Posted by: lrrp | August 29, 2011

කුඩා අමනුෂ්‍යයෝ දොස්තර වටලති

ඇය තරුණ කාන්තාවකි. ඇඟේ නූල් පොටක් නැත. තඹ පැහැ ගත් කෙහෙවැල හැඩ පලුගෙතී ඇත. දෑස් කෙවෙනි තුළ සැඟ වී සිටී. පියයුරු යම්තමින්වත් නැත. එහෙත් මහත් වූ උදරය අති විශාලය. මේ බඩගෙඩියට නිය පිටින් තට්ටු කළොත් පුපුරා යන තරමට විශාල වී සම දිළිසෙයි. ඉතාමත් කෙට්ටු ශරීරයකින් යුත් ඇගේ ශරීරය සමඟ මේ බඩ ගෙඩිය උපමා කළොත් තුත්තිරි ගසක දෙබරයක් බැන්දා සේය. මහත් වූ තොල් සඟල පුපුරා පැසවා සැරවයෙන් හා ලෙයින් දුර්ගන්ධය හමයි. විදුරුමස් දියවී ගිය දත් වහල්ල භීතිය උපදවයි.

ගල් ඇන්දක් මත හිඳ ගෙන සිටින ඇය තුනටියට අත ගසා ගෙන සිටින්නේ දරු ප්‍රසූතිය කොයි මොහොතේ, මේ දැන්….දැන්…..සිදු වේදෝයි සිතෙන තරම් වූ විළිරුදාවෙනි. බඩේ හැටියට නම් මෙහි එකෙකුට වඩා සිටින බව ද ඇයට දැනේ. මේ සියල්ල අභිබවා ඇය තුළ කුස ගින්න බුර බුරා නැඟෙන්නේ සා පිපාසාව අහුලා ගත නොහැකි තරමට ය. මේ කුසේ සිටින දරුවන්ගේ අප්පා කවුදැයි ඇයවත් හරි හැටි නොදනී. සිටියා නම් කුස ගිනි නිවා ගන්නට යමක් ඉල්ලා හඬ නඟන්නට තිබුණි. යකෙක් කන්නට බඩගිනියි කියන තරමට කුස ගින්න ඉහළ නඟී. ඉඳගෙන සිටින්නේ ගල උඩ නොවේ නම් පොළවේ පස් කනවාට කිසි ම සැකයක් නැත. අලි මදිවාට හරක් කියන්නා සේ ඒ අස්සෙන් දරුවෙක් බිහි වූයේය. ඇය ඒ දරුවා අතට ගත්තා ය. ඒ ළපටි අතුල් පතුල් සුසිනිදු ය. පියකරු ය. දාරක ප්‍රේමයෙන් ඒවා බලන්නට වේලාවක් නැත. දරුවා දෑතින් ඔසවා ගත් ඇය…… අර ළපටි දෙපතුල්වල සිට කා ගෙන කාගෙන ගියා ය. කුස ගින්නේ තරමක මහත ! කට දෙකොනෙන් ලේ පෙර පෙරා කෑවාය. අවසානයේ ගෙල දක්වා චර….චර….හඬින් තලු මර මරො කා චූටි ඔළුගෙඩිය ද කටේ ඔබාගෙන පපඩමක් සේ චරස්…… ගා විකා හප කොට ගිල්ලා ය. සැනෙකින් තවත් දරුවෙක් උපන්නාය. අර දරුණු කුස ගින්න එසේ ම ය. ඒ දරුවා ද නැවතත් කලින් එකා සේ ම මව ගේ ආමාශ ගත විය. මෙසේ දරු හත් දෙනෙක් උපන්නේ ය. ඇය හත් දෙනා ම කා දැම්මා ය. තවමත් කුස ගින්න නිවුණේ නැත. දැන් ඇගේ බඩ ගෙඩිය හුලං ගිය බැලුම් බෝලයක් සේ හැකිළී එල්ලා වැටී ඇත. ඇය තවත් එකෙක් උපදී දැයි අත ගා බැලුවා ය. කුස ගින්නේ තරම. අට වැන්නෙක් ආවේ නැත. එය බලන්නට ගොස් අතේ තැවරුණු අපවිත්‍ර රුධිරය ද ඇය ලෙව කෑවා ය.

නග්ගා දුබ්බණ්ණ රූපාසී

දුග්ගන්ධා පුති වායසී

මත්ඛිතා පරිතිණ්ණාව

කානු ත්වං ඉධ තිට්ඨසී ති

නග්න වූ විරූප වූ බියකරු රූපයෙන් යුක්තව දුර්ගන්ධ වූ කුණු ගඳ හමන්නා වූ හාත් පස නිල මැස්සන් ගෙන් ගැවසී ගත් මෙහි සිටින තී කවරයික් දැයි ඇය දෙස බලා සිටි ලොකු හාමුදුරුවෝ ඇගෙන් ඇසූහ.

බොහෝ තෙරුන් වහන්සේලා ග්‍රාම වාසයක වස් වැස, නියමිත කල්හි පවාරණය කොට සැවැත්නුවර බලා ගමන් කරන්නේ රාත්‍රිය එළැඹියෙන් නුදුරු තැනක ඒ ප්‍රදේයෙහි රාත්‍රිය ගත කළහ. එකල්හි ඇය තෙරුන් වහන්සේලාට තමන්ගේ නග්න රූපය දකින්නට සලස්වා සිටියාය. ඇගේ ප්‍රසූතිය හා ක්‍රියාවන් දුටු මහ තෙරණුවෝ ඉහත ගාථාවෙන් නුඹ කවරෙක්දැයි ඇසූහ.

අහං බදන්තේ පේතිම්හි

දුග්ගතා යම ලෝකිකා

පාප කම්මං කරිත්වාන

සේත ලෝකං ඉතෝ ගතා

ස්වාමීනි ! මම පාප කර්මයක් කොට මේ මිනිස් ලොව සිට ප්‍රේත ලෝකයට ඉපදීම වශයෙන් පැමිණියා වූ දුකට පත් වූ යම ලෝකයැයි ලද නම් ඇති ප්‍රේත යෝනියෙහි උපන්නා වූ ප්‍රේතියක් වෙමි.

කාලේනු සත්ත පුත්තානි

සායං සත්ත සුනාපරේ

විජායිත්වාන ඛාදාමි

තේ පිනා හොත්ති මේ අලං

උදය කාලයෙහි පුත්‍රයන් සත් දෙනෙකුන්ද නැවත සවස් කාලයේ තවත් දරුවන් සත් දෙනෙකුත් ද ප්‍රසූත කොට අනුභව කරමි. ඒ දරු තුදුස් දෙනාම මගේ බඩගින්න නිවීමට ප්‍රමාණ නොවෙත්.

පරිඩය්හතී ධූමායනී

ඛුදාය හදයං මම

නිබ්බුතිං නායි ගච්ජාමි

අග්ගි දඩ්ඨාව ආතපේ ති

මගේ හෘදය බඩ ගින්නෙන් හාත්පස දැවෙයි. දුම් නගත්තේ ය. උෂ්ණ වූ අව්ව ඇති කල්හි ගින්නෙන් දැවෙන්නියක මෙන් සාපිපාසා දුක් සංසිදීමකට නොපැමිණියෙමියි කීවාය.

එම්බල ප්‍රේතිය ! තී විසින් කයින්, වචනයෙන්, මනසින් කිනම් අකුසල කර්මයක් පෙර කරන ලද්දී ද ? කවර අකුසල කර්මයක් හුගේ විපාකය කරන කොට ගෙන දරුමස් කන්නෙහි දැයි මහ තෙරුන් වහන්සේ ඇසූහ.

එවිට ඒ ප්‍රේතිය තමාගේ ප්‍රේත ලෝකෝත්පත්තියට හා පුත්‍රා මාංශ භක්ෂණයටත් කාරණය කියමින් සියලු විස්තර අනාවරණය කළාය.

ස්වාමීනි, ඔබ මම ගම අසවල් කෙළෙඹියාට භාර්යාව වී සිටියෙමි. මට පුත්‍රයෝ දෙදෙනෙක් වූහ. ඒ දෙදෙනා සම්පූර්ණ යොවුන් වයස් ඇති දැකුම්කළු වූහ. මම ඒ පුත්‍ර ලක්ෂණයෙන් අහංකාර වූයෙමි. පුත්‍ර බලයෙන් යුක්ත වූ මම ස්වාමි පුරුෂයා පහත් කොට සිතූයෙමි. එහුට නොසලකා හැරියෙමි. ඒ හේතුවෙන් කිපුණු මගේ ස්වාමි පුරුෂයා වෙනත් ස්ත්‍රියක් ගෙට ගෙනාවේ ය. නිසි කල්හි ඇය ද දරු ගැබක් ලැබීය. මම ඈ කෙරෙහි රෞද්‍ර පාප කර්මයක් සිතූයෙමි.

මම ඒ ක්‍රෝධ සිතින් පාපී හොර වෙදෙකු සොයා ගොස් විෂ බෙහෙත් ගෙනැවිත් ඇයට දී දරු ගැබ හෙළීම කළෙමි. ඇගේ තෙමස් වූ දරු ගැබ කුණු ලේ වී වැටුණේය. එකල් හි ඇගේ මව් මට කිපී තම නෑයන් රැස් කැර වීය. මා ලවා දිව්රවීය. මා බියෙන් තැති ගැන්විය.

මම ඒ දරුණු වූ බොරු දිව්රුම් කොට කීවෙමි. මා විසින් මේ ගැබ් හෙළීමේ අකුසලය කරන ලද්දේ නම් මා මතු භවයේ හි දරු මස් කන්නෙක් වෙම්වා යි බොරුවට දිව්රුවෙමි.

ඒ බොරු කීමේ අකුසල කර්මයාගේ හේතුවෙන් මුව දෙතොල් පැළී පැසවා සැරවයෙන් ලෙයින් හා වේදනාවෙන් දුක් විඳිමි. දුර්ගන්ධයෙන් යුතු වූයෙමි. ගැබ් හෙළීමේ අකුසලයේ විපාකයෙන් සැරව ලේ තැවරුණු ශරීරයෙන් නොනිමෙන කුස ගිනි ඇතිව දරු මස් කන්නෙයි යි කීවාය.

ස්වාමීනි ! ආයාචනා කරමි. මා කෙරෙහි අනුකම්පා කරනු මැනවි. මාගේ ස්වාමි පුරුෂයා වූ කෙළෙඹියාගේ ගෙට වඩිනු මැනවි. ඒ කෙළෙඹි තෙම ඔබ වහන්සේලාට දන් දෙන්නේය. ඒ දානය ඔහු ලවා මට උදෙසවනු මැනවි. එසේ කළ කල්හි මේ ප්‍රේත ලෝකයෙන් මගේ බිදීම වන්නේ යැයි කීවාය.

ඒ තෙරුන් වහන්සේලා ද එපවත් අසා ඈ කෙරෙහි අනුකම්පා උපදවා ඇය ප්‍රේත ලෝකයෙන් මුදවන අදහසින් ඒ් කෙළෙඹියා ගේ ගෙදරට පිඬු පිණිස වැඩම කළහ. ඒ කෙළෙඹි තෙමේද ප්‍රසාද සිතින් උන් වහන්සේලාට අසුන් පනවා වඩා හිඳුවා දන් සකස් කළේය. තෙරුන් වහන්සේලා මේ කතා පුවත ඔහුට දැනුම් දී ප්‍රේතිය කෙරෙහි කරුණා සිත් උපදවා ඒ දානය ප්‍රේතියට උදෙසෙම්වාහු ය. එකෙනෙහිම ඒ ප්‍රේතිය ඒ දුකින් පහව මහත් සම්පත් ලබා තමා දැන්වීය.

දානයෙන් පසු තෙරුන් වහන්සේලා පිළිවෙළින් සැවැත් නුවරට වැඩ බුදුරජාණන් වහන්සේ වෙත මේ සිද්ධිය සැලකර සිටියාහු ය. භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණය පිළිබඳ අර්ථ දක්වමින් පැමිණි සිටි පිරිසට ධර්ම දේශනා කළහ. බොරුකීම, බොරු දීව්රීම දරු ගැබ් හෙළීම, දරු ගැබ් හෙළීමට විෂ බෙහෙත් යෙදීම ආදී වූ දරුණු පාප ක්‍රියාවලට මතු භවයෙහි ලැබෙන කටුක දරුණු දුක්ඛ සහගත විපාක දැක්වූහ.

ඒ අතීත කතාවයි. මේ වර්තමාන අට්ඨ කතාව යි. ඔහු වෛද්‍යවරයෙකි. වැඩියෙන් මුදල් ඉපයීමේ තණ්හාධික වූයේ ගබ්සා කිරීමට අවශ්‍ය බෙහෙත් නිපදවිය. ගබ්සා කිරීම්වල යෙදුණේය. මුදල් ගලා එන්නට විය. ඒ සඳහා තරුණ හෙදියන් ද යොදා ගත්තේ ය. මුදල් ඉපයීමේ සහායිකාව වූ ඇය විවාහ කැර ගත්තේ නීති විරෝධී රහසිගත ව්‍යාපාරයට එය තවත් හොඳ නිසා ය.

සමාජයේ පවතින තත්ත්වය අනුව මේ වෛද්‍යවරයාගේ සේවය ලබා ගැනීමට එන ඉල්ලුම දිනෙන් දින ඉහළ ගියේය ය. බැංකු ගිණුම් තරවූයේය. පෙර පින ලෞකිකව පළ දෙමින් ඔහු වටා සියලු සම්පත් ගොඩ ගැසුණි. සැප සම්පත් ඉදිරියේ පරලොව නොපෙනෙන්නේ ය. කිසිවක් ස්ථිර නැත. සියල්ල වෙනස්වන සුළු ය. වෛද්‍යවරයෙකු ලෙස මුදලට මුල් තැන දෙමින් සිදු කළ පාපක්‍රියාව තුළ ධන සම්පත් ලැබුණ ද හොඳ නමක් ලැබුණේ නැත.

උපදින්නට පෙරුම් පුරා බලා සිටින ගන්ධබ්බයන්ගේ පැමිණීම (ඉපැදීම) වළක්වා කළලයන් විනාශ කළා සේම මේ දොස්තරටත් බිරිඳටත් දරු සම්පත් ලැබුණේ ද නැත. පිළිසිඳ ගැනීම් සිදු වුව ද නොමේරූ කළලයන් විනාශ වී ගියේය.

දැන් මේ යුවළ ද වයස් ගත ය. දුර්වල ය. රෝගී ය. ඔවුන් දෙදෙනාට ම හැබැහින් ද සිහිනෙන් ද අමනුෂ්‍යයෝ බිය ගැන්වීම් කරති. මේ අමනුෂ්‍යයෝ කුඩා දරුවන්ගේ හා දැරියන්ගේ ස්වරූපයෙන් පෙනේ. උල් වූ දත් හා උල් වූ නිය සහිතව ඉදිරියෙන් පියාඹා ඇවිත් බිය ගන්වති. උපදින්නට සූදානමින් සිටි අප විනාශ කළ තොපට සාප කරම්යි ඔවුන් ඉදිරියට ඇවිත් ගෙල මිරිකන්නට තැත් කරති.

කණ ළඟ සිට සාප කරති. සිහිනෙන් බිය වද්දති. එවැනි ළදරු අමනුෂ්‍ය රූප ඔවුන්ගේ නිවස පුරා වෛරයෙන් සැරිසරණ හැටි මේ යුවළ නිතර දකී. නින්දට ගිය විට රාත්‍රී අඳුරේද රතු පැහැති රෞද්‍ර ඇස් ඇති කුඩා අමනුෂ්‍යයෝ ඔවුන් වටා සැරිසරති. පියාසර කරති.

ගොක් රැහැන් පෙනෙන විට බෝ ගස් සිහි කරති. එහෙත් පමා වූවා වැඩි ය. දෙවියන් බුදුන් සිහිවෙන්නේ පස්ස බිම ඇනුණු දාට ය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: