Posted by: lrrp | August 23, 2011

ලාභය පතා යාගයක්‌

පතිරූප දේශයම වාසයට ගන්න

තමන් වහන්සේ වටකොට සාවධානව නෙත් යොමා ගෙන, කන් අයාගෙන අසා සිටින භික්‍ෂු සංඝයා වෙත බුදු උතුමෙකුට පමණක්‌ සීමා වූ මහා කරුණා ගුණයෙන් ඔවා දෙන්නේ,

මහණෙනි සසර සැප කැමැත්තෝ හෙවත් විමුක්‌ති මගට පිළිපන් අය තමන්ට ගෝචර වූ ස්‌ථානවලම හැසිරිය යුතුය. අගෝචර ස්‌ථානවල නොහැසිරි යුතුය. කෙසේ ද යත්, මහණෙනි, හිමාල වනයේ වඳුරනට යා නොහැකි ස්‌ථාන ඇත. මිනිසාට යා නොහැකි ස්‌ථාන ඇත. වඳුරනටද මිනිසුනටද යා නොහැකි ස්‌ථාන ඇත. මිනිසුනට යා හැකි ස්‌ථාන ඇත. වඳුරනට ද මිනිසුනට ද යා හැකි ස්‌ථාන ඇත. මහණෙනි මේ ස්‌ථානයක වැද්දෝ වඳුරන් යනෙන තැනෙක මරා ගැනුමට උන් අල්ලා ගනු පිණිස වඳුරුලාටු (කොහොල්ලෑ බබෙකු) ගල්වා තබති. මේ දකින බාල ගති නැති සීමා සහිත ආශා ඇති නුවණක්‌කාර වඳුරෝ එය දුරු කරමින් ඈතින් ගමන් ගනී. එහෙත් බාල ගති ඇති පාලනය කළ නොහැකි ආශා ඇති පහත් ගති ඇති වඳුරෝ එතැනට ගොස්‌ එම ලාටුවලින් සාදා ඇති මළ පුඩුවට (කොහොල්ලෑ බබාට) අතින් ගසයි. එම අත ඇලෙයි. ඒ අත නිදහස්‌ කර ගැනුමට අනික්‌ අතින් ගසයි. ඒ අතද ඇලේ. දෑත මුදවා ගනු පිණිස වම් පයින් ගසයි. ඒ පයද ඇලෙයි. ඒ පාදය ගලවා ගනු පිණිස දකුණු පාදයෙන් ගසයි. එයද ඇලෙයි. ඇල වුණ දෑත් දෙපා මුදවා ගනු පිණිස හිසෙන් ගසයි. එය ද ඇලී අන්තිමේ වැද්දාට ගොදුරු වේ.

මහණෙනි ඒ බාල ගති ඇති වඳුරනට මෙසේ වැද්දාට බිලිවීමට සිදුවූයේ තමන්ට ගෝචර හෙවත් සුදුසු විෂය තෝරා නොගැනීමයි. එබැවින් මහණෙනි, ඔබට ද සුදුසු ගෝචර ස්‌ථාන ඇත. එහි හැසිරෙන්න.

ලාභයම පතා යාගයක්‌

පසේනදී කෝසල රජු එදින සයනගත වූයේ බලවත් ලෙස තමා පෙළුE චිත්ත පීඩාවක්‌ද සමගිනි. ඒ රාත්‍රියේ රජු සිටියේ නින්දත් නොනින්දත් අතරය. හිටි ගමන් රජු සවනත වැකුණේ මහා ශබ්දයකින් කියවුන දූ -ස – න -සෝ – යන අකුරු සතරය. එතැන් සිට පහන් වනතුරු බිය නිසාම නිදි වර්ජිතව ගත කළ කොසොල් මහරජ පසුදා පාන්දරම තමා මුහුණ පෑ සිද්ධිය පුරෝහිත බමුණාට සැළකර එහි තේරුම විමසීය.

තම දැනුමේ තරමින් මේ ගැන විමසූ පුරෝහිත බමුණාට පැහැදිලිව පෙනී ගියේ රජුට මෙයින් සිදුවන හානියක්‌ නොමැති බවය. එසේ වුවද රජතුමා නිතරම ශ්‍රමණ භවත් ගෞතමයන්ටත් එතුමාගේ ශ්‍රාවකයන්ටත් දාන මාන පුද සත්කාර කළද බ්‍රාහ්මණයන්ට කිසිවක්‌ නොලැබෙන හෙයින් උනට යහපතක්‌ කිරීමට මෙය යොදා ගනීමියි සිතා රජතුමා බිය කිරීමට දේවයන් වහන්ස මේ ඉතා නපුරු සීනයකි. ස්‌ථිර ලෙසම මෙයින් රාජ්‍යයට අනතුරක්‌ හෝ ඔබ වහන්සේගේ ජීවිතයට අනතුරක්‌ හෝ වැසී නැතිව යාමක්‌ සිදුවිය හැකි යෑයි කීය. බියපත්වූ රජු මෙයට කළ හැකි ප්‍රතිකර්මය කුමක්‌දැයි පෙරෙවි බමුණාගෙන්ම විමසීය. කපටියකු වූ පෙරෙවි බමුණා එය මට කිව නොහැකියි. බ්‍රාහ්මණ මණ්‌ඩලය හා සාකච්ඡා කොට තීරණය කළ යුතු යෑයි කීය. එසේ නම් වහා ගොස්‌ සාකච්ඡා කොට පිළියමක්‌ කරවයි රජු කීයේය.

නික්‌ම ගිය පුරෝහිත බමුණා ඉතිරි බමුණන් රැස්‌කොට කාරණය කියා තෙපි තුන්කොටසකට බෙදී තුන් වරකට රජු හමුවී මේ විපතින් ගැලවීමට නම් සර්ව පඤ්චසතික මහා යාගය කළ යුතු යෑයි කියවයි නියම කළේය. ඉක්‌බිති ඔවුන්ගේ පළමු කොටස රජු හමුවට පැමිණ මේ යාගය ගැන කීවිට රජු එය නොපිළිගත්තේය. දෙවන කොටසද පැමිණ එයම කීවත් නොපිළිගත්තද තෙවන කොටසත් පැමිණ එයම කීයෙන් සත්‍යයකැයි සිතූ රජ යාගය කිරීමට අවසරය දුන්නේය.

බමුණෝ යාගය සූදානම් කළාහුය. එක්‌ එක්‌ සිවුපා සතුන්ගෙන් පන්සීය බැගින් ගෙන යාග වධක භූමියෙහි බැඳ දමන ලදී. මේ සමග මේ සිද්ධිය නිසා රට පුරා මහත් කැළඹීමක්‌ ඇති විය. රජුගේ එක්‌ බිසවක්‌ වූ මල්ලිකා දේවියටද මේ පුවත අසන්නට ලැබී වහා රජු වෙත පැමිණ විස්‌තර අසා සිටියාය. රජු තමාට දැන ගන්න ලැබුණු කරුණු පැවසූ විට දේවිය, දේවයන් වහන්ස බුදුරදුන් වෙත ගොස්‌ මේ කාරණය සැළ කරනු මැනවයි කීවාය.

රජතුමා ද වහා බුදුරදුන් හමුවට ගොස්‌ තතු කියා යාගය සූදානම් බවද පවසා සිටියේය. සියල්ල දත් මහා කාරුණිකයාණන් වහන්සේ රජු අමතා ඒ සිහිනයෙන් රජුට හෝ රාජ්‍යයට කීසිදු විපතක්‌ නොවන බවත් ඒ වනාහී නිරයේ පැසෙන සිටුවරු සතර දෙනකු නිරයෙන් උඩට මතුවූ වේලේ කීමට හැදූ ගාථා සතරක මුල් අකුරු බවත් කිසිවකුට විපතක්‌ නැති මේ සිද්ධියට අහිංසක සතුන් බිලි නොදෙන ලෙසත් වදාළහ. සැක බිය දුරු කළ කොසොල් රජතුමා යාගයට සූදානම් කළ අසරණ සිවුපා සතුන් වහා මුදා හරින ලෙස නියෝග කළේය.

විමුක්‌තියේ උපත සහ විමුක්‌ති උදානය

බුදු උපතින් ගෙවුන පළමු සත් සතිය තුළම බුදු සිරුරෙන් සවණක්‌ ඝණරැස්‌ විහිදෙන්න පටන් ගත් බව බෞද්ධයෝ දනිති. මිනිස්‌ හෝ සත්ව පමණක්‌ නොව දෙව් බඹු අයකුගේ නෙතට දැකිය හැකි චිත්තාකර්ෂණීයම රුව හිමිව තිබුණේ ද බුදුපියාණන් වහන්සේටමය. ඒ රූපයේ මුල්ම අඩිතාලම වූයේ බුදු සිත ලොව පවතින මොනම හැඟීමකින් හෝ අංශු මාත්‍රයක්‌ තරම් පමණ හෝ නොසැලීමයි. කම්පනය නොවීමයි.

බුද්ධ ශරීරය දුටු ක්‍ෂණයකින්ම අන්ද මන්ද වන තරමට වශීකෘත හා පහන් හැඟීමක්‌ ජනිත වූ උපක ආජීවකයා බුදු හිමියන් අමතා ඔබ කව්ද? ඔබගේ ගුරුවරයා කව්දැයි විමසා සිටියේය.

තමන් වහන්සේ සියලු කෙළෙසුන් නසා සම්මා සම්බුද්ධත්වයට පත් තිලෝක තිලකායමානවූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ බව පැවසූ උන්වහන්සේ තමාගේ ගුරුවරයා කවුද යන පැනයට මෙසේ පිළිතුරු දී වදාළහ. “මම සියලු ධර්මයන්හි නොඇලී සිටිමින් සියල්ල දැන ගතිමි. සියල්ල ජයගතිමි. සියල්ල අත හැරීමි තණ්‌හාවෙන් සම්පූර්ණයෙන්ම මිදුනෙමි. මා විසින්ම සියල්ල දැන ගනිමින් තණ්‌හාවෙන් මිදුන කල්හි දැන් මේ මගේ ගුරුවරයා යෑයි කියන්නේ කාටද?

සොණාකුට්‌ටි කණ්‌න මහ රහතුන් වහන්සේ රහත් බව ලැබූ පසු උදාන ගීයක්‌ ගැයූ සේක.

“උපසම්පදාව මේ ලද්ධා විමුතෙතාචමග අනාසවෝ

සො ච මෙ භගවා දිටෙඨා විහාරෙච සහාවාසිං”

මම උපසම්පදාව ලබා ගත්තෙමි. විමුක්‌තිය ද ලබා ගත්තෙමි. භාග්‍යවතුන් වහන්සේ දැක ගත්තෙමි උන්වහන්සේ සමග එකම විහාරයෙහි වාසය කරමි.

සිතන්න මොහොතකට, විමුක්‌ති මාර්ගයට පිළිපන් එය අවබෝධ කරගත් අයෙකුට හෝ සාරා සංඛ්‍ය කල්ප ලක්‍ෂයට පසුව පහළවන තුන්ලෝකාග්‍ර වූ කරුණානිධාන වූ මෛත්‍රී මූර්ති වූ මහා කාරුණිකයාණන් වහන්සේගේ සෙවන සමීපයේ එකම අරමක වැඩ සිටීම තරම් සතුටක්‌ සැනසීමක්‌ නිවන හැර තවත් ඉතිරිව තිබේද.

ජාතිය නොව හැසිරීමම විමසන්න

සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණ තෙමේ අග්නිහෝමය පැවැත්වීමෙන් පසු කවරෙක්‌ මේ භව්‍යශේෂය (යාගයෙන් ඉතිරි ආහාර) අනුභවයට සුදුසු දැයි සිතමින් වමතින් භව්‍ය ශේෂයද දකුණතින් පැන් කෙණ්‌ඩිය ද ගෙන යමින් වනය සිසාරා බලන්නේ ගසක්‌ මුල සිවුරුපටින් හිස වසාගෙන වැඩ සිටින බුදුරජාණන් වහන්සේ දැක ඒ නම් බ්‍රාහ්මණයකුයි සිතා එතැනට ගියේය.

බමුණාග් අඩි ශබ්දයෙන් බුදුරජාණන්වහන්සේ ද සිවුරු පටින් හිස මුදා බමුණා දෙස බැලීය. මුඩු හිස දුටු සුන්දරික මේ මුණ්‌ඩකයකැයි කියා ආපසු යන්නට ගොස්‌ නැවත හිස මුඩු කළ බමුණෝත් ඇත. එහෙයින් මොහු වෙත එළැඹ ජාතිය විමසන්නෙමැයි සිතා බුදුරදුන් වෙත පැමිණ ඔබේ ජාතිය කුමක්‌දැයි විමසූහ. එවිට බුදුරජාණන් වහන්සේ ජාතිය නොවිචාරව චරණය විචාරව කාෂ්ටයෙන් ගිනි හට ගන්නාක්‌ මෙන් කවර කුලයක උපන්නත් වීර්යවත් වූයේ ලඡ්ජාවෙන් පව් වළකා සිටියේ ක්‌ෂීණාස්‍රව මුනිවෙයි ආදී ලෙසට නියම මුනිවරයකුගේ ලක්‍ෂණ පවසා එබඳු කෙනකුට දන් දෙන්නා දක්‍ෂිණාර්භයකුට දන්දෙන්නෙක්‌ වේ යයිද පැවසූහ.

කරුණු තේරුම් ගත් සුන්දරික ඔබ වහන්සේ වැනි සුදුස්‌සන් නොලැබෙන හෙයින්ම අන්‍යයෝ මෙය වළඳන්නාහ. භවත් ගෞතම තෙමේ මෙය වළඳවයි බුදුරදුනට තම අත තිබූ යාගයේ ඉතිරි ආහාර (භව්‍යශේෂය) පෑහ. අග්නියක්‌ උදෙසා පිළියෙල කෙරුණ ද යාගයකටම පිළියෙල වූවක්‌ වූ බැවින් බුදුරජාණන් වහන්සේ සුන්දරිකගේ භව්‍යශේෂය නොපිළිගත්හ.

වෙසතුරු සිරිත

සතුන් මරා බිලිපුජා ලෙස හා ගින්නට දාන වස්‌තු පිදීම වැනි යාගයන් හි ආදීනව ගැන බුදුන් වහන්සේ දේශනා කළද උන්වහන්සේ ද පෙර වෙස්‌සන්තරව උපන් ජාතියේදී ශප්ත ශතක මහා යාගයක්‌ පැවැත්වූහ.

වෙසතුරු රජ දවස ද බමුණෝ සතුන් මරා එම ලෙයින් නොපෙනෙන දෙවියන් පිදූ අතර එවන් මහා යාග විසල් ලෙස කරන කල්හි සප්ත ශතක මහා යාග ලෙස හැඳින්විණි. වෙසතුරු මහ රජුද ශප්ත ශතක මහා යාගයක්‌ ලෙස සුවිසල් දානයක්‌ දුන් අතර එහිදී එකදු සතකුගේ ජීවිත හානි නොකෙරිණි. සතර දෙසින් පැමිණි ප්‍රතිග්‍රාහකයෝ කැමැති කැමැති තරමක්‌ දාන වස්‌තු රැගෙන ගියහ. වෙසතුරු රජුගේ මහ යාගයේත් බමුණන්ගේ යාගවලත් වෙනස වූයේ එයයි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: