Posted by: lrrp | August 29, 2011

ජීවනීගේ කාතාව

ජීවනී මේ පවුලේ එක ම දරුවා ය. අම්මාගේත් තාත්තාගේත් අඩදබර නිසා නිවසේ පරිසරය ජීවනී ප්‍රිය නොකළාය. ඇගේ හිත පාසල් පොත පතට නොයෙදීමට එය ම හේතුව වූ බව ඇය දනී. සාමාන්‍ය සැප සම්පතින් අඩුවක් නොවූ ඇයට ජීවිතයේ බරක් ඒ තරම් දැනුණේ නැත. තාත්තා ගේ රැකියාවට අමතරව ගොඩ මඩ ගාවිතැනින් ලැබෙන ඵළදාව මේ පවුලට වුවමනාවටත් වැඩිය.

ජීවනී ගේ අම්මා සෝමා ය. සෝමා ගේ මව් පිය දෙදෙනා ගේ මරණයෙන් පසු ඒ ගෙදර හිටියේ ඇගේ අවිවාහක සහෝදරයින් දෙදෙනා පමණි. ඒ නිසා ගෙදර කුළියට දී සහෝදරයින් දෙදෙනා තම නිවසට ගෙන්නා ගත්තේ කාරණා දෙකක් හිතේ තියාගෙන ය. එකක් අවිවාහක සහෝදරියන්ගේ විවාහ වන වයස පැන ගොස් ඇති බැවින් ඔවුන් මෙහි ගෙන්වා ගැනීමෙන් ඒ ගෙවල් කුළියද තමන් අතට එන විදිහට යොදා ගන්නට ය.

අනික් කාරණය ගෙදර දොර වැඩට මෙහෙකාරියකගේ අවශ්‍යතාව මේ දෙදෙනා නිසා පිරිමැසෙන නිසාය. කෙසේ නමුත් මේ දෙදෙනා ගේ පැමිණීම මේ ගෙදර කලින් පැවති ප්‍රීති දායක තත්ත්වයට බාධාවක් බව ජීවනීට දැනේනනට විය. පොඩි පුංචි අහිංසක ය. නිසි කලට විවාහයක් කැර ගැනීමට නොලැබීම ඇගේ සිතට දුකක් වුණ ද ඇය ඒ අඩුව මකා ගැනීමට ආගම දහමට නැඹුරු වූවාය. පාන්දරින් අවදි වී ගෙදර අවශතාව ඉටු කොට පිරිසිදුව මල් පහන් පුදා වන්දනාවේ යෙදුණාය. ඇය නිතර අහිංසක හිනාවකින් මුව සරසා ගෙන හිටි අතර කතා කළේ අවශ්‍ය දෙයකට පමණි. ජීවනීට ඇය ගැන දුක සිතුණු වාර අනන්තය.

ඒකටත් හරියන්න ලොකු පුංචි තමයි හරිම බඩ්ඩ. කතා කළොත් අනුන්ගෙ දොසක් ම යි. ඇනේ මෙහෙමත් ගෑනු. ‘ජීවනීට තනිව ම හිතේ. ලොකු පුංචි ගේ මුහුණේ ඇති අවාසනාවේ මුස්පේත්තුª භාවය කොයිතරම් පුයර ඉලුවත් මකන්නට බැරි තරම් ය. වයස අවුරුදු හතළිස් පහක් ඉක්මවා සිටියද ඇය හැසිරෙන්නේ ජීවනීටත් වඩා තරුණ බවක් පෙනෙන පරිදි ය. “අම්මේ, අපේ ලොකු පුංචිට මම අක්කෙයි කියලා කතා කරනවා නම් එයා කැමති ඇති.

මම එයාට අක්කී. කියලා කතා කරන්න ද?” දිනක් ලොකු පුංචි තාත්තා ගිය වේලාවේ ජීවනී අම්මාගේ කනට කර හෙමින් ඇසුවා ය. සෝමා ජීවනී දෙස රවා බලා ඇගේ කට මිරිකන්නට හදද්දී එය වැළකුනේ ඊට මඳක් එහායින් තේ වතුර ටිකක් බොමින් සිටි පොඩි පුංචිට ‘බකස්’ ගා හිනා යන්නට ඇවිත් වතුර ඉස්පොල්ලේ යෑම නිසා ය. ඒ ඇයට ද මේ සතරකන් මන්ත්‍රණය යම්තමින් ඇහුණු නිසා ය.

කෙසේ නමුත් අම්මා සමඟ වැඩිපුර පයුරු පාසානං පැවැත්තුවේ ලොකු පුංචිය. ඒ අනුන්ගේ දොස් ම දකින පුරුද්ද අම්මාටත් තිබුණු නිසාය. මේ ගෙදර තිබුණු ජීවනීගේ සිතගත් කැමති ම දෙය තාත්තා ගෙදර සිටින විට අම්මා සමඟ විහිළු කිරීම ය. අම්මා කෙනිත්තීමෙන් හෝ කේන්ති ගස්සා තාත්තා විනෝද වූයේ ය. අම්මා සාලයේ පුටුවක ඉඳගෙන සිටින විට තාත්තා ඇය නොදැක්කා සේ හිටි හැටියේ ඇගේ ඔඩොක්කුවේ වාඩි වෙයි.

අම්මා තාත්තාගේ පිටට අත මිට මොළවා පහර දෙන්නට පටන් ගනී. “අනේ! සොරි, මං දැක්කෙ නැහැනෙ ඔයා ඔතන ඉන්න බව යැයි තාත්තා කියයි. මේ හැම දාම කියන උත්තරය යි. අම්මා කට කොනනික් හිනාවෙයි. අම්මාගේ යටි හිත ද ඊට කැමතිය. එහෙත් දැන් මෙවැනි සතුට දනවන අවස්ථාවල ලොකු පුචි “මළ කෝළං” යැයි කියා ගස්සා ගෙන කාමරයට යයි. ඒත් පොඩි පුංචි අහක බලාගෙන හිනාවෙයි.

දැන් දැන් අම්මාත් තාත්තාත් අතර බහින් බස්වීම් සුලබ වෙන්නට පටන් ගෙන ඇත. ජීවනීට මහත් දුකක් දැනේ. අනාගත බියක සේයාවක් ද ඇගේ සිතේ ඇත්වෙමින් නැතිවෙමින් පවතී. ‘අනේ! දෙයියනේ! කුරුළු ජෝඩුව කිචි බිචි ගාන්නා සේ නිතර හිනැහෙමින් සිටි අම්මාත් තාත්තාත් දැන් අඳුරු පටලයකින් වසා ගත් මුහුණු වලින් කල්ගෙවති. තාත්තා නැති වේලාවට අම්මා සමඟ කටු කුටු ගාන ලොකු පුංචි තාත්තා සිටින වේලාවට කාමරයට රිංගා ගනී. පොඩි පුංචිට මේවා ගැන නිනව්වක් නැත. “දුව ! ජීවා! අපි පන්සල් යමු මැණිකේ.” “දුව ජීවා අපි නාන්න යමු. මැණිකේ!” දුව !ජීවා! අපි මල් කඩන්න යමු මැණිකේ!” තනියම කඩේ යන්න එපා මැණිකේ.

ඉන්න මමත් එන්නම්” ඒ පොඩි පුංචිගේ කතා ය. පොඩි පුංචි අනුන්ගේ දේවල් සොයන්නේ ම නැත. වැඩක් නැති වේලාවට ගෙය මිදුල අමදී. ජීවනී ගෙය අමදින විට පොඩි පුංචි මිදුල අමදී. ජීවනී මිදුල අමදී නම් පොඩි පුංචි ගෙය අමදී. ඇය නිකම් කල් ගෙවන්නේ ම නැත. ඒ ඇගේ හැටි ය. අර ඇගේ හැටිය. කෙසේ නමුත් මෙතෙක් හිනාවෙන් පිරුණු සතුටු උයනට කණකොකෙක් ආවා වගේ ය.

සෝමා මම මේ ඔයාට කියන අන්තිම වතාව. ඔයාට මොකෙක් ද වැහිලා ඉන්නේ. අනේ! දෙයියෝ ඔය සහගහන බොරු කියලා මගේ ඔළුව නරක් කරන්න එපා. දෙයියන්ගෙ නාමෙන් මේ දරුවා ගැන හිතලවත් ඔය අමූලික කතා කියන්න එපා” යි තාත්තා කවදාවත් නැතුව ගෙයින් පිටට ඇහෙන්නට කෑ ගැසුවේය.

එදා පටන් තාත්තා නිදාගත්තේ ගෙයින් පිට කාමරයේ ය. ප්‍රධාන දොර වැසූ විට ගෙයි සිටින කෙනෙකුට ඒ කාමරයට යන්නට බැරිය. ජීවනීට දැනුණේ තාත්තා ගෙයින් දොට්ට දැම්මා සේය. එදා ජීවනී හොඳට ම හැඬුවාය. “මොකක්ද අම්මේ! ඔය ආරවුල. මොකක්ද තාත්තා කරපු වැරැද්ද? ඒක දැන ගන්න මට අයිතියක් නැද්ද? දෙන්නාට දෙවියෙක් වගේ ආදරෙන් හිටපු තාත්තා එක්ක ඇයි මේ රණ්ඩු කරන්නේ? ජීවනී බැරිම තැන අම්මාගෙන් ඇසුවාය.

“ඒක ඔයාට ඕනෑ නෑ. ඒක මම බලා ගන්නම්” කී අම්මා ඉන් එහාට කතා කළේ නැත. ජිවනී කොට්ටයට මුහුණ ඔබාගෙන ඉකි බින්දාය.

පාන්දරින් අවදි වූ ජීවනී තාත්තාගේ කෝප්පයට පිිටි කිරි එකක් හදාගෙන ගියාය. ප්‍රධාන දොර ඇරගෙන පිටත කාමරයට ඉදිරියට ගොස්ම තාත්තා අවදි කරන්නට “තාත්තේ, තාත්තේ” කීවාය. පිළිතුරක් නැත. නිහඬ ය. දොරට තට්ටු කළා ය. දොර අගුළු දමා නැත. ඉබේ ම දොර පියන ඇතුළට තල්ලු විය.

“අනේ! තාත්තා නැහැ.” තාත්තා නිදා සිටි ඇඳේ කොට්ටය උඩ කඩදාසියකි. ජීවනී වෙව්ලන ඇඟිලි තුඩුවලින් එය අතට ගත්තාය.

“මගෙ රත්තරං දුවේ!

අපට මෙහෙම වෙයි කියලා මම කවදාවත් හිතුවෙ නෑ. මම නොකළ වරදකට දඬුවම් විඳිනවා. තාත්තා කෙනෙක් දුවකට කළ යුතු යුතුකම් මම දන්නවා. ඒත් මගේ දෛවය මට ඒකට ඉඩ දෙන්නේ නෑ. මට සමාවෙන්න. මගේ සියලුම දේපළ මම දුවගෙ නමට ලිව්වා. තව සුමාන දෙකකින් විතර වුණාම ගිහින් , ඔප්පුව රෙජිස්ටර් පෙරේරා අංකල්ගෙන් ඉල්ලාගෙන එන්න. මගෙ රත්තරං දුවේ, මට අවසරයි මම යනවා.

දුවට තෙරුවන් සරණයි.

මීට ආදර තාත්තා.”

ජීවනීගේ අතේ තිබුණු කිරි වීදුරුව බිම වැටී බිඳී ගියා ඇයට මතක නැත. “අම්…….මේ….හ්” කාමරයෙන් පිට වූ ජීවනී බිත්තිය අල්ලාගෙන සාලයට ගියා ය. ලෝකය කැරකෙමින් පවතී. සාලය මැද ඇය සිහිසුන්ව වැටුණාය. “දඩාස් “ ඒ සද්දයෙන් අවදි වූ පොඩි පුංචිත් අම්මාත් වහාම පැමිණ දියණිය ඔසවා ගෙන ගොස් ඇගේ යහනෙහි තැබූහ.

මොකද වුණේ ?

මොකද වුණේ ?

පිළිතුරක් නැ.

පොඩි පුංචි ජීවනීගේ මුහුණට වතුර ස්වල්පයක් ඉස්සා ය.” තාත්තේ! මගේ රත්තරං තාත්තේ!” ජිවනීගේ අතින් ගිලිහී බිම වැටී තිබුණු ලියුම් කඩදාසිය පොඩි පුංචිගේ නෙත ගැටුණි. ඇය එය අහුලා ගෙන කියෙව්වා ය.

“මොකක්ද ? මොකක්ද ? “සෝමා කලබලයෙන් ඇසුවාය. ඒ ලියුම අක්කාගේ මූණට දමා ගැසූ නැගණිය” ඉඳා! බලපං” යැයි කියා ජීවනීගේ හිස අත ගාන්නට වූවා ය. ඇඳේ පැත්තකින් හිඳ ගෙන තමන්ගේ හිස අතගාන පොඩි පුංචිගේ ඔඩොක්කුවේ ඔළුව ඔබා ගත් ජීවනී ඉකිබිඳින්නට වූවා ය. පොඩි පුංචිගේ දෙනෙතින් රූරා වැටෙන කඳුළු බිඳු ද ජීවනී ගේ මුහුණට වැටුණි.

සෝමා කුස්සියට ගියා ය. කම්මුලට අත තියාගෙන කල්පනා කරන්නට විය.”මං කලබල කළා වැඩියි ද? ඇහින් නුදුටු දේකට මං ඔයාට දොස් කිව්වා වැඩියි ද? මගේ මහත්තයා එහෙම කෙනෙක් නොවෙයි නේද ?” ඇය තමාගෙන් ම ප්‍රශ්න කළා ය.

එදා උදේ කඳුළෙන් ම ගෙවී ගියේ ය. දහවල ද එසේ ම ය.

“ඔය ගියාට එයි” ලොකු පුංචිට නම් ගාණක් නැත. අද මේ ගෙදර ගොළුමඩම වගේ ය. එකෙකුට එකෙක් කතා කරන්නේ නැත.

තාත්තා ගෙදර ආවේ නැත. අම්මේ! කෝ මගේ තාත්තා” ඇය පපුවට ගසා ගනී. සෝමා ළඟ උත්තරයක් නැත. මේ දවස්වල ගෙදර ඉවුම් පිහුම් කරන්නේ පොඩි පුංචි ය.

ඇය කිසිවක් මුවින් නොබැණ එය ඉටු කරයි. බත් පිඟාන අතට ගත්තත් කන්නට පිරියක් නැත. ලොකු පුංචි නම් හම්බං අහුරු ගිල දමන හැටි පෙනේ.

1998 යි, 2008 යි අවුරුදු 10 යි 2011 යි අවුරුදු දහතුනයි. ජීවනීට දැන් අවුරුදු 28යි. තාත්තා ගෙදර ආවේ නැත. කිසිම තැනකින් ආරංචියක් නැත. දැන් සෝමා ද උදේ හවස නොවරදවා ම බුදුන් වඳී. පොඩි නංගී සමඟ පන්සල් ගොස් බෝධිපූජා තියයි.

“අම්මේ!”

“ඇයි දුවේ!”

“අදට අවුරුදු දහ තුනක්”

“……………”

“මගේ තාත්තා ගෙදරින් ගිහින් අදට අවුරුදු දහතුනක්” ජීවනී තාත්තා මතක් වී හැඬුවා ය.

“දැන් අවුරුදු එකොළහේ දොළහේ පුතාලා දූලත් ඇති” ලොකු පුංචිගේ කඩප්පුලි කට අදත් එදා වගේ ම ය. “ මේ හැතිරිගෙ කට කැඩෙන්න ගහන්න කෙනෙක් නැති හැටි” යි කියා ගන්නට ජීවනීට ශක්තියක් නැත.

දැන් මේ ගෙදර කිසි ම සමගියක් නැත. සෝමාත් ලොකු නංගීත් නිතර බහින් බස් වෙති. ජීවනී ඒ දෙදෙනා සමඟම බහින් බස් වේ. කිසි ම දියුණුවක් නැත. ජීවනී නිතර අසනීප වෙන්නට පටන් ගත්තා ය. සමහර දාට ගේ ඇතුළේ කාගෙ දෝ ඡායාවක් ගමන් කරනු දැක මේ කාන්තාවෝ බිය වූහ. පොඩි පුංචිගේ ඉල්ලීමක් අනුව මේ ගැන විමසා බලන්නට ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට යන්නට ජීවනී සූදානම් වූවා ය. ජීවනීත් පොඩි පුංචිත් සූදානම් වන විට අනිත් අක්කා නගෝ දෙන්නා ද සූදානම් වූහ.

එහි දී ජීවනී වෙව්ලන්නට වූවා ය. ප්‍රලය වූවාය.

“කවුද මේ ශරීරයට රිංගා ගෙන ඉන්නේ?”

“මම සිරිල්, මේ දුවගෙ තාත්තා”

“මේ ගෙදර හොල්මන් කරන්නෙ සිරිල් ද?”

“නෑ…ඒ මහ ගෑනි. සෝමගෙ අම්මා. උන්දෑ මළාට පස්සෙ හත් දොහේ දානෙන් පස්සෙ උන්දැට පිංකමක් කරලා පිං දුන්නෙ නෑ. ඒකට උන්දෑ තරහෙන් ඇවිත් බය කරනවා.

“සිරිල්ට මොකද වුණේ?”

ජීවනී හඬන්නට ගත්තා ය. ඒ හඬන්නේ ජීවනී නොවේ තාත්තා ය. යළිත් උත්තර දෙයි.

“මහත්තයෝ මහ ගෑනි මළාට පස්සෙ නෑනලා දෙන්නා අපේ ගෙදරට ආවා. සෝමා තමයි එක්කගෙන ආවේ. කාලකන්නි කියලා මමත් මුකුත් කීවෙ නෑ. පොඩි නෑනා නම් අහිංසකී. තමන් ගෙ පාඩුවෙ ඉන්නවා. ලොකු නෑනා තමයි මූසලී. අනුන්ගෙ වැරදි ම යි හොයන්නේ. මට ඕකිව පේන්න බෑ. ඔය දැනුත්,,…….බලන්න කො මූණෙ හැටි. මමයි සෝමයි සන්තෝසෙන් ඉන්නවාට මේකි ඉරිසියා කළා. මම මේකි දිහා අමුතු විඳිහට බලනවා ය.

මේකි දිහා හොරෙන් බලා ඉන්නවා ය. මේකිට ඇස් ගහනවාය කියලා සෝමට කිව්වා. සෝමා ඒවා පිළි අරගෙන මාත් එක්ක රණ්ඩු කරන්න පටන් ගත්තා. බොරු කේළම් කියලා අපි දෙන්නා අතර තිබුණු සතුට සමාදානය බිඳෙව්වා. මම බොන්න පුරුදු වුණා. ඒත් ඒක හොඳ නැති බව මම දන්නවා. ඒක දූටත් දුක දෙන කාරණයක් වෙන බව මම දන්නවා.. ඒ නිසා බීල මැරෙනවාට වඩා ඔළුව හැරුණු අතක ගිහින් ජීවත් වෙනවා කියලා මම ගෙදරින් යන්න ගියා.

මම කොළඹට ආවා. කොහේ යනවද කියලා තීරණයක් නෑ. පදවිය බස් එකක් තිබුණා. ඒකට නැග්ගා. පදවියට ඇවිත් කඩේක වැඩ කළා. ඒත් මට කන්න බෑ. දුවව මතක් වෙනවා. මගේ ශරීරය දුර්වල වුණා. දවසක් පාර හරහා මාරු වෙනකොට වාහනෙක හැපුණා. මට අමාරුයි. පදවිය ඉස්පිරිතාලෙන් අනුරාධපුර රෝහලට එව්වා. එතනින් කොළඹ මහ රෝහලට එව්වා. (1998) එහෙදී මං මළා. මාව වළ දැම්මෙ ඉස්පිරිතාලෙ කම්කරුවෝ’ මෝචරියෙ මාසයක් විතර තිබුණා. ඊට පස්සෙයි වළ දැම්මේ.

සෝමගෙ හිතේ මම තාම ජීවත් වෙනවා කියායි. දුවත් එහෙම තමයි හිතාගෙන ඉන්නේ. දැනට මං මැරිලා අවුරුදු දහතුනක් වෙනවා. හිතේ දුකෙන් මැරුණු නිසා මට හොඳ තැනක උපදින්න බැරි වුණා. මේ ඔක්කොම කළේ අර මූසලී. ඕකි අපේ පවුල විනාශ කළා. මට දුක මගේ රත්තරං දුව ගැනයි. සෝමා හොඳයි. ඒත් ලොකු නගාගේ බොරුවලට රැවටුණා. දූගෙ අනාගතයත් අඳුරු වෙනවා. කල දවස ගත වෙනවා. මට ඒකට යි දුක.

සිරිල් මිය ගිය බවක් මෙතෙක් නොසිතූ හැම දෙනාම අඬන්නට වුණා. දින විසි එකක් බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙස ගුප්ත ගවේෂණයෙන් නියම කැරිණි.

දින විසි එකෙන් පසු ඔවුහු නැවත පැමිණියහ. සිරිල් නමින් ගමේ පංසලට දානයක් දී එහිදී පාංශුකූල චීවරයක් පූජා කර පිංපමුණුවන ලෙස නියම කළේය. එයින් පසු සිරිල් කැමැත්තෙන් ම කළුතර බෝධීන් වහන්සේ ළඟට එන්නට පොරොන්දු විය.

දැන් ජීවනී ලොකු පුංචි සමඟ කතා කරන්නේ නැත. අම්මා ද ඇය වර්ජනය කළා ය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: