරෝපණය කරනවා කියල. එය සත්‍යයක්‌ද, එසේ නොමැතිනම් ඔබ වහන්සේ එසේ නින්දා කරනවා කියල පැතිරෙන මේ කතාව ගෙතූ බොරුවක්‌ද, මන්ද අපි කැමැති නැහැ ඔබ වහන්සේට හරිහැටි කරුණු නොදැන දොස්‌ පවරන්න.”

කාශ්‍යපය, තථාගතයන් වහන්සේ සියලු තවුසන්ට හෝ අත්ථකිලමථානුයෝගී තවුසන්ට හෝ නින්දා අවමන් කරනවා යෑයි යමෙක්‌ කියන්නේ නම් ඒ මා කියූ දෙයක්‌ නොව මට බොරුවට දෝෂාරෝපණය කරන අයගේ මුසාවකුයි. එහෙත් කාශ්‍යප මම දිවැසින් මෙවැනි දෙයක්‌ දැක තිබෙන බව නම් සත්‍යයයි. කුමක්‌ද යත් කටුක තවුස්‌ දම් පිරු තවුසෝත් අපාගත වෙනවා. එසේ කටුක තවුස්‌ දම් නොපිරූ තවුසෝත් අපාගත වෙනවා. ඒ වගේම කටුක තවුස්‌ දම් නොපිරූ අය දෙව්ලොව උපදිනවා ඉතින් මම මේ සියලු දේවල් දකිනවා නම් ඇයි මම සියලු තවුසන්ට ගරහන්නේ.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: