Posted by: lrrp | August 23, 2011

අසත්‍යය පව්කම්ද අභිබවා සිටී

වේළුවනයෙහි වැඩ සිටි මහා කාරුණිකයාණන් වහන්සේ දිනක්‌ සන්ධ්‍යා සමයේ ධ්‍යාන සමාධියෙන් නැගී සිට රාහුල හිමියන් වසන අම්බලට්‌ඨ§ක නම් ස්‌ථානයට වැඩිසේක. උන්වහන්සේ වඩිනා අයුරු දුරදීම දුටු රාහුල හිමියෝ අසුනක්‌ පනවා පා දෙවීම පිණිස පැන් භාජනයක්‌ද තබා සම්බුදු සමිඳුන් වැඩසිටි කල පා දෝවනය කර අසුන් ගන්වා පා පියුම් වැඳ එකත් පස්‌ව උන්සේක.

පා දොවනා විට එම භාජනයේ පැන් ස්‌වල්පයක්‌ ඉතිරි කරවූ බුදුපියාණෝ රාහුල හිමි අමතා

රාහුල ඔබට මේ භාජනයේ ඉතිරි පැන් ස්‌වල්පය පෙනේ දැයි ඇසූහ.

එසේය ස්‌වාමිනි, රාහුල හිමිද පිළිතුරු දුනි. රාහුලය කිසියම් ශ්‍රමණයකුට බොරු කීමේදී ලඡ්ජා නූපදීද ඔහුගේ ශ්‍රමණ බව මේ පැනිත්ත මෙන් ඉතාම ස්‌වල්පය.

නැවත සම්බුදු රජාණෝ රාහුල හිමි ලවා ඒ භාජනය යටිකුරු කර රාහුලය, කිසියම් ශ්‍රමණයකු බොරු කීමේදී ඔහුට ලඡ්ජා නූපදී නම් ඔහුගේ ශ්‍රමණ භාවයද මේ භාජනය සේම යටිකුරු වූවෙකැයි වදාළහ.

තවදුරටත් රාහුල හිමියන් වෙත මහා කරුණාවෙන් කරුණු දක්‌වන අමා මැණී බුදුපියාණෝ රාහුල, යුද්ධයකදී ඒ සඳහා සරහන රජුගේ හස්‌තියා පා වලින්ද යුද්ධ කරයි මස්‌තකයෙන්ද යුද්ධ කරයි. කන්වලින්ද යුද්ධ කරයි. එතෙකින් නොනවතින ඔහු දළවලින්ද වල්ගයෙන්ද යුද්ධ කරයි. නමුත් සොඬ පමණක්‌ පරෙස්‌සමින් තබා ගනියි. මේ දකින ඇත්ගොව්වා මොහු සංග්‍රාම විජය සඳහා ජීවිත පරිත්‍යාගයෙන් සටන් නොවැදුනේ යෑයි සිතයි. නමුත් පෙර කී පංච අංග සමග සොඬ ද උපයෝගී කර ගනිමින් යුධ වදීනම් ඒ දකින ඇත්ගොව්වා මෙතෙම ජීවිත පරිත්‍යාගයෙන්ම සටන් වැදුනේ වෙයි. එහෙයින්ම හේ කිසිදු අසම්පූර්ණත්වයක්‌ නොමැත්තේ යෑයි තීරණය කරයි. රාහුලය, අන්න ඒ ලෙසේ කිසියම් ශ්‍රමණයකු අසත්‍යය තිබියදී සියලු පව්කම් අත්හැරියද හේ නියම බෞද්ධ ශ්‍රමණයකු නොවේ. එහෙයින් රාහුලය ඔබ විහිළුවක්‌ ලෙසට හෝ බොරු කීමෙන් වලකින්න,

මහා අධිරාජ්‍යයකුගේ ධර්ම අභිප්‍රාය

අශෝක මහාධිරාජයා නිතර මහා සංඝයා වහන්සේ බැහැදැක අභිවාදන කොට දුක සැපද විමසයි. අඩුපාඩු සොයා බලයි. ඉක්‌බිති මහ සඟරුවන අමතා ස්‌වාමිනී බුදුන්, දහම්, සඟුන් කෙරේ මා සිත්තුල කොපමණ නම් ගෞරවයක්‌, භක්‌තියක්‌, ආදරයක්‌ ඇත්ද යනු ඔබ වහන්සේලාම දනිති. සම්බුදු රජාණන් වහන්සේගේ සෑම වචනයක්‌ම සුභාෂිතය. එහෙත් ස්‌වාමිනී යමක්‌ මම දක්‌වන්නේ නම් ඒ හුදෙක්‌ සද්ධර්මය චිරස්‌ථායි සඳහාම විය යුතුය යි කීහ.

එතුමා එසේ කීයේ ජයපුර රාජ්‍යයේ පර්වත ප්‍රදේශයේ පිහිටා ඇති හාබ්රූ නම් ස්‌ථානයේ පිහිටුවීමට අදහස්‌ කළ ශිලා ලේඛනය සම්බන්ධයෙනි.

තව දුරටත් කරුණු දැක්‌වූ මහාධිරාජයා භික්‍ෂුන් වහන්සේලා අමතා මෙසේ ද කීහ. ස්‌වාමිනී. ඒ ධර්ම පර්යාය නම්, විනය සමුකසෙ අලිය ව්‍යානි අනාගත භයානි මුනිගාථා මොනෙයසුතෙ උපතිස පසිනෙ සහ බුදුරජාණන් වහන්සේ විසින් රාහුල හිමියන්ට දේශනා කරන ලද ධර්මය අතිරින් මුසාබිණීම පිළිබඳ දේශනා කළ දහම් කොටස යනුයි. මේ සූත්‍ර සම්බන්ධව ස්‌වාමිනි බොහෝ භික්‍ෂු භික්‍ෂුණින් වහන්සේලා වරින් වර ඇසිය යුතුයි කට පාඩම් කළ යුතුයි යනු මගේ අදහසයි. උපාසක උපාසිකාවන් ද එසේම කළ යුතුයි. ස්‌වාමිනි මම මේ ලිපිය ශිලා ලේඛන කරමි. ඒ මගේ අභිමතාර්ථය සියලු ජනතාව දැන ගනිත්වා.

අදට ද මතුවට ද අපටද ගැළපෙන

සප්ත අපරිහානිය ධර්ම

වඡ්ජීන් ආක්‍රමණය කිරීමට සිතු අජාසත් රජ ඒ පිළිබඳ බුදු රදුන්ගේ අදහස්‌ දැනගෙනම එය සිදු කරමිZයි සිතා සිය බ්‍රාහ්මණ අමාත්‍යවරයා වූ වස්‌සකාර අමතා, බුදුරදුන් හමුවට ගොස්‌ තමා වඡ්ජින් ආක්‍රමණයට ලෑස්‌ති බව බුදුරදුනට සැල වෙන්න හැර ඒ පිළිබඳ බුදුරදුන්ගේ අදහස දැන පැමිණ තමාට කියන ලෙස සැළකළේය. වස්‌සකාර බුදු රදුන් හමුවට යන වේලේ අනඳ හිමියෝ සම්බුදු රජුන්ට පවන් සලමින් සිටිසේක. වස්‌සකාර තමා පැමිණි කාරණය පැවසුයෙන් බුදු හිමියෝ බමුණා දෙස බලමින් අනඳ හිමි ඇමැතූහ.

ආනන්දය, වඡ්ජින් වරින් වර සභා පවත්වමින් එක්‌ රැස්‌වන බව ඔබ අසා තිබේද?

එසේය ස්‌වාමිනි, මම අසා ඇත්තෙමි. වඡ්ජිහු සමගිව එකතුවෙත්ද? සමගිව නැගී සිටිත්ද? සමගියෙන්ම සිය කටයුතු කරත්ද?

එසේය ස්‌වාමිනි. මම අසා ඇත්තමි. වඡ්ජීන් නොපැනවූ නීති පැනවීයයි නොකියන්න හුද පැනවූ නීති උල්ලංඝනය නොකරන්නාහුද.

එසේය ස්‌වාමිනි. මම අසා ඇත්තෙමි. වඡ්ජිහු වෘද්ධ රාජ නීතිඥයන්ට ගෞරව කරත්ද ඔවුන්ගේ උපදෙස්‌ පිළිගනිත්ද?

එසේය ස්‌වාමිනි.

ආනන්දය වඡ්ජිහු සිය රාජ්‍යයෙහි විවාහක වූහෝ අවිවාහක වූ හෝ ස්‌ත්‍රින්ට අනාචාර නොකරත්ද?

ස්‌වාමිනි වඡ්ජින්ගේ රාජ්‍යයෙහි ස්‌ත්‍රීන්ට බලහත්කාරකම් නොසිදුවන බව මම අසා ඇත්තෙමි. වඡ්ජින් සිය නගරය තුළ මෙන්ම ඉන් බැහැරද චෛත්‍යවලට රැකවරණය ලබාදෙන්නේද? එසේය. ස්‌වාමිනි ඔවුන් සිය චෛත්‍යයන්ට මහත් සැලකිල්ලක්‌ දක්‌වන බව අසා ඇත්තෙමි. ආනන්දය, වඡ්ජිහු සිය රාජධානියට පැමිණි රහතන් වහන්සේලා සුවසේ වාසය කරවීම සඳහාත් නොවැඩි රහතන් වහන්සේලා වැඩමවීම සඳහා උනන්දුව ඇතිකරවීම සඳහාත් උන්වහන්සේලාට කිසිම අන්දමක හිරිහැරයක්‌ නොවනු සඳහාත් වඡ්ජිහු පරිස්‌සම් වෙත්ද?

එසේය ස්‌වාමිනි එසේ කරන බව මම අසා ඇත්තෙමි.

අනතුරුව බුදුරජාණන් වහන්සේ වස්‌සකාර වෙතට හැරී මෙසේ වදාළහ. බ්‍රාහ්මණය, වරක්‌ මා වෛශාලියේ වැඩසිටි සමයේ අභිවෘද්ධියට අදාළ වන මේ නීති සතෙන් වඡ්ජීනට දහම් දෙසීම් යම්තාක්‌ කල්, ඔවුන් මේ නීති අනුව පවතිත්ද ඒ තාක්‌ කල් ඔවුන්ගේ දියුණුවම සිදුවනු ඇත. පිරිහීමක්‌ සිදු නොවනු ඇත.

වස්‌සකාර ද බුදු පා පියුම් වැඳ මෙසේ කීය. ගෞතමයාණන් වහන්ස, වඡ්ජීන් මේ නීති සතෙන් එකක්‌ හෝ සුරකි නම් ඔවුන්ගේ උන්නතියම සිදුවනු ඇත. නීති සතම පිළිපදිත් නම් ඔවුන්ගේ උන්නතිය නොවැළැක්‌විය හැකි බව පැවසීම අනවශ්‍යය.

නීතිය ජනතා උන්නතිය සඳහා මිස අවනීතිය පිණිස නොවිය යුතුය

නීතිය වරදකරු නොසොයා නොබලා දඬුවම් දීමට ගියහොත් ජනතා කලකිරීම් සිත් බිඳීම් ඇති වේ. එවිට ඔවුහු රජයට විරුද්ධව උද්ඝෝෂණ කරති.

කැරැලි ගසති. විරුද්ධ පාර්ශ්වයනට එක්‌ව රාජ්‍ය ආක්‍රමණය කරති. නීතිය තම අතට ගනිති. එවිට පාලකයන්ගේ මෙන්ම රාජ්‍යයේ ද අවනීතිය සිදුවේ.

නීතිය සාධාරණව යුක්‌ති සහගතව අපක්‍ෂපාතීව තිබීමෙන් රට සන්සුන් වේ. ජනයා වරදට බිය වේ. නිසි කලට නිසි ලෙසට අයබදු ලැබේ. එවිට ධාන්‍යාගාර පිරීයයි. එයින් සේනාවන්ගේ හා ජනයාගේ වියදම් මනාව පිරිමැසේ.

නීතිය උදෙසා වඡ්ජින් ක්‍රියා කළ ආකාරයහි විනිවිද භාවය දැකීමට ඔවුන් සොරකමට දුන් දඬුවම ගැන පමණක්‌ සලකා බැලුවද එයම සෑහෙනු ඇත.

වඡ්ජින්ගේ සිරිත වුයේ කිසියම් අයකු සොරකු යෑයි අල්ලාගත හොත් රජවරු ඔහුට දඬුවම් නොදී විනිශ්චය මහාමාත්‍යයාට භාරදෙයි. ඔහු අදාළ පුද්ගලයා ඇත්ත වශයෙන්ම සොරකම කළේද නැද්ද යන්න සොයා බලා නිවරැදි නම් නිදහස්‌ කෙරේ. සොරකු නම් හෙතෙම කිසිම අදහසක්‌ ප්‍රකාශ නොකොට විනිශ්චයකාරයින්ට භාරදේ. ඔවුන් ඒ ගැන සොයා බලා නිවරැදිකරුවකු නම් නිදහස්‌ කරන අතර වරදකරුවකු නම් අන්තඃකාරික නම් නිලධාරීන්ට භාරදේ. ඔවුන්ද මනාව සොයා බලා සොරකු නම් දඬුවම් කිරීමට අෂ්ට කුලිකයන්ට භාරදෙන අතර නොසොරකු නම් නිදහස්‌ කෙරේ.

අෂ්ටකුලිකයෝද සොයා බලා නොසොරකු නම් නිදහස්‌ කරන අතර සොරෙකු නම් සෙන්පතියාට භාර දේ. මේ ආකාරයට කරුණු සොයා බලා සෙන්පතියා යුවරජුටද යුවරජු මහරජුටද භාරදෙයි. ඉදින් හේ සොරෙකු නොවීනම් මහරජ ඔහු නිදහස්‌ කරයි. සොරකු බව ඔප්පු උවහොත් ඔහුට විධාන ග්‍රන්ථය නොහොත් නීති පොත කියවීමට දෙයි. ඒ පොතෙහි අසවල් වරදට අසවල් දඬුවම යයි සඳහන් වේ. ඒ අනුව මහරජු විසින් වරදකරුට අදාළ දඬුවම ක්‍රියාත්මක කරයි.

සියවස්‌ විසිහයකට පෙර වඡ්ජින් අනුගමනය කළ මේ අතිශය සාධාරණ ක්‍රියා මාර්ග දුබලයා නොදැනුවත්කම හා දුබල බව නිසා පටලවා ගන්නාවූද ප්‍රබලයා බලය මත බිඳගෙන යන්නාවුද නීතිය නමැති මකුළු දැල් ඇති මෙවන් යුගවලට මොන තරම් නම් වටින්නේද යන්න සිතාබැලිය යුතුව ඇත.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: