Posted by: lrrp | August 29, 2011

දරුවාට දඬුවම් කළ යුත්තේ ඔහුගේ ගති පැවතුම් හොඳින් තේරුම් ගෙනය

මිනිස්සුන් ගේ ලෝකය පුදුමාකාර ය. පහළම දිව්‍ය ලෝකයේ දෙවියන්ගේ ආයුෂය ද මිනිස් ලොව අවුරුදු සියයක් එහි සත් දවසකි. ලෞකික සැප සම්පත් විඳීම් වශයෙන්, දෙව්, මිනිස් සැප විඳීම් වාසනා ශක්ති ලබා ගැනීමට මිනිස් ලොව කෙටි ආයුෂ කාලය තුළ පවා හැකියාව ඇති බැවින් මිනිස් ලොව උපත ද වාසනාවක් ලෙස දෙවියෝ ද සිතති. ආධ්‍යාත්මීය සුව වශයෙන් ධ්‍යාන භාවනා වඩා සසර ගමන කෙටිකැර ගැනීමට කුසල් රැස්කිරීමේ අවස්ථාව ද මෙහි දී උදා කැර ගත හැකිය.

බුදුවරු පහළ වන්නේ ද මිනිස් ලොවම ය. එහෙත් මාර පාක්ෂික බලවේගයන් විසින් මෙහෙයවනු ලබන මිනිස් සමාජය, තණ්හාව විසින් පොළඹවනු ලබන මිනිස් සමාජය තව තවත් සසර ගමන දික් කැර ගැනීමට ම කටයුතු කිරීම ස්වභාවය කොට ගෙන සිටිති.

මාලබේ පෙට්ටිගල ප්‍රදේශයේ භාවනා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනු ලබති. සමාජය පිළිගත් උගත් බුද්ධිමත් කිහිප දෙනෙකු විසින් පවත්වා ගෙන යනු ලබන මෙම භාවනා මධ්‍යස්ථානයට පසුගිය දා තවත් කණ්ඩායමක් ගියේය. ඒ භෞතිකවාදී ආචාර්ය මහාචාර්යවරු ඇතුළු කීප දෙනෙකි.

මේ පිරිස එහි ගියේ ආධ්‍යාත්මීය ශක්තියෙන් රටේ පවතින ප්‍රශ්නවලට විසැඳුම් ලබා ගැනීමට හැකි දැයි විමසා බැලීමට ය. වර්තමාන ශ්‍රී ලංකාවේ මිනිස් සමාජයට මේ තරම් ලෙඩ රෝග දුක් කරදර එළඹෙන්නේ ඇයිදැයි ඔවුන් ගේ පළමුවැනි ප්‍රශ්නය විය. එහි ප්‍රධාන යෝගී වරිය ගේ පිළිතුර වූයේ ලංකාවේ මිනිසා පරිභෝජනයට ගන්නා ධාන්‍ය, එළවුළු, පලතුරු ආදී ප්‍රධාන ආහාර ද්‍රව්‍යවලට ආසනික් විෂ මිශ්‍ර වී ඇති බව ය.

මේ ලිපිය කියවන ඔබත් මමත් ඇතුළු සමස්ත සමාජය ම රෝගාබාධවලින් පෙළෙති. ඇතැම් ආහාර ද්‍රව්‍ය නිෂ්පාදකයෝ තමන්ගේ ලාභය ම පමණක් ම සිතීම නිසා සමස්ත සමාජයම රෝගීන් බවට පත් කරති.

මේ හානිකර තත්ත්වය මිනිසාට පමණක් ම බලපාන දෙයක් යැයි සිතීම වැරදිය. සතා සීපාවාට ද අපට නොපෙනෙන ලෝකයේ දෙවියනට භූතයනට පවා බලපාන අහිතකර ක්‍රියාවලියකි. අද දෙවියන් මිනිස් ලොවෙන් ඈත් වීම නිසා යක්ෂ සේනාධිපතීහු සිය සේනාව මුදා හැර ඇත්තාහ. ඔව්හු ද මිනිසා ලෙඩ කරති.

පෙරේරා යටිනුවර ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. වාහන අලුත්වැඩියා කිරීම රැකියාව කොට ගත් කාර්මිකයෙකි. ඔහුගේ බඩ ඉදිමෙන්නට විය. මේ අස්වාභාවික ඉදිමිම නිසා අපහසුතාවට හා වේදනාවට පත් ඔහු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තේය. අවුරුදු පහක් තිස්සේ වෛද්‍ය ප්‍රතිකාර ගැනීමෙන් පසු අවසාන වෛද්‍ය නිගමනය වූයේ ඔහුගේ උදරයේ පිළිකාවක් හට ගෙන ඇති බව ය. රුපියල් ලක්ෂ ගණන් වටිනා බෙහෙත් එන්නත් (ඉන්ජෙක්ෂන්) කළ ද කිරණ ප්‍රතිකාර කළ ද සුවයක් නැති තැන, සුව කළ නොහැකි බව නිගමනය කොට රෝගියා ගෙදර එව්වේය.

බටහිර දෙයට ම මුල් තැන දී තිබෙන සමාජයේ බටහිර දෙයින් ම විමුක්තිය සෙවීමට පෙළඹීම සිරිතකි. අපේ දේවල් ගැන අගයක් නැත. විදේශිකයන් විසින් අපේ පැරැන්නන්ට බලෙන් අකමැත්තෙන් හඳුන්වාදුන් තේ රබර් වගාවන් නිසා දේශීය ඖෂධ පැළෑටි දැන් නැත්තට ම නැති වී වඳ වී ගොස් ඇත. අද කැස්සට සෙමට කැඳ ටිකක් බොන්නට බටු ගසක් පවා නැත.

බටු වෙනුවට බෙහෙත් කඩවල විකුණනු ලබන්නේ වම්බටු ගහේ කඳ කෑලිවලට කපා ඇති ඒවාය. ඒ වම්බටු ගස්වලට ද එළවුළු කොටුවේ දී වස විස බෙහෙත් යොදා ඇත.

බටහිර ප්‍රතිකාරවලින් සහනයක් නොලැබූ පෙරේරා දේශීය ප්‍රතිකාර සොයන්නට විය. අපේ උදවියට දෙවියන් බුදුන් සිහිවන්නේ ආර්ථික වශයෙන් ද කායික වශයෙන් ද පස්ස බිම ඇනුණු විට ය. පෙරේරා ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට කැඳවාගෙන ආවේය. කෙළින් හිටගන්නට නොහැකි ඔහු එහි ඇතුළු වූයේ දෙපැත්තෙන් දෙදෙනකු විසින් වත්තම් කැර ගෙන ය.

ඔහුගේ නාම – රූප (සිත – කය) දෙකෙන් රූපය හෙවත් ශරීරය අත්තීමට ම දුර්වල වී ඇත. එහෙත් සිතට ජීවත්වීමේ ආශාව, උවමනාව තවමත් තදින් ක්‍රියාත්මක වේ. එය වටහා ගත් ගවේෂක මහතා ඔහුගේ ශරීර වර්ධනය සඳහා හොඳින් සති දෙකක් පෝෂ්‍යදායී ආහාර ගෙන, ඒ දින දහහතර බෝධි පූජා පවත්වා, පිරිත් සූත්‍ර කීපයක් දිනපතා උදේ හවස සජ්ඣායනය කොට පැමිණෙන ලෙස නියම කළේය. ඒ අතර ඔහුට පිරිත් නූලක් ගැට ගසා පිරිත් පැන් බෝතලයක් ද දුන්නේ ය.

මේ වැඩ කොටස හරිහැටි අකුරට ම සිදු කොට ආවොත් රෝගියා සුවකළ හැකි බවට ද බලාපොරොත්තු ඇති කළේය. යළිත් සති දෙකකින් ඔහු ප්‍රතිකාර සඳහා කැඳවාගෙන ආවේය. එහි දී රෝගියා වෙත ආධ්‍යාත්මීය ශක්ති කිරණ එල්ල කරන විට බඩ තව තවත් පිම්බී ආවේය. රෝගියා දිෂ්ටි වී ආවේය.

”කව්ද මේ ශරීරයට රිංගා ගෙන ඉන්නේ?”

”මම”

”මම කියන්නේ කව්ද?”

”මේ පුතාගෙ අම්මා”

”ඇයි පුතාගේ ඇඟට රිංගුවේ?”

”ආදරේට”

”ආදරේට රිංගා ගත්තාම දැන් පුතා ලෙඩෙක් බවට පත්වෙලා බව දන්නවාද?”

”දන්නවා”

”දන්නවා නම් ඇයි එහෙම කරන්නේ?”

”මමත් ජීවත්වෙන්න වුවමනා නිසා පුතාගෙ ඇඟට රිංගා ගත්තා. පුතාගෙ මහ බඩවැල අල්ලාගෙන එහි යුෂ උරා බීලා තමයි මම ජීවත්වෙන්නේ”

”කොයි කාලෙ ද රිංගා ගත්තේ?”

”දැනට අවුරුදු තිහකට කලින්”

”මැරුණේ?”

”අවුරුදු තිස් දෙකකට කලින්”

”අම්මා පුතාගේ බඩට රිංගා ගත්තාම පුතාට දැනුණෙ නැද්ද?”

”ඇයි? නොදැනුණේ. පුතාගෙ බඩ දඟලන ගති අප්‍රියාව මෙයාට දැනුණා”

”ඉතින් පුතා මොනවද කළේ?”

”මේ මෝඩ දරුවා අරක්කු බිව්වා”

”ඇයි, තමුන් පුතාගෙ ඇඟට රිංගුවේ, පිටින් ඉඳගෙන ජීවත්වෙන්න බැරි වුණාද?”

”මහත්තයා අපි ජීවත්ව ඉන්දැද්දි පිරිසුදු ආහාර කාපු අය. පිරිසුදු එළවුළු පලතුරු ගෙවත්තෙම තිබුණා. දැන් අපේ ඉඩම්වල තේ වවලා. එළවුළු පලතුරු නෑ. පස හෝදාපාළු වෙලා පසේ සාරයක් නෑ. දැන් තේ වලට කැලේ වැවෙනවට වස බෙහෙත් ගහනවා. රටේම එළවුළු පලතුරුවලටත් ධන ධාන්‍යවලටත් වස බෙහෙත් ගහනවා. මේ ගස්වැල්වල මල්වල පොතුවල, මුල්වල, සුවඳින් යැපෙන බූමාටු දෙවිවරු ඉන්නවා.

මේ වසවිෂ යෙදීම නිසා දැන් බූමාටු දෙවිවරු ඈත්වෙලා ගිහින්. අමනුෂ්‍යයෝ පොළව වහගෙන. ඒකයි දැන් අපේ මිනිස්සුන්ට ලෙඩක් හැදුණාම සනීප වෙන්නේ නැත්තේ. අමනුෂ්‍යයෝ මිනිස්සුන්ගෙ ශරීරවලට රිංගාගෙන රීරි යුෂ උරා බොනවා. ආදරේට රිංගා ගත්තත්, තරහට පළිගන්න රිංගා ගත්තත් යැපෙන්නේ ඒ ශරීරයේ ම යුෂවලින්. අමනුෂ්‍යයා යුෂ උරා බොන තැන සෛල මැරිල පිළිකා හටගන්නවා.”

”හොඳයි දැන් මේ තමුන්ගෙ ම පුතා ගැන කරුණාවෙන් ආදරයෙන් ඉන්නවා නම් දැන්වත් පුතාට ජීවත්වෙන්න ඉඩදීලා පිටවෙලා යන්න කැමතිද?”

”එතකොට මම ජීවත්වෙන්නෙ කොහොමද?”

”දැන් තමුන් ප්‍රේතියක්. ප්‍රේතියක් නිසා ඔය බඩවැලට වෙලා ලේ සැරව අසූචි අනුභව කරන්නේ. අපි තමුන්ට පිං දීලා දැන් ඉන්නවාට වඩා ඉහළ තත්ත්වයකට පත් කරවන්නම්.”

”ඒ කොහොමද?”

”තමුන් දැන් ඉන්නේ දුගතිගාමීව දුකේමයි. ඔය ආත්මයෙ හිටියොත් කල්ප ගණනක් දුක් විඳින්න වේවි. ඔය දුකෙන් නිදහස් වෙන්න හිතන්න. මෙහෙම ගිහින් හෙට අනිද්දා පුතා මැරිලා ගියොත් ඒ පාපයත් තමුන්ට මයි. එතකොට තවත් කල්ප ගණනක් දුක් විඳින්න වේවි. ඊට වඩා නරකද පින්දහම් කරන තැනකට ගිහින් ඒ වැඩවලට අත හිත දීලා දැක සතුටුවෙලා ඉහළ ආත්මයකට යන එක?”

”හොඳයි, හොඳයි එහෙම නම් පුතාගෙ ගෙදර අයට කියන්න මගේ කුඹුරේ වී හාල්වලින් දානයක් දෙන්න කියලා. මම හිටවපු ගස්වල පොල් ඒ දානෙට ගන්න කියන්න. හැබැයි ඒ දානයට මස් මාළු ගේන්න එපා කියන්න. මස් මාළු ගෙනාවොත් තවත් පෙරේතයෝ එතනට එනවා. උන් මම ඉහළට යනවාට ඉසරිසියාවයි. මිනිස්සු වගේ ම තමයි අපේ ලෝකෙත් තරහ මරහ ඉරිසියාව කුඩුකේඩුකම තියෙනවා. උන් මට ඉහළට යන්න දෙන එකක් නැහැ. ඒ නිසා මස් මාළු නැතුව පිරිසුදුවට දානය දෙන්න කියන්න. මගේ නම කියලා පින් අනුමෝදන් කරන්න කියන්න.

”මොකක්ද තමුන්ගෙ නම?”

”විමලාවතී”

”ආ… විමලාවතී ජීවත්ව ඉන්දැද්දි දළදා වඳින්න ගියා නේද? මාලිගාවෙ දාන පිංකම්වලටත් සහභාගි වුණා නේද?”

”සාදු! සාදු!! මගේ කරුමෙට මට ඒවා අමතක වෙලයි තිබුණේ. දැන් මතකයි දැන් මතකයි. දැන් මගේ පින මතුවෙනවා. සාදු! සාදු! මහත්තයට පින්සිද්ධ වෙන්න ඕනෑ. මට මේ ජරා ගොඩේ ඉන්න බැහැ. ඉහළට යන්න ඕනෑ. අන්න අපේ අම්මත් ඉහළ ඉඳගෙන මට අඬ ගහනවා. අනේ! ඉක්මනට දානෙ දීලා මට පින්දෙන්න කියන්න. මම එතකම් පුතාගේ ශරීරෙන් ඉවත්වෙලා ඉන්නම්. එතකොට පුතාටත් සනීපවේවි. කොහොමත් දැන් පුතා බෝධි පූජා තියලා පිරිත් කියන කොට මට ඒ ශරීරයේ ඉන්න බැහැ.”

”දැන් තමුන්ගෙ අම්මා කොහෙද ඉන්නේ?”

”උන්දෑ හතර පෝයට සිල් සමාදන් වුණා. දන් පින් කළා. අර බලන්නකො ලස්සන. දිවසළු ඇඳලා අභරණවලින් සැරසිලා ඉන්න හැටි. අම්මා හිනාවෙලා මට අඬගහනවා. මම කරපු පින් සිහිපත් කළ ටිකටමත් මගේ තත්ත්වය ඉහළට ගියා. සාදු! සාදු!! මං යනවා. මං යනවා. හැබැයි දානේ දෙන්න කියන්න නොවරද්දා. වැරැද්දුවොත් මාව ආයෙත් පහළට වැටේවි. රැවැට්ටුවොත් ආයෙත් පහළට වැටුණොත් පුතයි කියල බලන්නේ නෑ. මරා ගෙන ම යනවා. අපි හොඳට හොඳයි. නරකට නරකයි.

නියමිත පිළිවෙත් ඉටු කොට පෙරේරා සද්ධාවෙන් දානය දුන්නේය. දැන් ඔහුගේ රෝගී තත්ත්වය සමනය වී ඇතැයි පවසයි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: