Posted by: lrrp | August 29, 2011

ගැහැනුන්ට වෛර කරන යක්‍ෂයා

ප්‍රැන්සිස්වතු අධිකාරිවරයෙකි. ඉඩම් හිමි වැවිලි කරුවෙකි. වැවිලි ක්ෂේත්‍රයේ ප්‍රධානීන්ගේ ගෞරවයට පාත්‍ර වූ පාලකයෙකි. ඔහු යටතේ පාලනය වූ වතුයාය කීපයේ ම දහසකට අධික කම්කරුවන්ගෙන් නිලධාරීන්ගෙන් ප්‍රසාදයට පත් නිලධාරියෙකි.

කොයි තරම් පිරිසක් පාලනය කරන්න පුළුවන් වුණත් මේ ගෑනිගේ කට පාලනය කර ගන්න මට තවම බැරි වුණානේ. ප්‍රැන්සිස් නිතර ම පසු තැවෙයි. උඩරට රදල පවුලක කාන්තාවක් වූ මොරායා අහංකාරය. නපුරු ය. සැර පරුෂකම නිසා ගෘහ සේවක සේවිකාවෝ පවා බංගලාවේ වැඩට එන්නේ අකැමැත්තෙනි. විවාහ වී අවුරුදු අටක් ගත වුවද ඇයට තවමත් දරුවන් නොමැත.

ගැහැනියකගෙන් පිරිමියෙකු අපේක්‍ෂා කරන ආදරය කරුණාව, ළඳ බොළඳතාව , කටට රහට කෑමක්, බීමක් හැදීමේ හැකියාව නොව පිටස්තර අය ඉදිරියේ බිරිඳක් ලෙස හැසිරෙන්නටවත් ඇයට නොහැකිවීම ප්‍රැන්සිස්ගේ අවාසනාවකි. පරාජයකි. ඉවසීමේ සීමාව ඉක්ම ගිය අවස්ථාවල කොයි තරම් අතින් පයින් සැලකුවද මේ හැකර කට නතර වන්නේම නැත. මේ නිසාම ප්‍රැන්සිස් මත්පැනට පුරුදු විය. වතු ක්ෂේත්‍රයේ බොහෝ නිලධාරීනට මත්පැන අමුත්තක් නොවුව ද ප්‍රැන්සිස් ඒ සීමාවන් ඉක්මවා ගියේ රාත්‍රිය ගත කර ගැනීම සඳහා ය.

ප්‍රැන්සිස් යටතේ පාලනය වූ වතු යායක මොරායාගේ ඥාතිවරයෙකුගේ දියණියක් ද ලිපිකාරිනියක් ලෙස සේවය කළා ය. ඇයට ඒ රැකියාව ලබා දුන්නේ ද ප්‍රැන්සිස් ය. සේපාලිකා නම් වූ ඇය සේපාලිකා මලක් සේම සුන්දර වූවා ය. වතු අධිකාරිවරයාගේ ඥාති දියණියක් වූ නිසා ද ඇගේ ගති ගණ නිසා ද වතුයායේ කවුරුත් ඇයට ගරු කළහ. වතු පාලක වරයා ද සේපාලිකා තමන් යටතේ සේවය කළ ලිපිකාරිණියක් වුව ද ඊට වඩා ගරු බවක් දැක්වූයේ ය. මේ තරුණ වතුපාලකවරයා තුළ ඊටත් එහා ගිය ආදරය මිශ්‍ර හැඟීමක් ඇය කෙරෙහි තිබුණ ද වතු අධිකාරිවරයාගේ ඥාතීත්වය නිසා එය වචනයෙන් ප්‍රකාශ නොකළේ ය. එහෙත් ඒ බව සේපාලිකාට දැනුණු නමුත් ඇය ද ඒ බව පෙන්වූයේ නැත.

වතු අධිකාරිවරයා සේපාලිකාට වඩා වයසින් දෙගුණයක් වැඩිමහල් විය. තම ඥාතිවරියගේ සැර පරුෂකම් ඉදිරියේ ඔහු මහත් පීඩාවක් විඳින බව සේපාලිකා ද හොඳින් දැන සිටියාය. ප්‍රැන්සිස් ඇය සේවය කළ වතුයාය පරීක්‍ෂා කිරීමට පැමිණෙන දිනවල ඔහුගේ කෑම් බීම් අවශ්‍යතා හා විවේක පහසුකම් ලබාදීම සේපාලිකාගේ මෙහෙයවීමෙන් ම සිදු විය. ඇය ඒ කටයුතු ඉතා කැමැත්තෙන් සිදු කළාය. රජෙක් වගේ පාලකයෙකු වූ ප්‍රැන්සිස් ගෙදර අපායේ ස්වභාවයෙන් මිදී සේපාලිකාගේ ආදර කරුණාවෙන් මහත් අස්වැසිල්ලක් වින්දේ ය. ඔහුගේත් ඇගේත් ඥාති සම්බන්ධය නිසා බාහිර අය එහි වෙනසක් දැක්කේ ද නැත. ප්‍රැන්සිස් වතුයාය බලන්නට ආ දිනවල සේපාලිකා වැඩ ඇරී ගෙදර ගියේ ද ඔහුගේ ම වාහනයෙනි. මහා නියඟයකට අසු ව වියැළී කර්කශව සිටි ප්‍රැන්සිස්ට මේ ඥාති දියණියගේ ආදර කරුණාව හිම වැස්සක් විය. ඒ නිසාම මේ දෙදෙනාගේ ළෙන්ගතුකම අතු ඉති දා ලියලා ගියේ ය.

මේ අතර මොරායාගේ ඈත පළාතක ඥාතියෙකුගේ මළ ගෙයක් විය. ඒ වන විට මොරායා නාන කාමරයේ ලිස්සා වැටී කකුළක ආබාධයකට ප්‍රතිකාර ගනිමින් සිටි බැවින් ඒ මළ ගෙදර තනිව ම යෑමට ප්‍රැන්සිස් ට සිදු විය. ඒ බව සේපාලිකාට දැන් වූ විට ඇය ද ඔහුගේ වාහනයෙන් ම යෑමට සූදානම් වූවා ය.

මළ ගෙදර කටයුතු අවසන් වන විට සවස පහ මාර ද පසු වී තිබුණි. ප්‍රැන්සිස් සේපාලිකා සමඟ ආපසු පිටත් විය.

“සේපාලිකා”…

“ඇයි අංකල්”

“මොකද සේපාලිකා ගැහැනු මේ තරම් නපුරු?”

“ඒ නපුරු මොරායා ඇන්ටිනේ. හැමෝ ම නපුරු නෑ අංකල්”

යැයි සේපාලිකා සිනහ වූවා ය.

“සේපාලිකා හිනාවෙන කොට හරි ලස්සනයිනේ”

“ඇයි අනිත් වෙලාවට ලස්සන නැද්ද අංකල්”

“ලස්සනයි” ලස්සනයි. ඊටත් වඩා සේපාලිකාගෙ කරුණා දයාව ලස්සනයි.”

“ඔයාගේ ඇන්ටිගේ නපුරු කම නිසා මං හරියට දුක් විඳිනවා සේපාලිකා.”

“මං දන්නවා අංකල්”

සේපාලිකා මට දක්වන දයාව කරුනාව මගේ හිතට ලොකු සහනයක්”

“මං ඒකත් දන්නවා අංකල්”

“ඇයි සේපාලිකා මට මෙච්චර සළකන්නේ?”

“අංකල් දුක් විඳින බව දන්න නිසා. අපේ අම්මලත් මොරායා ඇන්ටිගේ නපුරුකම නිසා අංකල් දුක් විඳින බව කතා වෙනවා. ඒ නිසා මම අංකල්ට ආදරෙන් සළකනවා. ඊටත් වඩා මට රස්සාව හදා දුන්නෙත් අංකල්නේ.”

“සේපාලිකයි මමයි මේ ගමන තනියම ආපු බව දන්නවා නම් මොරායා යකා නටයි”

මං ඒකත් දන්නවා අංකල්”

වාහනයේ වේගය බාල කළ ප්‍රැන්සිස් “මෙයා හැම එකක් ම දන්නවා නේ” යි කියමින් වම් අතින් ඇගේ නහය මිරිකුවේ ය.

“ඌයි රිඳෙනවා”යි සේපාලිකා ඔහුගේ අත තදින් අල්ලා ඉවත් කර නාසය අත ගා ගත්තා ය. “අංකල් හරි නරකයි” ඇය බොරු අමනාපයකින් කීවාය. ඔහු නැවතත් ඇගේ නාසය මිරිකන්නට තැත් කරද්දී ඇය එය වළකා ඔහුගේ අත අල්ලා ගත්තා ය.

“සේපාලිකා..”

“හ්ම් ම්..”

“දැන් රෑ වෙනවා. ගමට යනකොට පාන්දර වේවි අපි හෝටලයක නතර වෙලා යමු ද?”

“……”

ඔවුන් දෙදෙනා හෝටල් කාමරයක නතර වුණි.”

“සේපාලිකා”

“ම්…ම්…”

“නැගිටින්න. නැගිටලා ලෑස්ති වෙන්න”

ඒ හෝටලයෙන් ම උදේ ආහාරය ද ගත් මේ දෙදෙනා ආපසු පිටත් විය. වාහනයේ ගමන් ආරම්භ කළේ ය.

“සේපාලිකා”

“ඇයි…”

“ඔයා මා එක්ක තරහ ද?”

“ඇය මඳ සිනහවක් නගා කවුළුවෙන් ඈත බැලුවාය. මීදුමෙන් පරිසරය වසා ගෙන ඇත.

සේපාලිකා වැඩ කළ වත්තේ පරීක්‍ෂාවට දැන් ප්‍රැන්සිස් වෙනදාට වඩා උනන්දුවෙන් යන්නේ ය. දැන් ඔහුගේ සිතට පාළුවක් නැත. ඔහු යමක් සැලසුම් කළේය. ඒ සඳහා මාසයක් නිවාඩු දමා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේය. මොරායා අතහැර සේපාලිකා සමඟ ඕස්ට්‍රේලියාවේ පදිංචිවීමට යෑම ඔහුගේ සැලසුම විය. ඒ කටයුතු සඳහා ඔහු තවත් මාසයක් නතර විය. සුදුසු පරිසරයකින් නිවසක් මිල දී ගැනීමට ද පොරොන්දු වී ආපසු ආවේ ය.

ප්‍රැන්සිස් ආපහු ලංකාවට ආවේ දහසක් පැතුම් පොදි බැඳ ගෙන ය. ඔහු සේපාලිකා වැඩ කරන වත්තට ගියේ ය. ඇය සමඟ සියලු විස්තර කීවේ ය.

“ඇයි මට කළින් නොකිව්වේ? සේපාලිකා අහක බලාගෙන ඇසුවා ය.

“කළින් නොකිව්වට දැන් කිව්වනේ”

“දැන් කියලා වැඩක් නැහැ”

“ඇයි?”

මම ජයන්ත මහත්තයව (වතු පාලක) කසාද බැන්දා”

“ඇයි එහෙම කළේ?”

මටත් අනාගතයක්, ආරක්ෂාවක් තියෙන්න එපැ යැ. එයා මාව බාර ගන්න කැමැති වුණා. දැන් අපි පදිංචිත් මේ බංගලාවේ මයි.

ලෝකය දවාලන්නට මෙන් සුසුමක් හෙළූ ප්‍රැන්සිස් වහාම වාහනයට නැංගේ ය. වාහනය හඬ නංවමින් පිටත්ව ගියේ ය.” ගිය ගමන නම් එච්චර හොඳ නැහැ”යි සේපාලිකාට සිතුණි.

ප්‍රැන්සිස් නගරයේ තානායමට ගොස් හොඳට ම බිව්වේ ය. තවත් බෝතලයක් ද මිල දී ගෙන ගෙදර ගියේ ය. ගෙදරට ගිය හැටියේ මොරායා බෙලිකටුමල්ල හොළවන්නට වූවා ය. ප්‍රැන්සිස් අරක්කු බෝතලය ද තුවක්කුව ද රැගෙන වත්ත පාමුල ඉඩමේ කෙළවර දං බෝවිටියා පඳුරු පැවැති තැනකට ගියේ ය. එහි වූ කුඩා පැතලි ගලක්මත හිඳ ගත්තේ ය. අරක්කු බෝතලය කටට හළා ගත්තේ ය. තුවක්කු බටයේ කෙළවර යටි තල්ලට තබා ගත්තේ ය. පයේ මාපටැඟිල්ල කොකාට ළං කළේ ය.

ප්‍රැන්සිස්ගේ මරණයෙන් වසරකට පමණ පසු ඉඩම් සීමා කිරීමේ පනත සම්මත විය. ඒ ඉඩමෙන් අක්කර දහසක් රජයට පවරා ගෙන නිවාස නැති අයට පර්චර්ස් දහයේ කොටස් බෙදා දුන්නේ ය.

ප්‍රැන්සිස් සිය දිවි හානි කැර ගත් ස්ථානය සහිත ඉඩම් කොටස ලැබුණේ තරුණ අවිවාහක රජයේ නිලධාරියෙකුට ය. සරත් නම් වු ඔහු එහි ගෙයක් හදා ගෙන පදිංචි වූයේය. නිවසේ පිටුපස ඉඩ කඩ මදි නිසා එහි තිබුණු කුඩා ගල් තලාව වෙඩි දමා පුපුරුවා හැරියේය. වෙඩි දමන්නට ආ ගල් වෙඩි කාරයා ගල් පතුරක් වැදී තුවාල වී රෝහල් ගත කරන්නට ද සිදු විය.

සරත් රජයේ රෝහලක හෙදියක් සමඟ සම්බන්ධයක් පැවැත්වීය. එහෙත් ඔහු අලුතින් නිවස හදා පදිංචි වූ දවසේ සිට ඇය වෙනස් වූවාය. ඇය ඒ නිවසට ද අකමැති වූවා ය. මේ වෙනස ගැන හොයා බලන්නට දිනක් සරත් ඇගේ නිවසට ගියේය. සරත් ගෙට ගොඩ නැගුණු සැටියේ ඔහු දෙස අමුතු ලෙස බලා සිටි ඇය වහා කාමරයට වැදුණාය. යළිත් එළියට ආවේ නැත. ඒ සම්බන්ධය එයින් ම නතර විය.

ඉන් පසු සරත් මනාලියන් දෙදෙනෙකු බලන්නට ගියේ ය. ඒ දෙදෙනා ද සරත් දෙස බියෙන් මෙන් බලා සිට ගෙට ගියා ගියා මය. මෙය මහත් ගැටලුවක් විය. සරත්ගේ සහෝදරියන් දෙදෙනා ද වරින් වර නිවාඩු දිනවලට ඔහුගේ නිවසට පැමිණියත් ඔවුන් රාත්‍රී හීනෙන් බයවීම නිසා එයින් පසු රාත්‍රී නතර වූයේ නම් නැත. දවල්ට පැමිණියත් කිනම් හේතුවක් නිසා හෝ එයින් ආපසු එන්නේ සරත් සමඟ අමනාපයෙනි.

මේ ගැටලුව ලිහා ගැනීම සඳහා සරත් පේන කියන ස්ථානයකට ගියේ ය. එහි දී විස්තරය අනාවරණය විය.

“පුතා මම උඹට කැමැතියි. මම උඹට හිරිහැර කරන්නේ නෑ”

“කවුද මේ?”

“මම ප්‍රැන්සිස් . මේ ඉඩමේ මුල් අයිතිකාරයා”

“ඇයි මට කරදර කරන්නේ?”

“උඹ මම හිටපු ගල පුපුරවා දැම්මා. ඉතින් මම උඹේ ගෙදර පදිංචි වුණා. හැබැයි මේ ගෙදර ගෑනුන්ට නම් ඉන්න දෙන්නේ නෑ.”

“ඇයි එහෙම කරන්නේ?”

මම ගැහැනුන්ට වෛර කරනවා. මගේ ජීවිතය නැති වුණේ ගැහැනු නිසයි. මම ගැහැනුන්ගෙන් පළි ගන්නා යක්ෂයෙක්. බලවත් යක්ෂයෙක්. මම උඹට කරදර කරන්නේ නෑ.

උඹව ආරක්ෂා කරනවා. උඹට මතකද ගිය මාසෙ මිනිහෙක් උඔට බැන්නා. ඌ එදාම මෝටර් සයිකලෙන් වැටිලා අත පය කඩා ගෙන තවම වෙදකම් කරනවා. ඒක කළෙත් මම.

උඹේ අක්කලා දෙන්නාව පන්නා ගත්තෙත් මම. ඔය ගැහැනු සංහතිය එක්කම මම වෛරයි. ගැහැනු ඕනෑ නෑ. අපි දෙන්නා මේ ගෙදර ඉමු.

සරත් සිය පෙම්වතිය බලන්නට ඇගේ ගෙදරට ගිය දවසේත් සරත් පිටු පසින් යක්ෂයෙක් මතු ව ඇඟිල්ල දිග් කර තර්ජනාත්මකව බිය කැර ඇති බවත් රාත්‍රී නින්දේදී පෙනී සිට සරත් සමඟ ආවොත් මරණවා යැයි තර්ජනය කර ඇති බවත් පසුව අනාවරණය විය. මනාලියන් දෙදෙනා බලන්න ගිය දවස් දෙකේත් සරත් පිටුපසින් යක්ෂයා මතු වී ඒ තරුණියනට තර්ජනය කොට ඇත. එය දැක ඇත්තේ තරුණියන් පමණි.

සරත් මේ කිසිවක් නොදැන යකාගේ විමානය (ගල) පුපුරුවා දැමීම නිසා යකා සරත්ගේ ගෙයි පදිංචිව ඇත. ඔහු සරත්ට ආදෙර්ය. සරත්ට හානියක් පාඩුවක් කරන අයට දඬුවම් පවා සිදු කරයි.

හැබැයි යකාට ගැහැනු පෙන්නන්ට බැරිය. දැන් සරත්ට ගැහැනු නැතුවත් බැරිය. ඇතුවත් බැරිය. යකා ඇතුවත් බැරිය. නැතුවත් බැරි ය. කසාදයක් නම් නොබැඳ බැහැ. ඒත් මේ යකාත් එක්ක ඒක කරන්න බැහැනෙ යි සරත් මැසිවිලි නගයි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: