Posted by: lrrp | August 29, 2011

මොනරෙකු නැසුවාට ආත්ම ගණනාවක් වන්දි ගෙවන අයෙක්

නැගෙනහිර අහසෙන් නැඟී එන ළහිරු රැස් පාටලී පුත්‍රයට (පැට්නා) අලුත් දවසක් උදා කරයි. දහසක් බුදුන් බුදු වූ දේශයක අනාදිමත් ඉතිහාසයක තොරතුරු නිහඬව කියාපාමින් ගංඟා නම් ගඟ පහළට ගලා බසී. දිග් විජයෙන් සිතට සතුටක් සැනසුමක් නොලැබෙන බව වටහා ගත් ධර්මාශෝක අධිරාජයාණෝ මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්‍ෂාව අගයමින් බුදු සසුන නඟාසිටුවීමට කටයුතු කරති. එහෙත් මහා බ්‍රහ්ම අදහමින් කටයුතු කරන බ්‍රාහ්මණයින්ගේ පුද පූජාවනට ද කිසිදු බාධාවක් නැති.
ගංඟා නම් ගඟට බැස ගත් බ්‍රාහ්මණයින් හිස් සෝදා නා පිරිසිදුව තෙත බරිත නානකඩයෙන් ම සුදුවන් වැලි තලාවට ගඟෙන් ගොඩ වෙති. නැඟෙනහිර අහසේ සිට තමන් වෙත ප්‍රාණ ශක්තිය ලබා දෙන හිරු දෙවියනට නමස්කාර කරති.

ඕම්ම්ම්ම්…. භූර් භුවස්වහඞ….

ඕම්කාරය ගංඟා නදී වෙරළ වාසීන් විශ්මයට පත් වී යන්නා සේ ය. එය ඉතා සියුම්ව ගීතවත් වෙමින් මිනිස් සිත් භක්තියෙන් උත්තේජනය කරවයි.

සූර්ය දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස; මේ විශ්වයේ පවත්නා සියලු ජීවී අජීවී වස්තූන් හටගන්නේත් පවතින්නේත් ඔබවහන්සේගේ ප්‍රාණ ශක්තියෙනි. ඔබ වහන්සේට ස්තූ®ති වේවා. මට ද ඒ ප්‍රාණ ශක්තිය ලබා දෙන සේක්වා.

මහාදේව බ්‍රාහ්මණ තෙමේ සූර්ය නමස්කාරයෙන් පසු වැලි තලාවේ හිඳගෙන උකටලීව හිස් අහස දෙස බලා සිටී. ඔහුට වඩා මඳක් පමා වී ගංඟා නදී තෙරට පැමිණි ඔහු පුත් ඥානදේව තරුණයා සූර්ය වන්දනාවෙන් පසු වට පිට බලන්නේ වන්දනාවේ යෙදෙන බ්‍රාහ්මණ ජනයා අතර කල්පනාවේ ගිලී සිටින පියාණන් දැක්කේ ය. පියාණන්ගේ මුහුණ පුරා පැතිර පවත්නා දුක්ඛ දෝමනස්සයන්ගේ අඳුර ඥානදේවයන් තුළ විමතියක් ඇති කළේය.

ඥානදේවයෝ පියාණන් වෙත ගොස් වැඳ නමස්කාර කොට පසෙකින් හිඳගත්තාහ. මහාදේවයෝ තවමත් කල්පනා සාගරයේ කිමිද සිටිති.

“පියාණණෙනි!….”

“ඔහ්… ආ….” මහාදේවයෝ පියවි ලොවට ආවේ පුතු ඇමතූ හඬිනි.

“පියාණෙනි”

“ඇයි පුතණ්ඩ?”

“පියාණන් මහා බර කල්පනාවෙක සිටිනු දැක්මෙනුයි මා ආවේ”

“හ්ම්…”

“එය අප ද දැන ගැන්මෙන් වරදක් නැතිද පියාණෙනි?”

“පුත! නැත, එහි ඇති වැරැද්දෙක් නැත”

“එසේ නම් පියාණෙනි, ඔබ සිත පවතින බරෙන් කොටසක් පුතුට දීමෙන් සැහැල්ලුවක් ම වෙතැයි සිතමි.”

“ඔව්, පුත, බ්‍රාහ්මණ වංශිකයන් වන අප අතර චාරිත්‍රයෙක් ඇත. එනම්, දරුවන් උස් මහත් වූ පසු සත්‍ය සොයා සන්‍යාස (සන්නාසි) චාරිකාවේ යෙදීමයි.”

“ඉතින් පියාණෙනි, මම ද එය දනිමි, එයට යම්කිසි අඩුපාඩුවක් වේද?”

“එයට ඇති අඩු පාඩු කවරේද? පුත! එයට අවශ්‍ය පැන්කෙණ්ඩියත් සැරයටියත් පමණි.

“එසේ නම් පියාණෙනි!”

“පුත! මෙය ඔබ නොදැක්කේ නොවේ” යැයි මහාදේවයන් සිය වම් කකුල දිගහැර පෙන්වූහ. ඔහුගේ උඩු පතුල පුරා පැවති කුෂ්ටයකි, “මේ කුෂ්ටය මට දරුණු වේදනා දෙයි. ඉදින් මා කෙසේ චාරිකාවේ යෙදෙන්නදැ’යි පුතුගෙන් ඇසීය.

“පියාණෙනි, මම එය දනිමි. එය සුවපත් කළ නොහැකි නම් මා උගත් වෛද්‍ය ශාස්ත්‍රයෙන් කවර ඵලයෙක් ද? මා ප්‍රතිකාර පමා කළේ යම් ගැටලුවක් නිසාය. එහෙත් මම අදම අවශ්‍ය ඖෂධ සකස් කරමි” යි ඥානදේව පැවසීය. පිය පුතු දෙදෙන ම නිවෙස බලා ගියහ. උදේ ආහාරය වැළඳූ ඥානදේව අවශ්‍ය උපකරණ ද රැගෙන හිමවත දෙසට ගියේය.

හිරු රැස් පතිත ගල්තලාවක් මත පෙම් පළහිලව්වකි. පෙම්බරියට පෙනෙන්නට පෙම්බරා නැටුමෙක යෙදේ. ඥානදේව බලාපොරොත්තු දෙය නුදුරෙහි ඇත. අසලින් බරැති දඬු කැබැල්ලක් අතට ගත්තේය. තරුණ මොනර නාම්බා ඥානදේවට පිටු පා පිල් විදහා නටයි. “ඩහ්….” ප්‍රාණ ඝාතය පාපයක් බව ඥානදේව දනී. එහෙත් පියාට වෙදකම් කළ යුතුය. සෙබඩ පලා ගියාය. මොනරා කෙඳිරි ගාමින් වැටී සිටී. ඥානදේව මොනරාගේ ගෙල මිරිකුවේය. මොනරා තවමත් දඟලයි. මල්ලෙන් පිහිය ගෙන ගෙල කැපුවේය.

වනයේදීම සිඳගත් මොනර තෙල් බෝතලය ද රැගෙන ගෙදර ආවේය. සිදු වූ කිසිවක් පියාට හෝ මවට කීවේ නැත. අවශ්‍ය අනිකුත් ඖෂධයන් ද සංයෝග කොට ශාස්ත්‍රානුකූ®ලව තෙල් සින්ඳේය. ඖෂධීය තෙල ගල්වා කිහිප දිනකින් මහාදේවයන්ගේ පාදයේ කලක් පැවති කුෂ්ට රෝගය සුවපත් විය.

බ්‍රාහ්මණ ජීවිතයේ අතීතයේ පටන් පැවත එන චාරිත්‍ර ඉහළින් ම පවතී. පිය පුතු පරපුරෙන් පරපුරට ගෙන යයි. ජීවිතයේ යථාර්ථය අවබෝධ කැර ගැනීම සඳහා ද අහංකාරී මානය යම් තරමකින් මර්දනය කිරීමට මහාදේවට ද කාලය එළඹ ඇත. ලෝකයට දෙනෙත් විවෘත කොට අනුන්ගෙන් යැපෙමින් ගමින් ගමට සංචාරයේ යා යුතු සන්‍යාසි බ්‍රාහ්මණචාරී ගමනට කාලය එළඹ ඇත. සියලු වගකීම් අතහැර සැරයටියත්, පැන් කෙණ්ඩියත් පමණක් ගෙන මහාදේව නිවසින් නික්ම ගියේය.

දැන් ඥානදේව මෑණියන් පෝෂණය කළ යුතුය. පවුල නඩත්තු කළ යුතුය. කුඹුරු ගොවිතැන් කටයුතු කළ යුතුය. පියාටත් පාඩමකි. පුතාටත් පාඩමකි. ඒ වේදයේ නියමයි. ඥානදේව සියල්ල මැනවින් ඉටු කරයි. එහෙත් මොනරාට පොලු පහර එල්ල කළ හැටි, මොනරා පහර කාගෙන වැටුණු හැටි, සෙබඩ පලා ගිය හැටි. නොමළ මොනරාගේ ගෙල සිය දෑතින් දෙපස මිරිකූ® හැටි. ගෙල කැපූ හැටි ඥානදේවට වරින් වර සිහියට නැගේ. “කමක් නෑ. ඒ මගේ පියාණන් සුවපත් කැර ගැනීමට නොවැ” යි හිත හදා ගන්නට උත්සාහ කරයි. විටින් විට මතකයට නැඟෙයි. උත්සාහයෙන් යටපත් කරයි. වතුරේ ගිල්වන ලද රබර් බෝලයක් සේ ඥානදේවට එය දැනේ.

මහාදේව සන්‍යාසි චාරිකාව අවසන් කොට, මාස කීපයකින් පසු ආපසු ආවේය. එතැන් පටන් ඔහු ආගමික ජීවිතයක් ගෙවමින් ආධ්‍යාත්මය දියුණු කළේය. වයස්ගතව මියගොස් දෙව්ලොව උපන්නේය. ඥානදේව ද ඊට අවුරුදු ගණනාවකට පසු මිය පරලොව ගියේය. මොනරා මැරූ අකුසල විපාකයෙන් දුගතිගාමීව නැවත කුසල ශක්ති මතු වී සුගතිගාමී විය.

සුප්‍රසිද්ධ උක්වත්තගේ වෙද පරපුර මහනුවර රජ සමයේ පටන් පැවත එන පාරම්පරික වෛද්‍යවරුන්ගෙන් පැවත එන්නකි. මේ පරපුරේ වෛද්‍යවරු ගල්පාත බටගොඩ පදිංචිකරුවෝය. 1931 උපත ලැබූ දොන් ලෙයාරිස් අද වෛද්‍යාචාර්ය ඩී. ඇල්. උක්වත්තගේ නමින් ප්‍රසිද්ධ වණ, දද, කුෂ්ට, අර්ශස් රෝගවලට විශේෂව ප්‍රතිකාර කරයි.

ඒ මහතා වයස අවුරුදු අටේ සිට දිනපතා උදේ හවස පන්සිල් හි පිහිටා බුද්ධ වන්දනාවේ යෙදුණු කෙනෙකි. 1957 දී බරපතළ රෝගියෙකු සුවපත් කරන්නට විශේෂ දේව පූජාවක් පැවැත්විය යුතු විය.

එය මහරගම පුවක්පිටිය පන්සලේ පිහිටි දේවාලයේ දී සිදුකරන්නට යෙදුණි. විහාරාධිපති කුඩලුප්පුවේ රේවත හාමුදුරුවෝ ද වෛද්‍යවරයෙකි. උක්වත්තගේ වෙද මහතාගේ හිතවත් හිමිනමකි. ඒ නිසා ම මේ පූජාව සඳහා මෙම දේවාලය යොදා ගන්නට යෙදුණි. මේ පූජාව පවත්වන අවස්ථාවට රේවත හාමුදුරුවෝ ද සහභාගි වූහ. එහිදී උක්වත්තගේ වෙද මහතා ගුප්තාකර්ෂණයකින් කතා කරන්නට විය. හාමුදුරුවෝ ප්‍රශ්න කළහ.

“කවුද මේ වෙදමහත්තයාගෙ ඇඟට රිංගලා ඉන්නෙ?”

”මම බලවත් කෙනෙක්. මේ මගේ පුතා ඥානදේව. මම මහාදේව. ධර්මාශෝක අධිරාජයාගේ කාලයේ අපි ජීවත්වුණේ පාටලී පුත්‍ර නගරයේ. මරණයෙන් පස්සේ මම දෙව්ලොව උපන්නා.

පුතාගේ මරණයෙන් පසු උපන්නේ කොහේද? කියලා මම ලෝකයේ හැම තැන ම හෙව්වා. අද තමයි මට මගේ පුතා ඥානදේව හොයාගන්න පුළුවන් වුණේ” යි මහාදේවගේ ගුප්තාත්මය අතීත තොරතුරු අනාවරණය කළේය.

දැනට අසූවැනි වියේ පසුවන උක්වත්තගේ මහතා පෙර ආත්ම භවයේ, එනම් අවුරුදු 2261 ට පෙර හිමවතේ දී මොනරෙකු මැරූ පාපයේ විපාක තවමත් ගෙවන බව අප සමඟ පැවසීය. මේ වන විට කිහිප වතාවක් ම ඒ මහතාගේ බෙල්ල කපා ඇත. ඒ සොර සතුරන් නොවේ.

තයිරොයිඩ් ග්‍රන්ථියේ ආබාධයක් නිසා උක්වත්තගේ වෙද මහතාගේ බෙල්ල වෛද්‍යවරුන් විසින් සැත්කමකට භාජනය කරන ලදුව හිස කෙළින් කොට සිටීම අපහසු තත්ත්වයට පත්ව බෙල්ල පහත් කැර ගත් අයුරින් සිටී. “තාත්තාගේ කකුලේ කුෂ්ටය සනීප කරන්න මොනර තෙල් හිඳින්න. මොනරෙකු ගෙල මිරිකා, කපා මැරූ පාපයේ දඬුවම තව ම මම විඳිනවා. ඒ වගේ ම පියාණන් සුවපත් කිරීමේ සතුටත් මම විඳිනවා.

එදා පාටලී පුත්‍රයේ බ්‍රාහ්මණි පවුලේ සිටි මගේ පියා අද මහාදේව නමින් බලවත් දෙවි කෙනෙක්. මට ඒ මහාදේව දෙවියෝ ආශීර්වාද කරනවා” යැයි ද වෛද්‍යාචාර්ය ඩී. ඇල්. උක්වත්තගේ මහතා අප සමඟ කීවේය. එදා මෙන් ම අදත් ඔහු වණ, දද, කුෂ්ට සුවපත් කිරීමේ දක්‍ෂයෙකි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: