Posted by: lrrp | August 23, 2011

අසම සම බුදු ලකුණු

ලක්‍ෂණ පරීක්‍ෂාවෙන් සම්‍යක්‌ සම්බුද්ධත්වයෙහි සැක දුරු කරගෙන පසුව බුදුරදුන් හමුවට ගිය ධනයෙන් බලයෙන් නැණ නුවණින් පිරිපුන් ප්‍රදේශාධිපති බ්‍රාහ්මණ පඬිවරු බුද්ධ සමයේ ඉන්දියාවේ හිඟ නොවීය.

බුද්ධත්වය ලබන මහා යුග පුරුෂයකු සතුව මහා පුරුෂ ලක්‌ෂණ දෙතිසක්‌ පිහිටන බවත්, ඒ අනුසාරයෙන්ම ඔවුන් හැඳිනිය යුතු බවත්, බ්‍රාහ්මණ සාමයික ග්‍රන්ථවල සඳහන්ව පැවති අතර මහා පඬිවරු වන් පිළිගත් බ්‍රාහ්මණයන් ඒ දෙතිස්‌ පුරුෂ ලක්‌ෂණ සොයා බැලීමට තම අතවැසියකු පළමුකොට පිටත් කර හැරියේ මහාවීර හා තවත් එවැනි බොහෝ ආගමික ශාස්‌තෘවරු තමන් බුද්ධ යෑයි කියාගත් හෙයිනි.

බ්‍රහ්මායු, බ්‍රාහ්මණයාද භාරතීය බ්‍රාහ්මණ සමාජයේ මහ උගතෙකු විය. අතවැසි මහ පිරිසකගේ ආචාර්යවරයාද විය. දිනක්‌ තම අතවැසි සිසුවකු වූ උත්තර මානවකයා ඇමතූ බ්‍රහ්මායු දරුව තොප ගොස්‌ බුදුන්ගේ ලකුණු දැක නියම බුදු කෙනෙකුන් දැයි සොයාගෙන එවයි කීය.

බුදුරදුන් වෙත ගිය උත්තර මානවකයා දෙකක්‌ හැර ඉතිරි බුදු ලකුණු තිහ පරීක්‌ෂා කළේය. මහා පුරුෂයකුගේ දිවට හා ලිංගයට සම්බන්ධ පූහුත ජීවිහතා සහ කොසෝහිත වත්ථගුය්හතා යන මහ පුරුෂ ලක්‌ෂණ දෙක එම පුරුෂයාගේ උපකාර හා අභිමතය නොලැබ කිසි කලෙක දැකිය නොහැක. උත්තර මානවක පැමිණ ඇති කරුණ ගැනත්, ඉන් මතු ලැබෙන ශාන්තියත් පසක්‌ කළ සම්බුදු රජාණෝ ඒ උතුම් පුරුෂ ලක්‌ෂණ දෙකද පෙන්වා වදාළහ.

පැමිණි කරුණ ඉටුකරගත් උත්තර තවදුරටත් සිතනුයේ විශාල ගෝල පිරිසක්‌ හිමි තම ආචාර්යවරයාට බුදුරදුන්ගේ හැසිරීම් රටාත් දන්වමියි සිතා දිනකට තම සයනය දෙපැයකට පමණක්‌ සීමාකර ඇති බුද්ධ චර්යාවේ හිමිදිරි පාන්දර ලෝ බලා සමවත් මහා කරුණා නෙතින් ලෝ සතට සෙත සලසන තැන් පටන් අවසාන දෙපැයක සැතපීම සඳහා සයන ගතවන තෙක්‌ බුදු කිස පුරා සත්මසක්‌ අධ්‍යයනය කොට ඉතාම පැහැදී තම ආචාර්ය බ්‍රහ්මායු බ්‍රාහ්මණ වෙත ගොස්‌ සියලු විස්‌තර කීය. බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේද මොන තරම් නම් බුදුරදුන් වෙත පැහැදුනේ දැයි යත් එවෙලේම බුදුරදුන් වැඩසිටින දිසාව බලා දණ ගසා නමස්‌කාර පාඨ කියා දොහොත් මුදුන් දී වැන්දේය. කල් නොයික්‌මවාම බුදුරදුන් වෙත ගොස්‌ සාකච්ඡා කළේය.

බුදු ලකුණු බැලූ මුග්ධ කුළීනයා

දෙතිස්‌ මහ පුරුෂ බුද්ධ ලක්‌ෂණ බලා බුදුරදුන් හමුවට ගිය තවත් එක්‌ බ්‍රාහ්මණ පඬිවරයකු වූයේ පොක්‌ඛරසාතිය. හෙතෙම තම අතවැසි අම්බට්‌ඨ මානවකයා මේ කාර්යය සඳහා බුදුරදුන් වෙත යෑවීය.

අම්බට්‌ඨ වනාහි උඩඟු බව මුග්ධ බව නිසාම උරුම කරගත්තෙකි. තමා ආ කාර්යය පසෙක තැබූ හේ බුදුරදුන් ඉදිරියේ උඩඟු ලෙස හැසිරෙන්නත්, අවිනීත වදන් දොඩන්නටත් පටන් ගත්තේය.

බුදුරජාණන් වහන්සේද තමන් මෙහි ආ කාරණය පසෙකලා මෙසේ හැසිරෙන්නේ උඩඟු නොහික්‌මුණු ගතිය නිසා යෑයි ඔහුට කී සේක. මෙයින් කිපුන අම්බට්‌ඨ බුදුරජුන්ට ජාතිවාදයෙන් බනින්නට පටන් ගත්තේය. අම්බට්‌ඨ වනාහි ශාක්‍යයන් කෙරෙහි වෛරයෙන් පසු වූවෙකු විය. බුදුරදුන්ට බැණ වදින ගමන්ම ඔහු ශාක්‍යයන්ටද බණින්න විය. මුළු ශාක්‍ය වංශයටම නින්දා සහගත අයුරින් බැණ වැදුණේය.

උඩඟු මුග්ධ පුද්ගලයා කෙරෙහි අනුකම්පා කළ මහා කාරුණිකයාණන් වහන්සේ ඔහුගේ මානය දුරු කරනු වස්‌ ඔහු මහ ඉහළින් වර්ණනා කර ඔහුගේ බ්‍රාහ්මණ ගෝත්‍රයේ ආදිතමයා වන තණ්‌හායන වනාහි දාසියකගේ පුතෙකු බව මනාව පැහැදිලි කොට ක්‌ෂත්‍රියා හැමටම වඩා උසස්‌ වන අයුරු පෙන්වා දුන්නේය. මානය දුරුකොට බුදුරදුන් වෙත පැහැදුණු අම්බට්‌ඨයෝ බුදුරදුන් නමැඳ අවසර ගෙන දෙතිස්‌ මහා පුරුෂ ලක්‌ෂණ පරීක්‌ෂා කොට එහි ස්‌ථිර හා සත්‍යතාව පොක්‌ඛරසාති බමුණා වෙත වාර්තා කළේ භාග්‍යවතුන් වහන්සේ නියම සම්‍යක්‌ සම්බුද්ධ මහරජාණන් වහන්සේ බවය.

යාගයෙන් උපන් භූසුරයෝ

ස්‌වභාව ධර්මයට දේවත්වයක්‌ ආරෝපණය කළ ආදිතම බ්‍රාහ්මණයෝ තමන් දේව දූතයන් යෑයි කියාගත් අතර යාගහෝම කිරීම මගින් දෙවියන් සතුටු කිරීම හා දෙවියන් පිදීම කළ යුතු යෑයිද දේව දූතයන් වූ (උපතත් බ්‍රහ්ම මුඛයෙන් යෑයි කියන නිසා) තමන් ඒ සඳහා කැපවී ඇතැයිද ප්‍රකාශ කළහ. ඉන්ද්‍ර-සෝම-අග්නි හා වරුණ ඔවුන් මෙසේ ස්‌වභාවධර්මයෙන් මතු කරගත් දෙවිවරු වූහ.

යාගයකින් නියම ඵලය ලබා ගැනීමට නම් යාග කර්මය කළ බමුණාට (දේව දූතයාට) ඔහුගේ සිත සතුටු වන පරිදි දක්‌ෂිණා පිදිය යුතු විය. එසේ නොවන කල්හි දායකයාට අනර්ථයක්‌ කිරීමට තමන් සමත් බව ඔවුහු මතයක්‌ ගොඩනඟා තැබීය. ඔවුහු තමන් අකාශගත දෙවියන්ට පමණක්‌ දෙවැනි වන්නෝ යෑයි කීහ. එනිසාම ඔවුහු තමන් භූසුර යෑයි තමන්ම හඳුන්වා ගත්හ.

භූසුරයෝ තම ශේ්‍රෂ්ඨත්වයත්, බලයත්, අධිපතිවාදයත් රැක ගත්තේ යාග කර්ම මගිනි. මේ අධිකාරි බලය මොන තරම් නම් සමාජගත කර සමාජය බිය කර සමාජ අවශ්‍යතාවක්‌ කර තිබුණේද යත් මිනිස්‌ ජීවිතය පිළිබඳ වැදගත් නොවැදගත් සියලු සංසිද්ධීන් ඔවුන් දුටුවේ යාගය තුළිනි. ඔවුන් අතීතයත් අනතීතයත් අනාගතයත් දුටුවේ යාග ධුමය අතරිනි. යාගය යන්න එතරම්ම වැදගත් දෙයක්‌ විය.

යාගය සඳහා භූසුරයන් වෙත මුලින් සත්වයන් මරා පිදිවිලි සිදුවූ අතර පසුව මරා හා නොමරා ලෙසත්, ඉනුත් පසුව සතුන් නොමරාම දක්‌ෂිණා ලෙස පරිත්‍යාග කෙරිණි. ඒ අවධියේ මානවයා සතු උතුම්ම හා ලොකුම ධනය සතුන් වූ බැවින් භූසුරයෝ සියලු ආඪ්‍යයන්ගෙන් නිරුත්සාහයෙන්ම තරවන්න වීය.

මමයි රජා

විදේහාධිපති ජනක රජ තෙමේ බහුදක්‌ෂිණ යාගයක්‌ කරනු කැමැති විය.

(බහුදක්‍ෂිණ යනු යාගය සඳහා අති විශාල ලෙස සතුන් හා ද්‍රව්‍ය පුද පූජා විශාල ප්‍රමාණයක්‌ යොදා ගැනීමය.) රජුගේ ඉල්ලීම පරිදි කුරු හා පඤ්චාල දේශයන්හි විසූ බ්‍රාහ්මණයෝ විශාල ප්‍රමාණයක්‌ යාග භූමියට රැස්‌වූහ. මෙසේ දෙරටේ බමුණන් රැස්‌ කිරීමෙන් රජුගේ බලාපොරොත්තුව වූයේ කවරෙක්‌ බ්‍රහ්මිෂ්ඨද හෙවත් වේදාංග සය සහිත ත්‍රිවේදය හදාරණ බමුණන් අතර උසස්‌ම බමුණා වන්නේද යන්න දැන ගැනීමය.

හෙතෙම ගවයකුගේ අං දෙකෙහි රත්තරන් වළලු දහය බැගින් බැඳි ගවයන් දහසක්‌ සූදානම් කරවා එක්‌රැස්‌වූ බමුණන් අමතා පූජ්‍ය බ්‍රාහ්මණවරුනි, ඔබ අතුරින් කවරෙක්‌ නම් බ්‍රහ්මිෂ්ඨ වේද හෙවත් බ්‍රහ්මය දත් තැනැත්තා වේද හෙතෙම මේ රන් අං සහිත ගවයන් දහස රැගෙන යේවාය කීහ.

කුරු හා පඤ්චාල දෙරටෙහිම බමුණන් එකතුව සිටියද උසස්‌ම අයුරින් බ්‍රහ්මිෂ්ය පිරූ බ්‍රාහ්මණයා හැටියට මම යෑයි කීමට හැකි අයකු යාඥවල්ක්‍ය හැරුණ විට ඉතිරි නොවීය. සමර්ථ නොවීය. පිරී සිටි සියලු බමුණන් සිසාරා බැල්මක්‌ හෙළු යාඥවල්ක්‍ය තම අතවැසියකු අමතා “මේ සියලු ගවයන් මගේ ගෙදරට පමුණුවයි නියම කළේය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: