Posted by: lrrp | August 23, 2011

කුමන නැටුම් කෙළි කවට සිනාදා

තනිවම එන අපි

සුමේධ බ්‍රාහ්මණයෝ දුටුවන් ප්‍රිය උපදවන රූප ශෝභාවයෙන් හා සන්සුන් ඉරියව්වලින් යුත් ත්‍රිවේදය පරප්‍රාප්ත අථර්ව ෙච්දය ව්‍යාකරණය ජ්‍යෙතිෂ්ශාස්‌ත්‍රය ආදී අනෙකුත් බොහෝ ශාස්‌ත්‍ර මනාව ප්‍රගුණ කළ පිය තෙපුළින් යුත් උභය කුල පාරිශුද්ධ මහ පිනැති කුමරෙක්‌ම විය.

එහෙත් එක්‌ අභාග්‍ය සම්පන්න සිදුවීමක්‌ වුයේ කුමරු ළදරු කලදීම මව් පිය දෙදෙනා අභාවප්‍රාප්ත වීමය. තරුණ වියට පත් සුමේධ කුමරු ඇමතූ වස්‌තු රක්‍ෂා කිරීමෙහි නියුතුව සිටි රාසිවඩ්ඨක අමාත්‍යවරයා ස්‌වාමීනි මේ ධන රාශියෙන් මෙපමණ ඔබගේ මවු සතුය මෙපමණ ඔබගේ පිය සතුය මේ පමණ ඔබගේ මුතුන් මිත්තන් සතු යෑයි රන් රිදී මුතු මැණික්‌ වලින් පිරුණ ධන නිධාන බදු ගබඩා දොරවල් හැර පෙන්වීය.

හත්මුතු පරම්පරාවක්‌ තිස්‌සේ රැකගෙන හා වර්ධනය කෙරෙමින් ගෙන විත් ඇති මිල කළ නොහැකි මුතු මැණික්‌ රන් රිදී ආදී වස්‌තු වලින් පිරි මහා ධන නිධානය දුටු සුමේධ කුමරුන් මෙසේ සිතීය.

මගේ ආදරණීය පියාණන් වහන්සේ හා මෑණියන් වහන්සේ පරලොව යන්නාහු එකම එක කහවණුවක්‌ වත් රැගෙන නොගියේය. මා පරලොව යන දිනටද එය එසේම වන්නේය. එසේ නම් මේ ධනය මා විසින් දුගී මගී යාචකාදීන්ට බෙදා දිය යුතුය කියා රජු හට එපවත් දන්වා ධන ධාන්‍යයෙන් ප්‍රයෝජනවත් කෙනෙක්‌ වෙත් නම් සුමේධ බ්‍රාහ්මණයන්ගේ ගෙදරට එන්නේ යයි නුවර පුරා අඬ බෙර ගස්‌වා සත් දිනක්‌ පුරා ගබඩාදොර නොවසා දුගී මගී යාචකයින්ට මහත් දන් දුන් සේක.

බුදුන් නොදකිම්, එහෙත් නමදිම්

යම් කලෙක අප මහ බෝසතාණෝ ලුම්බිණි නම් වනයේ උපන්නේද එවේලෙහිම බිම්බා දේවි තොමෝද ජන්න අමාත්‍ය තෙමේද කාලුදායී අමාත්‍ය තෙමේද කන්ථක අශ්ව රාජයාද ජය ශ්‍රී මහා බෝධි වෘක්‌ෂයද සතර මහ නිධානයෝද ලොව පහල වූහ.

එදින තව්තිසා දෙව්ලොව මහත් උත්සව ශ්‍රීයක්‌ ගත් සෙයක. දිව්‍ය සමූහයා තුටු පහටු සිත් ඇත්තේ මහත් කෙළි දෙලෙන් කල් යවනා සේක. බත් කිස නිමවා දිවා විහරණයට තව්තිසා දෙව්ලොවට වැඩි සුද්දොaධන රජුගේ අතිමිත්‍ර අෂ්ඨ සමාපත්තිලාභී කාල දේවල නම් තාපසතුමා ක්‍රීඩා කරන නටන ගයන දෙවියන් දැක. එම්බා, දේවතාවෙනි මෙසේ සතුටින් නටා ගයා ක්‍රිඩා කරන්නට කාරණ කිම්දැයි විමසුවේය. දේවතාවෝ කියන්නාහු පින්වත් තාපසයානෙනි. ඔබ තාම නොදනීද මනුලොව සුදොවුන් මහ රජුට පින්වත් පුත් කුමරෙකු උපන්නාහ. ඒ කුමරු මතු ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධත්වයට පැමිණ ලොව සිසාර ධර්ම චක්‍රය පවත්වන්නේය. මතු අපටද ඒ සුමදුර දහම් ශ්‍රවණයටත් මනරම් බුද්ධ ලීලාව දකින්නටත් ලැබෙන්නේය. මේ සතුට ඒ උදෙසාය.

දෙව්ලොවින් මනුලොවට බැස රජගෙට පැමිණි කාල දේවල තවුසානෝ සුදොවුන් රජු ඇමතීය. මහරජ තොපට පුත් රුවනක්‌ ලැබුනේද ඔහු දකිනු කැමැත්තෙමියි කිහ.

රජ මාලිගය තුලට ගිය සුදොවුන් රජු පුත් කුමරා වඩා ඉදිරියට ගෙනවුත් පුත තපස්‌වීන් වැඳ පින් රැස්‌ කර ගනුවයි කියා කුමරු තාපසතුමාගේ පා මුල තබන්න සැරසීය.

විශ්මයෙනුත් විශ්මයකි. සුදොවුන් රජුටද පාලනය කරගත නොහැකි වූ ලෙසට ළදරු කුමරාගේ දෙපා ක්‍ෂණිකව ස්‌වයංක්‍රියව හැරි තාපසයානන්ගේ ජටා මස්‌තකයේ පිහිටියේය.

එසේ වුයේ ඇයි. සිදුහත් කුමරු ඒ වනවිට නම් නොතබා තිබුනද පෙරෙවි බමුණන්ගේ අනාගත වාක්‍ය පැවසී නොතිබුණද හෙතෙම සාරා සංඛ්‍ය කල්ප ලක්‍ෂයක්‌ පාරම් දම් පුරා සම්මා සම්බුද්ධත්වය ලබනට ආ මහ බෝසතාණන්ම විය. එතුමාගේ අවසන් අත් භවය වූ මේ ඉපදීමෙන් එතුමා ලවා තවුසා වැන්දවීමට සූදොවුන් රජු කුමරා තවුස්‌ පාමුල තැබුවේ නම් කාලදේවල තවුසානන්ගේ හිස සත්කඩකට පැලී යනු ඇත. මන්ද බුදු නොවුනද බෝසතානන් වඳිනු මිස බෝසතාණන් ලවා වැඳුම් ලබනට සමත් ජගතෙකු ලොව පහල නොවන බැවිනි.

මා නොනැසුව මැනවයි රජු හට කී කාලදේවල තාපසතුමා මහ හඬින් සිනාසී පසුව හඬා දොහොත් මුදුන් දී ළදරු කුමරුගේ දෙපා නැමදියේය. විපිළිසර වූ මහරජු තම ගුරු පියාණන් කුමරු දෙපා නැමදීමත් සිනාසීමටත් හැඩීමටත් කරුණු විමසීය. අතීතයට සතළිස්‌ කල්පයකුත් අනාගතයට සතලිස්‌ කල්පයකුත් අසු කල්පයකුත් දැකිය හැකි කාල දේවල තවුස්‌තුමා මේ කුමරා මතු ලොව්තුරා සම්මා සම්බුද්ධාවයට පත් වන බව දැක දෙපා නැමද ප්‍රිතියෙන් සිනාසුන බවත් ඒ බුදුබව ලබන කාලය වනවිට තමා මියගොස්‌ සිටින බැවින් බුද්ධ ශ්‍රීය දැක ගැනීමට නොහැකිවීමේ දුකින් හැඬු බවත් රජු අමතා කීහ.

බෝසත් කුමරා සුදුසු තැනෙක වඩා හිඳුවාලු සුදොවුන් රජු තම පුතු දෙපා වැන්දේය. පුත මේ මගේ පළමුවන වැඳීමය.

මට බුදුන් යනු මුළු ලෝකයමය

තමන්ගේ යෂ්ටි වන උයනට බුදුරදුන් ප්‍රමුඛ දහසකට වැඩි මහා සංඝයා වැඩ සිටින බව ආරංචි වූ බිම්බිසාර රජු මහ පිරිස්‌ රැගෙන බුදු රජුන් දකින්නට ආවෝය. රජු සහිත පිරිස මහත් බැතියෙන් හා ප්‍රීති ප්‍රමෝදයෙන් යුතුව බුදුරදුන් දෙපා නැමැද එකත්පස්‌ව උන්නද බොහෝ දෙනාගේ සිතේ පැවතියේ මහත් වූ සැකයකි.

භවත් ගෞතමයෝ උරුවේල කාශ්‍යපයන්ගේ ගෝලයෙක්‌ වීද උරුවේල කාශ්‍යපයෝ භවත් ගෞතමයන්ගේ ගෝලයෙක්‌ වීද සැකය එය වීය.

මෙසේ සැක ඉපිදවීමට සාධාරණ හේතුද බ්‍රාහ්මණයන් සතු වීය. සිදුහත් තවුසානෝ සම්මා සම්බුද්ධත්වයට පත්ව වැඩි කල් නොගොස්‌ තිබීමත් ඒ වන විටත් දහසක පිරිවර සමග තවුස්‌ දම්රැකි උරුවේල කාශ්‍යපයන් නදී, ගයා, කාශ්‍යපයන් සමග තමන් ලොව්තුරා දහම ප්‍රත්‍යක්‍ෂ කළ බව පැවසීමත්ය.

බමුණන්ගේ සිත්හි පහල වූ සැක සංකා ඉඳුරාම දත් බුදු පියානෝ උරුවේල කාශ්‍යප මහ රහතුන් දෙස බැලීය. උරුවෙල කාශ්‍යප තොපගේ පිරිස්‌ හි සැක සංකා තොපම හරවයි වදාළ සේක.

ඒ මොහොතෙහි නැගී සිටි උරුවෙල කාශ්‍යප මහ රහතුන් වහන්සේ බුදුරදුන් කරා පැමිණ ශ්‍රී පාදය වැඳ අවසර ලබා ආකාශයට පැන නැගී මහත් සෘද්ධි ප්‍රතිහාර්යන් පා නැවත බැස විත් බුදු රදුන් සිරිපා වැඳ පිරිස අමතා නුනුවණ මිනිසුනි, මාගේ ස්‌වාමි දරුවන් මා හා සමකොට නොසිතව්, මාගේ ස්‌වාමි දරුවන් නිසා මා හා මගේ පිරිස මිථ්‍යා දෘෂ්ඨියෙන් මිදුනෝ වීමු. සංසාර සාගරයෙන් එතෙර වූවෝ වීමු. බුදුරජාණන් වහන්සේ මට මව් වූ සේක. පිය වූ සේක. ගුරු වූ සේක. අපේ නෙත පෑදු අසම සම මහා කාරුණිකයාණෝ බුදුරජාණන් වහන්සේමය අනන්ත වූ බුදුගුණ පවසන්න වූ සේක.

කාශ්‍යප මහතෙරුන් දැක්‌වූ ප්‍රාතිහාර්යයත් උන්වහන්සේගේ ප්‍රකාශයත් ඇසූ මහ පිරිස්‌ සැක සංකා දුරුකොට මුමුණන්න වුයේ තමන් ඇතුළු පිරිස නිවන් මගට පිවිස ඇතැයි යනුවෙන් උරුවෙල කාශ්‍යප තවුසා ගත් මිථ්‍යා දෘෂ්ඨිය සම්බුදු රජාණන් විසින් බිඳහෙලා ඒ පිරිස යහමගට ගත් ආකාරයයි.

රැස්‌ව සිsටින පිරිසගේ විශ්මයාර්ථය සමනය කළ බුදු රජාණන් වහන්සේ ඔවුන් අමතා උපාසකවරුනි, මොහු ඇතුළු පිරිස මා විසින් ගලවා ගන්නා ලද්දේ මේ අත්භවයේදි පමණක්‌ නොව පෙරත් මා විසින් මොවුන් අපාය මුඛයෙන් ගලවා ගන්නා ලදී යනුවෙන් පවසා ඒ අතීත කතාව වූ මහා නාරද කාශ්‍යප ජාතකය දේශනා කොට වදාළ සේක.

බුදුරජාණන් වහන්සේ විසින් මෙසේ දේශනා කළ පළමුවන ජාතක කථාව මහා නාරද කාශ්‍යප ජාතකය වන අතර ඒ දේශනාව අවසානයේ බිම්බිසාර රජු ඇතුළු දහස්‌ ගණනක්‌ ජනතාව මාර්ග ඵල ලැබූහ.

කුමන නැටුම් කෙළි කවට සිනාදා

තරුණ වයසේ වූ භික්‍ෂූන් වහන්සේලා තිස්‌ නමම කැලණි සෑය නැමදීමෙන් පසු මේ ආපසු වඩින්නේ කැළෑ මගක්‌ ඔස්‌සේය.

පාන්දරම හේනේ වැඩට ගිය ගොවියා හිරු අවරට යත්ම නිවසට ඒමට පිටත් විය. හෙතෙම උදේ සිට දැඩි වෙහෙසව හේනේ වැඩ කළේය. ආපසු නිවස බලා ඒමේදී ගෙන ඒමට දර මිටියක්‌ද එකතු කළේය. අලුත ගිනි ලෑ හේනක්‌ බැවින් එහි වැඩ කළ ගොවියාගේ සිරුර පුරාම පාහේ දැලි අඟුරු ගෑවි කාල වර්ණ ගෙන තිබිණි. සිරුර පුරා නැගි දහදිය නිසා ඔහුගේ සිරුර දැලි කුණු අතරින් දහදිය බේරාගෙන වැටි විසුළු ස්‌වරූපයක්‌ ගෙන තිබිණ. හේ නිවස බලා මේ එන්නේ එකතු කරගත් දර මිටියද හිස තබා ගෙනය.

ඈතින් එන විකාර ස්‌වරූප සිරුරකින් යුත් ගොවියා දුටු සාමණේරවරු එකිනෙකා අමතමින් අර එන්නේ ඔබේ පියා. ඔබේ සුළු පියා ඔබේ මාමා ආදි ලෙසට එකිනෙකාට විහිළු කරගන්න පටන් ගත්තෝය. ලංව පැමිණෙන ගොවියාගේ දෙසවනටද මේ සාමණේර හිමිවරුන්ගේ නිමක්‌ නැති කවට බස්‌ හොඳින් ශ්‍රවණය වීය. ගොවියා හොඳටම ළං වූ කල ඒ හිමිවරු ගොවියාට උසුළු විසුළු කරන්නටද වූහ.

ගොවියාගේ සිත තදින්ම පෑරින. මේ නොහික්‌මුණ තරුණ හිමිවරු ගැන අනුකම්පාවක්‌ද හටගත්තේය. දර මිටිය හිසින් බිමට හෙලු ඔහු මාවතේ අයිනකට වී වස්‌ත්‍රයද සකසා ගෙන හිමිවරුන් වෙත ලංව නමස්‌කාර කළේය. ස්‌වාමිනි නැවතුන මැනවි. ආයාචනා කළේය. හිමිවරුද නැවතුනහ. එතකුදු විසුළු බස්‌ හා විසුළු රංගනයේ නිමක්‌ නොවීය.

ගොවියා සිය හඬ අවදි කළේය. ගරු කටයුතු හිමිවරුනි. ඔබ වහන්සේලා දූප්පත් මා දැක උසුළු විසුළු කරන්නාහ. මට පරිභව කරන්නාහු. අවමන් කරන්නාහ. එකිනෙකා පරයා කවට බස්‌ දොඩන්නාහ. මෙපමණකින් ඔබ වහන්සේලා හැම පරිපුර්ණත්වයට පත් වුවාහුදැයි සිතන්නාහුද. මම නම් එසේ නොසිතමි.

ස්‌වාමිනි මමද පෙර කළ ඔබ වහන්සේලා සේම පැවිද්දෙක්‌ වුවෙමි. මම මහත් සෘද්ධිබල ඇත්තෙක්‌ව විසීමි. මට කළ නොහැකි දෙයක්‌ නොවීය. මම අහස පොළව කළෙමි. පොළව අහස කළෙමි. සිතු සැනින් සක්‌වල සැරිසරා පැමිණියෙමි. මේ දෑතින් බොහෝ සක්‌වල ස්‌පර්ශ කළෙමි. මේ දෙපයින් ඒ සක්‌වල මැඩ ඇවිද්දෙමි. එහෙත් සුළු ප්‍රමාද දොaශයක්‌ නිසා මගේ සෘද්ධි ප්‍රාතිහාර්යය බලය මා වෙතින් ඉවත් විය. ග්‍රහලෝක ස්‌පර්ෂ කළ මේ දෑත් දැන් ගොවිතැන් කටයුතු කිරීම නිසා ගොරහැඩි වී ඇති ආකාරය ඔබට පෙනෙනු ඇත. ග්‍රහ තාරකා මැඩ ඇවිදි දෙපා දැන් මහපොලවේ දැඩි බවට කරගැට මතුව ඇති බව ඔබට පෙනෙනු ඇත. මා මෙන්ම අන් අයද මෙවැනි විපත්වලට පත් විමට ඉඩ තිබේ ඔබ වහන්සේලාගේ සිත කය වචනය යන තිදොරම සංවර කර ගන්නේ නම් යෙහෙකි. මා නිදසුනට ගන්න, අප්‍රමාදව දහමෙහි හැසිරෙන්න.

මේ ගොවියාගේ අතීත කතාවත් වර්තමාන තත්ත්වයත් වැටහීයත්ම සියලු සාමණේර හිමිවරුන්ට සත්‍යවබෝධය ලැබුණි. තමන් නොදැනුවත්ම පාහේ සිත කය වදන සංවර බවට පත්විය. ඇසිල්ලකින් සියලු හිමිවරුනට දහම් ඇස පහළ විය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: