Posted by: lrrp | August 29, 2011

උපාය දන්නෝ අපායේ නොවැටෙත්

ජයසිංහමාණ්ඩලික නිලධාරියෙකි. ඔහුගේ අල්ලපු ගෙදර පදිංචිව සිටියේ ගුණරත්න ය. ගුණරත්න ජයසිංහ යටතේ සේවය කළ ලිපිකරුවෙකි. සමහරදාට හීන් අඩියක් ගහන්නට වුවමනා වූ විට ජයසිංහ සිය බිරිඳට නොපෙනෙන්නට ගුණරත්නගේ නිවසට ඇදෙයි. ගුණරත්න නගරයට යවා බෝතලයක් ගෙන්වාගෙන දෙන්නා සමඟ සතුටු සාමිචියේ යෙදේ. මේ අතර ගුණරත්නගේ බිරිඳ ජයන්ති කටගැස්මක් ද පිළියෙළ කර දෙන්නීය.

“ඇත්තට ම ගුණරත්නගේ වයිෆ් කොච්චර හොඳ ද? ඒකට අපේ ගෙදර බඩ්ඩ. මගේ ගෑනි නම් බයිට් හදනවා නොවෙයි බෝතලෙත් මගේ ඔළුවෙ ගහයි. ඒ අතින් බලන කොට ජයන්ති හරිම ස්වීට්. ගුණරත්න හරිම වාසනාවන්තයා” ජයසිංහ කල්පනා කරයි.

“ඇයි සර් කල්පනා කරන්නේ?” ගුණරත්න අසයි.

“නෑ, ගුණරත්න මං කල්පනා කළේ, මම ගුණරත්නගේ සේවා ප්‍රධානියා වුණාට ගුණරත්න මට වඩා වාසනාවන්තයි.”

“මොන වාසනාවක් ද සර්, හැමදාම මාසෙ අන්තිමට බඩු ගන්න කඩේට ණයයි.”

“ඒ වුණාට ගුණරත්නට හොඳ වයිෆ් කෙනෙක් ඉන්නවා. අපේ එක්කෙනා නම් දැන් මෙතැන යකා නටලා”යි කියමින් ජයසිංහ ජයන්ති ගේ මුහුණ බැලුවේය.

“ආ… මමත් එහෙම තමයි. අර සර් හින්දයි ඉතින් බයිට් හදලා දුන්නේ. මමත් සැරයි නේද ගුණේ…”යි ජයන්ති ද කතාවට හවුල් වූවාය.

සතියකට වරක් දෙවරක් මේ සුහද හමුව පැවැත්වුණි. ජයසිංහට බොන්න වුවමනාව තිබුණ ද ඔහු බිව්වේ සීමිතවය. ඒ වෙන කිසිවක් නිසා නොව බිරිඳට ඇති බය නිසා ය. එයින් ගුණරත්නට ද අතුරු ලාභයක් වෙයි. ඒ බෝතලයේ ඉතුරු කොටස ඔහුට හිමිවන බැවිනි.

මෙසේ දිනක් දෙන්නා එක්ක අඩිගහන වේලාවක ගුණරත්න, ජයසිංහගෙන් ඉල්ලීමක් කළේය.

“සර්… මේ ජයන්තිගේ පොඩි ඉල්ලීමක් තියෙනවා. සර්ට කරදරයක් ද දන්නෙත් නෑ…”

“මොකක් ද? මොකක් ද?”යි ජයසිංහ ජයන්ති දෙස බැලුවේය. ඇය සිනාසී බිම බලාගත් අතර ගුණරත්නම ඊට උත්තර බැන්ඳේය.

“මෙයාටත් පොඩි ජොබ් එකක් හොයා දෙන්න සර්ට කියන්න කියලා හැමදාම වදකරනවා.”

“බලමු, බලමු”

ඉතා ඉක්මනින් ම වාගේ ජයන්තිට ද රැකියාවක් ලැබුණි. තමන්ගේ පවුලේ නඩත්තුවට එයින් ද විශාල සහනයක් වූ බැවින් ඔවුන්ගේ හිතවත්කම ද වැඩි විය. ඒ නිසා ජයන්ති ජයසිංහ මහතාට බොහෝ සැළකිලි දැක්වූවාය. ගුණරත්න නිවසේ නැති අවස්ථාවල පවා මේ දෙදෙනාගේ හිතවත්කම් ක්‍රියාත්මක විය.

“ජයන්තී…”

“ම්… ම්…”

“තරහ ද…?”

“න්… න්… නෑ”

ඇයි ඒ?”

“මං දන්නේ… නෑ”

“ජයන්තී…”

“ම්… ම්…”

“ඇයි ඔයා මට මේ තරම් සළකන්නේ?

“ඔයා මට කළ උදව්වට ඔයාට කොහොම සැළකුවත් මදි වගේ මට දැනෙන්නේ”යි ජයන්ති කියයි. ඒ වැනි අවස්ථාවල “සර්” කියන්නටත් ඇයට අමතකව යයි.

“ජයන්තී…”

“ම්… ම්…”

“ඔයා හොඳයී”

“ඇයි නෝනා හොඳ නැද්ද?”

“එයා සැර වැඩියි. මම ඒකට කැමති නෑ”

“ඉතින් මමත් සැරයි නෙ”

“කාට ද?”

“ගුණේ ට”

දෙදෙනා ම සිනාවෙති.

මේ ඇයි හොඳයි කම් මෙසේ පවතිද්දී දිනක් ජයසිංහගේ නැන්දම්මා අසනීප වූවාය. එදින නිවාඩු දිනයක් වූ බැවින් ජයසිංහගේ බිරිඳ සිය මෑණියන් වෛද්‍යවරයෙකු වෙත ගෙන ගියාය. ඇය ගියේ ජයසිංහගේ මෝටර් රථයෙනි. කුඩා දියණිය ද ඔවුන් සමඟ ගියා ය. ඔවුන් පිටත්වන විට ගුණරත්න ද නගරයට යෑම සඳහා ඒ රියට ම ගොඩ නැංඟේය. දැන් ගෙදර සිටින්නේ ජයසිංහත් අවුරුද්දක් වයසැති පුතාත් පමණි. මේ අතර ගුණරත්නගේ නිවසේ දුරකතනය නාද විය.

“හලෝ…”

“ජයන්තී! ගුණරත්න ඉන්නවා ද?”

“අනේ! අනේ! බොරුවට අහන හැටි. එයා ඔයාලගෙ කාර් එකෙන්ම නෙ දැන් ටවුමට ගියේ. හොරකමට අහන හැටි.”

“ජයන්තී…”

“ඇයි…”

“…….”

“ඉතින් එන්න”

“බැහැ, පුතා මගේ ළඟ තියලා ගියේ, ඔයා මෙහෙට එන්න.”

විනාඩි තුන හතරක් ඇතුළත ජයන්ති ජයසිංහගේ නිවසට ආවාය. මේ වන විට ජයසිංහගේ චූටි පුතා සෙල්ලම් බඩු ගොඩක් සමඟ සාලය මැදට වී සිටියේය.

“ජයන්තී…”

“වාඩිවෙන්න”

“බැහැ ඉක්මනින් යන්න ඕනෑ. අරයත් දැන් මඟ එනවා ඇති”යි කියමින් කාමරයට ඇතුළු වූවාය.

දෙය්යනේ! පුතා ඔක්කොම බලාගෙන”

ජයසිංහ තම පුතුට බරපතළ වරදක් කළ බව දිය යටට ගිළුණු ඊයම් බරුවක් සේ සිතට කා වැදුණි.

ඒ සිද්ධියෙන් පසු ජයසිංහ මේ අනියම් සම්බන්ධය ද අතහැර දැම්මේය. ඒ තරම් ම එය තමන් අතින් පුතාට සිදු වූ වරදක් සේ සිතට කා වැදී තිබුණි. පුතාගේ මුහුණ දකින හැම විටක ම එය සිත තුළ හොල්මන් කරන්නට විය. නොදරුවා මේ කිසිවක් නොදන්නා නමුත් පියා දැඩි සේ පසුතැවිලි වූයේ ය.

ජයසිංහගේ බිරිඳ ගුරුවරියකි. දුව දැන් වෛද්‍යවරියකි. පුතා සමන් දැන් විසිහතර හැවිරිදි තරුණයෙකි. ජයසිංහ රැකියාවෙන් විශ්‍රාම ගන්නටත් පෙර හදිසි හෘදයාබාධයකින් මරණයට පත් විය.

සමන් හොඳින් ඉගෙන ගත්තේය. එහෙත් විභාග වලින් අසමත් වෙයි. එක පාරට ම ගොළු වෙයි. වෛද්‍ය ප්‍රතිකාර වලින් සුවයක් ලැබුණේ ද නැත. මානසික වෛද්‍යවරු කීවේ, පියා නැති ශෝකය නිසා ඇති වූ කම්පනයක් ය කියාය. හිටිහැටියේ හූ කියයි.

මේ නිසා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ද කළහ. එහෙත් සුවයක් ලැබුණේ ද නැත.

මේ අතර සමන් එක්තරා ආයතනයක රැකියාවකට ගියේ ය. ඔහුට ලැබුණේ මාසයකට රුපියල් තුන්දහස් පන්සියයක් වැනි සොච්චම් දීමනාවකි. දිනක් සමන්ගේ මව දියණියත් සමඟ ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට සමන් කැඳවා ගෙන ආවේ ය. එහි දී සමන් වෙව්ලන්නටත්, හූ කියන්නටත් වූයේ ය.

“කවුද කවුද මේ හූ කියන්නේ”යි නාගොඩ විතාන මහතා ඇසීය.

“මම… මම… ජයසිංහ මේ පුතාගෙ තාත්තා…”

“ඇයි මේ පුතාගේ ඇඟට රිංගා ගෙන හිරිහැර කරන්නේ?”

“මගේ පුතාට මං ආදරෙයි. පුතාට වයස අවුරුද්දක් තරම් කාලෙ මගෙන් වරැදක් වුණා. පුතා බලා සිටියදී මම වැරැදි වැඩක් කළා. ඉතින් ඒ වැරැද්දට සමාව ලැබෙන තුරු මම ඉන්නවා.

“නමුත් මහ මෝඩ වැඩක් ඔය කරන්නෙ. ඊට වඩා අපරාධයක්. පුතාගෙ ජීවිතේ කාලකන්නි කරන්න හදනවා, පුතාට නොතේරෙන වයසේ තමුන් කළ වරදකට කොහොමද සමාව දෙන්නේ. ඒක පුතා දන්නෙවත් නැතුව ඇති.”

“ඒ වුණාට මට සමාව ලැබෙන තුරු මම යන්නේ නෑ.”

“හොඳයි දැන් මෙතන තමුන්ගෙ බිරිඳ ඉස්කෝලෙ හාමිනේ ඉන්නවා. දුව ඉන්නවා. ඒ දෙන්නා දැන් සමාව දේවි.”

“ඔව්! අපි සමාව දෙනවා” යැයි මවත්, දුවත් දෙදෙනා ම පැවසූහ.

“ජයසිංහ මහත්මයා, දැන් ඔයාට ඔයාගෙ පුතාත් සමාව දුන්නා කියලා හිතන්න”

“හොඳයි හොඳයි මම දැන් නිදහස්.”

”දැන් තමුන් විස්තර කරන්න. මෙච්චර දවස් ජීවත් වුණේ කොහොමද කියලා.”

“මම මගේ පුතාගේ ඇඟට රිංගලා ඉන්න කල් පුතාගේ ඇඟේ ලේ උරා බීලයි ජීවත් වුණේ. මම ලේවලටත් වඩා කැමති ඇට මිදුළු වලට. සඳ මිදුළු වලට. පුතාගේ සන්ධිවල කාටිලේජ් මම ආහාරයට ගත් නිසයි පුතාගේ සන්ධි අමාරුව. ඇවිදින කොට සන්ධිවල ඇටවලින් වේදනා දැනුණේ ඒකයි.”

“අනේ! අනේ! තාත්තා පුතාට ආදරෙයි කියලා ඕක ද කළේ. තමුන් දැන් සමන් ගෙ තාත්තා නොවෙයි. තමුන් වෙන ම ආත්මයක්. මම මේ අය ලවා දානයක් දී පින් අනුමෝදන් කරවන්නම්. ඒ පින් අරගෙන හොඳ තැනකට යන්න.”

“සාදු! සාදු!! මම එහෙනම් රජ මහා විහාරයේ බෝධීන් වහන්සේ ළඟට යන්නම්,”යැයි සමන් ගේ මුවින් පිටවිණි. ඒ වන විට එතෙක් පැවැති රළු හඬ ඔහු කෙරෙන් ඉවත්ව ශාන්ත ස්වරූපයක් දකින්නට අසන්නට ලැබුණි.

මනෝ පුබ්බංගමා ධම්මා – මනෝ සෙට්ඨා මනෝමයා

මනසා චේ පදුට්ඨෙන – භාසතී වා කරෝති වා

තතෝ නං දුක්ඛ මන්වේතී – චක්කංච වහතෝ පදං

මනස සියල්ලට පෙරටු වෙයි. මනස සියල්ලට ප්‍රධාන වෙයි. කිළිටි වූ මනසින් යමක් කියයි ද යමක් සිදු කරයි ද එය දුක පිණිස ම හේතුවේ. එය එසේ වන්නේ ගොනා පසු පස කරත්තය ගමන් කරන්නා සේ ය.

ජයසිංහට සිදු වූයේ ද එයයි, තමන් කළ වරද ඔහුගේ මනස දනී. එය කුඩා පුතු දැකීම ජයසිංහගේ සිත තුළ කිඳා බැස්සේ ය. එය මරණාසන්න මොහොතේ චුති චිත්තයට අරමුණු වීම නිසා දුගතිගාමීව උපන්නේ.

එසේ එයින් පීඩාවට පත් ජයසිංහගේ ප්‍රාණකාරයාට (ගුප්තාත්මයට) ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයෙන් නියම කළ බෞද්ධ පිළිවෙත් මඟින් සහනය සැලසුණි. ජයසිංහ ගේ බිරිඳ හා දියණිය ඒ අතීත සිදුවීම් කිසිවක් දැන සිටියේ ද නැත. ගුප්තාත්මය විසින්ම අනාවරණය කරන ලද “වරදට” ඔවුන් සමාව දීම නිසා පීඩා විඳි මනස සුවපත් විය. පුතා ද සමාව දුන් බව ඒත්තු ගැන්වීමෙන් තවත් සුවපත් විය. පිනට යොමු කිරීමෙන් ඇති වූ සතුට නිසා ප්‍රබෝධමත් වූ මනස ඔහු දුගතියෙන් සුගතිගාමී මාර්ගයට යොමු කළේය. ඔහු දැන් රජ මහා විහාරස්ථානයේ සිදුවන පින් දහම්වලට පුද පූජාවලට දැකීමෙන් හා සිතීමෙන් සහභාගි වී පින් අනුමෝදන් වෙයි.

මළ ගිය තාත්තාගේ භූතාත්මය සමන් ගේ ශරීරයෙන් ඉවත් වූ පසු සමන් කායිකව ද සුවපත් විය. මානසිකව ද ප්‍රබෝධමත් විය. ඔහු රැකියාව කරන ගමන්ම ඉදිරිපත් වූ විභාගවලින් සමත් විය. ඒ වන විට මාසයකට රුපියල් තුන්දහසක දීමනාවක් ලැබූ ඔහුගේ රැකියාව ස්ථිර තත්ත්වයට පත් කැරිණි. ඊළඟට ඔහුට ලැබුණු පළමු උසස්වීමෙන් ම මාසික වැටුප රුපියල් පනස් දහස දක්වා ඉහළ ගියේය. රුපියල් තුන්දහස් පන්සියයක මාසික දීමනාව රුපියල් පනස් දහසක වැටුප දක්වා ඉහළ ගිය බව කෙනෙකුට එක්වර පිළිගන්නට පවා අපහසු දෙයකි. එහෙත් එය සත්‍යයකි. අද සමන් ඒ ආයතනයේ ම විධායක ශ්‍රේණියේ නිලධරයෙකි. ඔහු තවදුරටත් ඉහළට ඉගෙන ගනිමින් සිටී.

කෙනෙකු ගේ සිතේ තදින් යමක් ඇඳී පැවතුණොත් එය උපාදානයකි, “උපාදාන පච්චයා භවො” සිතේ තදින් අල්ලා ගත් දෙය හෙවත් උපාදානය හේතු කොට ගෙන ඊළඟ භවය සකස් වෙයි.

සිතේ තදින් ඇඳුණු දේවල් මකා දැමීමට නම් භාවනා කළ යුතුය. සමථ භාවනාවෙන් එවැනි කර්ම මූල යටපත් කරති, විපස්සනා භාවනාවෙන් මුලිනුපුටා දමති. උපාය දන්නෝ අපායේ නොවැටෙති.


Responses

  1. ඔබ තුමා විසින් රචිත මේ සත්‍ය කථා මම කියවන්නේ ඉහාමත් අශාවෙනි. මෙවන් සත්‍ය සිදුවීම් රචනයෙන් බෞද්ධ සිත් තව තවත් ප්‍රබෝධ වනු ඇත. මේ පුණ්‍ය කර්මය ඔබට ගෞතම බුදු සසුන තුලදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වීමට හේතු වේවා. ‘යට ගිය දවස’ යන මාතෘකාව යටතේ දැනට මම පටිච්ච සමුප්පාදය ගැන සටහන් පෙලක් ලියන්නෙමි. ඔබගේ සටහන් එහි ඇතුලත් කිරීමට අවසර දෙන්න.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: