Posted by: lrrp | August 29, 2011

අදින් දසක හයකට පෙර සිද්ධියක් ඇසුරිනි

ඉස්කෝලේනෝනා විදානෙ මහත්තෙයාගේ ලොකු දියණියයි. නමින් සුමනාවතී වුව ද මුළු ගම ම ඇය අමතන්නේ කට පුරා අපේ ඉස්කෝලේ නෝනා නමිනි. ඇය ඉතා පියකරු ය. අහිංසක ය. ඕනෑවටත් වඩා දෙමව්පියන්ට කීකරු ය. ගමේ කවුරුත් ඇයට දක්වන්නේ ගෞරවණීය ළෙන්ගතුකමකි. ගමෙන් ඈත පාසලක ඉගැන්වීම් කළ ඇය සඳුදා පාන්දර ගෙදරින් පිටව යයි. නැවත ගෙදර එන්නේ සිකුරාදා සවස ය.

බස් පාරේ සිට සැතපුම් කාලක් පමණ ගම ඇතුළත පිහිටි විදානෙ ගෙදරට ගුරු පාර දිගේ ඇය පයින්ම ආවාය. ඇය බසයෙන් බැස ගමට එන හැටි දකින ගමේ වැඩිහිටි කාන්තාවෝ “ඉස්කෝලේ නෝනා දෙන්න බෑග් එක මම ගිහින් දෙන්නම්” යැයි ඇගේ ඇඳුම් බෑගය බලෙන් ම වාගේ ඉල්ලා ගෙන ගෙදර ගේට්ටුව ළඟට ම ඇරලව යි.

විදානේ මහත්තයා මන්ත්‍රීතුමාගෙන් කළ ඉල්ලීමක් අනුව ඉස්කෝලේ නෝනාට ගමට කිට්ටුව පේරලන්ද කණිටු විදුහලට මාරුවීමක් ලැබුණි.

මේ අතර පේරලන්ද විදුහලේ විදුහල්පතිතුමාට ඉස්කෝලේ නෝනා විවාහ කැරදීමට ද සාකච්ඡා කොට තිබුණි. සති අන්ත නිවාඩුවකට ඇය නිවසට පැමිණි සිටි දිනයක පේරලන්ද විදුහල්පති පීටර් මහත්මයා ද ඥාතීන් කීප දෙනෙකු සමඟ විදානෙ ගෙදරට පැමිණියේය. මනාලිය දැක බලාගෙන එදින ම කැමැත්ත පළ කළේය. ඊළඟ සතියේ ඇය පේරලන්ද විදුහලේ සේවයට පැමිණ වැඩ බාර ගත්තාය.

විදානෙ මහත්තයා විසින් සුමනාවතී ඉස්කෝලේ හාමිනේ විදුහල්පති පීටර් මහත්යාට චාරිත්‍රානුකූලව විවාහ කර දෙන ලදී. පීටර් මහත්තයාගේ මහ ගෙදරට කැන්දා ගෙන ගිය මනාලිය දින කීපයකින් මනාලයාගේ පාසලේ ගුරු නිවාසයට කැඳවාගෙන එන්නට යෙදුණි.

පීටර් ලොක්කාගේ චරිතාපදානය අනාවරණය වන්නේ මෙතැන් සිට ය. පහුගිය කාලයේ කොහොම කෑවත් දැන්නම් මේ මනුස්සයාට පාන්දර ම හීල් බත් ඕනෑය. පාන්දරින් සප්පායම් වන ඔහු ටුවිට් රෙද්දත් කෝට් බෑයත් ඇඳ ගෙන ඉස්කෝලේ වත්ත පුරා ඇවිදියි. ඒ ඔහු ළමයින් ලවා ඉන්ද වූ එළවළු වගාවන් බැලීමට ය. ඉන් පසු විදුහල්පති කාමරයට රිංගා ගනී. ඊළඟට කාමරයෙන් එළියට එන්නේ උදේ රැස්වීමට ය. ඔහුගේ ගොරහැඩි හඬින් ළමෝ පන්සිල් සමාදන් වෙති.

ඊළඟ දේශනය ද ඔහුගේ මය. එයට රට, ජාතිය, ආගම, අනගාරික ධර්මපාලතුමා, මොහොට්ටිවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ, කුඩාපොළ හාමුදුරුවෝ වශයෙන් එකතු කරයි. ඉන්පසු ළමෝ එකා පස්සේ එකා පන්ති කාමරවලට යති. පන්තිවල වැඩ ආරම්භ වූවාට පසු ලොකු මහත්තයා පන්තියෙන් පන්තියට අධීක්ෂණ චාරිකාවේ යෙදෙයි. ඔහු පන්තියකට ආ විගස පන්ති භාර ගුරුවරයා තමන් කරමින් සිටි පාඩම අතරමඟ නතර කැර කෙටි තාප්පයට හේත්තු වී නිහඬ වෙයි.

වේවැළක් පස්ස පැත්තේ සඟවා ගෙන එන ඔහු එය ළමයෙකුට දික්කර “උඹ කියාපන් බලන්න ලෝවැඩ සඟරාවෙන් කවියක්” යැයි නියෝග කරයි. මොහුගේ හැටි දන්නා ළමයි සීමිත වූ කවි කීපයක් පාඩම් කැර ගෙන සිටිති. ළමයි එය තාලයට කී පසුව “බොහොම හොඳයි බොහොම හොඳයි” කියා පන්තියෙන් පිටව යයි. පාඩම වැරැද්දුවොත් ගුරුවරයා දෙස රවා බලයි. මෙසේ බුදුගුණාලංකාරය, ලෝකෝපකාරය භාවිත කරයි. “උඹ කියපං අට වරක් හය කීයද? කියලා”යි අහන අවස්ථා ද ඇත.

පාසල ඇරී සියල්ලන් පිට වී ගිය පසු ඔහු පාසලෙන් පිටව ගුරු නිවාසයට ගොස් දිවා ආහාරය ගනී. ඉන්පසු පාසලේ ගුªරු මේසයක් හෝ දිග බංකු දෙකක් උඩට වී ගොරව ගොරවා නිදා ගනී. අවදි වන්නේ හතරට පමණි. ඉන්පසු වත්ත පා මුළ ළිඳට ගොස් බෝම්බු කෝටුවක් හපා බුලත් කහට යනතුරු දත් වහල්ල මදී. වතුර බාල්දි හැටක් විතර නාගෙන ගෙදර එන විට පහ පසු වී හමාරය. ඊ ළඟට ගිනි කඳයාත් කර තබා ගෙයින් පිටවෙයි.

හේනක් හේනක් ගානේ පැල් කොටයක් ගානේ ඇවිදී. ඔහුගේ තුවක්කුවෙන් හැන්දෑකරේ වෙඩි හඬක් පිට වුවද ඒ දඩමස ගුරු නිවාසයට එන්නේ නැත. අසල පැල්කොටයකට දී ගෙවිලිය එය පිසිනා තුරු ගොවියා යවා කිතුල් රා මුට්ටියක් ගෙන්වා ගෙන දෙන්නා සමඟ සප්පායම් වෙයි. ඔහු ද පැලේ මැස්ස උඩම ලගී. එසේ නැතහොත් පාසලට පැමිණ බංකුවක් උඩ දපයි. ඔහු රාත්‍රියට නොඑන බව දන්නා ඉස්කෝලේ නෝනා දොර වසා ගෙන නිදා ගනී.

ඇයට පාළුව හොඳට පුරුදු ය. ඇටි කුකුළා බුඞ ගාන හඬින් අවදි වන ලොක්කා ළිඳට ගොස් මුහුණ හෝදා ගෙන එළිය වැටුණු පසු හීල් බත් හැළියට කුරුමානව හෙළයි. මොහුගේ දින චරියාව මුළු ගම ම දනී. අහිංසක තරුණ ඉස්කෝලේ නෝනා ගැන විස්සෝප වෙනවා හැරෙන්නට ඔවුන්ට ඇය වෙනුවෙන් කළ හැකි දෙයක් ද නැත.

මාසයේ වැටුප් ගෙවනා දාට වැටුප් ලැයිස්තුවේ තමන්ගේ නම ඉදිරියේ මුද්දරය මත අස්සන් කිරීම පමණි ඉස්කෝලේ නෝනාට පැවරී ඇත්තේ. ඒ වැටුප ද ඔහු කෝට් සාක්කුවේ ඔබා ගනී. දැන් ඉස්කෝලේ නෝනාට වියදමකට සතයක් අතේ නැත. සැමියා ගෙන එන ආහාර ද්‍රව්‍ය තම්බා දී බලාගත් අතේ කල්පනා කරනවා හැරෙන්නට දෙමව්පියන්ට දොස් පවරන්නටවත් හිත නොදේ. “මගේ කරුමේ” යැයි හිත හදා ගනී. ගෙදරින් එන කොට ගෙනා සාරි දෙක තුන හැරෙන්නට මේ මනුස්සයා තවමත් නූල් පොටක දෙයක් අරන් දී නැත. දැනට අවුරුද්දක් ම ගත වී හමාර ය.

මේ අතර පේරලන්ද පාසලට රජයෙන් අලුත් පාසල් ගොඩනැඟිල්ලක් අනුමත විය. එහි වැඩ ආරම්භ වූයේ කොන්ත්‍රාත් කරුවෙකු යටතේ ය. පෙදරේරුවන් හත් අට දෙනෙක් අත් උදව් කරුවන් තුන් දෙනෙක් එහි වැඩ කළහ. කොන්ත්‍රාත්කරු පැමිණෙන්නේ දින දෙක තුනකට වතාවකි. ඔහු වෙනුවෙන් අවශ්‍ය කටයුතු කළේ පියදාස නමැති තරුණයෙකි. ඔහු කොන්ත්‍රාත් කරුගේ ඥාතියෙක් ද විය. පියදාස එහි පෙදරේරුවෙකු ලෙස වැඩ කළ අතර රාත්‍රී මුරකරු ලෙස ද කටයුතු කළේ ය.

ඊටත් අමතරව එහි වැඩ කරන අය සඳහා “කල්ලි බත” ඉවූයේ ද ඔහු ය. උදේ දහවල් කෑම උයා දී අමතර ගතමනාවක් ද හොයා ගත්තේ ය. සේවකයෝ වැඩ බිමෙන් පිට කෑමට ගියොත් නැවත වැඩට පැමිණීමට පමා වන බැවින් එය කොන්ත්‍රාත්කරුගේ අනුදැනුම ඇතුව ම සිදු විය. පියදාස රාත්‍රී කෑම සඳහා දහවල් කෑමෙන් කොටසක් ඉතුරු කැර ගත්තේ ය. ඔහු රාත්‍රිය ගත කළේ පැරැණි පාසල් ගොඩනැඟිල්ලේ ය.

දැන් ඉස්කෝලේ නෝනාට පාළුවක් කාංසියක් නැත. කතා කර කර ඉන්නට කෙනෙකු සිටී. මේ දෙදෙනා ගේ සතුටු සාමීචිය රාත්‍රී 9 – 10 වනතුරු ම පවතී. ඇගේ මුළු ජීවිතය ගැන ම දැන් පියදාස සමඟ පවසා හමාරය. සමහර දාට පීටර් මහත්තයා හේනේ පැල් කොටවල නොලගින දාට ඔහු තුවක්කුවත් කර තබා ගෙන පාසල කරා එන හැටි ඔවුන් ඈතදීම ඔහුගේ විදුලි පන්දම් එළියෙන් හඳුනා ගනී. “අන්න අරයා එනවා. යන්න… යන්න… පියදාස”යැයි ඉස්කෝලේ නෝනා පියදාසව යවා දොර වසා නින්දට යයි. පීටර් මහත්තයා ඉස්කෝලේ බංකුවක් උඩ නින්දට සැරැසෙයි.

“අර වගේ ලස්සන නෝනා කෙනෙකුත් ඉන්දැද්දි; කාලකන්නිකම. නෝනාගෙත් කරුමේ.” පියදාසට සිතේ. මේ යකා ආවෙ නැත්නම් නෝනගෙන් තේ ටිකක් බොන්නත් තිබුණා”යැයි ඔහුට සිතේ.

පියදාස නගරයට ගිය දිනවලට රසකැවිලි පළතුරු වැනි දේ ගෙනැවිත් ඉස්කෝලේ නෝනාට පිරිනමයි. ඇය ඒවා දෝතින් ම බාර ගන්නේ මහත් සතුටකිනි. ඒ අවස්ථාවල ඇගේ දෙනෙත් දීප්තියෙන් දිලිසෙනු පියදාසට පෙනෙයි.

ගොඩනැඟිල්ලේ වැඩ අවසන් විය. ඔවුන්ගේ බඩුමුට්ටු උපකරණ පටවාගෙන වෙනත් වැඩපොළකට ගියහ. පසුදින උදේ ඉස්කෝලේ නෝනාට අසනීප ගතියක් දැනී බෙහෙත් ගන්නට යෑමට පීටර් මහත්තයාගෙන් මුදල් ටිකක් ඉල්ලුවාය. “ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් බෙහෙත් ගන්න”යැයි කී ඔහු ඇයට දුන්නේ බස් ගාස්තුව පමණි.

නගරයේ දී ඇයට පියදාස මුණගැසුණි. ඔවුන් දෙදෙනාම නිවිතිගල බලා යන බස් රථයකට ගොඩ නැගුණාහ. මෙය ගමේ කෙනෙක් දැක තිබුණි. හැන්දෑ වන තුරුම ඉස්කෝලේ නෝනා ආපසු ආවේ නැත. පිටර් මහත්තයා කලබල විය. මේ බව විදානේ මහත්තයාගේ ගෙදරට ගොස් දැනුම් දුන්නේය.

පියදාස නිවිතිගලින් කුඩා ගෙයක් කුළියට ගෙන තිබුණි. කලින් කතාබස් කැරගෙන තිබුණු පරිදි සියල්ල සිදු විය.

“නෝනා, ඔයාගෙ රස්සාව?”

“වැඩක් නැහැ” “ඇයි?”

“මම උගන්නනවා. වෙන මිනිහෙක් පඩි ගන්නවා”

“ඩකාස්…” වේගවත් පහරකින් දොර පළු දෙපැත්තට ගියේය. පියදාසත් ඉස්කෝලේ නෝනාත් දඩි බිඩි ගා නිදි පැදුරෙන් නැගිට්ටාහ.

පොලිස් නිලධාරීන් දෙදෙනෙකි. විදානෙ මහත්තයා සහ බිරිඳය. පීටර් මහත්තයා ය. ඉස්කෝලේ හාමිනේගේ මල්ලිලා දෙදෙනා ය. පොලිස් සැරයන්වරයා මේ පවුලේ හිතවතෙකි.

ඉස්කෝලේ හාමිනේ පියදාස පස්සට දමා ඉස්සරහට ගියාය. “මොකද සාජන් මහත්තයා?”යි ඇය ඇසුවාය.

“මොකක් ද නෝනා මේ කරගත්තේ?”

“එහෙනම් හොඳට අහගන්න”

“මාව මේ මිනිහට කසාද බන්දලා දීලා දැනට අවුරුදු දෙකකටත් කිට්ටුයි. මම හැමදාම රාත්‍රිය ගත කළේ තනියම. මේ මිනිහා හැන්දෑවට දඩයමේ ගියාම ගුරු නිවාසෙට ආපහු එන්නේ පහුවදා උදේ. හැම මාසෙම මම පඩි ලැයිස්තුවේ අස්සන් කළා විතරයි. එක ශත පහක් මට ලැබෙන්නේ නෑ. මම ගෙදරින් ගෙනාපු සාරි තුන විතරයි තාමත් අඳින්නේ. අහන්න බොරුද කියලා. ඉවසලා ඉවසලා බැරිම තැන තමයි මම මේ තීරණය ගත්තේ. “මගේ ජීවිතයේ සතුටුම දවස ඊයේ”යි ඇය කීවාය.

“මූව කන්නැ”යි පීටර් මහත්තයා පියදාසට ගහන්න පැන්නේ ය.

“හා… හා… මෙතන කලබල කරන්න එපා” සාර්ජන්ගේ නියෝගයට පීටර් උන්නැහේට අවනත නොවී සිටිය නොහැකි විය.

ඉස්කෝලේ හාමිනේ ගේ මල්ලිලා දෙන්නා දෙපසින් පැමිණ ඇය තරයේ අල්වා ගෙන තමන් පැමිණි වෑන් රථයට දමා ගත්හ. ඇයට යළිත් කතා කරන්නටවත් ඉඩ නොතබා පිරිස ඇය රැගෙන පිටත් වූහ. පියදාස ඈත යන වෑන් රථය නොපෙනී යන තුරුම බලා සිටියේය.

විදානෙ මහත්තයා සිය දියණිය තමන් ගේ නිවසට ම කැඳවා ගෙන ගියේය. “ඒ ළමයා ඔහේ හිටපුවාවේ, පීටර් මහත්තයා ඉස්කෝලෙට යන්න. එයා ටිකක් නිදහසේ හිටපුවාවේ යි කීවේය. ඇය ගතකැර ඇති ජීවිතය ගැන දැනගත් ටිකෙන් ම පීටර් කාරයාගේ හැටි කාටත් තේරුම් ගොස් තිබුණි.

“දුවේ! නැගිටින්න දවල් වෙලා” අම්මා ඉස්කෝලේ නෝනාගේ කාමරයේ දොරට තට්ටු කළාය.

“ලොකු පුතේ! අක්කා කතා කරන්නෙ නෑ. දොර ඇතුලෙන් අගුල් දාලා”

“දොරට කොයි තරම් තඩිබෑවත් දොර ඇරැන්නේ නැත. ලොකු පුතාගේ පා පහරින් දොර දෙපළු විය.

“දෙද්… දෙය්යනේ…”

ඉස්කෝලේ නෝනාගේ හිස ඇඳෙන් පහළට නැඹුරු වී තිබුණි. ඇගේ දිග කෙහෙවැල පොළව සිප ගනිමින් තිබුණි. එතැන නිල් පැහැති වමනය ගොඩකි. ඒ අසලම කුඹුරුවලට ඉහින්නට ගෙනැවිත් තිබුණු වල් නාශක බෝතලයකි. එහි අඩකටත් වඩා ඇය පානය කොට ඇත.

“පියදාස… පියදාස… නැගිටින්න දවල් වෙලා” හැමදාමත් පියදාසගේ උරහිසින් සොළවා ඔහු අවදි කරන්නේ කවුද? පියදාස වහා අවදි වී වට පිට බලයි. ඇය පෙනෙන තෙක් මානයේ නැත. පීටර් මහත්තයා රාත්‍රිය පැල්කොටයක ගතකළත් ඉස්කෝලයේ ගත කළත් කාගේදෝ දෑතකින් ගෙල හිර වී මරලතෝනි දෙයි. දහදිය උතුරන සිරුරින් ගැහි ගැහී අවදි වෙයි. දැන් ඔහුට හරිහැටි කෑමක් කන්නට පවා නොහැකිය. සිරුර කේඩෑරි වී ගොසිනි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: