Posted by: lrrp | August 23, 2011

උද්දේශික චෛත්‍යය වන්නේ බුදුරුව පමණක්‌මද ?

බුදුරදුන් ජීවමාන කාලයේ විසාලා මහනුවර උන් සච්චක පඬිතුමා ගැනත් එතුමා බුදුරදුන් හා වාදයකට පැමිණි සැටිත් අතීතයේ විසූ බමුණු පඬිවරුන්ගේ සංකල්පනා මත ශක්‍රයාගේ පිහිටෙන් බුදුරදුන් වාදය දිනුවායි යන ගජබින්නාලංකාරයෙන් ලියෑවුණු මුසා ප්‍රබන්ධත් අපි බෞද්ධ සාහිත්‍යයෙන් කියවා ඇත්තෙමු.

බුදුරදුන් හා වාදයට පැමිණි සච්චක පඬිතුමා බුදුරදුන්ගේ සත්‍යය අවබෝධ කරගෙන බුදුපියාණන් කෙරෙහි කොතෙක්‌ පැහැදුනද යතොත් බුදුපාමොක්‌ මහ සඟනට මහදනක්‌ පිරිනැමුවේය. තථාගතයන් වහන්සේද සච්චක පඬිතුමාට සූත්‍ර දෙකක්‌ම දේශනා කළ සේක. එසේ නමුදු සච්චක පඬිතුමා තිසරණයෙහි පිහිටියේ හෝ මහණ වූයේ හෝ මාර්ගඵල ලැබුවේ හෝ නැත.

සම්මා සම්බුදු පිරිනිවීමෙන් වර්ෂ දෙසිය තිස්‌ ගණනකට පසු අනුබුදු මිහිඳු මාහිමියන් විසින් ලක්‌දිව බුදුසසුන පිහිටුවන ලද අතර මෙසමයේ එදා දඹදිව විසූ සච්චක පඬිතුමා ලක්‌දිව දක්‍ෂිණගිරි විහාරයේ ගොදුරු බිමක ඇමැති පවුලක කුමාරයෙක්‌ව උපත ලබා වැඩිවිය පැමිණ බුදුසසුනෙහි පැවිදිව ත්‍රිපිටකය උගෙන විදසුන් වඩා සිවුපිළිසිඹියාවත් සමග රහත් බවට පැමිණ අවසන නිවන් දුටුවේය.

ලක්‌දිව විසූ තිස්‌ස රජතුමා දිනක්‌ රාත්‍රි කාලයේ ධර්ම දේශනාවක්‌ පැවැත්වෙන ධර්මශාලාවකට ගොස්‌ පිරිස්‌ කෙළවර සිටගෙනම පහන් වනතුරු ධර්මය ශ්‍රවණය කළ බවත් මහ පිරිස්‌ පවා රජු හැඳිනුවේ පසුදා පහන් වූ පසු පැවැත්වූ සාධුකාර නාදයෙන් බවත් එදිනම ධර්ම දේශකයාණන් වහන්සේගේ ධර්ම දේශනාව පැහැදුන තිස්‌ස මහ රජතුමා ලක්‌ රජය උන්වහන්සේට පූජාකළ බවත් කියවෙන සත්‍ය කථාව බොහෝ බෞද්ධයෝ දනිති.

තිස්‌ස මහ රජතුමාද තුන්සිත පහදවා ධර්ම දේශනාවක්‌ ඇසීමටත් එසේම නොසෙල්වී රැයක්‌ පහන් වනතුරා රජු ධර්මය කෙරෙහිම අවධානයෙන් බැඳ තබා ගැනීමට සමත් ඒ සුවිශේෂී වූ ධර්ම දේශනාව කළේ මිහින්තලේ කළුදිය පොකුණ සමීපයේ කළු තිඹිරිගස යටදී කාලකාරාම සූත්‍රයෙන් කාළ බුද්ධරක්‌ඛිත මහ රහත් මාහිමිපාණන් වහන්සේය. සංසාර පුරුද්දෙන් නැණ නුවණ ගෙනා එතුමෝ වනාහි අන් කවරෙකුවත් නොව බුදුරදුන් දිවමන් කළ උන්වහන්සේ සමග වාදයට පැමිණ මහා පඬි සච්චක තුමාම විය.

බුදු කරුණා දෑස තෙමී

සකළ ලෝක සත්වයා වෙනුවෙන් පතල මහා කරුණාවෙන් ලෝ බලා වදාරණ අනාථ නාථයාණන් වහන්සේ දිනක්‌ අළුයම් වේලේ ලෝ බලා වදාරන්නේ එදිනම මැරී අපායෙහි උපදින්නට සිටින රොඩී මැහැල්ලක්‌ දැක ඇය කෙරෙහි අනුකම්පා උපදවමින් ඇය සුගතියට පත් කරණු වස්‌ ඇය ලවා තමන්වහන්සේට වන්දවා ඒ පිනෙන් ඇය සුගතිගාමී කෙරුමට මහා සංඝයා වහන්සේලා පිරිවරා රජගහනුවර පිඬුසිඟා වැඩිසේක.

මේ මොහොතේ සැඬොල් කුලයේ උපන් මැහැලියද සැරයටියක ආධාරයෙන් තමන් වහන්සේ අබියසට පැමිණි දුටු බුදු පියාණන් වහන්සේ ඇය ඉදිරියේ නැවතුන සේක. නමුදු තමන් වහන්සේට සැදැහැ සිතින් යුතුව වැඳ පින් රැස්‌කර ගනුවයි නොවදාළ සේක. එසේ වූවේ සියලු කෙළෙස්‌ ප්‍රහීන කළ සම්මා සම්බුදු රජවරුන් ලොව වෙසෙන කුදු මහත් කිසිම අයකු ලවා සිරිපා පියුම් වන්දවා ගැනීම නොකරන්නක්‌ වන බැවිනි.

බුදු සිරිතත් උන්වහන්සේ පෑ මහා කරුණාවත් මැහැලිය ඉදිරියේ බුදුහිමියන්ගේ නැවතීමත් වටහා ගත මුගලන් මහ රහතන් වහන්සේ මැහැලිය ලවා බුදු හිමියන්ගේ දෙපා වැන්දවීය. එදිනම නියත මරණයකට මුහුණ පෑ ඇය බුදුසිරිපා නැමදීමේ පිනෙන් මරණින් පසු ස්‌වර්ග සම්පත්තිය ලැබුවාය.

උද්දේශික චෛත්‍යය වන්නේ බුදුරුව පමණක්‌මද

බෞද්ධයාගේ උද්දේශික චෛත්‍යය වන්නේ බුදුපිළිම වහන්සේය. නමුත් ප්‍රලිනථූපිය නම් වූ සත් හැවිරිදි වියේදීම මහ රහත් ඵලය ලබාගත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේගේ කතාව අපට කියන්නේ බුදු පිළිම වහන්සේ පමණක්‌ උද්දේශික චෛත්‍යය නොවන බවය.

හිමාලය අසල වූ යමක පරිවර්තයෙහි පන්සලක විසූ නාරද තවුස්‌තුමාගේ පිරිවර ගණන දහතුන් දහසක්‌ විය. මේ හැමදෙනාම තවුස්‌ තුමා වැඳීමට කිසි විටෙක පසුබට වූයේ නැත.

දිනක්‌ නාරද තවුස්‌තුමා සිතන්නේ මේ දහතුන් දහසම මට වැන්දත් මට ගරු කරතත් මගෙන් අවවාද අනුශාසනා ලබා ගත්තත් මා විසින් වඳින අවවාද ලබන කිසිවකු නැත. මා විසින් වැඳිය යුතු ගරුකළ යුතු පුද්ගලයකු සොයා ගතයුතුය සිතා එවන් අයකු සෙව්වද ළඟපාතක එතුමාගේ වන්දනා මානයට සුදුසු අයකු සොයාගත නොහැකි විය. අවසාන තීරණයකට එළැඹි එතුමා අමරික නම් ගඟට බැස වැලි ගෙන පෙර විසූ සම්මා සම්බුදු රජාණන් වහන්සේලා වෙනුවෙන් තැනූ ස්‌ථූප මෙලෙස විය හැකියෑයි සිතා වැලි වලින් ස්‌ථූපයක්‌ ගොඩනංවා අසල සිටින බුදුරදුන්මෙන් සළකා පුද පූජා නැමදීම් කරමින් සිට මියගොස්‌ දිව්‍ය සම්පත් ලැබ දෙව්ලොවෙහි වැස අන්තිම ජාතියෙහි සැවත් නුවර ධනවත් පවුලක කුමරුවකුව ඉපිද පැවිදිව සත්වන වියේදීම රහත්විය. උන්වහන්සේ ථූලිනථූපිය තෙරුන් වහන්සේ නම් ජනයා අතර ප්‍රකට විය.

අනඳ හිමියනට වැරදුනාවත්ද?

බෞද්ධ ඉතිහාසයට හා බෞද්ධ සාහිත්‍යයට අනුව පාරිභෝගික චෛත්‍යයේ නිර්මාතෘවරයාණන් වන්නේ බුදුහිමියන්ගේ අග්‍ර උපස්‌ථායක ආනන්ද හිමියන් වහන්සේය. අද දවසේ පවා බෞද්ධ ධර්මය ප්‍රචලිතව පවත්නා හැම රටකම උද්දේශික චෛත්‍යයක්‌ වූ බුදු පිළිම වහන්සේගේ අපමණ වූ පිළිරූ දකින්නට හැකි වෙතත් බුදු හිමියන් ජීවමානව වැඩ වෙසෙන සමයේ බුදුරදුන් ආරාමයේ නැති මොහොතේ වැඳුම් පිදුම් සඳහා පැමිණි ජනතාවට පහසුකම් සැලසීමට ඉදිරිපත් වූ ආනන්ද හිමියන් අති දක්‍ෂ නිර්මාණ ශිල්පීන් සිටියද ඔවුන්ගේ නෙතට සිය දහස්‌ වර අසම සමවූ බුද්ධ ශ්‍රී දේහය දකින්නට හැකිව තිබියදීත් ආරාමයේ සුදුසු ස්‌ථානයක බුදුපිළිම වහන්සේ නමක්‌ ඉදිනොකර පාරිභෝගික වස්‌තුවක්‌ වූ ආනන්ද බෝධිය රෝපණය කරවීම ගැටලුවක්‌ විය හැකි කාරණයක්‌ වියහැක.

මෙහිදී පෙනෙන ආනන්දනීය වූ සැබෑම සත්‍යය නම් මහා කාරුණිකයාණන් වහන්සේ කිසිම විටෙක තමන් වහන්සේ වෙනුවෙන් කුමන ආකාරයක හෝ සිහිවටන ඉදිකර ගැනීම නොකළ බවය. ආනන්ද බෝධිය පවා ආනන්ද හිමියන්ගේ අදහසක්‌ අනුව ප්‍රතිශ්ඨාපනය කෙරුණා මිස බුදුරදුන් කළේ සිවුවනක්‌ පිරිසගේ යහපත තකා එය අනුමත කිරීමක්‌ පමණක්‌ බවය.

ආනන්ද හිමියන් ආනන්ද බෝධිය වෙනුවට බුද්ධ ප්‍රතිමාවක්‌ කරවන්නට හෝ ඒ චෛත්‍යයන් දෙකම කරවන්න හෝ අදහස්‌ කළා නම් සමහරවිට බුදුරජාණන් වහන්සේ එයද අනුමත කරන්නට ඉඩ තිබිණි. මෙහිදී බුද්ධ ප්‍රතිමාවක්‌ තනවන්නට අනඳ හිමියන් අදහස්‌ නොකරන්න ඇත්තේ බොහෝ විට ඉතාම සරළ අල්පේච්ඡ ජීවිත ගත කරන පිරිසිදුව බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක්‌ ලෙස ප්‍රතිමාවක්‌ නිර්මාණය කිරීම පැළයක්‌ රෝපණය කිරීමට වඩා හැම අතින්ම වියදම් වෙහෙසකර අසීරු කටයුත්තක්‌ වන නිසා විය හැක. අසම සම බුද්ධකාය ප්‍රතිනිර්මාණය කිරීමට සමත් ජගතෙක්‌ ලොව පහළ නොවන බැවින් විය හැක. බුද්ධ භක්‌තිය හා ගෞරවය නිසා එවන් අසීරු කටයුත්තකට කිසිවකු කැමති නොවනා නිසා වියහැක. බොහෝවිට ස්‌වභාව ධර්මයාට රැකවරණය හා ආශිර්වාදය ගෙනදුන් බෞද්ධ දර්ශනයට අනුවද භෞතික වශයෙන් ගෙන බැලුවද පිළිමයක්‌ ඉදිකිරීමකට වඩා වෘක්‍ෂයක්‌ රෝපණය කිරීම සෑම අතින්ම සමාජයට හා පරිසරයට වැඩදායී පියවරක්‌ වන නිසාත් විය හැක. කෙසේ නමුදු මේ සියලු අදහස්‌ ලියුම්කරුගේ උපකල්පනයන් බවද කාරුණිකව සඳහන් කිරීම වඩාම උචිත බවද හැඟිමි.

අන් මතද ගරුකළ මහා කාරුණිකයාණෝ

කප් සුවහස්‌ කලක්‌ පෙරුම් පුරා වැඩූ පාරමිතා හා වීර්යය බෙලෙන් ලැබගත් බුද්ධ ඥනයෙන් ලොවම නැසුනද නොනසින පරම සත්‍යය අවබෝධ කරගෙන තුන්ලෝ සත්ත්වයා වෙනුවෙන් ඒ නිවන් මග පහදා දුන් තිලෝගුරු අසම සම බුදුපියාණන් වහන්සේ තරම් අන් මත ගරුකළ, ඉවසූ වෙනත් ආගම් හෝ දර්ශන කර්තෘවරයකු ලොව මෙතෙක්‌ පහළ වී නැතැයි කීම සත්‍යයෙනුත් සත්‍යයකි.

සම්බුදු රජුන් වැඩසිටින කාලයේදී උන්වහන්සේගේ සමීපයෙන් බැහැරව මහණ දම් පිරී භික්‍ෂූන් වහන්සේ නමකට අමනුෂ්‍යාබාධකයක්‌ හට ගැණුනේය. එය සුවපත් කිරීමට උන්වහන්සේගේ ආචාර්ය පාදයන් වහන්සේටද නොහැකි වූ කල්හී ඒ හිමියෝ ඌරන් ඝාතනය කරන ස්‌ථානයකට ගොස්‌ අමු ඌරු මස්‌ කා ඌරුලේ පානය කළේය. එපමණකින්ම හටගෙන තිබූ රෝගාබාධය සුවවිණි.

දිනක්‌ මේ පුවත භික්‍ෂූන් වහන්සේලා විසින් බුදුහිමියන් වෙත සැල කළහ. එකල්හි බුදුපියාණන් වහන්සේ මහණෙනි අමනුෂ්‍ය භය දුරුකර ගැනීමට මා විසින් වදාළ පිරිත් ඇත්තේය. තොප ඒවායින් අමනුෂ්‍ය උපද්‍රව දුරුකරුගනිව් යෑයි නොවදාළ සේක. අනුජනාම් භික්‌ඛවෙ අමනුස්‌සකා බාධෙ ආමක මං සං ආමක ලෝහිතං යි වදාරා ඒ භික්‍ෂූන් වහන්සේ කළ දේම ස්‌ථිර කළ සේක.


Responses

  1. this is the way to distribute the real knowledge…..


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: