Posted by: lrrp | August 23, 2011

පව් සේදීම වැනි පැන් සැපයීම

මාගමක්‌ නිසා

රහතන් වහන්සේ මහත් ගෞරවාදරයෙන් හා සන්තෝෂයෙන් රුවන්මැලි සෑ රදුන් වඳිනු දුටු උන්වහන්සේගෙ ශිෂ්‍ය අභිඥාලාභී සාමණේර හිමියන් ස්‌වාමීනි මල් ලදහොත් පුදන්නෙහිදැයි ඇසීය.

සාමණේරය මෙපමණ සර්වඥධාතුන් වහන්සේ වැඩ සිටින අන් වෙහෙරක්‌ නැත. මල් ලදහොත් කවරකු නොපුදා සිටී දැයි රහතුන් වහන්සේ විමසූහ. මඳකට ඉවසන සේක්‌වා යි පැවසූ සාමණේර හිමියන් ධ්‍යානයට සමවැදී අහසින් හිමාල වනයට පිවිස සුවඳින් හා පැහැයෙන් උසස්‌ මල් පෙරහන්ඩය පුරා ගෙනවිත් රහතුන් වහන්සේට පිදුවේ උන්වහන්සේ මහ සෑයේ දකුණු දිග සිට බස්‌නාහිර දිගට යන්නට ද කලිනි.

සාමණේරය මල් ඉතා මඳ නොවේ දැයි රහතුන් වහන්සේ කී කල සාමණේර භික්‍ෂුව කීයේ ස්‌වාමීනි බුදුගුණ සිහිපත් කරමින් පුදන සේක්‌වා යනුවෙනි.

රහතන් වහන්සේ මුදුන් වේදිකාවට නැග සෑය වටා මල් පිදූහ. වේදිකාව මලින් පිරිණි. එහෙත් පෙරහන හිස්‌ව නැත. දෙවන තුන්වන වේදිකාවලට ද මල් පිදූහ. ඒවාත් මලින් පිරුණද පෙරහන හිස්‌ නොවීය. උන්වහන්සේ සෑ මළුවේ මල් විසුරුවා හලය. එමතුදු පෙරහනෙහි මල් හිස්‌ නොවනු දැක සාමණේරය මල් අවසන් නොවන්නේය කියූහ. ස්‌වාමීන් පෙරහනෙහි මුව යටි කොට සලනු මැනවි සාමණේරයෝ කී කල්හි එසේ කිරීමෙන් පෙරහන හිස්‌ වීය.

සෑ මළුව වටා නැවත ද පැදකුණු කොට සෑ රජුන් නමස්‌කාර කර ආපසු එන ගමනේ මහ රහතන් වහන්සේ සාමණේරයන්ට මේ සෘද්ධිය රැක ගත හැකි දැයි දිවසින් බැලූ කල එසේ රැකගත නොහැකි බව දැක, සාමණේරය දැන් තෙපි මහත් සෘද්ධි ඇත්තාහුය. මතු කාලයේ තොපට මේ සෘද්ධියෙන් පිරිහී කණ ගැහැනියක්‌ පිසදෙන කැඳ බී ජීවත්වන්නට සිදුවන්නේය. එහෙයින් අප්‍රමාද වුව යෑයි පැවසූ සේක.

රහතන් වහන්සේ අනාගතය බලා මෙසේ පැවසුවද, සාමණේර හිමියන් තෙරුන් වහන්සේගෙන් කමටහන් ගෙන මගඵල ලබා ගැනීමට උත්සුක නොවූයේය.

ටික කලක්‌ ගතවිය. අහසින් සෘද්ධි බලයෙන් යන සාමණේරයන් විලක්‌ අද්දර ගී ගයන ලඳක්‌ දැක රාගය ඇවිස්‌සී ධ්‍යානයෙන් පිරිහී සිවුරු හැර ඇය හා වාසය කරන්නට පටන් ගත්තේය. ඔවුන් ජීවත් වූයේ රෙදි විවීමෙනි. දිනක්‌ බොහෝ වේලා ගොස්‌ව දිවා ආහාරය ගෙනා බිරිඳ දැක කිපුණ හිමියා බිරිඳට දොස්‌ කියන්නට විය. බිරිඳ ද කියන්නේ වෙන ගෙවල්වල අතට පයට වැඩකාරයෝ පවා සිටියද, අපේ ගෙදර හරිහැටි දුරු මිරිස්‌ පවා නැත. ඉන්නේ නිකම් බණින්න දන්නා අය පමණි. ඔබ කැමති නම් කන්න නොඑසේ නම් නිකා ඉන්න යි කීවාය.

බිරිඳගේ මේ වදන් වලින් හොඳටම කිපුණු ස්‌වාමියා නූල් ඔතන දණ්‌ඩක්‌ ගෙන බිරිඳට දමා ගැසීය. දණ්‌ඩ බිරිඳගේ මුහුණ කරා ඇදී ගිය අතර, කොණක්‌ වැදී බිරිඳගේ ඇසක්‌ අන්ධ විය. ඔහුට රහතන් වහන්සේගේ අනුශාසනාව සිහිපත් වූයේ එවිටය.

අලස රෝගයට බෙහෙත ලැඡ්ජාවයි

සෝමමිත්ත වනාහි ත්‍රිවේදයේ පාරප්‍රාප්ත වූවෙකි. බුදු දහමෙහි හරය දුටු සෝමමිත්ත මහණව උපසම්පදාව ලැබීය. විමුක්‌තිය පාදා ගනු වස්‌ මහණ දම් පිරිමට සෝමමිත්ත හිමි ගියේ විමල නම් වූ හිමියන්ගේ උපකාර හා අනුශාසනා ලබාගැනුමටය. එහෙත් විමල හිමි වනාහි උපන් ගෙයි අලසයෙක්‌ වීය. එහිමියෝ රෑ දාවල් නොබලා නිදා ගැනීමෙන්ම කාලය ගෙවා දැමීම පුරුද්දක්‌ කරගෙන සිටි අයෙකි.

මේ අලස නිදි කුම්භකරණයා ළඟ සිටීමෙන් මට ද වන්නේ අවැඩක්‌ය සිතූ සෝමමිත්ත තෙරණුවෝ විමල හිමි හැරදා මහා කාශ්‍යප හිමියන්ගේ අරමට ගොස්‌ එහිමියන්ගේ කමටහන් ලැබ භාවනානුයෝගීව සිට නොබෝ දිනකින්ම රහත් වූහ.

මහරහත් බවට පත් සෝමමිත්ත හිමියෝ අලසව කුසීතව වෙසෙන විමල හිමියන් කෙරෙහි අනුකම්පා කර එහිමියන් හමුව ලඡ්ජාවට පත් කරණු වස්‌ මෙසේ කීහ.

මිනිසකුගේ බර ඉසිලීමට ප්‍රමාණවත් නොවන කුඩා ලී කැබෙල්ලක්‌ ගත් තැනැත්තා යම් සේ මහ සයුරේ ගිලියා ද එලෙසින්ම අලසයා ඇසුරු කරන අනෙක්‌ යහපත් තැනැත්තා ද සංසාර සාගරයේ ගිලේ. එබැවින් වීර්යවන්ත පුද්ගලයා අලසයා හා ඇසුර අත්හරින්නේය. එසේ කොට විවේකය භජනය කරන්නා වූ නිවනට යෑවූ සිත් ඇත්තා වූ ධ්‍යාන කරන්නා වූ පටන් ගන්නා ලද වීර්යය ඇත්තා වූ පණ්‌ඩිත වූ ආර්යයන් ම එක්‌ව වාසය කරන්නේය.

මේ බස්‌ ඇසූ විමල හිමියන් ලැඡ්ජාවට පත්ව අලස බව හැරදා උත්සාහවත්ව විදර්ශනා වඩා සියලු කෙලෙසුන් නසා රහත් වූහ.

සත්‍ය ක්‍රියා කළ යුත්තේ සත්‍යවාදියෙක්‌මය

චක්‌කණ අතීතයේ ලක්‌දිව විසූ දැහැමි තරුණයෙකු වීය. හේ සිය මව හා වැඩිමහල් සොහොයුරා සමඟ විසීය.

හදිසියේ චක්‌කණගේ මව රෝගාතුර වූවාය. ප්‍රතිකාර කළ වෛද්‍යවරයා කීවේ රෝගියාට හා මස්‌ දිය යුතු බවය. චක්‌කණගේ සොහොයුරා හා මස්‌ සොයා ගෙන එනු පිණිස චක්‌කණ කෙතට පිටත් කළේ කොහොම හරි හාවෙකු මරාගෙන එන්න නැතිනම් අම්මාගේ ජීවිතය අවදානමේ යි කියාය.

කෙතෙහි ඇවිදින චක්‌කණගේ පා ශබ්දය ඇසුණ ගොයම් කෑමට ආ සාවෙකු පණ බයේ දුවන්නට විය. මේ දුටු චක්‌කණ ද හාවා පසුපස පැන්නීය. අවසානයේ හාවා චක්‌කණට අසුවීය. චක්‌කණ හාවා මරන්න ලෑස්‌ති විය. ඒ සමඟම ඔහුගේ සිතට නැඟුණේ එක්‌ අයෙකුගේ ජීවිතය බේරා ගැනීමට තව අයෙකු මැරිය යුතුද යනුවෙන් ප්‍රශ්නයකි. හාවා නිදහස්‌ කර යෑවූ චක්‌කණ හිස්‌ අතින් ගෙදර ගොස්‌ සිදු වූ පුවත සොහොයුරාට පැවසීය. මවගේ ජීවිතය ගැන කියූ සොයුරා චක්‌කණට තදින් දොස්‌ පැවරීය.

තමා කළ යහපත් ක්‍රියාව ගැන මෙනෙහි කරමින් ම චක්‌කණ ගියේ රෝගාතුරව වැතිර ඉන්නා මව සමීපයටය. හෙතෙම මව දෙස බලා සත්‍ය ක්‍රියා කරන්න විය. උපන් තැන් පටන් මේ දක්‌වා මම දැන දැන කිසි කලෙක සතෙකු නොමැරුවෙමි. ඒ සත්‍යානුභාවයෙන් මාගේ මැණියෝ සුපවත් වේවා. හාමස්‌ නොලැබම උතුම් සත්‍ය ක්‍රියාවෙන් මවගේ රෝගය සුවපත් විය.

පව් සේදීම වැනි පැන් සැපයීම

අනාදිමත් කාලයක සිට හින්දු බැතිමතුන්ගේ විශ්වාසය වූයේ ගංගා නම් ගඟේ ජලයෙන් පව් සෝදා හැරිය හැකි බව ය. මේ සඳහා ම වෙන් වූ පුණ්‍ය තීර්ථයන්හි බැස නා තෙත ඇඳුමින් ම හිරු දෙවි පුදන බැතිමත්හු ද කොතෙකුත් වෙති.

දිනක්‌ ආර්ය දේව පාදයෝ ගංගා නම් ගඟ අසලින් යන්නේ එලෙස ගඟ දියෙහි බැස නාන බැතිමතුන් දුටහ. තෙරණුවෝ ද ගඟට බැස දිය යන පසට විරුද්ධව සිට හිස පහත් කොට හිසින් දිය විසුරුවන්නාහ. මේ ක්‍රියාව දුටු මහලු හින්දු බැතිමත් බමුණෙකු තෙරුන් වෙත ළඟා වී මෙලෙස තෙපලීය.

දරුව, මේ ලෙස දිය විසුරුවීමෙන් ඇති ඵලය කුමක්‌ද. මගේ මව හා පියාණන් සේම නෑසියෝ ද වෙසෙන්නේ ලක්‌දිවෙහිය. ඔවුන් සා පිපාසාවෙන් පෙළෙතියි. බියවන නිසා ඔවුන් එයින් මුදාගනු පිණිස පැන් ඉසිමි.

මෝඩ දරුව, ඔබ උපන් රට ඔබේ දෙමාපිය නෑසියෝ වෙසෙන රට පිහිටා ඇත්තේ ගව් ගණනක්‌ දුරිනි. කඳු හෙල් පර්වත ගස්‌ කොලන් වලින් වට වී තිබුණාට අමතරව නිවෙස්‌ තුළට වී සිටින්නාවූ ද අයගේ සා පිපාසා දුරලීම් වස්‌ මෙහි සිට දිය ඉසීම, ඔබ ඉදිරියෙන් ඇති දෙයක්‌ සෙවීමට පස්‌සෙන් පස්‌සට යන්නා වැනි මුග්ධ ක්‍රියාවක්‌ම වැන්නේය.

මහල්ලාගේ එබසට තෙරණුවෝ කියන්නේ, “ජලයෙහි බැස නෑමෙන් පව් සේදේ නම් දියෙහි වෙසෙන මසුන්, ඉදිබු කැසුබු ආදීන් ශ්‍රේෂ්ඨ ශුද්ධ වන්තයෝ වෙති. දියෙහි බැස හෙව නහා ශුද්ධ වීමෙන් පරලොව ගියවුන්ට සෙත ශාන්තිය උදා වේ නම් මේ මහ පොළොවෙහිම වෙනත් තැනක වසනා මගේ ඥාතීන්ට ඉන් පිහිටක්‌ නොවන්නේ කෙසේද.

අමතක කළ නොහැකි මතකය

ඒ අනුරාධපුර මුල්ම සමයයි. පිරිවෙන් ආචාර්යවරයකු වූ දේව තෙරණුවෝ මැඳුම් සඟිය උගන්වන්නේ කටපාඩමෙනි. මලෑ දහම් වැසි මහාදේව තෙරණුවෝ හමුවේ දේව තෙරණුවෝ මේ අයෑද සිටින්නේ සමාධිය ලබා ගැනීමට අවශ්‍ය කමටහන් දෙන ලෙසය.

ආයුෂ්මතුනි, ඔබගේ ඉගෙනීම කොතෙක්‌ දැයි” මහාදේව තෙරණුවෝ විචාලහ.

ස්‌වාමීනි මම මැඳුම් සඟිය ඉගෙන ගත්තෙමි. දේව හිමියෝ පිළිවදන් දුන්නේය.

ආයුෂ්මතුනි, මැඳුම් සඟිය පරිහරණය අපහසුය. මුල් සූත්‍ර පනහ පිරිවන්නාට මැද පනස ඉදිරිපත් වන්නේය. මැද පහන පිරිමහන්නාට උපරි පනහ ඉදිරිපත් වන්නේය. එබැවින් ඔබට කුමට කමටහනෙක්‌” දැයි මහාදේව තෙරණුවෝ ප්‍රශ්න කළහ.

“ස්‌වාමීනි නුඹ වහන්සේ වෙත කමහටන් උගෙන නැවත වැඳුම් සඟිය නොබලම් යි දේව තෙරණුවෝ ගිවිස්‌සාහ.

මහාදේව තෙරණුවෝ කමටහන් දුන්හ. කමටහන් ලැබූ දේව තෙරණුවෝ භාවනා කරනු පිණිස වනයට වැඩ පුරා විසි වසක්‌ නොපිරිහුණ උත්සාහයෙන් රහත්බව ලබා ආපසු ආරාමයට වැඩියහ. එකල්හි මැඳුම් සඟිය පිරිවහනා පිණිස පැමිණ සිටි භික්‍ෂුන් අමතා මෙසේ ප්‍රකාශ කළහ.

ආයුෂ්මතුනි, මම විසි වසරක්‌ මැඳුම් සඟිය නොපිරිවැහුයෙමි. ඔබගේ ඉගෙනීම පරිදි අරඹන්න යි පවසා මුල පටන් අවසාන දක්‌වා එක්‌ අකුරකුත් නොවරදවා කීයේය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: