Posted by: lrrp | August 29, 2011

දරුවාට දඬුවම් කළ යුත්තේ ඔහුගේ ගති පැවතුම් හොඳින් තේරුම් ගෙනය

නව යොවුන් දරුවන් ගේ, තරුණ දූ පුතුන් ගේ ජීවිත සාර්ථක කර ගන්නට ඉතා වටිනා උපදේශයක් මේ ගාථා රත්නයෙන් විස්තර කැරේ. යමක් කරන්නට කියන්නට පෙර, ඒ ගැන සිතා බැලීමේ පුරුද්දක් නොමැතිවීම, හොඳ නරක අවබෝධ කරගත හැකි වියේ පසුවන දරුවා ගේ පටන් වැඩිහිටියා දක්වාම දකින්නට ලැබෙන විශාල දුර්වලතාවයකි.

අප අතර ම වෙසෙන බෙහෝ දෙනා හැඬූ කඳුළෙන්, පසුතැවීමෙන් ජීවිතය විඳවන ආකාරය, ජීවිතය අවුල් ජාලයක් බවට පත් කරගෙන ඇති ආකාරය අපි දකිමු. ඒ අනුන් නිසා නොව තමන් විසින් ම කළ කී දෙයින් ගෙන දුන් විපත් නිසා ය. සිතෙන දේ කරනවා වෙනුවට, සිතෙන දේ කියනවා වෙනුවට සිහි බුද්ධියෙන් සිතා බල එයින් වන යහපත අයහපත දැන කටයුතු කරනවා නම් එසේ ජීවිත අඳුරට යන්නේ නැත.

‘පනින්න පෙර සිතා බලනු’ යන ජනප්‍රිය ආප්තෝපදේශය ජනවහරට එක් වී ඇත්තේ ද යමක් පිළිබඳ සිතා බලා කටයුතු නොකිරීමෙන් වන අනර්ථය මහත් නිසා ය.

අප කරන්නා වූ යම් දෙයක අවසාන ප්‍රතිඵලය දුක් සහගත නම්, අවුල් ජාලයක්, කරදරයක්, විපතක් ඇති කරන්නේ නම්, අවසානයේ කඳුළක් ඉතිරි කරන්නේ නම් අප ඒ ක්‍රියාවන් පසු පසම හඹා යන්නේ ඇයි? මුලාව නිසා ය. සිහි බුද්ධියක් නොමැතිකම නිසා ය. ජීවිතය පිළිබඳ අරමුණක්, සැලැස්මක් නොමැති කම නිසා ය.

සත්‍යය වටහා ගන්නා කල විය යුතු සියල්ල සිදුවී අවසන් ය. ‘මා මේ කරන දෙයින්, කියන දෙයින් කුමක් සිදුවේ ද? මට අනතුරක්, අපවාදයක් ;ව්ද? එසේත් නැතිනම් වෙනත් කෙනකුට විපතක්, අපකීර්තියක් සිදුවේ ද? මෙසේ සිතන්නට සුළු මොහොතක් වෙන් කළා නම් ඔබට හෝ ඔබ නිසා වෙනයම් කෙනකුට හෝ දුක් කරදරවලට මුහුණ දෙන්නට සිදුවන්නේ නැත.

විශේෂයෙන් ජීවිතය ගැන අවම අත්දැකීම් ඇති තරුණ දූ දරුවන් හිතුමතයේ සෙල්ලක්කාරකම් කරන්නට ගොස් ජීවිතයෙන් පවා වන්දි ගෙවන ආකාරය අද දුලබ පුවත් නොවේ. අවදානම් සහගත බව දක්වා ඇති දැන්වීම් පුවරු ඇති තැන්වල පවා දිය නාන්නට ගොස් ගඟට මුහුදට ජීවිතය බිලිදුන් අවස්ථා අප කොතෙකුත් අසා දැක ඇත්තෙමු. ජලයේ ගැඹුර නොදන්නා තැනක, දැනුම් දී ඇති පුවරු තිබිය දී පවා නොසැලකිල්ලෙන් විනෝද වන්නට ගොස් මේ දරුවන් සිය ජීවිතය විනාශ කර ගන්නේ අප්‍රමාණ දුක් පීඩා විඳිමින් තමන් උස් මහත් කළ මව්පියන්ට ද මුළු ජීවිත කාලයටම වේදනා බර කඳුළක් පමණක් ඉතිරි කරමිනි.

දුවේ, පුතේ! සතුට, විනෝදය ඔබට අකැප නොවේ. ඉක්මන්කාරී බව, හදිසිය ඔබගේ අනාගතයම අඳුරු කරන්නට පුළුවන්. සමහර විට ඔබගේ අම්මට, තාත්තට වඩා ඔබ ඇලුම් කරන යෙහෙළිය ගේ, යහළුවා ගේ කීම් ඔබට විපත් ගෙන එන්නට පුළුවන්. මිතුරු ඇසුර අයහපත් දෙයක් නොවේ. එහෙත් ඔවුන් සමඟ කරන කියන දේ පිළිබඳ ඔබට හොඳ අවබෝධයක් තිබිය යුතුයි. සුදුසු කල, සුදුසු දේ පමණක් තෝරා බේරා ගෙන කළ යුතුයි. තමන් කරන ක්‍රියාවේ දුර්විපාක මොනවාද? යහපත් විපාක මොනවාද? යි සිතා බැලිය යුතුයි. ජීවිතය සම්පූර්ණ වන්නේ, සර්ව සම්පූර්ණ මිනිසෙක් ලෙස අනාගතය ජයගත හැකි වන්නේ එවිට යි.

දරුවන් තමන්ගේ වැඩ කටයුතු ගැන සිතා බලනවා වගේ ම මව්පියන් ද දරුවන්ගේ වැඩ ගැන විපරමින් සිටිය යුතුවේ. කවා පොවා උස් මහත් කරනවා සේ ම, උසස් පාසලකට යවා හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නට උනන්දු වනවා වගේ ම දරුවන් ගැන නිරන්තරයෙන් සොයා බලන්නට ද අමතක නොකළ යුතු ය. ඔවුන් මහ මඟ යන එන ආකාරය, ඇසුරු කරන අය ගැන විමසිය යුතුය.

විශේෂයෙන් දුම්රියේ ගමන් බිමන් යන අයට එහි ගමන් ගන්නා පාසල් දරුවන් නුපුරුදු දසුනක් නොවේ. මේ අතරින් වැඩි පිරිසක් පිරිමි දරුවන් ගමන් ගන්නේ දුම්රිය මැදිරිය තුළ නොව එහි පාපුවරුවේ එල්ලීගෙන බව මව්පියන් නොදන්නවා විය යුතුයි.

යම් හෙයකින් පය ලිස්සා, අතේ ග්‍රහණය ගිලිහී ඇද වැටුණේ නම් වන විපත ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. එවැනි අවස්ථාවන්ට මුහුණ දුන් අය ද විරල නොවේ. දරුවන් මෙසේ පාපුවරුවේ එල්ලීගෙන යන්නේ දුම්රියේ ඉඩ මදකම නිසා නොව වයසේ වැරැද්ද නිසා ය. අවුරුදු 15 – 16 වයස්වල පිරිමි දරුවන්ට අවධානම ගැන අවධානයක් ඇත්තේ ම නැත. ඔවුන් ඒ අවදානම්වලින් බේරා ගන්නට වැඩිහිටියන් නිරතුරුව ම අවධානයෙන් සිටීම වැදගත් ය.

බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා වහන්සේ හමුවූ අවස්ථාවන් හි නිරන්තරයෙන් ම උන්වහන්සේ ගේ සුව දුක් විචාළහ.

“ශ්‍රාවකයිනි! ඔබ සුවෙන් සිටී ද? නිසි ලෙස ආහාර පාන බේත් හේත් ලැබේ ද? සිනහවෙන් සිටී ද? සමගියෙන් සතුටින් වාසය කරන්නේ ද? එකිනෙකා සමඟ කලකෝළාහල නොකර සිටින්නේ ද? ඔවුනොවුන් කෙරෙහි ප්‍රිය ඇසින් බලන්නේ ද? කිරිත් ජලයත් සේ එකට බැඳී සිටින්නේ ද?” ආදී වශයෙනි.

“එසේ ය, භාග්‍යවතුන් වහන්ස, අපි එකිනෙකා කෙරෙහි මෛත්‍රියෙන් පසුවෙමු. ආදරයෙන් කරුණාවෙන් කල් හරිමු.” භික්ෂුන් වහන්සේ පිළිතුරු දුන්හ.

පිරිසක් එකට ජීවත්වන තැනෙක ගැටුම් ඇතිවීම සාමාන්‍යය. සිතුම්, පැතුම්, ආකල්ප එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් නිසා ය. එහෙත් තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්ම මාර්ගයට පිළිපන් සමාජයේ එවන් ගැටුම් උද්ගත වන්නේ නැත.

භික්ෂු සමාජයට පමණක් නොව ගිහි සමාජයට ද මෙය ඉතා වැදගත් ය. නිවෙසකට අවශ්‍ය වන්නේ ද මෙවැනි පසු බිමකි.

“අප ලස්සනට ජීවත් විය යුතු යි. එකිනෙකාට ආදරයෙන් සිටිය යුතුයි. ප්‍රශ්න දුක් කරදර ආවත් සමගියෙන් ඒවා විසඳා ගත යුතුයි. එකිනෙකාට ගරු කළ යුතුයි. එකිනෙකා ගේ ඕනෑ එපාකම් ගැන සිතිවිලි ගැන තේරුම් ගත යුතුයි. එහෙම නොවුණොත් අප ගේ පවුල බිඳී විසිරී යයි. අහිංසක දරුවන් ගේ අනාගතය අඳුරු වෙයි?” නිවෙසක අම්මා තාත්තා මේ විදිහට සිතා කටයුතු කරනවා නම් ඒ පවුල කිසි දිනෙක බිඳී විසිරී යන්නේ නැත.

ඒ පවුලේ දරුවන් ගේ ජීවිත අයාලේ යන්නේ නැත. බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වුණු පැරැණි ජන සමාජයේ නිවෙස්වල මෙවැනි සාමකාමී පරිසරයක් නිරන්තරයෙන් දැක ගත හැකි වුණි. මදක් සිතන්න. අද මැදි වයසේ පසුවන ඔබගේ අම්මා තාත්තා එකල මොන තරම් ආදරයකින් බැඳී සිටියේ ද? එකිනෙකාට මොන තරම් ගරු කළා ද? ඔවුන් අතර වූ යම් මත ගැටුමක් පවා විසඳා ගත්තේ මොන තරම් ඉවසීමෙන් ද? එහෙත් වත්මන් පවුල් පරිසරයෙන් මේ පසුබිම දුරස් වී යන ස්වභාවයක් පෙනේ. උසාවියේ විභාග වන නඩුවලින් සියයට 20 ක් පමණ ම ඇත්තේ දික්කසාද නඩුය. බෞද්ධ සමාජයක මෙවැනි තත්ත්වයක් කිසිසේත් ම අපේක්ෂා නොකළ යුතු ය. දරුවන් ගැන පවා නොසිතා මෙසේ වෙන් වී යන්නට හේතුව ඇතැම් විට සුළු කරුණක් වීමට පුළුවන.

පුංචි ප්‍රශ්නයක් පවා මෙසේ දුරදිග යන්නේ ඇයි? මුළු ජීවිත කාලයම පසුතැවීමෙන් විඳවමින් ගෙවන්නට සිදුවන්නේ ඇයි? සිතා නොබලා කටයුතු කිරීම නිසා ය.

මව් පියන් තම තරුණ දරුවන් ගේ ප්‍රේම සම්බන්ධතාවලට විරුද්ධ වීම සාමාන්‍ය දෙයකි. ජීවිතයේ බොහෝ අත්දැකීම් ඇති මවුපියන්ට බොහෝ දුර පෙනේ. විවාහය ජීවිතයේ සුවිශේෂී කඩ ඉමකි. එතැන වැරදුණේ නම් ජීවිතයම වරදී. මේ නිසා මවුපියන් උත්සාහ කරන්නේ සෑම අතින් ම ගැලපෙන දෙදෙනකු විවාහ කරවීමට ය. එහෙත් බොහෝ දරුවන්ට එය තේරුම් ගන්නට ශක්තියක් නැත. ඒ ගැන සිතා බලන්නේ ද නැත. මව්පියන් ගේ බස් සිහියට නැෙඟන්නේ ජීවිතය වැරදුණ තැනදී ය. පවුලේ සාමාජිකයින් අතර ඇතිවන ඕනෑම ගැටලුවක් විසඳා ගැනීමේ ශක්තිය එහි සාමාජිකයන්ට වේ නම් අර්බුද අවම ය. දරුවන් වරදක් කල තැන ඔවුන් නිවැරැදි කරන ආකාරය ගැන හොඳ අවබෝධයක් මවුපියන් සතු නම් ගැටලු නිරාකරණය අපහසු නැත.

වරදක දී දඬුවම් පැමිණ විය යුතු වන්නේ දරුවා කවරාකාර ගති පැවතුම්වලින් යුතු අයකු ද වන බව තේරුම් ගෙන ය. ඔහු දරදඬු ද, සංවේදී ද, නම්‍යශීලී ද ආදී ගති ලක්ෂණ නොවිමසා දඬුවම් දුන්නේ නම් ප්‍රතිඵලය දුක්ඛ දායක වීමට පුළුවන.

තරුණ දරුවන් අනුකරණයට ආකර්ෂණීයය. බෞද්ධ ධර්මයෙන් පෝෂණය වූ සමාජයක ජීවත්වන අපට වටිනා සංස්කෘතියක් උරුම වී තිබේ. දකින දකින විලාසිතා, බටහිර සංස්කෘතීන් තම ජීවිතයට වැද්ද ගැනීමට පෙර දරුවන් එය තේරුම් ගත යුතු ය. මෙහිදී මාධ්‍යවලට ද විශාල වගකීමක් පැවරේ. විශේෂයෙන් බොහෝ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ තරුණ පරපුරට ලබාදෙන පණිවුඩ මේ සමාජයේ යහපත් ප්‍රගමනයකට නම් හේතු වන්නේ නැත.

අඩ නිරුවත් ගැහැනු පිරිමි, සහිත විකාර රූපී වැඩසටහන්, ඉංගිරිසිත් සිංහලත් මුසු වූ අවිනීත බස විශේෂයෙන් ළමා හා තරුණ පරපුරේ සිතිවිලි, හැසිරීම් උඩු යටිකුරු කරන්නට හේතු වන බව මාධ්‍ය මෙහෙයවන්නත් අවබෝධ කරගත යුතු ය. කුමක් හෝ වැඩසටහනක් කරනවා වෙනුවට සමාජයට යහපත් පණිවුඩයක් දෙන යමක් කිරීම තම වගකීම වන බව තේරුම් ගත යුතු ය. අද ඔබ සමාජයට අහිතකර යමක් දායාද කළේ එහි ආදිනව හෙට දිනයේ ඔබ ගේ ම දරුවාටත් විඳින්නට සිදුවන බව අමතක නොකළ යුතු ය. එවිට හඬා දොඩා වැළපීමෙන් ප්‍රයෝජනයක් නැත.

අප උත්සාහ කළ යුතු වන්නේ ළමා පරපුර, තරුණ දරුවන් චිත්තයක් ඇති පිරිසක් බවට පත් කිරීමට ය. එහිදී දහම් පාසලට, පාසලට, ස්වේච්ඡා සංවිධානවලට විශාල වගකීමක් පැවරේ. දරුවාට හිතන්නට පුරුදු කළේ නම් ඔහුට තම හැසිරීම්වල යහපත අයහපත තෝරා බේරා ගැනීම අපහසු වන්නේ නැත. යහපත, අයහපත, හොඳ නරක තෝරා බේරා ගෙන කටයුතු කළ හැකි නම් අනාගතය අවාසනාවන්ත වන්නේ නැත. කඳුළ පසුතැවීම ඉතිරි වන්නේ නැත.

කුඩා දරුවා ගේ සිට වැඩිහිටියා දක්වා ම තමන් ගේ ජීවිතයට යම් සැලසුමක් නිර්මාණය කර ගන්නට උත්සාහ කළ යුතු ය. නින්දට යාමට පෙර හෙට දවසේ වැඩ ගැන සැලැස්මක් සාදා ගන්න. හෙට දිනයේ මා කරන කිසිදු ක්‍රියාවකින් මට හෝ වෙන කවරකුට හෝ අයහපතක් නොවේ වා. මාගේ සියලු කටයුතු සිහියෙන් ඉටු කරමි. ප්‍රාර්ථනා කරගන්න. ජීවිතය සතුටින් ගෙවීමට එය මහත් රුකුලක් වනු ඇත.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: