Posted by: lrrp | August 29, 2011

රාජු යළි උපදියි

ශාන්ති…

”ම්…”

”……..”

”ඇයි පාලිත?”

”අද මට නින්ද යන්නේ නෑ”

”මටත් එහෙමයි පාලිත. ඔයාට තේ ටිකක් වත්කර දෙන්නද?”

”හ්ම්…”

ශාන්ති ඇඳෙන් නැගිට විදුලි පහන දල්වා කුස්සියට ගියාය. රාත්‍රී ඇඳුමෙන් සැරැසී සිටින ඇය අද වෙනදාටත් වඩා පියකරු ය. නගරයේ ඔරලෝසු කණුවේ දොළහේ් කණිසම වැදෙනු ඇසේ. රාත්‍රිය නිහඬ ය. එහෙත් ඉඳහිට වාහනයක සද්දයක් ඈතින් ඇසේ.

දොළහත් පහුවුණා” කියමින් ඇය තේ කෝප්පයක් සාදාගෙන ආවා ය. මම ඇඳේ ම හිඳගෙන තේ උගුරු කීපයක් බී ඉතිරි කොටස ඇයට දුනිමි.

”ඇයි ඔයාට ඇතිද?”

”නෑ… ඔයා තරහ වෙන නිසා”

”හොඳ මහත්තයා” කියමින් ඉතිරි තේ කොටස බී කෝප්පය මේසය මත තැබූ ශාන්ති විදුලි පහන නිවා දමා යළි යහන් ගත වූවාය. මම ඇගේ ගෙල පිරිමැද්දෙමි.

”ශාන්ති…”

”ම්…”

”රහසක් කියන්න තියෙනවා… රත්තරං…”

”ඉතින් කියන්නකෝ….”

මම එක්වර ම ඇගේ කනට මගේ මුව ළං කර “දෙමළි” යි කීවෙමි, ඇයට බකස් ගා හිනාවක් පිට විය.

”ආමා… ෂිංගල මුණියා, දෙමළිගෙ මුණියා, මුකද කියනව“

”දෙමළි…. දෙමළිගේ අය තමයි මට වෙඩි තිබ්බේ, මගේ කකුල මට නැති කළේ”

”යේක ෂරි මාතියා. යුද්දෙ හැටි ඒම තමයි. යේක තමයි තෙමළි ෂාත්තු කරනවා. රෂට කෑම උයල දෙනවා. මාතියාට ෂප දෙනවා” යැයි ශාන්ති හුරතලයට කියාගෙන යයි. මම ඇගේ නහය මිරිකුවෙමි.

”ඌයි, රිදෙනවා” යි ඇය මගේ අතට පහරක් ගැසුවාය.

”දැන් හොඳ බබා වගේ නිදාගන්න” මම කීවෙමි.

”මට්ට බේ… මට්ට බේ.. ඒ නං තෙමළිගෙ ඔළුව අත ගාන්න මාතියා… ශාන්ති කියයි.

ටික වේලාවකින් ඇය සුව නින්දකට ගියාය. මම අතීතයට ගියෙමි.

මම ඇයට ශාන්ති යැයි ඇමතුව ද ඇගේ නියම නම සින්නතම්බි ශාන්තිනී ය. ඇගේ පියා සින්නතම්බි මුදලාලි ය. මව සරෝජනී ටීචර් ය. අයියා රාජුය. සින්නතම්බි මුදලාලි කොළඹ වෙළඳාම් කළ අතර සරෝජනී ටීචර් අපේ ගමේ වත්තේ, වතු පාසලේ ගුරුවරියක් ලෙස සේවය කළාය. වතු පාසලේ ගුරු නිවාසයේ ඇයත්, පුතා රාජුත් දුව ශාන්තිනීත් ජීවත් වූහ. ඔවුන් සිටි ගුරු නිවාසයට ආසන්නව ම තිබුණු ගමේ නිවස අපේ නිවසයි.

මගේ තාත්තාට කවුරුත් කියන්නේ ගුණදාස මුදලාලි කියා ය. අම්මාගේ නම පියවතී ය. මම පාලිත ය. සරෝජනී ටීචර් බඩු ගත්තේ අපේ කඩයෙන් නිසා අපේ පවුලත් සමඟ සම්බන්ධය තවත් වැඩි විය. එසේම රාජුත් ශාන්තිනීත් ලැයිමේ දෙමළ ළමයින් සමඟ සෙල්ලමට ගියේ නැත. ඔවුන් නිතර අපේ ගෙදරට ආවේ මා සමඟ සෙල්ලම් කිරීමටය. ඒ නිසා ඔවුන්ට හොඳින් සිංහල කතා කරන්නට පුළුවන් විය. රාජු මට වඩා අවුරුද්දක් වැඩිමහල් වූ අතර ශාන්තිනී අවුරුද්දක් වයසින් බාල විය.

1983 වන විට මම දස හැවිරිදි වියේ පසු වූයෙමි. සරෝජනී ටීචර්ට රාජුත්, ශාන්තිනීත් අම්මා යැයි කී නිසා මම ඇයට කීවේ ටීචර් අම්මා කියාය. ඔවුන් අපේ අම්මාට කීවේ පියවතී අම්මා කියාය. ඔවුන් අම්මාත් මේ දෙදෙනාට ආදරයෙන් සැලකුවාය. රාජුත්, මමත් සෙල්ලම් කරන විට ශාන්තිනී බොහෝ විට අපේ අම්මා ළඟ දැවටුණාය. අපේ ගෙදර කුමන කෑමක් හැදුවත් අම්මා එයින් කොටසක් මා අතේ ඔවුන්ට යැවීමට අමතක නොකළාය. ඔවුන් ද අපට නිතර ම තෝසේ, වඩේ සහ වෙනත් කැවිලි වර්ග ගෙනාහ. කොටින්ම අපේ පවුල් දෙක ඉතා ම සමීප හිතවතුන් වූහ.

1983 ජාතිවාදී කෝළාහල සමයේ සින්නතම්බි මුදලාලි කොළඹ අතහැර ඔහුගේ ගම වන වව්නියාවට ගියේය. ඒ දවස්වල සරෝජනී ටීචර් හා රාජුත් ශාන්තිනීත් වැඩිපුරම සිටියේ අපේ ගෙදරය. අපේ ගම්වල එතරම් කළකෝලාහල සිදු නොවුණත් ඔවුන් අපේ ගෙදරට ගෙන්වා ගත්තේ අපේ අම්මා ය. ඔය කළකෝලාහල ගැන දැනුමක් අපට නොතිබුණු අතර ඒ කාලය අප තුන්දෙනාට නම් ඉතාම සතුටුදායක විය.

එහෙත් රූපවාහිනී – ගුවන් විදුලි ප්‍රවෘත්ති කියන වේලාවට අපේ අම්මාත්, තාත්තාත්, සරෝජනී ටීචරුත් ඒවාට දැඩි උනන්දුවකින් සවන් දුන් බව පෙනුණි. සින්නතම්බි මුදලාලි වවුනියාවට ගොස් අවුරුදු දෙකකින් පමණ සරෝජනී ටීචරුත් මාරුවීමක් හදාගෙන දරු දෙදෙනා සමඟ වවුනියාවට ගියාය.

එදා අපට ඉතා ම දුක්ඛදායක දවසක් විය. ටීචර් අපේ තාත්තාට වැඳ සමුගත් අතර ඇය අපේ අම්මා බදාගෙන සෑහෙන වේලාවක් ඇඬුවාය. රාජුත් ශාන්තිනීත් අපේ තාත්තාටත් අම්මාටත් දණ ගසා වැන්දාහ. අප ඉතා දුරස්ව යන බව අපට ම තේරුම් ගිය බැවින් අපි තුන්දෙනාම කතා කැර ගත නොහැකි වේදනාවකින් පෙළුණෙමු. රාජුත් ශාන්තිනීත් මා බදාගෙන හැඬූහ. මම ද ඔවුන් අල්ලාගෙන හැඬුවෙමි. සින්නතම්බි මුදලාලි ගෙනැවිත් තිබුණු වාහනයට ඔවුන් නඟින විට අම්මා ද කඳුළු පිසදමන හැටි මම දිටිමි. වාහනයට නැඟී කවුළුවෙන් හිස දමා ශාන්තිනී “පාලිත අයියා…” කියා හැඬූ හැටි තවමත් මට මතකය.

පාසල් අධ්‍යාපනයෙන් පසු කැඩෙට් නිලධාරියෙකු ලෙස පුහුණුව ලැබූ මට හමුදා සේවයට බැඳීමට සිදු විය. මට පළමු පත්වීම ලැබුණේ හමුදා රෝහලකය. එයින් පසු උතුරු නැඟෙනහිර යුද බිම්වල ද සේවයට යා යුතු විය. මේ එල්. ටී. ටී. ඊ. ය බලවත්ව සිටි කාලයයි.

සමහර යුද ගැටුම් දරුණු අවස්ථාවල සතුරාට ගුවන් ප්‍රහාර එල්ල කිරීම් ද සිදු විය. ඒ අවස්ථාවල සතුරන් පලා ගියහ. ඔවුන් පළා ගියේ කොටි සාමාජිකයන්ගේ මළසිරුරු හා තුවාලකරුවන් අතහැර දමමිනි. අප ද ඒ අතර අපේ තුවාල ලැබූ සෙබළුන් සොයා යා යුතු විය.

දිනක් එසේ යද්දී කොටි මළ සිරුරු කීපයක් අසලින් අප ගමන් කළෙමු. අපේ සෙබළෙක් වහාම මා වෙත පැමිණ “සර්… වෙඩි කාපු කොටියෙක් සර්ව දැකලා පාලිත මල්ලී, පාලිත මල්ලි කියලා කෑ ගහනවා” යැයි මට දැනුම් දුන්නේය.

ඒ වන විට ප්‍රදේශයේ අනතුරුදායක බව පහව ගොස් තිබුණු බැවින් මම එතැනට ගියෙමි.

”දෙයියනේ රාජු. උඹත් එහෙනම්….”

”කරන්න දෙයක් නෑ පාලිත මල්ලි උන් මාවත් බලෙන් ම බන්ඳා ගත්තා. අනේ! පාලිත මල්ලී මට අමාරුයි. මට වතුර ටිකක් දියං” මම වහාම රාජුට වතුර ටිකක් පෙවූයෙමි. “අනේ! පාලිත මල්ලී මම තව ටිකකින් මැරෙනවා. මගේ අම්මා වවුනියාවල. මගේ අම්මව බේරගනිං මල්ලී. මට පොරොන්දු වෙයං”

”අම්මා කොහෙද ඉන්නේ”

”ගුරු නිවාසේ… මට පොරොන්දු වෙයං මල්ලී. මට සැනසිල්ලේ මැරෙන්න පොරොන්දු වෙයං”

”හොඳයි රාජු මම පොරොන්දු වෙනවා”

”ප්… ප්… පාලිත්…ත” රාජු අවසන් හුස්ම හෙළීය.

එදායින් පසු සෑම රාත්‍රියකම රාජු මා ඉදිරියේ පෙනී සිට “පාලිත මල්ලී උඹ තවම පොරොන්දුව ඉටු කළේ නෑ. ඉක්මන් කරපං මල්ලී” යි කියා අතුරුදන් විය.

පසු දිනක මම වව්නියාව බලා ගියෙමි. ප්‍රදේශය භාර නිලධාරීන්ට මගේ අවශ්‍යතාවය දැනුම් දුනිමි. මේ සංවේදී කතාව ඇසූ නිලධාරීහු ද මනුස්සයෝ ය. ඔවුන් මට අවශ්‍ය පහසුකම් ලබා දීමට කාරුණික වූහ. වැටලීමක ස්වරූපයෙන් කණ්ඩායමක් සමඟ ගුරු නිවාසය වටලා මම ඇතුළු වූයෙමි.

”ටීචර් අම්මා… ටීචර් අම්මා…”

”ආ…” එදාට වඩා වියපත්, කෙස් පැසුණු කාන්තාවක් කාමරයක සිට ආවාය. මම ඇය හඳුනා ගතිමි” ටීචර් අම්මා… මම පාලිත” මම හිස්වැස්ම ගලවා අතට ගතිමි.

”ආ… ගුණදාස මුදලාලිගෙ පුතා. පාලිත පුතා….” ඇය විශ්මයෙන් මා දෙස බලා සිටියාය.

”අම්මා දැන් මාත් එක්ක යන්න ඕනෑ”

”බෑ… බෑ… පුතා… රාජු දාලා මට යන්න බෑ. මමත් ඔහේ මැරිල යද්දෙන්. පාලිත පුතා යන්න. අපේ කොල්ලා කොහේ ඉන්නවද දන්නෙ නෑ. පුතා යන්න”

”බැහැ අම්මා රාජු තමයි මට කීවේ අම්මව අරන් යන්න”

”මොනවා රාජු… කෝ රාජු… මාස හතරකින් තොරතුරක් නෑ. එහෙනම් මගේ පුතා ඉන්නවා…”

”ඔව්! ඔව්! අපටත් මෙතන පරක්කු වෙන්න බෑ අපි යමු.”

ටීචර් අම්මා මොන මොනවාදෝ ටිකක් බෑගයක ඔබාගෙන අප සමඟ ආවාය. ඇය හමුදා රියට නංවා ගත් අප වහාම එතැනින් පලා ආවෙමු.

මම නිවාඩු ගෙන ඇය අපේ නිවසට කැඳවාගෙන ගියෙමි. එදින රාත්‍රී රාජු මා ඉදිරියේ පෙනී සිටියේය. “පාලිත මල්ලී, මට දැන් හිතට සතුටුයි. මම ආයෙත් එන්නෙ නෑ. අම්මව ඔයාට බාරයි” කියා අතුරුදන් විය.

මේ වන විට ශාන්තිනී ඇගේ මාමාගේ නිවෙසේ ආරක්‍ෂිතව සිටින බව ඇය සංගීතය හදාරා එහි ගුරුවරියක් ලෙස සේවය කරන බවත්, ටීචර් අම්මාගෙන් දැන ගතිමි. ඇගේ දුරකතන අංකය ඉල්ලාගෙන මම ඇයට කතා කළෙමි. තොරතුරු කීවෙමි. එහෙත්, ඇයට හෝ ඇගේ මවට රාජු මළ පුවත නොකීවෙමි.

සටන් බිම සේවයේ දී වෙඩි වැදීමකින් මගේ කකුලක් දණහිස ළඟින් ඉවත් කරන්නට සිදු විය. මේ අතර මගේ පියා ද හදිසියේ මිය ගියේ ය. පියාගේ මරණයෙන් පසු අපේ ගෙදර අම්මාත්, ටීචර් අම්මාත්, මමත් තනි වූයෙමු. කකුලේ තුවාලය සනීප වන විට යුද්ධය ද හමාර විය. මට කෘත්‍රිම කකුලක් ලැබුණි. ඉන්පසු සිවිල් රාජකාරි සඳහා මා කොළඹට කැඳවිණි. ආබාධිත හමුදා නිලධාරීන්ට රජයෙන් නිවාස ලබා දෙන විට මට ද එයින් නිවසක් ලැබුණි. ගමේ ඉඩම හා නිවස විකුණා දමා අම්මාත්, ටීචර් අම්මාත් සමඟ කොළඹ පදිංචියට ආවෙමි. සින්නතම්බි මුදලාලිත්, රාජුත් කවදා හෝ ඇය සොයාගෙන එනු ඇතැයි ටීචර් අම්මා තවමත් බලා සිටී.

දිනක් රාජකාරි අවසන් වී මා නිවසට පැමිණ වාහනයෙන් බැස ගෙට ගොඩවන විට ම මගේ නිවස තුළ සිට සුරූපී තරුණියක් මා ඉදිරියට දුවගෙන ආවාය. ඒ සුන්දර යුවතිය දැක මම අන්ද මන්ද වීමි. මඳක් මා දෙස බලා සිටි ඇය “පාලිත අයියා” යි කියමින් මගේ දෙපතුල් අල්ලා වැන්දාය. එසේ සිට ගෙන ම මා දෙස බලා “මගේ අම්මව ආරක්‍ෂා කර දුන්නාට ඔයාට පින් සිද්ද වෙනවා අයියා” යි කීවාය.

”ඔයා දැන් හරි ලස්සනයි” මම කීවෙමි. ඒ වන විට ඇගේ අම්මාත් මගේ අම්මාත් එතැනට පැමිණ සිටියහ.

ඇඳුම් මාරුකොට මුහුණ කට සෝදාගෙන මම සාලයට එන විට ශාන්තිනී තේ කෝප්පයක් බන්දේසියක තබාගෙන මා ඉදිරියේ සිටියාය.

* * * *

ඇය තවමත් තද නින්දේය. මම ඇය සිප ගතිමි.

”හොරා…” ඇය අවදි වී ඇත.

ඈ මගේ අත ගෙන ඇගේ සුසිනිඳු උදරය මත තබා ගත්තාය.

”තව මාස හතරකින් ඔයා තාත්තා කෙනෙක්”

”පුතා ද? දුව ද?”

”පුතෙක්. පුතෙක්” ඇය ස්ථිර ස්වරයෙන් කීවාය.

”අපි පුතාට රාජු කියල නම දාමු” මම කීවෙමි.

”ඔව් පාලිත. මම දැන් ඩිංගකට කලිනුත් අයියාව හීනෙන් දැක්කා” හිනා වේගෙන අපි දෙන්නා දිහා බලා හිටියා”


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: