Posted by: lrrp | August 15, 2011

සිත පමණක්‌ රකින්න

මෘදු වන්න, හැකිතාක්‌ මෘදුවන්න

දරුවන්වන් සිසු කැළ සමග මහවනය හරහා යන ගුරුතුමාණෝ මග සොයාගත නොහැකිව මංමුළා වුණේය. වනය පුරා ඇවිදීමෙන් ලද වෙහෙසට අමතරව නැගී ආ කුසගින්න නිසා ගුරුතු=මා හා සිසු දරුවෝ අන්ත අසරණ තත්ත්වයට පත්විය. උත්සාහය අත්නොහළ මේ පිරිස තවදුරටත් වනයෙන් පිටවීමට මං සොයද්දී දක්‌නට ලැබුණේ කරත්තයක්‌ පුරා මස්‌ පටවාගෙන ඈත යන මස්‌ වැද්දෙක්‌ය. මුළු පිරිසම අධික කුස ගින්නෙන් පෙළෙන බැවින් කුසගිනි නිවාගනු වස්‌ පුළුස්‌සා කෑමට වැද්දා කරා ගොස්‌ මස්‌ ටිකක්‌ රැගෙන එන මෙන් ගුරුතුමා විසින් සිසුවකු යවන ලදී.

ශිෂ්‍යයා වැද්දා කරා ගොස්‌ මෙසේ කීවේය. බොල වැද්දොa අපි බඩගින්නේ ඉන්නෙ අපට කන්න මස්‌ ටිකක්‌ දීපන්.

වැද්දා සිසුවා දෙස විමසිල්ලෙන් බැලීය. කතා කරන්න මොන තරම් හොඳ වචන තියෙනවාද? එසේ තිබියදීත් ඔබ මට කතා කළ හැටි. හොඳ යි ඔබ කතා කළ ආකාරයටම මමත් ඔබට මස්‌ ටිකක්‌ දෙන්නම්.

මෙසේ කී වැද්දා මස්‌ කරත්තයේ තිබූ සතුන්ගේ අතුණු බහන්, වල්ගා ආදිය තෝර තෝරා ශිෂ්‍යාට දුන්නේය. ශිෂ්‍යයා ද ඒවා රැගෙන ගුරුතුමා වෙත ගොස්‌ පෑය. සතුන්ගේ ඉවතලන කොටස්‌ ශිෂ්‍යයා වෙත දී ඇති බව දුටු ගුරුතුමා මස්‌ කරත්තයකින් මෙසේ තෝරා බේරා ඉවතලන දෑම දුන්නේ මෙහි කිසියම් හේතුවක්‌ තිබිය යුතුය සිතා වෙනත් ශිෂ්‍යකුට කතාකොට ඔබත් ගොස්‌ කෑමට මස්‌ ටිකක්‌ ඉල්ලාගෙන එන්නැයි කීය. ඒ ශිෂ්‍යා ද වැද්දා වෙත ගොස්‌ මෙසේ කීය.

පියාණනි, අප හරිම කුසගින්නේ ඉන්නේ කරුණාකර අපට කෑමට මස්‌ ටිකක්‌ දෙන්න.

වැද්දා ඒ දරුවා දෙස බලා මේසේ කීහ. දරුව, පියාණෙනියි ඔබ මට ආමන්ත්‍රණය කළෙහිය. පියාණෙනි කියන විට මගේ පපුව ආදරයෙන් කම්පා වේ. මගේ හෘදය කම්පනය කළ නිසාම මම ඔබට හෘදය මාංශයම දෙමි. මෙසේ කී වැද්දා මස්‌ කරත්තයේ තිබූ සතුන්ගේ හෘදය මාංශයම තෝරා ශිෂ්‍යාට දුනි. ශිෂ්‍යයා ද ඒ මස්‌ ගෙන ගොස්‌ ගුරුතුමා වෙත පෑහ. මුළු පිරිසටම සෑහෙන මාංශ ප්‍රමාණයක්‌ එහි තිබුණු අතර සියල්ල සතුන්ගේ හෘදය මාංශයම වීය. මුලින් අතුණු බහනුත් පසුව හෘදය මාංශයත් ලැබීමට හේතු වටහා ගත් ගුරුතු=මා තවත් මස්‌ අවශ්‍ය නොවුණද වැද්දා පරීක්‌ෂා කිරීමට සිතා වැද්දා සොයා ගොස්‌ මෙසේ කීහ.

මිත්‍රය අධික කුසගින්නෙන් පෙළෙමි කරුණාකර මස්‌ ටිකක්‌ දෙන්න.

වැද්දා දයාවෙන් පිරි දෙනෙතින් ගුරුතුමා දෙස බැලීය. ඔබ මා ඇමතුවේ මිත්‍රයකු ලෙසය. මිත්‍රයකුට සමාන වූ කිසිවෙක්‌ ලොවෙහි තවත් නැත. මිත්‍රයකුගෙන් තොර ජීවිතයෙන්ද පළක්‌ නැත. එසේම මිත්‍රයකුට දිය නොහැකි දෙයක්‌ද නොමැත. එහෙයින් මම මේ මුළු මස්‌ කරත්තයම මගේ මිත්‍රයාට දෙමි අරන් යන්න.

තමන් හා පිරිසට අවශ්‍ය තරම් මස්‌ ලැබුණ බවත් මුලින් පැමිණි දෙදෙනා ශිෂ්‍යයන් බවත් පළමු ශිෂ්‍යයාට අතුණු බහන් දීමටත් දෙවන ශිෂ්‍යාට හෘදය මාංශයම දීමටත් හේතුව දැන ගැනීමටත් කැමති බව ගුරුතුමා වැද්දා අමතා කීහ.

ගුරුතුමනි. ඔබේ ශිෂ්‍යයන් මෙහි පැමිණ මට කතා කළ හැටියට මම මස්‌ එවල ඇති. වැද්දාගේ බස්‌ ඇසූ ගුරුතුමා තමාගේ නිගමනය නිවැරැදි බවත් මෘදු ගුණයම මිනිසුන්ගේ පමණක්‌ නොව සතුන්ගේ පවා හෘදය කම්පා කර යහපත්කම සලසන බවත් ශිෂ්‍යයනට ප්‍රායෝගිකව උගැන්වූයේය.

මෙහි ගුරුතුමා වූවේ අප මහා බෝසතාණෝය.

දහකින් එකක්‌

අමාමෑණී බුදුපියාණන්වහන්සේ ජීවමානව වැඩ සිටිනා අවධියේ උන්වහන්සේ වෙත පැමිණි එක්‌ භික්‌ෂූන්වහන්සේ නමක්‌ තමන්ට උපැවිදිවීමට අවශ්‍ය බව කීවේය.

මහණ උපැවිදිවීමට හේතුව කිම.

ස්‌වාමීනි, ඔබ වහන්සේ විසින් පනවන ලද මේ නොයෙක්‌ ශික්‍ෂා මට රැකිය නොහැකිය. හොඳයි මහණ ඔබට එකක්‌ රැකිය හැකිද?

පුළුවනි ස්‌වාමීනි

එසේ නම් ඔබගේ සිත පමණක්‌ රකින්න.

සිතෙන් කිසිදු වරදක්‌ නොවනාකාරයට.

ඒ භික්‌ෂුන් වහන්සේට කාරණය වැටහිනි. ඒ අවවාදය අනුව ක්‍රියා කළ උන්වහන්සේ අර්හත්වය සාක්‌ෂාත් කළේය.

වයසද, වැරැද්ද ද?

සැරියුත් මහ රහතන් වහන්සේ යනු මගේ කුස තුළ ඇති බඩවැල් එළියට බැස කෑම සොයා ගියත් මම, අකැප ලෙස සැපයුනු අහරක්‌ නොවළදිමියි එය පිළිගැන්වූ මුගලන් මහරහතන් වහන්සේ ගැනවත් නොතකා බෙහෙත් යෙදූ ආහාර බඳුන ප්‍රතික්‌ෂේප කළ විනය නීති අකුරටම රැකි උතුම්ම වූ බුද්ධ පුත්‍රයෙකි.

දිනක්‌ සැරියුත් මහ රහතන්වහන්සේ විහාර මළුව අමදිනා සේක. උන්වහන්සේගේ පෙරවූ සිවුරෙහි පිටිපස කොණක්‌ බිම ඇතිල්ලෙමින් තිබිණි. මෙය දුටු එදිනම පැවිදි වූ සත් හැවිරිදි කුඩා සාමනේර භික්‌ෂුන් වහන්සේ නමක්‌ සැරියුත් හිමියන් ළඟට ගොස්‌ ස්‌වාමීනි සිවුරු කොනක්‌ බිම ඇතිල්ලෙයි. සිවුර සකස්‌කර පොරවා ගනු මැනවයි” කීහ.

සැරියුත් හිමියන් එය සැබෑ බව දැක සිවුර සකස්‌කර පොරවා කුඩා සත්හැවිරිදි එදිනම මහණ වූ සාමනේර හිමි දෙස බලන්නේ තමන් වහන්සේට කුඩා සාමනේර නමකට වැඳිය නොහැකි බව පෙනී බුදුරදුන් වැඩවසන ගඳකිළිය දෙසට දොහොත් මුදුන් දී වැඳ මේ ගාථාව කීහ.

තදහු පබ්බජිතො සන්තො – ජාතියා සත්තවස්‌සිකෝ

සොපි මං අනුසාසෙය්‍ය – පටි ගණ්‌හාම් මුද්ධනා

(අදම මහණ වූ උත්පත්තියෙන් සත් අවුරුද්දක්‌ වූ දරුවෙක්‌ මට අවවාද කරන්නේය. ඒ අවවාදය මුදුනෙන් පිළිගනිමි)

ආශ්චර්ය යෙන් උපන් ප්‍රාර්ථනය

ජීවිතය පුදා හෝ මහා කාරුණිකයාණන් වහන්සේ රැක ගනිමියි සිතා උන්වහන්සේ කෙරෙහි බැඳුණු අධිකතර ස්‌නේහයෙන් යුතුව කටයුතු කළ ආනන්ද හිමියන් බොහෝ දිනවල නිදිවරා මහා රාත්‍රියේ පහනක්‌ අතින් ගෙන බුදුරදුන් කොයි මොහොතේ තමන්ට කතා කරාවි දැයි සිත සිතා බුදුරදුන් සයනය කළ ගඳකිළිය වටා සක්‌මන් කළ බව නොදන්නා බෞද්ධයකු නොමැති තරම්ය.

පියරජුන් දම් අමා ගඟුලෙහි නහවනු වස්‌ පියුමතුරා බුදුරජාණෝ හංසිවති නුවරට වැඩම කළ විට උන්වහන්සේගේ සුළු මව් පුත් සුමන පසල් දනව්වක යුවරජ වීය.

මහරජට විරුද්ධව පැණ නැඟුන කැරැල්ලක්‌ මැඩ පැවැත්වූ බැවින් පියරජු තම පුතු සුමන අමතා කීවේ කැමති වරයක්‌ ඉල්ලන ලෙසය. සුමනගේ එකම ඉල්ලීම වූයේ බුදුරදුන් හංසවතී නුවර වැඩ සිටින තාක්‌ සිව්පසයෙන් සැලකීමට තමාට අවසර දෙන ලෙසය. පියරජුගේ උත්තරය වූයේ එසේ කළ හැකිදැයි බුදුරදුන්ගෙන්ම අසා අවසර ගත යුතු බවය.

බුදුරදුන් දකින්නට ආරාමයට ගිය සුමන කුමරුන්ට දැන ගත හැකි වූයේ එන එන කෙනාට හිතෙන හිතෙන විට බුදුරදුන් දැක කතා කළ නොහැකි බවත් ඒ සඳහා සුමන හිමිගේ අවසරය ගත යුතු බවත්ය.

සුමන කුමරු සුමන හිමියන් හමුවේ බුදුරදුන් හමුවීමට අවස්‌ථාව ලබාගැනීමට ගියේය. සුමන කුමරු ඉදිරියෙන්ම අසුනක්‌ ඔසවා ගෙන පැමිණි සුමන හිමියන් එක්‌වරම අතුරුදන් වී අසුනත්

රැගෙන දම්සභා මණ්‌ඩපයෙන් මතුවිය. මේ ආශ්චර්යය දුටු සුමන කුමරු සුමන හිමියන් මහා පූජ්‍යවරයෙක්‌ යෑයි සිතීය. පනවන ලද අසුනෙහි වැඩහුන් බුදුරදුන් පා නමැදි සුමන කුමරා තමා දුටු ප්‍රාතිහාර්යය ද විස්‌තර කොට කියා සුමන හිමි ගැන බුදුහිමියන්ගෙන් විමසීය. පියුමතුරා බුදුරදුන් වදාළේ සුමන හිමි අන් කවරෙකුවත් නොව තම අග්‍ර උපස්‌ථායකයා බවය. ඒ සඳහා ඒ හිමියන් භවය පුරා කළ පිංකම්ද සුමන කුමරුට පැහැදිලි කළවිට සුමන කුමරුගේද එකම අභිප්‍රාය වූයේ තමන්ද මතු දිනෙක ලෝ පහල වන බුදු උතුමෙකු=ට අග්‍ර උපස්‌ථායක වීමට කැමති බවය. ඒ සඳහා පියුමතුරා බුදුරජාණන්වහන්සේගෙන් නියත විවරණ ලැබීමට ද වාසනාව ලද සුමන කුමරු බුදුපාමොක්‌ මහ සඟනට මහ දන් දීමෙන් හා වෙනත් බොහෝ පුන්‍ය ක්‍රියාවල අනලස්‌ව යෙදුනහ.

ඔබ මෙයින් මතු ලක්‌ෂයක්‌ වන කපෙහි ලෝ පහළවන ගෞතම නම් බුදුරදුන් ගේ අග්‍ර උපස්‌ථායකයා වන්නෙහි යෑයි පියුමතුරා බුදුරදුන් දුන් නියත විවරණ ප්‍රකාර ඉන්පසු ලෝ පහල වූ විපස්‌සි හා කාශ්‍යප බුදුරදුන් කාලයක්‌ හිද අප්‍රමාණ කුසල් රැස්‌කොට අපේ බුදුපියාණන්ගේ සමයේ අමිතෝදන ශාක්‍ය රජුට පුත්ව ඉපදුනේය.

බුද්ධ පරිනිර්වාණයෙන් පසු බුදුරදුන් දෙසූ තෙවළා දහම් මතකයෙන් නැවත සංගායනා කර ලෝසතුන් කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් බුදු දහම ලෝ තුළ සුරක්‌ෂිත කිරීමට කැප වූවේ බුදුරදුන්ගේ අග්‍ර උපස්‌ථායකයා මෙන්ම ධම_ භාණ්‌ඩාගාරික ද වූ එදා පියුමතුරා බුදුන් දවස සුමන නම් යුවරජ වූ ආනන්ද මහ රහතන් වහන්සේමය.

ප්‍රකෘති විකෘති හා ප්‍රකෘති

බුදුරජාණන්වහන්සේ ප්‍රකෘති නම් සැඩොල් තරුණිය මහණ කළ වග නගරය පුරා පැතිර ගියේ වාත වේගයෙනි. මේ පුවතින් වඩා නොසන්සුන් වූයේත්, බිය වූයේත්, විපිළිසර වූයේත් නගර වැසි කුලවතුන්ය. කුලවතුන් ඉන්නා පෙදෙසකට මොනම අවශ්‍යතාවයක්‌ නිසාවත් පය නොගසන කුලවතක විසින් දැකීම පවා මහා විනාශකාරි සිද්ධියක්‌ ලෙස සැලකෙනා සැඩොල් කුලයක ස්‌ත්‍රියක්‌ මහණ වූ පසු ඇය උසස්‌ අයගේ ගෙවලට ඇතුල්වන්නේ කෙසේද කුලවතුන් ඇයට සැලකිය යුත්තේ කෙසේද ඇය කුලවතුන්ගෙන් සංග්‍රහ ලබන්නේ කෙසේද? කුල මානයෙන් ඉදිමුණ කුලවතුන්ට වූ මහාම ගැටලුව එය වීය.විසඳුමක්‌ සොයනු වස්‌ කුලවතුන් එක්‌ව මේ පැනය කොසොල් මහ රජුට ඉදිරිපත් කළහ. උත්තර සෙවීම නොව ක්‍ෂත්‍රිය වංශිකයකු වූ කොසොල් මහ රජුට ද එය ගැටලුවක්‌ම විය. සියල්ලෝaම එකතුව ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට ප්‍රකෘති මහණ කරවූ මහා කාරුණිකයාණන් වහන්සේ ඉදිරියට ගියහ. ප්‍රශ්නයට සවන් දුන් අමා මෑණි බුදුපියාණන් උත්තර ප්‍රකාශ කරනු වෙනුවට මහරජ ඔබ ප්‍රකෘතිගේ අතීත කථාව දැනගන්න කැමතිදැයි ඇසූ සේක. රජ සහ පිරිස එක හඬින් ඊට කැමැත්ත ප්‍රකාශ කළහ. බුදුරජාණන් වහන්සේ රජ හා පිරිස ඉදිරියට ප්‍රකෘති භිsක්‌ෂුණියත් ආනන්ද හිමියන් ඇතුළු භික්‌ෂූන් වහන්සේලාත් කැඳවූහ.

ඒ අතීත ආත්ම භවයේ ගංගා නම් නදිය අසබඩ සැඩොල් ගමක තිශංකු නමින් සැඩොල් නායකයෙක්‌ වීය. ඔහුගේ පුතු ශාර්දුල කණී අතිශය රූප සම්පත්තියෙන් යුතු ත්‍රිවේදය පරපාප්ත්‍ර වූවෙකු විය. පුතු විවාහයට සුදුසු වයසේ විසූ බැවින් සැඩොල් නායකයා තම පුතුට සහකාරියක්‌ සෙව්වේ රූප සම්පත්තියෙන් මෙන්ම උගත්කමින් ද ඉහළ මට්‌ටමක විසූ ප්‍රකෘති නම් තරුපතිය දැක ඇය ගැන යෝජනාවක්‌ ඇගේ පියාණන් වෙත ඉදිරිපත් කළේය. ඇගේ පියා සැඩොලකු නොව පුශ්කර ශාරී නම් බ්‍රාහ්මණයා වීය. පහත් කුලයක අයකු ඉහළම කුලයේ සිටින තමන් වෙත ගෙනා මේ යෝජනාවෙන් කිපුණු පුශ්කර ශාරී ත්‍රිශංකුට තදින් දොස්‌ කීවා පමණක්‌ නොව අවමන් ද කළේය.

මේ අවලාදවලට සාවධානව සවන් යොමා සිටි ත්‍රිශංකු, පුෂ්කර ශාරී බමුණා අමතා කුල භේදයේ ඇති පහත් ගති තත්ත්වය හා නිස්‌සාර බව මෙන්ම පදනම් විරහිත බව ද පෙන්වා දෙමින් ඉතා ව්‍යක්‌ත ලෙසට, තිරිසන් සතුන් අතර හා ගස්‌වැල් අතර නා නා විධ වර්ග ඇති නමුත් මිනිසුන් කොහේ සිටියත් කුමන

රැකියාව කළත් කුමන දේශයකට අයත් වුවත් උගත් නූගත් වුවත් දුප්පත් පොහොසත් වුවත් එකම මිනිස්‌ ජාතියට අයිති බව පෙන්වා දුන්නේය. අන්තිමේ පුෂ්කර ශාරී යථා තත්ත්වය තේරුම් ගෙන ත්‍රීශංකුට ගේ උගත් රූමත් පුතු ශාර්දුල කණීට තම දූ ප්‍රකෘති සරණ පාවා දෙන්නට කැමති විය.

මහරජ එදා පුෂ්කර ශාරී බ්‍රාහ්මණයාගේ දියණිය වූ ප්‍රකෘති වූයේ දැන් මේ අප ඉදිරියේ සිටින ප්‍රකෘති භික්‌ෂුණියයි. ශර්දුල කණි නම් උගත් රූමත් තරුපතිය වූයේ ධම_ භාණ්‌ඩාගාරික මේ ආනන්ද ස්‌ථවිරයනුයි. ත්‍රිශංකු නම් සැඩොල් නායකයා වූයේ දැන් බුදුවී සිටින මම ම යයි සම්බුදුරජාණන් වදාළ සේක.

මේ අතීත කතාවෙන් මහත් මවිතයට පත් කොසොල් රජු හා පිරිස ප්‍රකෘති නිසා විකෘති වී ගිය මානයෙන් පිරි මනස ප්‍රකෘති තත්ත්වයට පත් වූයෙන් කළ හැකි එකම දෙය වූ සම්බුදුරජුන්ගේ පා වැඳ තුෂ්නිම්භූතවම විහාරයෙන් නික්‌ම ගියේය.


Responses

  1. මෙවැනි සිත සනසන ධහම් පණිවිඩ අප අතරේ තබන ඔබට පින් සිදු වේවා


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: