Posted by: lrrp | September 11, 2011

බුදු දහම යනු මතවාද ගොඩනැඟිය යුතු ධර්මයක් නොවේ

ඉහත ගාථා රත්නයට අනුව සරු දෙය නම් සත්‍යාවබෝධය සඳහා වූ මාර්ගයයි. එනම් සීල, සමාධි, ප්‍රඥා ආදී වූ මාර්ගය යි. මිසදිටු අදහස්, වැරදි සංකල්පනා, සරු දේ ලෙස සලකා කටයුතු කරන අය ඒ සත්‍යාවබෝධය නොලබන්නේය. සත්‍යාවබෝධය ලැබීමට නම් මෝහයෙන්, තෘෂ්ණාවෙන් වෙළුණාවූ මිථ්‍යා මතවාදයත් නිවැරැදිව අවබෝධ කොටගෙන කටයුතු කළ යුතුය.

බෞද්ධ දර්ශනය සැමවිට ම නිදහස් චින්තනය අගය කළ දහමකි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ධර්ම කරුණු සසඳා බලා ධර්ම විනයට ගැළපේ නම් පමණක් පිළිගන්නා ලෙසට ය. කෙනෙක් කීවා යැයි, පරම්පරාවෙන් ආවා යැයි නොපිළිගන්නා ලෙසත්, බුද්ධියට මුල් තැන දී සත්‍ය මාර්ගය හඳුනා ගන්නා ලෙසත් උන්වහන්සේ පෙන්වා දුන්හ. වෙනත් ආගම්වලට වඩා බුදු දහමේ විශේෂත්වය වන්නේ මේ නිදහස් චින්තනයයි.

බුදු දහමේ තිබෙන මේ නිදහස, යමක් බලහත්කාරයෙන් කෙනකු මත පැටවීමට ඉඩ නොතැබීම වැනි කරුණු නිසා නිවැරැදි සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ ඉඩකඩ ඇහිරී තිබෙන බවක් ද දකින්නට තිබේ.

වත්මන් සමාජයේ ඉතා විශාල බෞද්ධ ප්‍රබෝධයක් ඇති වී තිබෙන බව පැහැදිලි කරුණකි. එය නිවැරැදි මාවතකට යොමු කර ගැනීම ඉතා වැදගත් ය.

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය උදා වූ මොහොතේ බෞද්ධ ජනතාව බුදු දහම පිළිබඳ, බෞද්ධ ප්‍රතිපත්තින් පිළිබඳ උනන්දුවෙන්, උද්‍යෝගයෙන් කටයුතු කරන ආකාරය අපි දුටුවෙමු. තවත් පිරිසක් ඒ උවමනාව, උද්‍යෝගය උපයෝගි කරගනිමින් බෞද්ධයා වැරැදි මාවතකට යොමු කිරීමට ගන්නා උත්සාහයක් ද අපි දකිමු. පුද්ගල වශයෙන් සහ කණ්ඩායම් වශයෙන් සංවිධානය වී බෞද්ධයා ගේ සිතට මිථ්‍යා සංකල්ප කා වැද්දීමේ පසුබිමක් අද නිර්මාණය වී තිබේ. එය ශාසනික වශයෙන් ඉතා හානිදායක ය.

බෞද්ධ සංස්කෘතියේ සිරිත් විරිත් හා බෞද්ධ වචනවලට වැරදි අර්ථකතන ඉදිරිපත් කරමින් බරපතළ විකෘති කිරීම එහි දී ප්‍රධාන වේ. බෞද්ධ නාමයෙන් පෙනී සිටින මේ ගිහි පැවිදි කණ්ඩායම් ඉදිරිපත් කරන සංකල්ප පිළිබඳ නිවැරැදි අවබෝධයකින් සිටීම කාලීන අවශ්‍යතාවයකි. සමහර පිරිස් බුදුරජාණන් වහන්සේ උපන් දේශය ශ්‍රී ලංකාව යැයි අර්ථකතනය කරන්නට, බුද්ධ චරිතය සම්බන්ධ සියලු සිද්ධීන් හා ස්ථාන ශ්‍රී ලංකාව තුළ පවතින බව පැහැදිලි කිරීමට, පොත්පත් ලියා පළ කර තිබේ. ඒවායේ සඳහන් වන ලෙස, සිදුහත් බෝසතාණන් වහන්සේ උපන් ලුම්බිණිය, තෙල්දෙණිය ආසන්නයේ තිබෙන බඹරගල ප්‍රදේශයයි.

ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටා තිබෙන්නේ හබරණ ආසන්නයේ හිරිවඩුන්න ප්‍රදේශයේ ය. දැනට අනුරාධපුර වැඩ සිටින්නේ ඒ බෝධියේ ශාඛාවකි. බරණැස පිහිටියේ අම්පාර දිස්ත්‍රික්කයේ ය. බුදුගල ආසන්නයේ කුසිනාරාව පිහිටා ඇත. මෙවැනි අර්ථකතන දීමට ඔවුන් භාවිත කර ඇත්තේ අප ගේ භාෂාවයි. හබරණ ප්‍රදේශයේ පිහිටි උඩංගාව නමැති ගම ‘උඩුගංආව‘ නමින් විග්‍රහ කර ඇත. සිදුහත් බෝසතාණන් වහන්සේ පාත්‍රය උඩුගං බලා යැවූ ප්‍රදේශය බව ඉන් කියැවේ.

පටිච්ච සමුප්පාදය යන වචනයට වැරදි අර්ථකතන දී ඇත. පටි = යනු බැඳීම වශයෙන් ද, ‘ඉච්ඡ’ යනු කැමැත්ත වශයෙන් ද, ‘සම – සමාන ලෙස ද, උප්පාද – ඉපැදීම ලෙස ද විග්‍රහ කරන ඔවුන්, බැඳීම නිසා කැමැත්තෙන් ඉපදීම යන අදහස පටිච්ඡ සමුප්පාද යන වචනයෙහි තිබෙන බව පෙන්වා දී තිබේ. මෙවැනි වැරදි අර්ථකතන නිසා වන විශාලතම හානිය බෞද්ධ සමාජය මුලාවට පත්වීම ය. අනාගත සමාජය, බුදුරජාණන් වහන්සේ ගේ උපත සිදු වූ භාරතයේ පූජනීය සිද්ධස්ථාන පිළිබඳ විශ්වාසය බිඳ ගැනීම ය.

ධර්මය විකෘති කිරීම බෞද්ධයන් නොමඟ යැවීමේ වැඩපිළිවෙළකි. සංස්කෘතිය හා ශාසනික ඉතිහාසය හිතුමතයේ වෙනස් කිරීම බෞද්ධයන් නොමඟ යැවීමකි. මේ නිසා බෞද්ධ ජනතාව අර්ථවත් දේ කුමක්ද, සාරවත් දේ කුමක්ද යන්න වටහා ගැනීම ඉතා වැදගත් වේ.

අර්ථවත් දෙය, සාරවත් දෙය කුමක්දැයි ජනතාවට නිවැරැදිව අවබෝධ කරවීමේ වගකීම දැන උගත් භික්ෂුන් වහන්සේ සතු කාර්ය භාරයකි.

බුදුරජාණන් වහන්සේ, යන්ත්‍ර මන්ත්‍ර, නැකැත් ගුරුකම්, සම්බන්ධයෙන් දේශනා කොට තිබෙන්නේ ඒවා විශ්වාස කරමින්, ඒ පසුපස ලුහු බඳීමින් මිථ්‍යාවන්ට ගොදුරු නොවන ලෙසට ය. දෙවි දේවතාවුන් ඇදහීම පිළිබඳ තථාගතයන් වහන්සේ මැනවින් පැහැදිලි කර දී ඇත්තා හ. ඒ සියල්ල මෝහය සහ අවිද්‍යාව පදනම් කර ගත් මිථ්‍යා සංකල්ප වශයෙන් පෙන්වා දී තිබේ.

එහෙත් බෞද්ධ සමාජය නොමඟ යවන මට්ටමේ විවිධ ගුප්ත විශ්වාසයත් ප්‍රචාරාත්මක මාධ්‍ය මඟින් දැවැන්ත ලෙස ඉදිරිපත් කරන බව පෙනේ. මේ නිසා ජනතාව අධ්‍යාත්මික බලාපොරොත්තු වෙනුවට ලෞකික අපේක්ෂාවන් ඔස්සේ ලැහු බැඳ යන තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ‘බොදු පිළිවෙතින් පෙළ ගැසෙමු’ යන තේමා පාඨය සඳහන් පුවරු සමාජය ඉදිරියේ ප්‍රදර්ශනය කරනු ලැබූවත් සමහර ජනමාධ්‍ය ඔස්සේ ගෙන යන ඇතැම් පණිවුඩ ජනතාව සම්පූර්ණයෙන් ම නොමඟ යවන සුළු ය. විද්‍යුත් මාධ්‍ය මගින් ප්‍රචාරය කැරෙන ඇතැම් වෙළෙඳ දැන්වීම් ළමා මනසට හා තරුණ පරපුරට ඉතා හානිකරය.

බෞද්ධ සමාජයට ඇති කරන බලපෑම ඉතා අහිතකරය. දහම් පාසල් සහ බෞද්ධ අධ්‍යාපනය මඟින් සදාචාරවත් දරු පිරිසක් බිහි කිරීමට බෞද්ධ භික්ෂුන් වහන්සේ සහ රජය දරන වෑයම සපල කර ගැනීමට මේ දැන්වීම් බාධකයන් ය. වෙළෙඳ දැන්වීමක් විසිවතාවක් පමණ දකින පුද්ගලයා ගේ මනසේ ඒ කෙරෙහි ආශාවක් ඇති කරයි. බෞද්ධයාගේ ජීවන රටාව ඉතා සරල ය. චාම් ය. ආශාවන් පසු පස හඹා නොයන ඔහු ලද දෙයින් සතුටු ව ජීවත් වීමට වෑයම් කරයි. එහෙත් විවිධ මාධ්‍ය බලපෑම් මඟින් සිදු කරන හානිය නිසා ඒ සරල ජීවන රටාව බෞද්ධ ජනතාව කෙරෙන් ඈත්වීමක් සිදුවේ.

බෞද්ධ සම්ප්‍රදාය, බුදු දහම විකෘති කරමින්, අප ගේ සත්‍ය ධර්මයට කරන හානිය වළක්වා ගැනීම සඳහා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් බෞද්ධ ප්‍රකාශන ප්‍රමිතිකරන නියාමක පනතක් සැකසෙමින් පවතී. ඒ අනුව වෙනත් ආගම්වල ශුද්ධ ග්‍රන්ථ හිතුමතයට වෙනස් කරමින් කටයුතු කිරීම වළක්වනවාක් මෙන් අප ගේ ත්‍රිපිටක ධර්මය ද විකෘති කිරීමෙන් තොරව ථෙරවාදී සම්ප්‍රදාය ආරක්ෂා කර ගැනීමට මඟ සැලසෙනු ඇත.

වත්මන් බෞද්ධ සමාජයේ, විශේෂයෙන් තරුණ පරපුර බුදු දහම කෙරෙහි වැඩි වැඩියෙන් යොමු වන ආකාරය පෙනේ. එය යහපත් ප්‍රවණතාවයකි. ඔවුන්ට නිවැරැදි මාර්ගය පෙන්වීම, සත්‍ය ධර්මය තේරුම් ගැනීමට අවශ්‍ය පොත පත ලබාදීම ගිහි පැවිදි සැමගේ වගකීමකි.

පසුගිය කාල පරච්ඡේදයේ බෞද්ධ ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් ප්‍රකාශයට පත් විය. එහෙත් ඒ අතර වූ බොහෝ පොත පත ඒ ඒ ලේඛකයන් ගේ ස්වාධීන චින්තනයක් ඔස්සේ ගොඩනැ¼ගූ මති මතාන්තරවලින් ගහන වී තිබේ.

බුදු දහම යනු තර්ක විතර්ක කරමින් මතවාද ගොඩනැඟිය යුතු ධර්මයක් නොවේ. ප්‍රායෝගිකව තේරුම් ගෙන ජීවිතයට සම්බන්ධ කර ගත යුතු ධර්මයකි.

වත්මන් සමාජ සංස්ථාව තුළ පුද්ගලයා ගේ ජීවිතයට බලපාන විවිධ ප්‍රශ්න, කම්කටොළු වර්ධනය වන ස්වභාවයක් පෙනෙන්නට තිබේ. බුදු දහමේ තිබෙන සාරවත් කරුණු ඔස්සේ ඒ ජීවන ගැටලු විසඳා ගැනීමට මඟ පෙන්වීම අත්‍යවශ්‍ය ය. ධර්මය කෙරෙහි වඩාත් ආකර්ශනය වීමට එය හේතු වේ.

ඇතැම් පිරිස් බෞද්ධ ධර්මයේ එන ධර්ම කරුණු විද්‍යාවට සමාන කරමින් සංසන්දනය කරන ආකාරය අප දකිමු. බුදු දහම විද්‍යානුකූල බව පෙන්වීමේ දී හානිකර තත්ත්වයත් මතුවීමට පුළුවන. විද්‍යාව යනු කිසියම් සාධක පදනම් කරගෙන ගන්නා නිගමනවලින් යුතු වූවකි. එම නිගමන හෙට දිනයේ සිදු කැරෙන තවත් පරීක්ෂණයකින් බිඳ වැටෙන්නට පුළුවන. මේ නිසා බුදු දහම සමඟ විද්‍යාව සම්බන්ධ කර ගැනීම එතරම් බුද්ධිගෝචර නොවේ.

භාවනාව පිළිබඳව වත්මන් බෞද්ධ සමාජයේ විශාල උනන්දුවක් තිබේ. ඒ පිරිස්වලට මඟ පෙන්වීමට අවශ්‍ය වියතුන් භික්ෂූන් වහන්සේ අතර පවා සිටින්නේ ඉතා සීමිත පිරිසකි. මේ හේතුව නිසා ඒ රික්තය පිරවීමට විවිධ පුද්ගලයෝ ඉදිරිපත් වී සිටිති. දහම් පිපාසයෙන් පෙළෙන බෞද්ධ උවැසි උවැසියෝ ඔවුන් පසු පස යති. එසේ ගොස් මුලාවේ වැටෙති.

තමන් සෝවාන් මාර්ගයට පිළිපන් බවත්, රහත් බව ලබාගත් බවත් ප්‍රකාශ කරන මේ පිරිස් අතර සිටින ඇතැම් අය තම අනුගාමිකයන්ටත් මාර්ගඵල ලැබූ බවට සහතික පත් නිකුත් කර තිබේ. එවන් භාවනා මධ්‍යස්ථාන තිබේ. මේ පිරිස් තමන් සිවුපිළිසිඹියපත් රහතන් වහන්සේ ලෙස පෙනී සිටිමින් පොතපත ලියා බෞද්ධයන් මුලා කරති. බුදුරජාණන් වහන්සේ ඉහත ගාථා රත්නයෙන් දේශනා කොට වදාළේ මෙවැනි මතිමතාතන්තරවලින් සහ වැරදි මාර්ගෝපදේශයන්ගෙන් මිදී සත්‍ය ධර්මය තෝරා බේරා ගත යුතු බව ය.

බෞද්ධ ජනතාවට ඒ නිවැරැදි මඟ පෙන්වා දීම ධර්මධර, විනය ධර භික්ෂුන් වහන්සේ සතු කාර්යභාරයකි. වත්මන් සමාජයේ ඇති වී තිබෙන බෞද්ධ ප්‍රබෝධය තුළින් සමාජයේ යහපත උදාවන්නේ එම අවශ්‍යතාවය ඉටුවුවහොත් පමණි.


Responses

  1. බුදුන්වහන්සේ තමන් උපන් ස්ථානයට ආසන්නයේ පහිටි ඉන්දසල ගුහාවේ සක්කපඤ්ඤ සුත්‍රය දේශනා කල බවත් එම ඉන්දසල ගුහාවේ වසරක් වැඩසිටිය බවත් දැක්වේ. ලංකා ශිලා ලේඛන සංග්‍රහයේ ඉන්දසල ගුහාව මහනුවර තෙල්දෙණියේ බඹරගල රජමහ විහාරයේ පිහිටා ඇති බව තහවුරුකර තිබෙනවා. සක්කපඤ්ඤ සුත්‍රයේ පටන් ගැනීමේදී පචින රජගේ රාජධානිය සහ අම්බසන්ඩා බමුණු ගමක් ගැන සඳහන් වෙනවා. පචින රජ ගැන ලියවුනු සෙල්ලිපි බඹරගල රජ මහා විහාරයේ තියෙනවා. පචින රජුගේ දේවිය වන , කොඤර බමුණාගේ දුවද වන උපාසිකා දිත්තා ගේ ලෙන කියා ලෙනක කොට තියෙනවා. තව සෙල්ලිපියක පචින රජුගේ පුත් තිස්ස ගේ ලෙන වැඩි නොවැඩි සතර දිශා සංඝයාට පුජ කල බව දැක්වෙනවා. පචින රජගේ පුතාගේ බිරිඳගේ ගේ ලෙන වැඩි නොවැඩි සතර දිශා සංඝයාට පුජ කල බව තවත් සෙල්ලිපියක දැක්වෙනවා අම්බසන්ඩා බමුණු ගම තහවුරු වෙන සෙල්ලිපිද තිබෙනවා.මහමායා දේවිය කෝලිය වංශිකයකු බව අප දන්නවා. කෝලිය ගම ස්තුපය කියා තව සෙල්ලිපියක් තියෙනවා. සිදුහත් කුමරු උපන් ස්ථානයෙන් ගිනිකොනට තෙල් නමින් නදියක් ගලාගිය බව දැක්වේ. බොහෝවිට තෙල්නාදිය. තෙල්දෙණිය බවට පත් වුවා විය හැක.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: