Posted by: lrrp | August 23, 2011

ඉතිහාසය යනු නැවත සිදුවීමය

ඉතිහාසය යනු නැවත සිදුවීමය

(එදා කථාව)

අනාථ නාථයාණන් වහන්සේ වේළුවනයේ වැඩ වෙසෙන බව සැල වූ සුදොවුන් රජතුමා හිතවත් ඇමැතියකු කැඳවා පිරිවර දහසක්‌ දී ඔවුන් සමඟ ගොස්‌ බුදුරදුන් බැහැදැක උන්වහන්සේ කිඹුල්වතට වැඩමවාගෙන එන මෙන් ඉල්ලීය.

සම්බුදුරජුන් බැහැදුටු ඇමැති තෙමේ පිරිවර දහස ද සමඟ බුදුබණ අසා පැහැදී පැවිදි වූවා මිස රජුගේ ඉල්ලීම අමතක කර දැමීය. මෙසේ වරින්වර පිරිවර දහස බැගින් නව වතාවක්‌ ඇමැතිවරු බුදුරදුන් හමුවට යෑව්වද රජුට තම අභිප්‍රාය ඉටුකරගත නොහැකි විය. බුදුරදුන් දැකීමේ නොනිත් ආශාවෙන් පෙළුණු සුදොවුන් මහරජතුමා අවසානයේ කාළුදායි ඇමැතියා ඇමැතීය. “දරුව මම බුදුරදුන් දකිනු කැමැත්තෙමි. තොපට හෝ පිරිවර දහසක්‌ රැගෙන වේළුවනයට ගොස්‌ බුදුරදුන් බැහැදැක උන්වහන්සේ කිඹුල්වතට වැඩමවීම කළ හැකිදැයි විමසූහ. දේවයන් වහන්ස මහණවීමට අවසර දෙතොත් මම බුදුරදුන් කැඳවාගෙන ඒමට කටයුතු කරමියි කාළුදායි කීය. හොඳයි, එසේ නම් දරුව දහසක්‌ පිරිවර රැගෙන ගොස්‌ මපුතු කැඳවාගෙන එන්න. රජු කීහ.

(මෙදා කතාව)

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගෙන් ධර්මය අසා සකෘදාගාමි ඵලයට පත් අනුලා බිසව ප්‍රමුඛ පන්සීයක්‌ කාන්තාවෝ බුදු සසුනේ මහණවීමට රුචිව ඒ බව දේවානම්පියතිස්‌ස රජු වෙත සැල කළෝය. රජු ද මිහිඳු මාහිමියන් හමුව අනුලා බිසව ප්‍රධාන පිරිවර කාන්තාවෝ මහණ කරන මෙන් ඉල්ලීමක්‌ කළේය.

රජුගේ ඉල්ලීමට සවන් යොමුකළ මිහිඳු මාහිමියෝ පැවැසුවේ ස්‌ත්‍රීන් මහණ කිරීමට නම් ඊට සුදුසු දඹදිව වෙසෙන තම සොයුරිය සංඝමිත්තා මහ රහතන් වහන්සේ ලක්‌දිවට වැඩම කරවාගත යුතු බවය. තවදුරටත් කරුණු දැක්‌වූ මාහිමියෝ සංඝමිත්තා මහරහත් මෙහෙණිය සමඟ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව ද වැඩම කරවා දෙන මෙන් අශෝක මහාධිරාජයාට හසුන්පත් යවන මෙන් රජුට දැන්වූQහ.

තම අමාත්‍ය මණ්‌ඩලය රැස්‌ කරවූ තිස්‌ස රජතුමා එහි සිටි තම බෑණනුවන් වූ අමාත්‍ය අරිට්‌ඨ කුමරු අමතා දරුව, මාගේ යහළු වූ අශෝක මහරජු කරා ගොස්‌ සංඝමිත්තා මහ රහත් මෙහෙණිය හා ජයසිරි මහ බෝධි රාජයාණන් වහන්සේ වැඩමවා ගෙන ඒමට හැකිදැයි ඇසීය. ඉදින් නුඹ වහන්සේ මට මහණ වන්නට අවසර දෙවා වදාරණ සේක්‌ නම් කැඳවාගෙන ඒම කළ හැකි යෑයි අරිට්‌ඨ කුමරු ද ප්‍රකාශ කළේය. යව දරුව, සංඝමිත්තා මහරහත් මෙහෙණිය සමඟ ශ්‍රී මහා බෝධි රාජයාණන් ද වඩමවාගෙන අවුත් මහණ වුව රජු ද කීයේය. මේ බෞද්ධ ඉතිහාසයේ එක හා සමාන සිද්ධි සමුදායක්‌ පෙර”පර එක හා සමානව සිද්ධ වූ අපූරු අවස්‌ථාවන්ය.

බුදු පසැස හා බෝධි ප්‍රාර්ථනාව

ශ්‍රීමහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව ලබාදෙන ලෙස සිය අදෘෂ්ඨ මිත්‍ර දෙවන පෑතිස්‌ රජතුමා කළ ඉල්ලීම පිළිගත් ධර්මාශෝක අධිරාජයා මුහුණපෑවේ ගැටලු රාශියකටය. ඒ වන විට ලොව පැවැති පූජනීයම වස්‌තුවක්‌ වූ ජය ශ්‍රී මහාබෝධීන් වහන්සේට ආයුධයක්‌ භාවිත නොකර කෙසේ නම් දක්‍ෂිණ ශාඛාව වෙන්කර ගත හැකිද? ආයුධ පහර දී ශාඛාව වෙන්කර දීමට කැමැති වන පුද්ගලයකු සිටීවිද? ඒ ආයුධ පහර කෙසේ නම් ශ්‍රී මහා බෝධිරාජයා විඳ දරා ගනීවිද? ශාඛාව ලබාගැනීමට වුව එවන් ආයුධ පහරදීමක්‌ කළ හැකිද? යන මේ ගැටලු මහාධිරාජයා හමුවේ විය. අවසානයේ මේ සියලු ගැටලුවලට පිළිතුරු පතා මහාධිරාජයා හමුවූයේ මොග්ගලී පුත්තතිස්‌ස මහරහතන් වහන්සේය.

මහරජ, බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව ලක්‌දිවට ගත යුතුමයි කියා අධිෂ්ඨාන කර ඇත්තේ අන් කවරකුවත් නොව මසැස, දිවැස, පැණැස, සමනැස සහ බුදුඇස යන පසැස්‌ ඇති තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේමය. එපමණක්‌ නොව මහරජ උන්වහන්සේ බෝධීන් වහන්සේ ලක්‌දිව වැඩමවීම අරඹයා ප්‍රාර්ථනා පහක්‌ ද කර ඇති බව ඔබ දැනගත යුතුය. මොග්ගලී පුත්තතිස්‌ස මහරහත් මාහිමියන් වදාළ සේක.

බුදු ප්‍රාර්ථනා පහ කුමක්‌ද යන කුහුල රජුගේ සිත තෙරපෙනු දුටු මොග්ගලී පුත්තතිස්‌ස මාහිමියෝ ඒ බුද්ධ ප්‍රාර්ථනා පහද රජු හමුවේ වදාරා රජුගේ හිත සැනසවීය.

* ධර්මාශෝක රජු ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව ලබාගැනීම පිණිස ගිය වේලේ බෝධීන්ගේ දක්‍ෂිණ ශාඛාව තෙමේම සිඳ ස්‌වර්ණ කටායෙහි (රන් පාත්‍රයේ) පිහිටවීම.

* ඉනික්‌බිතිව ස්‌වර්ණ කටායෙහි පිහිටුවනු ලැබූ දක්‍ෂිණ ශාඛා වහන්සේගෙන් පත්‍රයෙන් හා ඵලයෙන් සවණක්‌ රැස්‌ විහිදවීම.

* ඉන්පසු බෝධි ශාඛාව වලා ගැබට වැදී සතියක්‌ මුළුල්ලේ වැඩ හිඳීම

* මිහිඳු හිමියන් ජීවමාන සමයේම ඉදිකෙරෙන ථූපාරාම චෛත්‍යයේ තමන් වහන්සේගේ දකුණු අකු ධාතුව පිහිටුවන අවස්‌ථාවේ යමක ප්‍රාතිහාර්ය පිළිබිඹු වීම.

* පසු කලෙක ලක්‌දිව ඉදිකෙරෙන මහාසෑය හෙවත් රුවන්වැලි චෛත්‍යය රාජයාණන්ගේ ධාතු ගර්භයෙහි තමන් වහන්සේගේ දෝනයක්‌ තරම් සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කරනා මොහොතේ ඒ ධාතුන් වහන්සේලා සර්වඥ වේශය මවාගෙන අහසට පැනනැගී යමක මහා ප්‍රාතිහාර්යය කෙරෙහි යන සම්බුද්ධ ප්‍රාර්ථනා පහ ඇසූ ධර්මාශෝක මහාධිරාජයා අතිශය පහන් වූ සංවේදී සිත් ඇත්තේ දොහොත් මුදුන් තබා සාධුකාර දී නැමදියේය.

මිහිඳු හිමියන් බුදුන් දැකීම

ඉල්මස පුන් පොහෝ දිනයේ පිරිවර මහා සංඝයා වහන්සේලා සමඟ රජ මැඳුරට වැඩම කර දන් වළ¹ අවසානයේ රජු ඇමතූ මිහිඳු මාහිමියෝ මෙසේ වදාළ සේක. “ඒ මහරජ, අප විසින් බුදුරදුන් නොදැක බොහෝ කල්ය. මෙතෙක්‌ දිනක්‌ අසරණව උන්නෙමු එහෙයින් බුදුරදුන් දකිනු පිණිස ජම්බුද්වීපයට යනු කැමැත්තෙමි.”

මිහිඳු හිමියන්ගේ මෙවදන්වලින් දෙවනපෑතිස්‌ මහරජතුමා සම්පූර්ණයෙන්ම වික්‍ෂිප්තව ගියේය. හිමියන් ඇමතූ මහරජු, ස්‌වාමීනි, බුදුන් වහන්සේ පිරිනිවියේ යෑයි ඔබ වහන්සේ මුලින් කී සේක්‌ නොවේදැයි පළිවිසියේය. එසේය මහරජ බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම පිරිනිවනට වැඩිසේක. එසේ වුවත් මහරජ තාම බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩසිටින සේක්‌ නොවේදැයි රජුගෙන් විමසූහ. එසේය ස්‌වාමීනි, මවිසින් ඔබ වහන්සේ අදහස දක්‌නා ලදී. ස්‌ථූපයක්‌ කරවමි එහෙත් කොහෙන් කෙසේ ධාතූන් වහන්සේලා ලබම්දැයි විමසා සිටියේය. රජතුමනි, සුමන සාමනේරයන් වහන්සේ හා කතාකර බලන්න. මිහිඳු මාහිමියෝ කීහ.

සුමන සාමනේරයාණන් වහන්සේ බැහැදුටු තිස්‌ස රජතුමා අදාළ කාරණය ගැන පැවැසීය. තම ගුරු හිමියන්ගේ ආධ්‍යාසය මැනවින් වටහාගෙන සිටි සුමන සාමනේරයෝ මහරජතුමනි, නුවර වීථි ශුද්ධ පවිත්‍ර කර ඔප්නංවා මල්ගසා මහ තොරණ්‌ බැඳ මඟුල් ඇතු අංග සම්පූර්ණ ලෙස සරසා ඔහු මුදුන් මස්‌තකයේ ධවල ජත්‍රයක්‌ නංවා සිය පිරිවර සමඟ දසසිල් සමාදන්ව පසඟතුරු නාද මධ්‍යයේ ඇතුද කැටිව සවස්‌ වේලේ මහානාග වනෝද්‍යානයට යන්න. එතනදී ඔබට ස්‌ථිර ලෙසම සර්වඥ ධාතූන් වහන්සේලා ලැබෙන්නේය කීහ.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: