Posted by: lrrp | September 11, 2011

ඇඟෙන් ඇඟට රිංගන බේබදු ප්‍රේතයා

ආදරය හා සතුට නිසා මිනිසා (පිරිමියා) ගැහැනියට වසඟ වෙයි. එතැන් පටන් විවාහය හා පවුල් කෑම ආරම්භ වෙයි. ඉබේම වාගේ මේ වසඟවීම නිසා ගැහැනිය පිරිමියා මෙහෙයවන්නට පටන් ගනී. ඒ තුළින් ගැටුම් ද ඇති වෙයි. බොහෝ තැන්වල ස්ත්‍රීත්වය වඩාත් බලවත් ව ක්‍රියාත්මකවීම නිසා හෝ පවුලේ සමඟියේ අවශ්‍යතාව නිසා හෝ කන් කරච්චලයෙන් බේරීම සඳහා හෝ ස්ත්‍රියට වුවමනා පරිදි පිරිමියා කටයුතු කරයි. දෙමව්පියන් ඇතුළු වැඩිහිටියන්ට සැලකීම උපරිමයෙන් හෝ අවමයෙන් සිදු කරයි. ඇයට අවශ්‍ය පරිදි නිවසට වුවමනා බඩු භාණ්ඩ තෝරා ගනී. ඇය කැමති පරිදි ඔහුගේ ඇඳුම පවා වෙනස් කරයි.

නෑදෑයින් පවා අත්හරී. එහෙත් ගැහැනියට කළ නොහැකි එක ම එක දෙයක් ඇත. ඒ පිරිමියා සුරාවෙන්, මතින් ඉවත් කැර ගැනීම ය. මෙය සිදුවන්නේ ද බොහෝ තැන්වල ගැහැනිය නිසා ම ය. උදේ අවදි වූ තැන් පටන් ගැහැනියගේ අධිකාරි සිතුවිලි හරහා මතුවන කන්දොස්කිරියා වෙන් මිඳීමට ද සමහරු අඩි ගහති. සමස්තයක් වශයෙන් ගැහැනු පිරිමින්ගේ ‘බේබදුකම’ මිත්‍යා නම්බුවක් බවට හරවා ගන්නට “අපේ මහත්තයා බොන්නෙ නෑ” – “අපේ මහත්තයා විනෝදෙට චුට්ටක් ගන්නවා” – “අපේ මහත්තයා පාටීස්වල දී යාලුවෝ තරහ වෙනවාට ඩිංගක් ගන්නවා” යැයි කියති.

එහෙත් රාත්‍රියට නිවසේ පිඟන් පීරිසි පියාසර කරයි. පොඩි එවුන්ට පාඩම් කරන්නට නොහැකි පරිදි තාත්තා කුණුහරුප කියයි. අම්මා ඔහුගේ ඔලුවේ දෙහි බෑයක් උලයි. ගෙදර අඩුපාඩු දහසක් තිබියදී හම්බ කෙරුවාම මත්පැනට වියදම් කරයි.

මිනිසා මත්පැන් (මත්ද්‍රව්‍ය) භාවිතයට හේතු කීපයක් ඇත. 1. ඇබ්බැහිකම 2. මත්පැනට ඇති පෙරේතකම 3. නම්බුකාර දෙයක් සේ සලකා විනෝදයට (මෝඩකම) 4. ඇඟේ අමාරුකම් යටපත් කිරීමට 5. බේබද්දන් මැරී ඊට ගිජු වූ ප්‍රේතයින්ව ඉපිද ටිකක් බොන අයගේ ඇඟට රිංගාගෙන ඔහු ලවා ඒ පෙරේත අවශ්‍යතාව ඉටු කැර ගැනීමට. සමහර වෛද්‍යවරු ද රෝගීන්ට මත්පැන් පානයට උපදෙස් දෙන බව සමහරු පවසති. එසේ කරන්නේ නම් බරපතළ වරදකි. දැන් සමහර ගැහැනු මත්පැන් පානය විලාසිතාවක් කැරගෙන ඇත. එවැනි පවුල් උපරිම අවුරුදු තුනක්, ඇතුළත විනාශ වී යන බව සනාථ වී ඇත.

මෙයින් වර්තමානයේ සමාජයට තදින් ම අහිතකර ලෙස බලපාන අන්දමින් බේබදු ප්‍රේතයෝ මිනිස් ශරීරවලට රිංගා ගෙන ඔහු බීමට පොළඹවති. “දැන් ටිකක් බිව්වොත් හොඳයි. යමන් යමන් ෂොට් එකක් දාගන්න යමන්” යැයි සිත පොළඹවයි. “කන්න බෑ. කෑම ප්‍රිය නෑ. ෂොට් එකක් දාගත්තොත් නම් කෑම ටිකක් කන්න පුළුවන්…” යැයි සිතා පොළඹවයි. එහෙමත් නැත්නම් ගැහැනිය ලවා කන්දොස් කිරියාවක් (බෙලිකටුමල්ල සොළවා) ඇති කොට ඔහු ගෙයින් පිටත යවා කාලක් බීමට සලස්වයි.

කාල මදි වූ විට තවත් කාලක් පානය කරයි. දැන් යකාටවත් බය නැත. ගෙදර එන්නේ දෙපයින් නොවේ. විසි වෙමින් පැමිණ ගේට්ටුවෙන් ඇතුළු වෙන්නේ හතර ගාතයෙනි. ‘ඛෝ… හත්… ථු… රෝ….ඛෝ… හත්… ථු..රෝ… ඛෝ…. අප්…ප… ගේ.. හටුරෝ… එදාට සාමය සතුට සහජීවනය පෑළ දොරෙන් පස්ස නොබලා ම පලා යයි. මේ ඒ වගේ කතාවයි.

සිරිල් බීමට ඇබ්බැහි වීම නිසා පවුලේ සාමය සමාදානය පළා ගියා. මෙන් ම ආර්ථික බැරි අමාරුකම් ද හිස ඔසවා ආවේ ය. සිරිල් ගේ ශරීර සෞඛ්‍යය ද නරක අතට හැරෙන බව රංජනී තේරුම් ගත්තා ය. දරු දෙදෙනාගේ අධ්‍යාපනයට ද මේ අහිතකර බලපෑම් නරකට හිටියේ ය. රංජනී මේ ගැන බොහෝ දුරට කල්පනා කොට වෛද්‍යවරියක් සොයා ගියා ය. ඒ වෛද්‍යවරිය බෞද්ධ භාවනා මෙන් ම හින්දු යෝග පිළිබඳව ද හදාරා ඇති කෙනෙකි.

වෛද්‍යවරිය ළඟට රෝගියා ගෙන ගියේ උපායශීලීව ය. ඒ මත්පැන් බීමෙන් වැළැක්වීමට යැයි කීවොත් සිරිල් නොඑන නිසා ය. වෛද්‍යවරිය ප්‍රතිකාර කරන්නට පෙර ස්වකීය යෝග ශක්තිය මෙහෙය වූවා ය. සිරිල් වෙව්ලන්නට වූයේ ය. එය රංජනී ද බලාපොරොත්තු නොවූ දෙයක් විය. වෛද්‍යවරිය කතා කළා ය.

“කවුද මේ ශරීරය ඇතුළට වෙලා වෙව්ලන්නේ?”

“මම ඩග්ලස්”

“ඩග්ලස් කියන්නේ කවුද??”

“මේ සිරිල්ගේ යාළුවෙක්”

“ඩග්ලස් කොහේද සිටියේ?”

“ගල්කිස්සේ”

“මොනවා වෙලාද මැරුණේ?”

“වකුගඩු නරක් වෙලා”

“කොයි කාලෙද?”

“එක්දහස් නවසිය අනූ එකේ”

“ගල්කිස්සේ කනත්තෙ ගේට්ටුව ළඟ”

“ගේට්ටුව ළඟ මොනවද කළේ?”

“බොන්න යන කෙනෙක් හම්බ වෙනකම් හිටියා.”

“ඉතින් මෙච්චර කාලයක් එහෙම කෙනෙක් මුණ ගැහුණෙ ම නැද්ද?”

“හැමෝගෙ ම ඇඟට රිංගන්න බෑ. සමහරු බලවත්නෙ”

මොකටද බොන්න යන කෙනෙක් හොය හොයා හිටියේ.”

“මටත් බොන්න ආසයි. එහෙම කෙනෙකු ගෙ බඩට රිංගන්න. එතකොට මට බොන්න පුළුවන්නෙ. දැන් මම උදේ හවස සිරිල්ගෙ හිතට සිතුවිලි දෙනවා බොන්න යන්න කියලා. සිරිලුත් ගිහින් බොනවා. සිරිල් බිව්වා ම සිරිල්ගෙ බඩේ ඉඳගෙන මමත් බොනවා.”

“දැන් ඉතින් සිරිල්ගෙ බඩට වෙලා තව කොයි තරම් කාලයක් ඉන්නද කල්පනාව.”

“සිරිල් බොනතාක් කල් මමත් ඉන්නවා.”

“ඊට පස්සේ?”

“සිරිල් මැරිලා ගියා ම මම මේ වගේ ම තවත් කෙනෙක් හොයා ගන්නවා.”

“දැන් සිරිල් නොබොනා දවස්වලට කොහොමද ඩග්ලස් බොන්නෙ?”

“සිරිල් නොබොනා දවස් නැහැනෙ. සිරිල්ව බීමට පොළඹවලා යවන්න සමහර දවස්වලට බැරි වෙනවා. එදාට මම රංජනී ලව්වා සිරිල්ව බොන්න යවනවා.

“ඒ කොහොමද? සිරිල් බොනවට රංජනීත් කැමති නැහැනෙ.”

“පිස්සුද ද නෝනා මහත්තයා. ඒ වගේ දවස්වලට රංජනී ලවා රණ්ඩු සරුවල් කරවනවා. රංජනීත් පටන්ගත්තාම බර බරේ නවත්තවන්නෙ ම නැහැනෙ. සිරිල් ඉවසලා ඉවසලා බැරිම තැන “අනේ මේකිගෙ අච්චාරු කට නතර වෙන්නෙම නැහැනෙ. කියලා බැන බැන බොන්න යනවා. ගිහින් ණයට හරි බීලා එනවා.”

“ඩග්ලස් මේ පවුල විනාශ නොකර මේ ශරීරයෙන් ඉවත්ව යන්න”

“බැහැ” “බැහැ” එතකොට මම කොහොමද යැපෙන්නේ. මම යැපෙන්නේ සිරිල් ගෙ ශරීරයේ සිරිල්ව දාලා මට යන්න බැහැ.

වෛද්‍යවරිය විසින් සිරිල් යළිත් ප්‍රකෘති සිහියට පත් කරනු ලැබුවා ය. මෙතෙක් පටිගත වෙමින් තිබුණු පටිගත කිරීමේ යන්ත්‍රය ක්‍රියාත්මක කොට ඔහුට අසන්නට සැලැස්සුවා ය. සිරිල්ගේ ඩග්ලස් නමැති මිතුරා අමනුෂ්‍යයෙකු වී උපත ලබා සිරිල්ගේ ශරීරයට රිංගා ගෙන සිටින බවත්, එහි ඇති භයානක තත්ත්වය නිසා මේ පවුලේ ජීවත පවා අවදානමේ පවතින බවත් වටහා දුන්නා ය.

මේ අනතුරින් මිදීමට නම් දින විසි එකක් බෝධි පූජා පවත්වන ලෙසත් ඒ දින විසි එක තුළ පමණක්වත් පන්සිල් පද පහ අනිවාර්යයෙන් ආරක්ෂා කරන බවටත් පොරොන්දු කරවා ගත්තේ ය. උදේ සවස නිවසේ දී පවුලේ සියලු දෙනා එක්ව තෙරුවන් වන්දනාවේ යෙදිය යුතු බවත් අවධාරණය කළා ය. ඊට අමතර උදේ තෙරුවන් වන්දනා කරන විට රා කල සොලසක් පොවා කුපිත කොට බුදු රජාණන් වහන්සේ මරන්නට යැයි එවූ නාලාගිරි ඇත් රජු දමනය කරන්නට වදාළ ගාථා දෙකෙන් විසි එක් වරක් තැඹිලි ගෙඩියකට මතුරා සිරිල්ට බොන්න දෙන ලෙස රංජනීට පැවරුවා ය. ඊට අමතරව සිරිල්ට බීම සඳහා බෙහෙත් පන්තියක් ද දුන්නා ය.

දින විසි එක තුළ සිරිල් කෙසේ හෝ මත්පැනින් වැළකී බෝධි පූජාවලට සහභාගි වූයේ ය. ඒ කාලය තුළ ඔහු කෙරෙන් ප්‍රදර්ශනය වූ කිළිටි අප්‍රසන්නතාව ද පහ වී ගොස් තිබුණි. ඔහුගේ ශරීරයට නව පණක් ලැබී තිබුණි. ඒ සමඟ ම පවුලේ සතුටු සමාදානය ද යම් තරමකින් ගොඩ නැඟී තිබුණි.

ඊළඟට නියමිත දිනයේ රංජනී සිරිල් සමඟ වෛද්‍යවරිය හමුවීමට ආවා ය. එදා වෙව්ලන්නට වූයේ සිරිල් නොවේ. රංජනී ය.

“අද කවුද මේ රංජනීගෙ ශරීරයට රිංගා ගෙන ඉන්නේ?”

“ඒත් මම ම තමයි. මම ඩග්ලස්.”

“ඇයි ඩග්ලස් අද රංජනීගෙ ඇඟට රිංගුවේ”

“දැන් සිරිල් ගෙ ඇඟේ ඉන්න බැහැ. රංජනී හැමදාම බුදු ගුණ ගාථාවකින් මතුරලා සිරිල්ට තැඹිලි පොවනවා. අනිත් කාරණේ දැන් සිරිල් බොන්නෙත් නැහැනෙ. සිරිල්ගෙ ඇඟේ ඉඳල වැඩකුත් නැහැ.”

“ඉතින් රංජනීගෙ ඇඟට රිංගුවේ?”

“ඒ මම යන බව කියලා යන්න”

“දැන් කොහේට ද යන්නේ?”

“සිරිල් බොන්න ගිය තැනට යනවා. එතන ඉන්න කොට තව කාගෙ හරි ඇඟට රිංගා ගන්න පුළුවන් වේවි’ යි කියමින් රංජනී පියවි සිහියට පත් වූවා ය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: