Posted by: lrrp | August 23, 2011

අරමුණක අරුමය

අරමුණක අරුමය

සද්ධාතිස්‌ස මහ රජතුමා මිහින්තලේ බුද්ධරක්ඛිත මහ රහතන් වහන්සේ ධර්මය දේශනා කරන දිනයක්‌ ශිෂ්‍ය හිමි නමකගෙන් අසා දැනගෙන බණ කියන වේලාවට ගියත් යනවිටත් මහ රහතන් වහන්සේ ධර්ම දේශනාව පටන් අරන්. නිසොල්මන්ව ධර්ම ශාලාවේ කොණකට ගිය මහ රජතුමා එදා සවස්‌ ජාමයේ සිට සඳුදා පහන්වනතුරු බුද්ධරක්ඛිත මහ රහතන් වහන්සේ වදාළ ධර්මය අසා සිට දේශනාව අවසානයේ දැනුන මහත් සතුට නිසා මහ හඬින් සාධු නාද පැවැත්තුවා.

ඒ හඬට දහම් අසන්න පැමිණ සිටි මහ ජනතාව පමණක්‌ නොව රහතන් වහන්සේද නෙත් යොමු කළා. එවිටය පිරිස දැක්‌කේ ශාලාවෙ කෙළවරක සිට රජතුමා බණ අසා සිටි බව. බුද්ධරක්ඛිත හිමියන් රජුගෙන් මෙසේ ප්‍රශ්න කළා.

මහරජ බණ ඇසීමට පැමිණියේ කොයි වේලාවේද?

ස්‌වාමීනි ඔබ වහන්සේ දේවාරාධනාව කරද්දීමයි.

මහරජෘ ඔබවැනි සියුමැලි කෙනකු ඊයේ සවස සිට අද පහන් වන තුරු නොසැලී බණ ඇසීමෙන් කර ඇත්තේ මහ අසීරු වැඩකි.

ස්‌වාමීනි, ඒ ඇත්තයි. ඊයේ සවස සිට අද පහන් වනතුරු එකම ඉරියව්වේ සිට බණ ඇසීම අමාරු වැඩක්‌ තමා එහෙත් ස්‌වාමීනි මා ඊටත් වඩා අමාරු කාර්යයක්‌ ඉතා හොඳින් ඉටු කළා.

ඒ කිමෙක්‌ද මහ රජ.

ස්‌වාමීනි, එය නම් ඔබ වහන්සේ දෙසූ දහම් වලට ඉතා එල්බ ගෙන සිත වෙනත් අරමුණකට යානොදී බණ ඇසීමයි.

එය ඇසූ බුද්ධරක්ඛිත රහතන් වහන්සේ සාධු සාධුයි කියා රජුගේ ප්‍රයත්නය අනුමත කළ සේක.

ධර්ම රත්නය නම් කුමක්‌ද?

බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩ සිටින සමයේ රත්නත්‍රය කෙරෙහි පැහැදුන ශ්‍රද්ධාවන්ත බ්‍රාහ්මණයෙක්‌ සිටියා. එතුමා දිනපතා උදේ හවා පන්සලට යනවා. පුරුද්දක්‌ ලෙස නොකඩවාම මෙසේ උදේ හවා පන්සලට ගිහින් බුදුහිමියන්ටත් මහා සංඝයා වහන්සේලාටත් නමස්‌කාර කරනවා. වත් පිළිවෙත් කරනවා.

දිනක්‌ රාත්‍රියේ නින්දට යාමට සයනයට ගිය මේ බ්‍රාහ්මණයාගේ සිතේ ප්‍රශ්නයක්‌ මතු වුණා. මම හැමදාම උදේ හවා බුදුරදුන්ටත් මහා සංඝයාටත් වඳිනවා. ඒත් මා ධර්ම රත්නයට වඳින්නේ නැහැනේද? බොහෝ වේලා කල්පනා කළත් මෙයට නිසි පිළිතුරක්‌ බමුණු තුමාගේ සිතට ආවේ නැහැ. අවසානයේ ඔහු තීරණය කළා පසුදා උදේ විහාරයට ගියවිට බුදුරදුන් හමුවේ මේ ප්‍රශ්නය ඇසීමට.

පුරුදු පරිදි විහාරයට ගිය බමුණුතුමා බුදුරදුන්ගේ සිරිපා වැඳ ස්‌වාමීනි මට දැනගත යුතු කරුණක්‌ තිබෙනවායි පැවැසුවා.

අසන්න බ්‍රාහ්මණය අසන්න බුදුවරු සිටින්නේ නොදන්නා දේ කියා දීමටයි. බුදුපියාණන් වහන්සේ මහා කාරුණාවෙන්ම පැවැසුවා.

ස්‌වාමිනී මම දිනපතා උදේටත් සවසටත් විහාරයට එනවා. ආ හැමවිටෙකම මම ඔබ වහන්සේට වඳිනවා. වත් පිළිවෙත් කරනවා. සංඝයා වහන්සේලාටත් වඳිනවා. වත් පිළිවෙත් කරනවා. ඉතින් ස්‌වාමීනි මම දිනපතා වැඳ ඇත්තේ බුද්ධ රත්නයට හා සංඝ රත්නයට පමණයිනේ. මම කොහොමද ධර්ම රත්නයට වඳින්නේ.

බ්‍රාහ්මණය ඒ ගැන කිසි ගැටලුවක්‌ නැත. ධර්මය හොඳින් දන්න ධර්මය හොඳින් පිළිපදින ධර්මධර භික්‍ෂූන්ට වඳින්න බොහෝ ඇසූ පිරූ තැන් ඇති ඒ සිල්වත් ධර්මධර භික්‍ෂූන්ට වැඳීමෙන් පිදීමෙන් වත් පිළිවෙත් කිරීමෙන් ධර්මයට වැන්දා ද වේ. බුදුහිමියෝ වදාළ සේක.

ශ්‍රේෂ්ඨ බහුශ්‍රැතයාණන් වහන්සේ කවුද?

බ්‍රාහ්මණතුමාගේ ඊළඟ පැනය වූයේ ශ්‍රේෂ්ඨතම බහුශ්‍රැතයාණන් වහන්සේ හඳුනාගැනීමය. හෙතෙම ඒ පැනයද කෙළින්ම බුදුහිමියෝ වෙත ඉදිරිපත් කළේය.

ස්‌වාමිනී, ඔබ වහන්සේගේ සාසනයේ බහුශ්‍රැතයාණන් වහන්සේ කවුද?

බුදුරජාණන්වහන්සේ ඒ පැනයට පිළිතුරු නොදී අර වැඩ සිටින භික්‍ෂූන්ගෙන් අසා දැනගන්නැයි බමුණා භික්‍ෂු සංඝයා වෙත යොමු කළ සේක. හැමවිටම අවවාදයට වඩා ආදර්ශය උතුම් කොට සැලකූ මහා කාරුණිකයාණන් වහන්සේ එසේ කළේ බහුශ්‍රැත භාවය වෙනුවෙන් මා අගතැන් පිරිනමා ඇත්තේ ආනන්ද තෙරුන්ටයි. නමුත් මා මෙහිදී එක එල්ලේ ඒ බව බමූණාට කීවොත් පුහුදුන් මිනිසුන් පමණක්‌ නොව යථාවබෝධයක්‌ නැති සංඝයා පවා සිතනු ඇත්තේ වැරදි ආකාරයටය. දැක්‌ක නේද බුදුහාමුදුරුවොත් නෑකමට ඇද්ද හැටි. ඔවුන් කියනු ඇත. ආනන්ද කියන්නෙ බුදුහාමුදුරුවන්ගෙ අග්‍ර උපස්‌ථායකයනේ ඒකයි ඔහොම කීවේ තවකෙකු කියනු ඇත. ඔවුන් එසේ කීමෙන් තිලෝගුරු භාග්‍යවත් සම්බුදු රජාණන් වහන්සේට චෝදනා කිරීමේ පාපය ලබාගන්නවා ඇත. සැබවින්ම තුන්ලෝ සතුන්ටම එකම මෛත්‍රියක්‌ පෑ බුදුරජාණන්වහන්සේ බ්‍රාහ්මණයා භික්‍ෂු සංඝයා වෙත යොමු කළේ නුනුවණ මිනිසුන් හා පැවිද්දන් නොදැන කරන ඒ පාපයෙන් වළකාලනු පිණිසය.

බමුණා භික්‍ෂූන් වහන්සේ අමතා මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ ශේ්‍රෂ්ඨතම බුහුශ්‍රැතයාණන් වහන්සේ කවුදැයි යටහත් පහත්ව විමසුවා. ඉතා පැහැදිලි අහසක්‌ ඇති පුරාසඳ පායා ඇති රැයක ඒ පුරාහඳ පැහැදිලිව පෙනෙන්නට තිබියදීත් උඩබලාගෙන හඳ කෝ? හඳ කෝ? යෑයි යමෙක්‌ විමසනවා නම් ඔහු උන්මතකයෙක්‌ නොවන්නේදැයි බමුණාගෙන් විමසූ මහා සංඝයා වහන්සේ මේ උතුම් බුද්ධ ශාසනයේ බහුශ්‍රැත ධර්මධරයන් වහන්සේලා අතරින් අග්‍රතම ශ්‍රේෂ්ඨතම මා හිමිපාණන් වහන්සේ ආනන්ද හිමියන් බව ඔබ තවම නොදන්නේ දැයි භික්‍ෂු සංඝයා කළ දැනුම් දීමෙන් අධිකතර ප්‍රීතියට පත් ඒ බ්‍රාහ්මණයා මහා සංඝ රත්නයට පමණක්‌ නොව ධර්ම රත්නයටත් වඳින්නෙමිය චිත්ත ප්‍රීතියෙන් යුතුව ආනන්ද හිමියන්ගේ දෙපා මුල වැඳ වැටුනේය.

පියෙකුට ප්‍රශ්නයක්‌ වූ පුතුගේ ප්‍රශ්නය

පියාගේ සුරත අල්ලාගෙන ගමන් කරමින් සිටි පොඩිපුතා පියාගේ මුහුණ බලා ප්‍රශ්නයක්‌ විමසුවා.

පියතුමනි, දියුණු වෙන්න උවමනා කරන මිනිසකු ළඟ තිබිය යුත ගුණාංග (කරුණු) මොනවාද?

පුතා පොඩි වුවත් ප්‍රශ්නය ලොකු එකක්‌ බව පියතුමාට වැටහී ගියා. ඊට ආවට ගියාට හෝ නොගැලපෙන නැතිනම් අසම්පූර්ණ පිළිතුරක්‌ දීමෙන් වෙන හානියත් පියාට තේරුම් ගියා. ඒ වුණත් මේ පැනයට නිසි පිළිතුර සපයන්න තමන්ටත් නොහැකි බව මේ පියතුමාට වැටහී ගිය නිසා පිළිතුරක්‌ සොයා දෙමිය යන උත්තරය මත පසුදා පුතාත් සමග තිලෝගුරු බුදුපියාණන්වහන්සේ හමුවට ගොස්‌ සිරිපා නැමද එකක්‌පස්‌ව සිට පුතුගේ ප්‍රශ්නය පුතු ඉදිරියේම බුදුපියාණන්ට ඉදිරිපත් කළා. ඉන්පසු ස්‌වාමීනි, මේ පැනයට නිසි පිළිතුරක්‌ මගේ සිතට එන්නේ නැහැ. කරුණාකර අපට අනුකම්පා කොට මේ ප්‍රශ්නයට පිළිතුරක්‌ වදාරන්නය අයෑද සිටියා. දරුවා දෙසත් පියා දෙසත් මහා කාරුණා දෑස යොමු කළ මහා කාරුණිකයාණන් වහන්සේ මේ දරුවා පෙර ජාතිවලදීත් මේ පැනයම තමන් වහන්සේගෙන් අසා ඇති බවත් දීර්ඝ සංසාර ගමනේදී පසුගිය ආත්මවල මතකය මේ ජීවිතයේදී මතක තියෙන්නේ කලාතුරකින් කෙනකුට බවත් පෙර භවයේදී පිළිතුරු සැපයූ ලෙසම මේ ජීවිතයේදීත් පිළිතුරු දෙමිය පවසා දියුණු වෙන්න උවමනා කරන අයකු ළඟ තිබිය යුතු ගුණාංග හයක්‌ බවත් ඒවා පහත දැක්‌වෙන පරිදි යනුවෙන්ද දේශනා කළහ. (1) නීරෝගී බව. (2) සිල්වත් බව (3) වැඩිහිටියන්ගේ උපදෙස්‌ පිළිපැදීම (4) උගත්කම හෙවත් බහුශ්‍රැත අයකු වීම (5) අකුසල් කිරීමෙන් බැහැරව දස කුසල් සපුරන අයකු වීම හා (6) කම්මැලි කමින් තොරවීමයි. සම්බුදු රදුන්ගේ කරුණු දැක්‌වීම අවසානයේ පියාත් පුතාත් ඉතා සතුටට පත්වුණා.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: